එක්සත් ජනපදය මිලිටරි ආඥාදායකත්වය දෙසට ලුහුටා යයි

The US lurches toward military dictatorship

2017 ඔක්තෝබර් 23

විශ‍්‍රාමික නාවික ජෙනරාල්වරයෙකු වන ධවල මන්දිර මාන්ඩලික ප‍්‍රධානී ජෝන් කෙලී, ධවල මන්දිර මාධ්‍ය සාකච්ඡාවක දී පසුගිය සතියේ කල විවේචනය, ඇමරිකානු දේශපාලනයේ විවෘත රහසක් වන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ කඩතුරාවට යටින් එක්සත් ජනපදය වඩ වඩා සූදානම් කරන්නේ මිලිටරි ආඥාදායකත්වයක් බව පෙන්වා දෙයි.

ඔක්තෝබර් 4දා නයිජර් රාජ්‍යයේ දී එක්සත් ජනපද සොල්දාදුවන් 4ක් මියයාමේ සිද්ධිය, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් හසුරුවනු ලැබූ ආකාරය විවේචනයට ලක්කිරීමෙන් කුපිත වූ කෙලී, එක්සත් ජනපද මිලිටරියේ සාමාජිකයෝ “මෙම රටෙහි නිෂ්පාදනය කරන ලද හොඳ ම සියයට එක” බව සඳහන් කලේ ය. ඔහු පිලිතුරු දෙන්නේ, නයිජර් ක‍්‍රියාන්විතයේ දී මැරුනු සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජිකයන්, මිත‍්‍රයන් හෝ සමීප පුද්ගලයන් වන ජනමාධ්‍යවේදීන් ඉදිරිපත් කරන ප‍්‍රශ්නවලට පමනක් බව ඊලඟට ඔහු කීවේ ය.

සිවිල් වැසියන්ගේ ආන්ඩුවක් කෙරෙහි පවතින අවඥාව නො වලහා ප‍්‍රකාශ කරමින්, ඔක්තෝබර් 4දා නයිජර් ගැටුමේ දී මරුමුවට පත් එක් සොල්දාදුවකුගේ වැන්දඹුවට ට‍්‍රම්ප් විසින් ශෝකය පලකිරීම හෙලිදරවු කල ඩිමොක‍්‍රටික් කොංග‍්‍රස් සාමාජිකා ෆ්‍රෙඩ්‍රිකා විල්සන් ව කෙලී විසින් හෙලා දක්නා ලදී. ඝාතනයට ලක්වුනු එෆ්බීඅයි (මධ්‍යම විමර්ශන කාර්යාංශය) ඒජන්තයන් වෙනුවෙන්, මියාමිහි ඉදිකරන ලද ආන්ඩුවේ ගොඩනැගිල්ලකට අරමුදල් ලබාගැනීමේ දී විල්සන් ඇයගේ පුද්ගලිකත්වය යොදාගත්තා ය යන බොරු චෝදනාවක් කරමින් කෙලී මෙලෙස කීවේ ය: “වඩාත් ම හඬ නගන්නේ හිස් බැරල් ය.”

ධවල මන්දිරයේ ප‍්‍රවෘත්ති ලේකම් සාරා හකාබී සෑන්ඩර්ස්, මිලිටරිය පිලිබඳ කිසිදු ප‍්‍රකාශයක් කිරීමට අවකාශයක් නැති බව පසුදින පැවති මාධ්‍ය හමුවක දී කීවේ ය. “තරු හතරක් සහිත නාවික ජෙනරාල් වරයෙකු සමඟ වාදයකට පැටලීමට ඔබට අවශ්‍ය නම්, මගේ අදහස වන්නේ එය කිසිසේත් ම සුදුසු දෙයක් නො වන බව යි” යනුවෙන් ඇය කීවා ය.

ධවල මන්දිරය විසින්, මිලිටරිය මත සිවිල් පරිපාලනයට පවතින පාලනය පිලිබඳ ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරුනු මූලධර්මය, විවෘතව අවඥාවට ලක්කිරීමෙහි විපාක ගැන කාංසා සහගත වන සමහර මිලිටරි නිලධාරීහු තමන් දරන්නේ කෙලීට වඩා වෙනස් අදහසක් බවට කට වචනයෙන් කීමට වගබලා ගත් හ. ඔක්තෝබර් 22දා පැවති ඒබීසී නාලිකාවේ “දිස් වීක් (මේ සතිය)” වැඩසටහන මෙහෙයවූ විශ‍්‍රාමික තරු හතරේ හමුදා ජෙනරාල් සහ හිටපු සීඅයිඒ අධ්‍යක්ඩේවිඩ් පෙට‍්‍රවුස් මෙසේ කීවේ ය: “අපේ සහෝදර ඇමරිකානුවන් අප ව විචේනය කල ද ඒ සඳහා ඔවුන්ට තිබෙන අයිතිය ද ඇතුලු සියලු අයිතීන් සුරක්ෂිත කිරීමට නිල ඇඳුම් ලාගත් අපි නිර්භය ව කටයුතු කරනවා.”

කෙලීගේ අදහස් දැක්වීම මෙවැනි ආරක්ෂාකාරී ප‍්‍රකාශ නිකුත් කිරීමකට තුඩුදුන්නේ, එම අදහස් වසර 250කට ආසන්න එක්සත් ජනපදයේ සිවිල් පාලනයට තර්ජනය කිරීම නිසා නො ව, දේශපාලන ජීවිතය මත මිලිටරිය පවත්වාගෙන යන දෘඪ ග‍්‍රහනය අඩුගනනේ වාරය එලඹෙන තෙක්වත්, සිවිල් පාලනයේ රූපික කකුල් මාට්ටු මගින් වත් ආවරනය කරගත යුතු යයි එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සමහර කොටස් දැකගන්නා නිසා ය.

එහෙත් මෙම කාර්යය වඩ වඩා දුෂ්කර වෙමින් තිබේ. පෙට‍්‍රවුස් ඒබීසී නාලිකාවේ පෙනී සිටීමෙන් මඳවේලාවකට පසුව එන්බීසී නාලිකාවේ “මීට් ද ප්‍රෙස් (මාධ්‍ය සමග කතාකරන්න)” වැඩසටහනේ පෙනී සිටි සෙනට් සභාවේ සුලුතරයේ නායක චාල්ස් ෂූමර් හා වැඩසටහන මෙහෙයවූ චක් ටොඩ් අතර අත්‍යසාමාන්‍ය වචන හුවමාරුවක් ඇති විය. සෙනට් සභාවේ ඩිමොක‍්‍රටික් පක්ෂ කන්ඩායමේ නායකයා නයිජර් රාජ්‍යයේ තත්ත්වය ගැන දැනුවත්දැයි විමසූ විට ෂූමර් නොවලහා දුන් පිලිතුර වූයේ “තවම නැහැ” යන්න යි.

එක්සත් ජනපදය විසින් නයිජර් රාජ්‍යය තුල දහස් ගනනක් භටයන් රඳවා තිබීම ගැන දන්නේදැයි ටොඩ්, ෂූමර්ගෙන් විමසූ විට ෂූමර් පිලිතුරු දුන්නේ, “අයියෝ නෑ, මං දැනං හිටියෙ නෑ” යනුවෙනි.

තවදුරටත් ෂූමර් ව පීඩනයට ලක්කරමින් ටොඩ් මෙසේ විමසීය: “නො නවතින යුද්ධය ලෙස හැරුනු විට ඔබ එය විස්තර කරන්නේ කෙසේ ද?” වටරවුම් උත්තරයක් දුන් ෂූමර් එම පිලිතුර අවසන් කලේ “අපට එය කරගෙන යන්න සිද්ධවෙලා තියෙනවා” යනුවෙනි.

වෙනත් වචනවලින් කියතොත් එක්සත් ජනපදයේ සිවිල් නායකත්වය එක්කෝ මිලිටරිය ක‍්‍රියාත්මක වන තැන නො දනී, නැතහොත් ඒ ගැන විමසීමට නිර්භීත නො වේ. යුද්ධයන් ප‍්‍රකාශයට පත්කරනු ලබන්නේ නැත. ඒවාට නායකත්වය දෙන පුද්ගලයෝ කොංග‍්‍රසයට හෝ මහජනයාට වග කියන්නේ නැත. ජනාධිපතිවරයාගේ හා ඔහුගේ ජෙනරාල්වරුන්ගේ අභිමතය පරිදි මිලිටරිය දිගේලි කරනු ලබන්නේ, දුසිමකටත් වැඩි අප‍්‍රිකානු රටවල් ගනනක එක්සත් ජනපද භටයන් සටන්කාමී මෙහෙයුම්වල නිරත ව සිටින පරිද්දෙනි. රාජ්‍යය ක‍්‍රියාකාරී වන ආකාරය පිලිබඳ ව නාමික විපක්ෂයේ ඉදිරි පෙලේ සාමාජිකයන්ට ගැටලුවක් නැත.

ට‍්‍රම්ප්ගේ ඇමති මන්ඩලයේ වඩාත් ම බලපෑම් සහිත තනතුරු තුන දරන ජෙනරාල්වරුන් තිදෙනාගෙන් එක් අයෙක් වන කෙලී, ප‍්‍රධාන අනදෙන්නාගෙන් ප‍්‍රශ්න කිරීම ගැන කොංග‍්‍රස් සභිකයෙකු හෙලා දකින විට කිසිවෙකු හෝ පුදුමයට පත්විය යුතු ද?

යමෙක් මේ සඳහා කලයුත්තේ ඒබීසීහි “දිස් වීක්” වැඩසටහනේ ඉතිරි කොටස සැලකිල්ලට ගැනීම යි. සමස්ත වැඩසටහන ම, සුලුපහේ නවීකරනයකින් පමනක් යුතු ව මිලිටරි ජුන්ටාවක් විසින් පාලනය කරන රටක් තුල විකාශනය කල හැකි ව තිබිනි. වැඩසටහන මෙහෙයැවූ මාර්තා රද්දාස්, පෙට‍්‍රවුස් සමග සම්මුඛ සාකච්ඡාව පවත්වන අතරවාරයේ, ගුවන් යානා ගෙන යන යූඑස්එස් රොනල්ඩ් රීගන් නැව, උතුරු කොරියාවේ වෙරල තීරයට යුද අභ්‍යාස සඳහා පිටත් වනවිට, රද්දාස් එහි තට්ටුව මත වාඩි වී “ජපන් මුහුද යුද නැව්වලින් නෑවී යනවා” යයි උද්දාමයෙන් යුතු ව පවසන්නා වූ කලින් පටිගත කරන ලද කොටසක් පෙන්වනු ලැබී ය.

එම කොටසට නැවෙහි කපිතාන්, අනදෙන්නා, සංඥා නිලධාරියෙක් සහ නැව මත සිටින ගුවන් නියමුවෙක් කරන ප‍්‍රකාශ අන්තර්ගත විය. “එම කලාපය යුද්ධය අද්දරට යන තත්ත්වය තුල අද ? ම ඔවුන් සටන් කිරීමට සූදානම් විය යුතු යි” යනුවෙන් රද්දාස් එම කොටස අවසානයේ කීවා ය. ඉන්පසු ව වැඩසටහන යොමු වූයේ නැෂනල් ජියෝග‍්‍රැෆික් නාලිකාව විසින් ඉරාක යුද්ධය උත්කර්ෂයට නංවනු ලබන කොටස් අටකින් යුත් කෙටි වැඩසටහන් මාලාවක් පූර්ව විමර්ශනයට බඳුන් කිරීම සඳහා ය.

මේ අවස්ථාව වනවිට, වැඩසටහනෙන් හතරෙන් තුන් පංගුවක් ම අහවර වී තිබුනේ, ලෝකයේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදයට” නායකත්වය දෙන රටෙහි ප‍්‍රමුඛ දේශපාලන සාකච්ඡා වැඩසටහන්වලින් එකක් තුල මිලිටරිමය නො වන එකදු පුද්ගලයෙක් වත් පෙනී සිට නො තිබුනි.

කෙලීගේ අදහස් දැක්වීම් එක්සත් ජනපද මාධ්‍ය කිහිපයකට ම කාංසාව පලකරන ප‍්‍රකාශ නිකුත් කිරීම ජනනය කරන්නක් විය. සීඑන්එන් නාලිකාවේ ප‍්‍රමුඛයෙක් වන එරින් බ’නට් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මිලිටරි ආඥාදායකත්වයක්: එක්සත් ජනපදය ගැන ධවල මන්දිරය එලෙසින් සිතාගෙන සිටින බව පෙනේ.” ද නිව් යෝකර් පත‍්‍රයට මාෂා ගෙසන් මෙසේ ලීවා ය: “මෙම බියජනක තත්ත්වය ගැන සිතන්න: මිලිටරි කුමන්ත‍්‍රනයක් හට ගැනේ. ඔබ ඔබගේ පරිකල්පනය දුර්වල කරගත යුතු නැහැ. ඔබ කලයුතු එකම දෙය වන්නේ, ජනාධිපති ට‍්‍රම්ප් මිලිටරි වැන්දඹුවක් වන මයෙෂියා ජොන්සන්ට දුරකථන ඇමතුමක් දීම ආරක්ෂා කරමින්, ධවල මන්දිරයේ බ‍්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේ දී මාන්ඩලික ප‍්‍රධානී ජෝන් කෙලී කල ප‍්‍රකාශය නැරඹීම යි. මේ රටේ මිලිටරි කුමන්ත‍්‍රනයක් කවරාකාර ද යන්නෙහි පූර්ව නිමිත්තක් ලෙස එම මාධ්‍ය හමුව සැලකිය හැකි යි.”

එහෙත් මෙමගින් පැනනංවන ප‍්‍රශ්නය මෙයයි: මිලිටරි පාලනයකට මාරුවීම සඳහා එක්සත් ජනපදයට සැබෑවට කුමන්ත‍්‍රනයක් ම අවශ්‍ය ද? එය, අද පවත්නා “ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්” ඒ හැටියට වෙනස්වනු ඇද්ද? ප‍්‍රවෘත්ති වැඩසටහන් තුල නායක කථිකයන් ලෙස ක‍්‍රියාකරන දැනට සිටින ජෙනරාල්වරුන් ම, අනදෙන නිලධාරීන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන දැනට සිටින “මිලිටරිය තුල රෝපිත” වාර්තාකරුවන් ම ඒ ඒ ස්ථානයන්හි සිටිනු ඇත. බොහෝ ආඥාදායකත්වයන් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති තතු තුල, කරන්නේ කුමක්දැයි යන්න ගැන මිලිටරිය ගෙන ඇති තීන්දුව “තවමත් නො දන්නා” බව කියන දැනට සිටින කොංග‍්‍රස් සභිකයන් ම එම කොංග‍්‍රසයේ සිටිනු ඇත.

මිලිටරි ආඥාදායකත්වය මාධ්‍යයන් වාරනයට ලක්කරනු ඇති ය යන අදහසට යමෙක් විරුද්ධ විය හැක. එහෙත්, එම පියවර, මේ වනවිටත් බොහෝ අංශයන්ගෙන් ඉෂ්ට කර ඇති දෙයකි. ගූගල් යන යෝධ සෙවුම් යන්ත‍්‍රය “අධිකාරීත්ව” අන්තර්ගතය සහිත පුවත් සඳහා ප‍්‍රමුඛත්වය දෙන බව නිවේදනය කරමින් එහි සෙවුම් ප‍්‍රතිඵලවලින් වාමාංශික වෙබ් අඩවිවල සම්බන්ධතා වලලා දමන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ගූගල් නිවුස් හරහා එන පිවිසුම් සමස්තයක් වසයෙන් ම පාහේ ඉවත් කරමිනි.

එක්සත් ජනපදය තුල වැඩෙන මිලිටරියෙහි බලය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පෞරුෂත්වයෙන් පැන නැගුනු ආශ්චර්යයක් හෝ හුදු යම් අහම්බයක් නො වේ. තමන්ගේ ජනාධිපති ධුරයේ සමස්ත ධුර කාලයන් දෙක තුල ම යුද්ධය ගෙනගිය, එමෙන් ම මිලිටරිය මෙහෙයුම් සඳහා යෙදවීමට කොංග‍්‍රසයේ අවසරය කිසිවිටක නො පැතූ ට‍්‍රම්ප්ගේ පූර්වගාමී බැරැක් ඔබාමා, ප‍්‍රධාන අනදෙන නිලධාරියාට තිබෙන අභිමතානුසාරී බලය යොදාගෙන ඩ්‍රෝන් ප‍්‍රහාර මගින් එක්සත් ජනපද පුරවැසියන් ඝාතනයට දුන් නියෝග ආරක්ෂා කලේ ය.

නයිජර් රාජ්‍යයේ දී සොල්දාදුවන් ඝාතනය වීම කෙරෙහි දැනට පවතින දේශපාලන කලබැගෑනිය මධ්‍යයේ, දහස් ගනනක එක්සත් ජනපද භටයන් අප‍්‍රිකාව තුලට යැවීමට කිසිදු ප‍්‍රසිද්ධ සංවාදයකින් තොර ව හා මහජනයාට හොරෙන් ගත් තීන්දුව ආදිය පිලිබඳ ප‍්‍රශ්න කර නොමැති ඩිමොක‍්‍රටික් පක්ෂය, ඒ වෙනුවට මිලිටරිය කෙරෙහි ඇති තරම් ගරුසරුවක් නැති කම ගැන ට‍්‍රම්ප්ට දකුනෙන් ප‍්‍රහාර එල්ල කිරීමට වගබලාගෙන තිබේ.

මිලිටරිය සමග එකපෙලට සිටින්නේ, විශේෂයෙන් ම, ජෙනරාල් කෙලී ද, ඔහු හා සමග ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් හා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් වැනි ඔහුගේ සහෝදර ජෙනරාල්වරුන් ද, ධවල මන්දිරයේ “ඇසූ පිරූ ඇත්තන්” ලෙස උත්කර්ෂයට නැංවූ නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් ඇතුලු පුවත්පත් හා ඩිමොක‍්‍රටික් පක්ෂය යි. ටයිම්ස් තීරුලිපි රචක තෝමස් ෆ‍්‍රීඩ්මාන්, ජනාධිපති තනතුර දරන තැනැත්තා තුල පවතින “ට‍්‍රම්ප් පරිපාලනයට බෝවී ඇති සදාචාරාත්මක කුනුවීම ආපසු හරවන ලෙස” ජෙනරාල්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

වඩ වඩා ආඥාදායකත්වයේ රූපයන් වෙතට නැඹුරු වන එක්සත් ජනපදයේ පාලනය, දිග්ගැස්සුනු හා ගැඹුරු මූලයන් සහිත ක‍්‍රියාදාමයන්ගේ ප‍්‍රතිඵලය යි. පුහුනු ශිල්පී යුගයේ පැවති මට්ටම් ද ඉක්මවා යන සමාජ අසමානතාව මධ්‍යයේ බිඳවැටෙන ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි තැන එක්සත් ජනපදය තුල ගනු ලැබෙමින් පවතින්නේ කතිපයාධිකාරය ද මිලිටරිය තුල එහි පාර්ශ්වකරුවන්ගේ දසෘජු පාලනය විසිනි.

සෝවියට් සංගමය බිඳ විසුරුවාහල තැන් පටන් විසිපස් වසරක් තිස්සේ වේගවත් ලෙස කරගෙන ගොස් තිබෙන; සීඑන්එන්හි චක් ටොඩ් වැන්නන්ගේ වචනවලට අනුව “කිසිදා අවසන් නො වන” මට්ටමට ලඟාවී ඇති, නව ඇමරිකානු යථාර්තය, දැන් උතුරු කොරියාවට එරෙහි ව න්‍යෂ්ටික යුද්ධයක් දියත් කරන බවට තර්ජනය කරමින් වඩාත් ඉහල අදියරකට ලඟාවී තිබේ.

ලෝක යුද්ධයක් සඳහා ධාවනය සමග අත්වැල් බැඳගෙන තිබෙන එක්සත් ජනපදය තුල ආඥාදායක පාලනයක් සඳහා වන ගමන, වඩා කොඳු කැඩෙන වේගයකින් ඇද්දී යමින් තිබේ. වැඩිවේලාවක් ඉතිරි ව නැත. යුද්ධය, සමාජ අසමානතාව හා ආඥාදායකත්වය පැන නංවන මූලික හේතුව වන ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම ඉලක්ක කරගත් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත, ආඥාදායකත්වයට එරෙහි ව කම්කරුවන් හා තරුනයන් බලමුලු ගැන්වීමේ ආස්ථානයෙන් දැන් එයට විරුද්ධ විය යුතු ය.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: