ජවිපෙ රෝහින්ග්යා සරනාගතයින් ගැන කිඹුල් කඳුලු හෙලයි

ඩී.ඒ. අංජන විසිනි, 2017 ඔක්තෝබර් 30

බෞද්ධ භික්ෂුන්ගේ නායකත්වය සහිත සිංහල රාවය නම් සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානය විසින් මෙහය වූ මැර නඩයක් ගල්කිස්සේ මහල් නිවාසයක රඳවා සිටි රෝහින්ග්යා සරනාගතයින්ට එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලන මන්ඩලය පසුගිය දා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. මෙම මාධ්‍ය නිවේදනය කිසිදු ලෙසකින් සරනාගතයින් ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් කල එකක් නොවේ.

ෆැසිස්ට් නඩයේ ප‍්‍රහාරයට ලක් වූ මෙම සරනාගතයන් කන්ඩායම කන්කසන්තුරයට ආසන්න ලංකාවේ මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අප්‍රේල් 30 වනදා අත්අඩංගුවට ගෙන රඳවා සිටි පිරිසකි. ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන තිබුනේ මියන්මාරයේ අවුන්සාන් සුකී තන්ත‍්‍රයේ පාලනය යටතේ මිලිටරිය විසින් එම ජනවර්ගයාට එරෙහිව මුදාහැර ඇති රුදුරු සංහාරයෙන් දිවිගලවා ගැනීම පිනිස බෝට්ටුවකින් වෙනත් රටකට පලායමින් සිටිය දීය.

මැර පහරට ගොදුරු වූ සරනාගතයන් ගල්කිස්ස මහල් නිවාසයේ රඳවා තිබුනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසිනි. ඒ ඔවුන් වෙනත් රටකට යවන තුරු ඔවුන්ගේ “ආරක්ෂාව” පිනිසය. කුඩා ලමුන් 16 ක් හා කාන්තාවන් 7 ඇතුලුව 30 දෙනෙකු එහි සිටියහ. පොලීසිය මැරයන්ට නිදැල්ලේ පහරදීමට ඉඩහැර පසෙකට වී බලාසිටියේ ය. ප‍්‍රහාරයෙන් පසුව මෙම පිරිස හමුදා පාලනය යටතේ පවතින බූස්ස රැඳවුම් කඳවුරට මාරුකර යවා ඇත.

ප‍්‍රහාරකයන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගෙන සතියක් කල්මැරූ ආන්ඩුව එම තුච්ච ප‍්‍රහාරය ගැන රට තුල හා ජාත්‍යන්තරව විරෝධය මතුවන තතු තුල බෞද්ධ භික්ෂුන් දෙදෙනෙක්, පොලිස් නිලධාරියෙක් හා කාන්තාවක් ඇතුලු 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. සරනාගත තරුනියක් දූෂනය කල බවට අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී ඇත.

සිංහල රාවයේ නායකයෙකු වන අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන භික්ෂුව ඇප මත මුදා හැර ඇත. අනෙක් භික්ෂුව සතුව අරඹේපොල රතනසාර සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර හෙවත් ධර්මසිරි තෙන්නකෝන් යන නම්වලින් ලබා ගත් ජාතික හැඳුනුම් පත් දෙකක් ඇති බවත් ඔහුගේ පන්සල පරීක්ෂා කිරීමේ දී කොට කලිසමක්, ටී සර්ට් එකක් සහ තොප්පියක් හමු වූ බවත් පොලීසිය මාධ්‍යට ප‍්‍රකාශ කලේ ය. එය මෙම කල්ලිය විවිධ වෙස් ගෙන ප‍්‍රකෝපකාරී වැඩ වල නිරතවන බවට ඉඟියකි.

ජවිපෙ ප‍්‍රකාශයේ මෙසේ සඳහන්වේ: “රෝහින්ග්යා සරනාගතයින් ලංකාවට පැමිනි පලමු අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ සිට වරින් වර ඉතා කුඩා පිරිස් කිහිපයක් ලංකාවට පැමින තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සරනාගත කොමිසම මගින් ඔවුන් පසුව වෙන රටවලට යවා තිබේ. දැන් පැමින සිටින සුලු පිරිසද ලංකාවේ සිටිනුයේ තාවකාලිකව ය. එසේ තිබියදී මේ අවස්ථාවේ මෙම සරනාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරනය කල නොහැකි පහත් ක්‍රියාවක් වේ.” මේ ප‍්‍රහාර නිසා “අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවත්ය.”

රෝහින්ග්යා පිරිස ලංකාවේ සිටින්නේ තාවකාලිකව නිසා ඔවුන්ට පහර දීම නොවටිනේය යන මේ ප‍්‍රකාශය අන්ත කුහක ය. කම්කරු පන්තියේ ආස්ථානය නම් සරනාගතයන්ට හා සංක‍්‍රමනිකයන්ට තමන් කැමති ඕනෑම රටක ජීවත්වීමට නිදහස සහ විශ්වීය අයිතියක් ඇත යන්නයි. ධනපති ක‍්‍රමයේ ආරක්ෂාව සඳහා පවත්වාගෙන යන ජාතික රාජ්‍ය සීමා පිලිගන්නා ජවිපෙ ආස්ථානය ආන්ඩුවේ අස්ථානය සමග එකට පෑහේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ ප‍්‍රහාරය හෙලා දැක නැත. ජවිපෙ මෙන්ම මුදල් ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ සරනාගතයන් තාවකාලිකව නතර කරගෙන සිටින තතු යටතේ පහර කෑමට ලක්වූ බවයි. වරාය ඇමති මහින්ද සමරසිංහ සඳහන් කර ඇත්තේ ලංකාව සරනාගතයන්ට රැකවරනය දීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ගිවිසුම අත්සන් කර නැති බවයි. මෙම ප‍්‍රකාශ අන්තවාදීන් සැනසීම සඳහා නිකුත් කල ඒවා ය. අන්ත ජාතිකවාදීන් ලෙස, ජවිපෙට ඇති ප‍්‍රශ්නය “රට, ජනතාව හා ආගමික සංස්ථාවන් අපකීර්තියට ලක්වීමයි.” විපතට පත් ජනතාවගේ අයිතිය ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ.

ජවිපෙ මෙසේ ද පවසයි: “මෙහි තවත් පැත්තක් තිබේ. මෙවැනි ක්‍රියාවලදී මේවා වැලැක්විය යුතු, ආන්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයද ඉතාම අලස හා වගකීම් විරහිත එකකි. රෝහින්ග්යා සරනාගතයින් පිලිබඳ විවිධ බොරු ප‍්‍රවෘත්ති රට තුල පැතිරවීමට කුඩා පිරිසකට හැකිව තිබෙන්නේ බලධාරීන් මේ පිලිබඳව සත්‍යය කල් ඇතිව ජනතාවට දැනුවත් නොකිරීම නිසාය.”

කොටින්ම, ආන්ඩුව හා බලධාරීන් සරනාගතයින් ලංකාවේ රඳවා ගෙන සිටින්නේ තාවකාලිකව යයි කල්තියාම ප‍්‍රකාශ කලා නම් මේ සිහල රාවයේ අලුකුත්තේරු බබාලා අතින් මේ පහර දීම සිදුවන්නේ නැත. මෙම ප‍්‍රකාශය ආන්ඩුවට, “බලධාරීන්ට” හා මැර නඩයට සුදුහුනු ගෑමකි. ආන්ඩුව හා බලධාරීන් එලෙස ක්‍රියා කලේ සරනාගතයන්ගේ හා සංක‍්‍රමනිකයන්ගේ අයිතීන් නොපිලිගන්නා, ඔවුන්ට තරයේම සතුරු නිසාය. ජවිපෙ ආස්ථානය ද එයයි.

ජවිපෙ ප‍්‍රකාශයේ කිසිම තැනක මෙම ප‍්‍රහාරය සිදුකලවුන් නමින් සඳහන් කර නැත්තේ අහම්බෙන් නොවේ. තමන් ආමන්ත‍්‍රනය කරන සිංහල බෞද්ධ පදනම සමග ඇති ඇඟෑලියාව නිසාය.

ලොව පුරා මෙන්ම, “ලංකාව තුල ද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කන්ඩායම්වල ගැටුම් සිදුවෙමින් තිබේ. ජාතිවාදී ගැටුම් නිසා ලංකාවට පසුගිය කාලයේ විශාල හානි සිදුවූ අතර තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකටද මුහුන දීමට සිදුවිය. එහි සමහර අයහපත් ප‍්‍රතිඵලවලට අපේ රට තවමත් මුහුන දෙමින් සිටී” යයි ජවිපෙ නිවේදනය බන දේශනාවක යෙදී ඇත. මෙම තත්වය තුල “ලංකාව තුල ඉතාම කුඩා කන්ඩායම් ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස හැසිරීම කනගාටුදායක” බව ද එම නිවේදනය කියා සිටී.

ජවිපෙ දේශපාලන මන්ඩලය උපාසක වතින් මේ ප‍්‍රකාශය කර ඇත්තේ, ලංකාවේ පාලක ආන්ඩු ගෙනගිය තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේ කසකරුවන් ලෙස තමන් සිටි බව වහංගු කර ගෙන ය. “රට බෙදීමට” එරෙහිවීම හා එල්ටීටීඊ (දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය) ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ කඩතුරාව ට මුවා වී ජවිපෙ සිංහල පාලක පන්තියේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට මුල සිටම සහයෝගය දුන්නේය. මිලිටරියට බංකර් කැපීම ඇතුලු ක්‍රියාවන්ට සිය සාමාජිකයන් මෙහෙයවූ ජවිපෙ දෙමල මහජනතාවට එරෙහි කොලඹ ආන්ඩුවල මුදුන් වල අනුදැනුමෙන් ආරක්ෂක හමුදා සිදුකල ම්ලේච්ච යුද අපරාධ ආවරනය කරන සංවිධානයකි.

සරනාගතයන් පිලිබඳව ගත් කල ජවිපෙට ඇත්තේ විසකුරු වාර්තාවකි. 2009 යුද්ධයේ අවසන් අදියරේ 300,000 ට අධික දෙමල ජනයා හමුදාව විසින් පාලිත වධකාගාර බඳු රැඳවුම් කඳවුරුවල ගාල් කිරීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මිලිටරි නායකයන් සමග ක්‍රියා කලේය. ජවිපෙ ඊට සහයෝගය දුන්නේ එය “ජාතික ආරක්ෂාව” සඳහා අත්‍යාවශ්‍ය පියවරක් බව කියමිනි.

වර්ගවාදී යුද්ධයට සහයෝගය දීමෙන් හා එක් ධනපති ආන්ඩුවකින් පසු තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට දරදිය ඇදීමෙන් අපකීර්තියට පත්වී සිය සමාජ පදනම් ඛාදනය වූ තතු තුල දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානවවාදී වෙස් මුහුනක් දමාගෙන කම්කරුවන් සහ තරුනයන්, විශේෂයෙන් ම දෙමල සහ මුස්ලිම් ජනයා රැවටීමට ජවිපෙ නිෂ්පල ව්‍යායාමයක යෙදෙන නමුත් කම්කරු පන්තියේ හෝ අන්‍ය ජාතීන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන මොනම තැකීමක් වත් ඇති පක්ෂයක් නොවේ ජවිපෙ. රෝහින්ගියා සරනාගතයන් සම්බන්දයෙන් ජවිපෙ කුහක ප්‍රකාශය යලි එය හෙලිදරවු කරයි.

Share this article: