චර්චිල් ගේ “යකඩ තිර” දෙසුම කල තැන දී

සෑන්ඩර්ස් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සිය පක්ෂපාතීත්වය පල කරයි

At site of Churchill’s “Iron Curtain” speech Sanders declares his allegiance to US imperialism

ටොම් හෝල් විසිනි , 2017 සැප්තැම්බර් 26

පසුගිය 19දා, මිසුරියේ ෆුල්ටන්හි වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාල මන්ඩපයේ දී සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් විදෙස් පිලිවෙත ගැන ප්‍රධාන පෙලේ දෙසුමක් පැවැත්වීය.වාම ලිබරල්, ඩිමොක්‍රටික් පක්ෂයට ලැදි මාධ්‍යන්හි ඔහුගේ සගයන්, එම දෙසුම විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් “ප්‍රගතිශීලී” සහ “රැඩිකල්” දැක්මක් ලෙස හුවා දැක් වුවත්, සත්‍යවශයෙන් ම එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පැහැදිලි සහයෝගය පල කිරීමකි.

ඔහු දේශනය සඳහා තෝරා ගත් තැන අර්ථභාරී ය. ඒ, 1946 දී වින්ස්ටන් චර්චිල් සීතල යුද්ධය ප්‍රකාශයට පත් කරමින් “යකඩ තිර”දෙසුම පැවැත්වූ විශ්ව විද්‍යාලයමයි. සෑන්ඩර්ස් තම කතාවේ කිහිප විටක දී චර්චිල්ගේ දෙසුම ගැන සඳහන් කලේ, එය ප්‍රගතිශීලී සහ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරමිනි.

“ඒ දේශනයේ" දී චර්චිල් තමන්ගේ මූලෝපායික සංකල්පය මෙලෙස අර්ථ දැක්වී යයි සෑන්ඩර්ස් පැවසීය: “ලොව සෑම රටක ම සියලු ම ගැහැනුන්ගේත් පිරිමින්ගේත් සියලු ම නිවෙස්වලත් පවුල්වලත් ආරක්ෂාවත් අභිවෘද්ධියත් තරම් වෙනත් දෙයක් නොමැත”. මේ අපමන නිවෙස්වලට ආරක්ෂාව සැපයීමට නම්, ඒවා යුද්ධය සහ ඒකාධිපතිත්වය යන මහා කොල්ලකරුවන් දෙදෙනාගෙන් රැක ගත යුතු බවයි ඔහු පැවසුවේ.”

දැඩි ප්‍රතිගාමියෙක් සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආරක්ෂකයෙක්වූ චර්චිල්ගේ එම දේශනය, සීතල යුද සමයේ ප්‍රති-කොමියුනිස්ට්වාදී දෘෂ්ටිවාදය වර්ධනයෙහිලා ප්‍රමුඛ මෙහෙයක් ඉටු කලේ ය. සෝවියට් ඒකාධිපතිත්වය ව්‍යාප්ත වීම වලකන මුවාවෙන්, කොරියාවේ සහ වියට්නාමයේ ආසන්න වාර්ගික සංහාරවල සිට මැතිවරනවලින් තෝරා පත් කර ගත් ආන්ඩු සී.අයි.ඒ. මැදිහත් වීම් මගින් නෙරපා හැර, ම්ලේච්ඡ මිලිටරි ආඥාදායකත්වයන් බලයෙහි පිහිට වීමේ තන්ත්‍ර මාරු මෙහෙයුම් තුලින් (ග්වාතමාලාව, ඉරානය, කොංගෝව, චිලී දක්වා ) ගිනිය නොහැකි තරමේ අපරාධ මාලාවක එක්සත් ජනපදය නිරත විය.

එතෙර දී තන්ත්‍ර කඩාකප්පල් කිරීමේ වැඩ සහ ප්‍රචන්ඩත්වය, රට තුල දී ඇමරිකානු කම්කරු පංතියේ සමාජවාදී සහ වාමාංශික මනෝභාවයන් තලා දැමීමේත්, සමාජවාදී නැඹුරුවක් ඇති බුද්ධිමතුන්ට හිරිහැර කිරීමේත් මැකාති යුගයේ දේශපාලන මර්ධනය සහ තර්ජනය සමග අතිනත ගත්තේ ය.

මෙම ස්ථානය තෝරා ගැනීමෙනුත්, චර්චිල්ගේ හෙවනැල්ල යට සැඟවීමෙනුත් සෑන්ඩර්ස් උත්සහ කලේ, තමන් කොමියුනිස්ට් විරෝධියෙක් ය යන්න, පාලක පංතියේ ලාභ ප්‍රයෝජනය උදෙසා තහවුරු කිරීමට යි. රුසියන්-විරෝධී මැකාතියානු උද්ඝෝෂනය වත්මනෙහි දී ගෙන යන ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂික සගයන්, මහත් හඬින් අනුමත කිරීම තුල එය වඩාත් කැපී පෙනුනි. 1940, 50 හා 60 දශකයන්හි දී කලාක් මෙන් “ලිබරල්” ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිත සහ නිව් යෝක් ටයිම්ස් වැනි එහි මාධ්‍ය සහචරයන්, රුසියන් විරෝධි උන්මාදයක් නිර්මානය කිරීමට උත්සහ කරන්නේ, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයකට පසුබිම සකසා ගැනීමත්, රුසියානු පිටු බලය ලබන “ව්‍යාජ ප්‍රවෘත්ති” වලට එරෙහිව සටන් කිරීමේ වහන්තරාව යටතේ ඇමරිකාව තුල දේශපාලන මතවාද වාරනයක්, විශේෂයෙන් ම අන්තර්ජාලය සම්බන්ධයෙන් පනවා ගැනීමත්, යන අරමුනු දෙක ඉටු කර ගැනීමටයි.

ලෝක දේශපාලනය ගැන සෑන්ඩර්ස් කල සමාලෝචනයේ දී, “දේශීයවත් විදේශීයවත් ආඥාදායකත්වයේ සහ දක්ෂිනාංශික අන්තවාදයේ නැගීම”ට බලගතු ම සන්නිදර්ශනය කර ගත්තේ රුසියානු ආන්ඩුව යි. “අසමානතාව, දූෂනය, කතිපයාධිකාරිත්වය සහ ආඥාදායකත්වය” හෙලා දකිමින් සෑන්ඩර්ස් ඇඟිල්ල දිගු කලේ වොෂින්ටනයට නොව මොස්කෝවට යි. “රුසියාවේ පුටින් වැනි චෞර පාලකයන්, භේද භින්නකම් හා අපයෝජනය, තමන්ගේත් තම හිතවතුන්ගේත් ඵල ප්‍රයෝජනය උදෙසා ගසා කනවා” යි ඔහු ප්‍රකාශ කලේ ය.

එක්සත් ජනපද ජනාධිපතිවරනයට රුසියානු ආන්ඩුව මැදිහත් වූ බවට ඩිමොක්‍රටික් පක්ෂය ගෙන යන, ඇමරිකානු බුද්ධි අංශවල එහෙයියාව හැරුනු කොට කිසිදු පදනමක් නොමැති ආඛ්‍යානය සෑන්ඩර්ස් පිලි ගනී. “2016 ජනාධිපතිවරනයේ දී අපි මේ ප්‍රජාතන්ත්‍ර-විරෝධි කටයුත්ත එක්සත් ජනපදය තුල දී ම අත් දැක ගත්තා. අපේ බලගතු ම ශක්තිය වන අපේ මැතිවරනවල ඒකාග්‍රතාවත්, අපේ ම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපේ විශ්වාසයත් දුර්වල කරලා දාන්න රුසියානු ආන්ඩුව දැවැන්ත පරිශ්‍රමයක යෙදුනා”යයි ඔහු කිවේ ය.

“අපේ මැතිවරනවල ඒකාග්‍රතාව” ගැන කල ප්‍රශස්ති ගායනාවේ දී සෑන්ඩර්ස්, මැතිවරන සහ දේශපාලකයන් මිලට ගැනීමට සංගතවලට තිබූ සියලු ම අවහිරතා ඉවත් කල ශ්‍රේෂ්ඨාධිකරනයේ “සිටිසන්ස් යුනයිටඩ්” නඩු තීන්දුව ගැන තම මැතිවරන උද්ඝෝෂනයේ දී කල විවේචන අමතක කොට දමා තිබුනි. හිලරි ක්ලින්ටන්ට තමන්ගෙන් එල්ලවූ අභියෝගය දිය කර හැරීමට ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය සිදු කල කුමන්ත්‍රන හෙලිදරවු වූ විද්‍යුත් ලිපි ගැන සඳහන් කිරීම ද ඔහු නොතකා හැරියේ ය.

පසුගිය 19දා එක්සත් ජාතීන්ගේ සමුලුවේ දී ට්‍රම්ප් කල ෆැසිස්ට්වාදී කථාව ගැන සෑන්ඩර්ස් කල එක ම විවේචනය නම්, එහි දී ඔහු “අපේ මැතිවරනවල ඒකාග්‍රතාවත් අපේ ම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපේ විශ්වාසයත්” දුර්වල කර දැමූ රුසියාවට සෘජුව පහර දීමට අසමත්වීම යි. උතුරු කොරියාව “මුලුමනින් ම වනසා දැමීමට” ට්‍රම්ප් කරන මානව සංහාරක තර්ජනය ගැන ඔහු නිහඬ ය.

“අපගේ අරමුන හුදෙක් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ම නොවෙයි; රුසියාව ද ඇතුලුව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ ආධාරකරුවන් සමග සහයෝගීව වැඩ කිරීම යි. ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයේ දී අපේ අරමුන ජයග්‍රහනය යි” යි සෑන්ඩර්ස් කීවේ ය [අවධාරනය ඈඳිනි]. සෝවියට් සංගමයට අයත්ව තිබූ රටවල මොස්කෝවට හිතැති තන්ත්‍ර පෙරලා දැමීමට එක්සත් ජනපද අනුග්‍රහය ලබමින් වසර ගනනාවක් තිස්සේ ක්‍රියාත්මකවූ වර්න විප්ලව සලකා බලන කල්හි මේ ප්‍රකාශය වටහා ගත හැක්කේ, පුටින් තන්ත්‍රය පෙරලා දැමීමට කල සැඟවූ තර්ජනයක් වශයෙන් මිස අන් අයුරකින් නොවේ.

සෑන්ඩර්ස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමේ “මන්දගාමීත්වය සහ උදාසීනත්වය” විවේචනය කරන අතර ම, “සිරියාවේ බෂාර් අල් අසාද්ගේ සංහාරයන්ට ලැබෙන රුසියානු සහ ඉරාන ආධාර අනුබල” හෙලා දැක්කේ, එක්සත් ජනපදය ඇවිලවූ සිරියානු සිවිල් යුද්ධය හුවාදක්වමිනි. එමෙන්ම, යේමනය තුල සවුදි අරාබිය පිටුබලය දෙන යුද්ධයට එක්සත් ජනපදය සහාය දීම ගැන ඔහු වැලපුනේ, අපගේ සහාය පලකරන අයිතීන් හා වටිනාකම් කෙරෙහි- එක්සත් ජනපදය සිරියාව තුල පෙනීසිටින බව කියන්නේ මේවාට ය- එතරම් බරපතල සැලකිල්ලක් නැති ඒකාධිපති නායකයින් එමගින් බලාත්මක කරන්නේ යැයි“ කියමිනි. අනිවාර්යෙන්ම!

ඔබාමා පරිපාලනය ඉරානය සමග ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම වෙනුවෙන් සෑන්ඩර්ස් පෙනී සිටියේ ය. එම ගිවිසුමට ඉරානය එකඟ කරවා ගත්තේ, එරට ආර්ථිකය අඩපන කරවීම ඉලක්ක කර ගත් දන්ඩනීය සම්බාධක පැනවීම මගිනි. එවැනි ම ක්‍රියා මාර්ගයක් ඔහු උතුරු කොරියාව සම්බන්ධයෙන් ද ඉල්ලා සිටී. ට්‍රම්ප්ගේ වගකීම් විරහිතභාවය ගැන විවේචනය කලත්, අවසාන වශයෙන් ගත් කල අස්ථායී පියොංයෑං තන්ත්‍රය දන ගැස්සවීමේ හෝ පෙරලා දැමීමේ පරිපාලනයේ මූලෝපායික අරමුනුවලින් ඔහු වෙනස් නොවන බව මින් පැහැදිලි වේ. (මෙය දැනටමත් සනාථ වූ කරුනකි. අප්‍රේල් මාසයේ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී සෑන්ඩර්ස් පැවසුවේ, උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් “හරි පාරට වැටී ඇති බව” ය). සෑන්ඩර්ස් මෙම අරමුනු හුදෙක් ආර්ථික සම්බාධක පැනවීම මගින් සාක්ෂාත් කර ගැනීමට යෝජනා කරයි. එහෙත් එයමත් අවසාන වශයෙන් සමාන වන්නේ යුද්ධයටම යි.

වර්මොන්ට් සෙනෙට් සභිකයා තම දෙසුමේ යුද්ධයට පක්ෂපාතී අන්තර්ගතය “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “මානව හිමිකම්” ගැන අලංකාරෝක්තීන් අධිමාත්‍රාවකින් වසං කිරීමට තැත් කලේ ය. සී. අයි. ඒ. සංවිධානය මැදිහත් වීමෙන් ඉරානයේ දී චිලියේ දී සිදු කල කුමන්ත්‍රන සහ වියට්නාම්, ඉරාක යුද්ධ ගැන එක්තරා විවේචනයක් ඔහු ඉදිරිපත් කලේ ය. කෙසේ වෙතත්, ඒ ඒවා ඇමරිකානු පාලක ප්‍රභූවේ අභිලාෂයන් සහතික කිරීමට සිදු කල අධිරාජ්‍යවාදී අපරාධ වශයෙන් නොව, දිගු කාලීනව සලකා බැලීමේ දී වොෂින්ටනයේ ගෝලීය අභිලාෂයන් මත අහිතකර බලපෑමක් ඇති කල විදේශ ප්‍රතිපත්තිමය වැරදීම් ලෙස ය.

ඒ අනුව අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වේ යැයි “සාවද්‍ය ඩොමිනෝ සිද්ධාන්තයක්” මත පදනම් වී ගෙන වියට්නාම් යුද්ධය සිදු කෙරුනි. ඉරාක යුද්ධය ද “එවැනි ම වැරදුනු විශ්ලේෂනයක් මත පදනම් වී” ගෙන කල එකකි.

සෑන්ඩර්ස්ගේ කතාව යලිත් වතාවක් හෙලිදරවු කර තිබෙන්නේ, “සමාජවාදියෙක්” යැයි කියා ගනිමින් ඔහු මැතිවරන ව්‍යාපාරය තුල ගෙන ගිය ප්‍රෝඩාව යි. මිසුරි දේශනය තුල “සමාජවාදය” යන වචනය ගෑවිලාවත් තිබුනේ නැත. “ප්‍රජාතන්ත්‍රවාදය” යන යෙදුම, එක්සත් ජනපදය වනසා දැමීමට තීන්දු කොට තිබෙන ජාතීන් සහ තන්ත්‍රයන්ට එරෙහිව එල්ල කර ගත් අර්ථයකින් 21 වතාවක් භාවිතා විය.

සෑන්ඩර්ස් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ආධාරකරුවෙක් ය යන සත්‍යය, විදේශ ප්‍රතිපත්තිය ගැන කතාබහ හැකිතාක් දුරට මගහැර සිටීමෙන් සඟවා තැබීමට ඔහු ප්‍රයත්න දරා ඇත. ඔහු 1990 දශකයේ බෝල්කන් අර්ධද්වීපයේ නේටෝ යුද්ධයට සහය පල කලේ ය; 2001 දී මිලිටරි බලය බලාත්මක කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කලේ ය. ඇෆ්ගනිස්ථානය ආක්‍රමනයට පදනම සැපයූවේත්, විදේශයන්හි මිලිටරි ප්‍රහාර, ඩ්‍රෝන් යානා මගින් මිනී මැරීම්, වධදීම් ඇතුලු සෙසු අපරාධ සඳහා මෙන් ම රට තුල මිලිටරි කොමිසම්, අධිකරනයකට ඉදිරිපත් කිරීමෙන් තොරව අනියත කාලයකට රඳවා ගැනීම්, සමූහ ගෘහස්ත තොරතුරු රැස් කිරීම් ඇතුලු සෙසු පොලිස් රාජ්‍ය පියවරයන්ට නෛතික පසුබිම සකසා දුන්නේත් එම යෝජනාව යි.

සෑන්ඩර්ස් පරිපාලනයක් ත්‍රස්තවාදයට මුහුන දීමේ දී විශේෂ කාර්ය බලකා සහ ඩ්‍රෝන් ප්‍රහාර යොදා ගනු ඇතිදැයි 2015 දී විමසන ලද අවස්ථාවක දී සෑන්ඩර්ස් පිලිවදන් දුන්නේ, “ඒවා සියල්ලත් තවත් බොහෝ දේත්” තමන් යොදා ගනු ඇති බවට යි.

සෑන්ඩර්ස්ගේ දෙසුම “වාම” ඩිමොක්‍රටික් පක්ෂයට අනුකූල මාධ්‍යයන්හි නොමඳ පැසැසුමට ලක් විය. “බර්නි සෑන්ඩර්ස් සිය දේශපාලන දිවියේ අනගිත ම දෙසුමක් පවත්වයි” යනු ජෝන් නිකොල්ස් නේෂන් වෙත ලියූ ලිපියක ශීර්ෂ පාඨය විය. එම ලිපිය දෙසුම හඳුන්වා දී තිබුනේ, “අව්‍යාජ ලෙස ම ජාත්‍යන්තරවාදී” සහ “කාලීනවූත් අගනා වූත් ට්‍රම්ප්ට එරෙහි ප්‍රහාරයක්” වශයෙනි.

ඩිමොක්‍රටික් පක්ෂය වටේ කැරකෙමින්, නොකඩවා ම සෑන්ඩර්ස් අව්‍යාජ සමාජවාදියෙක් ලෙස හුවා දක්වන ව්‍යාජ වම්මුන්ගේ වෙබ් අඩවි (සෝෂලිස්ට් වර්කර්, ජැකොබින්, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්) මෙම දෙසුම ගැන කිසිවක් මෙතෙක් පල කොට නොමැත. ප්‍රෝඩාකාරී “මානව හිමිකම්” වහන්තරාවට මුවා වී ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහයෝගය පල කරන ඔවුන් දක්වන නිහඬතාව ගිනිය හැක්කේ දෙසුම අනුමත කිරීමක් ලෙස පමනි.

2020 ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමේ විය හැකියාව ද ඇතුලු ඇමරිකානු ධනපති දේශපාලනයේ ඉහල මට්ටමකට පැන ගැනීමට සූදානම් වීම සඳහා අවස්ථාවක් ලෙස සෑන්ඩර්ස් සහ ඔහුගේ ආධාරකරුවන් මිසුරි දෙසුම හඳුනා ගත් බවට සැකයක් නොමැත. ඩිමොක්‍රටික් පක්ෂය සහ ද්වි පක්ෂ ක්‍රමය කෙරෙහි කම්කරු පංතිය සහ තරුනයන්ගේ පුලුල් කොටස් අතර වර්ධනය වන පිලිකුලත් ඔවුන් අතරින් ඒවා ප්‍රතික්ෂේපවී යන කොන්දේසිත් යටතේ සෑන්ඩර්ස් යනු පාලක පංතිය සතු තුරුම්පුවකි.

 

පහත සඳහන් ලිපි ද කියවන්න:

බර්නි සෑන්ඩර්ස් මැතිවරන ව්‍යාපාරයේ දේශපාලන භූමිකාව
[2016 පෙබරවාරි 11]

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂක බර්නි සෑන්ඩර්ස් ගැන මිත්‍යාවන් වපුරයි
[2016 පෙබරවාරි 20]

Share this article: