ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
ඩිරෙක්ෂන්ස්, ඩිසපියරන්ස්, එ ඩ‍්‍රවුනින් මෑන්: කටුක කොන්දේසි සම්බන්ධයෙන් යථාර්ථවාදී ය

Toronto International Film Festival 2017: Directions, Disappearance, A Drowning Man: Realistic about harsh conditions

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2017 සැප්තැම්බර් 26

මෙය මෑතක (සැප්තැම්බර් 7-17) පැවති ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල වෙනුවෙන් කැප කල ලිපි මාලාවකින් එකකි. සමහර චිත‍්‍රපට ඔබගේ අවධානය මුලුමනින් ම ඩැහැ ගනියි. ස්ටීවන් කොමැන්න්ඩරෙව් සමග කල සාකච්ඡාව මීට පසුව පලවේ.

ස්ටීවන් කොමැන්ඩරෙව්ගේ ඩිරෙක්ෂන්ස් චිත‍්‍රපටයේ ආරම්භක දර්ශනය දිග හැරෙන්නේ වර්තමාන බල්ගේරියාවේ සොෆියා ප‍්‍රදේශයෙහි ය. සුලු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන මිෂෝ තමන් විවෘත කිරීමට අදහස් කර ගෙන සිටින වැඩ පොලට අත්‍යවශ්‍ය කරන යන්ත‍්‍රවල භුක්තිය තමන්ට අහිමි වීම වැලැක්වීමට උත්සාහ කරයි. ඔහු නය මුදලක් ලබා ගැනීම සඳහා පොපොව් නම් බැංකුකරුවා මුන ගැසීමට දිනයක් හා වේලාවක් නියම කර ගෙන ඇත.

මිෂෝ එදා වේල පිරිමසා ගැනීම සඳහා කුලී රථයක් පදවයි. ඔහු සිය යොවුන් දියනිය පාසලට ඇරලූ පසුව වෙනත් යෞවනියක් ටැක්සිය තුලට පැන ගනියි. “මේක මං වැඩ කරන වෙලාව නෙවෙයි,” ඔහු පැහැදිලි කරයි. ඔහු විනාඩි කිහිපයකින් පොපොව් මුන ගැසිය යුතු ය. අතිමහත් ආතතියක් ඔහුගේ මුහුනේ සටහන්ව ඇත. භුක්තිය අහිමි වීම සහ ඇති විය හැකි ආර්ථික විනාශය ලඟ ලඟ ම පෙනෙන්නට වෙයි. යෞවනිය ටැක්සියෙන් බහින වගක් නැත. “විනාඩි පහ යි යන්නේ. මගේ ආත්තම්මා ලෙඩ වෙලා,” යැයි හෝ ඊට සමාන දෙයක් ඈ පවසයි.

මිෂෝ ඇයගෙන් ගැලවී බැංකුකරුවා හමු වීම සඳහා යාමට මහත් වෙහෙසක් දරයි. එහෙත් ඇයගෙන් ගැලවිය හැකි එක ම ක‍්‍රමය ඇය සිය ගමනාන්තය වන හෝටලයට ගෙන ගොස් ඇරලවීම පමනක් බව පෙනී යයි. හිටි හැටියේ ඈ පසුපස අසුනට වී සිය ඇඳුම් මාරු කරයි. ඇය ගනිකාවක ලෙස රැකියාව කරන බව පැහැදිලි ය. වහා ම ආපසු හැරී ඇය පාසල ලඟට ගෙන ගොස් ඇරලන බව ඔහු දැඩිව කියා සිටියි. යෞවනිය වියරු වැටෙයි, ඔහුට බෙරිහන් දෙයි ” “අද කාලෙ හැම දේ ම සල්ලිවලට!” ඔහුට නින්දා කරයි. මිෂෝ ඇය රථයෙන් එලියට ඇද දැමීමට සමත් වෙයි. අනතුරුව ඔහු පිස්සෙකු මෙන් බැංකුකරුවා මුන ගැසීම සඳහා අවන් හල බලා රිය පදවයි.

Directions(ඩිරෙක්ෂන්ස් )

පොපොව් නම් “බැංකුකරුවා” මාෆියාකාර ගති ඇත්තෙකි; අමිත‍්‍රශීලී ය, ක්ෂමා විරහිත ය; ඔහුගේ හඬත් එලඹුමත් පරපීඩාකාමයෙන් ප‍්‍රමුදිත ය. අනාගතයේ වැඩ පොලක හිමිකරු වන්නට සිතා සිටින කුලී රථ රියැදුරා බැංකුව කරන අකටයුතුකම් ගැන ආන්ඩුවේ ආයතනයකට පැමිනිලි කිරීමේ වරද කර ඇත. දැන් මුදල් සැපයීමේ කොන්දේසි තවත් දරුනු වනු ඇත. ගෙවීම නොහොත් අල්ලස තවත් වැඩි වනු ඇත. ඒ විතරක් ද, “උපකොන්තරාත්කම අපේ සමාගමට ලැබෙන්න ඕන,” “නීති හදන්නෙ අපි. අපි උඹ කුඩු පට්ටං කරල දානවා,” පොපොව් දුකින් කැලඹී සිටින මිනිසාට පවසයි. පොපොව් රියැදුරාගේ දියනියට පවා තර්ජනය කරයි. මිෂෝ ආපසු තම කුලී රථය වෙත යයි; රිය මැදිරියේ සඟවා තිබූ තුවක්කුවක් එලියට ගනියි; සාපරාධී බැංකුකරුවාට මහ දවල් කඩවීදියේ දී වෙඩි තබයි. අනතුරුව ඔහු තුවක්කුව තමන් දෙසට එල්ල කර ගනියි.

මේ සියල්ල සිදු වන්නේ ඩිරෙක්ෂන්ස් චිත‍්‍රපටයේ පලමු විනාඩි කිහිපය තුල ය. එක් තනි සිද්ධි මාලාවක් තුල දී සමාජ යථාර්ථය පිලිබඳ සංකීර්න වූත් විවේචනාත්මක වූත් කෘතියක් හැඩ ගැසී එයි. මෑතක පැවති ටොරොන්ටෝ චිත‍්‍රපට උලෙලෙහි තිරගත වූ චිත‍්‍රපටවලින් අතිමහත් බහුතරය එකට ගත් කල්හි ද ඊට වඩා මෙම තනි දර්ශනය සත්‍යවාදී බව කිව යුතු ය.

කෘතියේ ඉතිරි කොටස එදා ? ම වෙනත් රියැදුරන් ගනනාවකගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි. දුරකථනයෙන් සල්ලාප ගුවන් විදුලි මධ්‍යස්ථානයක් අමතන්නවුන් ඝාතනය ගැන පල කරන අදහස් ඔවුන්ගේ ගුවන් විදුලි යන්ත‍්‍ර හරහා නොකඩවා අපට ඇසේ. බොහෝ දෙනෙක් නො වලහා සිය සංවේගය පල කරති. කිහිප දෙනෙක් සංක‍්‍රමනිකයන්ට බැන වදිති. ගුවන් විදුලි මධ්‍යස්ථානයේ දී සම්මුඛ සාකච්ඡාවට ලක් කෙරෙන මහාචාර්යවරයෙක් “බරපතල අයුක්තිය, වියරුව සහ අසරනකම” ගැන සඳහන් කරයි.

මුල දී කෝමා තත්ත්වයක පසු වූ මිෂෝ සිටින්නේ බරපතල තත්ත්වයක බව අපි දනිමු. රියැදුරියක් පටක බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සඳහා හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු රෝහලකට රැගෙන යයි. ශල්‍ය වෛද්‍යවරයා යන්නේ හැම්බර්ග් නුවරට ය. “බල්ගේරියාව කියන්නෙ මලකුනක්,” ඔහු රියැදුරියට පවසයි. ඔහු හදවත බද්ධ කරන්නේ රැකියා විරහිත බක්කරේ කෙනෙකුට ය.

කතා වස්තුවලින් එකක් චෙකොව් රචනා කල “මිසරි” (1886) නම් කෙටි කතාවෙන් ගත්තකි. ඉන් කියැවෙන්නේ එතරම් සංවේගයක් පල නොකරන නමුත් තම රථයේ ගමන් කරන සෑම මගියෙකුට ම තම පුතු මිය ගිය බව පවසන ටැක්සි රියැදුරෙකු ගැන ය (චෙකොව් තමන් කැමති ම ලේඛකයන්ගෙන් කෙනෙකු බව අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී කොමැන්ඩරෙව් අප සමග පැවසුවේ ය). මෙහි දී වැඩිහිටි රියැදුරෙක් තම පුතු මිය ගිය බව සිය මගීන්ට පැහැදිලි කරයි. “ජීවිතේ හැටි ඔහොම තමයි,” එකෙක් අනුකම්පා විරහිත ලෙස සිය අදහස පල කරයි. රාත‍්‍රි බීමකට යන තරුනයන් තිදෙනෙකුට ඔහු නො තකා සිටිය නොහැකි විය. අවසානයේ වැඩිහිටි මිනිසා දඩාවතේ යන බල්ලෙකුට සිය කතන්දරය පවසයි.

සමහර විට ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම්වල අර්ධ හාස්‍ය ජනක පැත්තක් ඇත. ගඟට පැනීමට සැරසී පාලම් ඇන්දක් මතට නැග සිටින මැදි වියේ මිනිසෙකු දැක එක් රියැදුරෙක් සිය කුලී රථය පසෙක නවතයි. ඒ මිනිසා ඔහුට මෙසේ පවසයි: ලඟට එන්න එපා “මං පනිනවා.” “හේතුව?” “ඒකෙන් තමුන්ට වැඩක් නෑ.”

රියැදුරා පාලම් ඇන්ද මත සිටින මිනිසා ගමනක් යාම සඳහා තම කුලී රථය ඇනවුම් කර ඇති සෙයක් මවා පායි. ”මීටරේ දුවනවා. ඉක්මනට මගේ හයර් එක ගෙවන්න.” දෙදෙනා මේ ඔස්සේ වාදයක පැටලෙති. අවසානයේ මිනිසා තමන් ගැන කීමට පටන් ගනියි. ඔහුට භාෂා හතක් කතා කල හැකි ය, ඔහු සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇත. ඔහු උසස් පාඨශාලාවක සේවය කරන ඉතා අඩු වැටුපක් ලබන ගුරුවරයෙකි, ඔහුගේ බිරිඳට රැකියාවක් නැත, ඔහුට ඇත්තේ එක් ජැකට්ටුවකි. ඔහුගේ ශිෂ්‍යයෝ ඔහු පරිහාසයට ලක් කරති, අවමන් කරන වීඩියෝ රූපාවලි අන්තර්ජාලයට තැපැල් කරති. අවසානයේ රියැදුරා ගඟට පැනීමට නො දී ඔහු බේරා ගනියි, මේ ඔහු මෙම වසරේ දී සිය දිවි නසා ගැනීමට නො දී බේරා ගත් “පස් වැන්නා” ය.

තවත් රියැදුරෙක් ප‍්‍රථම දර්ශනයේ දී මිෂෝට ලියකියවිලි භාර දෙනු අප දුටු නීතිඥයා තම රථයට නංවා ගනියි. මෙම රියැදුරා දූෂිත ය. මගියාට “බාල සපත්තු ජෝඩුවක්” සහ “ආමනි ඇඳුම් කට්ටලයක්” අලෙවි කිරීමට උත්සාහ කරන ඔහු ටැක්සි ගාස්තුව අය කරන විට තම මගියාට වංචා කිරීමට තැත් කරයි. දෙදෙනා සටනකට එලඹෙති, ඛේදජනක ප‍්‍රතිවිපාක අත් වේ.

ගුවන් තොටුපලේ දී බල්ගේරියාවේ වාසය කරන කර්කශ, නිර්දය ගති ඇති විදේශිකයෙක් හතර ගාතෙන් රියැදුරියගේ කුලී රථයට ගොඩ වෙයි. ඔහු බල්ගේරියානුවන්ට අවලාද නගයි. “මිනිස්සු දුප්පත්,” රියැදුරිය අතරතුරේ පවසයි. නැහැ, උන් “හරි ම කම්මැලිකාරයෝ,” ධනවත් ව්‍යාපාරිකයෙකු යැයි සිතිය හැකි විදේශිකයා ඇයට බාධා කරයි. මෙම තත්ත්වය උදා වුනේ හතලිස් පස් වසරක් පුරා පැවති “කොමියුනිස්ට්වාදය” නිසා බව ඔහු කියා සිටියි. හිටපු කොමියුනිස්ට් පක්ෂ නිලධාරියෙකුගේ පුතෙකු වන ඔහු එක් කලෙක වරප‍්‍රසාදිත ස්ටැලින්වාදී ප‍්‍රභූවේ සාමාජිකයෙකුව සිටි අතර දැන් දරුනු කොමියුනිස්ට් විරෝධියෙකි. එලඹෙන මොහොතේ දී ඔහු මවිතයට පත් වනු ඇත. ශිෂ්‍යාවක වන රියැදුරිය ඔහු නිසා පීඩාවට පත්ව සිටියි, ඈ පලිය ගනියි.

අවසානයේ, අමතර ආදායමක් උපයා ගැනීම සඳහා හොර රහසේ රාත‍්‍රි රැකියාවක ද නිරත වන පූජකයෙක් පටක බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහා යමින් සිටින රැකියා විරහිත බක්කරේ සිය රථයට නංවා ගනියි. බයිබලේ හිටියේ “ඔටුවෝ විතර යි” ටැක්සි තිබුනේ නෑ යි බක්කරේ උපහාසාත්මක ලෙස සඳහන් කල පසු රියැදුරු පූජකයා “ කර කියා ගත හැකි දෙයක් නැතිව විය හැකි ය ” “ඔහේ දෙවියන් වහන්සෙ විශ්වාස කරනව ද?” යි ඔහුගෙන් අසයි. මෙය ඔහුගේ මගියා කෝපයෙන් කෑ මොර දීමට හේතු වේ. “මගේ බේකරිය බංකොලොත් වෙන කොට දෙවියන් වහන්සෙ කොහේ ද හිටියෙ?” පිලිකා ඖෂධ ඉතා මිල අධික නිසා ඔහුගේ බිරිඳ මිය යන විට දෙවියන් වහන්සෙ කොහේ ද හිටියෙ? ඔහුට දැන ගන්නට අවශ්‍ය ය. “ජනගහනයෙන් තුනෙන් පංගුවකුත් එක්ක හුඟක් කාලෙකට ඉස්සර දෙවියන් වහන්සෙ මේ රට අතෑරලා ගියා.” ඒ කෙසේ වුව ද හිටපු බක්කරේ “හොඳ මිනිහෙකුගේ” හදවත බද්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ඔහුට ලැබෙන්නේ කාගේ හදවත දැයි අපට නිසැකව සිතා ගත හැකි ය.

මා මෙම විස්තර සපයන්නේ බොහෝ පාඨකයන්ට කොමැන්ඩරෙව්ගේ චිත‍්‍රපටය අඩු ගනනේ නුදුරු අනාගතයේ දී වත් නැරඹීමට අවස්ථාවක් නො ලැබිය හැකි බැවිනි. වර්තමාන සිනමාකරනයේ යථාර්ථය එය යි. මහජනයා දකින්නේ හා අසන්නේ කුමක් දැයි බොහෝ දුරට තීරනය කරනු ලබන්නේ දැවැන්ත සමායතන විසිනි.

ඩිරෙක්ෂන්ස් වනාහි ප‍්‍රබල වූත් කුපිත වූත් කලාත්මක වූත් කෘතියකි. 1989-91 පටන්, ජීවිතයේ ඒ හෝ මේ පැතිකඩ කෙරෙහි ආලෝකය විහිදුවන සිත් ගන්නාසුලූ චිත‍්‍රපට නැගෙනහිර යුරෝපයෙන් ඉදිරිපත් වී ඇත. ඉන් සමහරක් ඉතා බලගතු විය. මෙම අර්ථයෙන් ගත් කල්හි කොමැන්ඩරෙව්ගේ චිත‍්‍රපටය අසාමාන්‍ය වේ. එය නැගෙනහිර යුරෝපා යථාර්ථයේ වෙස් මුහුන ඉරා දැමීමට හිතාමතා ම උත්සාහ කරයි; බල්ගේරියාව සහ පෙර පැවති ස්ටාලින්වාදී රටවල් “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සහ සමෘද්ධිමත් භාවය කරා “පරිවර්තනය” වෙමින් පවතින බවට කරනු ලබන ප‍්‍රකාශවල ඇත්ත නැත්ත හිතාමතා ම හෙලිදරව් කරයි. මාෆියා ධනපතියන් අතලොස්සකට සහ ඔවුන්ගේ සහචරයන්ට විනා සැබවින් ම තත්ත්වය ව්‍යසනකාරී ය.

Directions(ඩිරෙක්ෂන්ස් )

බල්ගේරියාව යනු යුරෝපය තුල පවත්නා දුප්පත් ම රටවලින් එකකි. නිල සංඛ්‍යා ලේඛන අනුව වර්තමානයේ දී එහි ජනගහනයෙන් හතරෙන් පංගුවක් ජීවත් වන්නේ මාසයකට යුරෝ 157ක් (එ.ජ.ඩො. 186ක් )පයමින් දරිද්‍රතා රේඛාවට පහලිනි.

බල්ගේරියාවෙහි නීත්‍යනුකූල අවම වැටුප මාසයකට ලෝවා 470ක් (එ.ජ.ඩො. 284කපමන වේ. 2017 ජුලි 1 දා සිට අවම මාසික විශ‍්‍රාම වැටුප දල වශයෙන් ලෝවා 157ක් (එ.ජ.ඩො. 95ක්) පමන විය. ජාතික සංඛ්‍යා ලේඛන ආයතනයට (NSI)අනුව 2016 දී විශ‍්‍රාමික බල්ගේරියානුවන්ගෙන් සියයට 46ක් දරිද්‍රතාවෙහි ජීවත් වූහ. එම වසරේ දී ම “ජනගහනයෙන් සියයට 31.9ක් ද්‍රව්‍යමය සම්පත් බෙහෙවින් අහිමි තත්ත්වයක ජීවත් වූහ” යි එම ආයතනය ම වාර්තා කරයි. මේ අතරවාරයේ බල්ගේරියාවේ රෝමාවරුන්ගෙන් සියයට 77ක් පමන දරිද්‍රතාවෙහි ජීවත් වෙති.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, සැප්තැම්බර් 7 දා ශීර්ෂ පාඨයක බීබීසීය සඳහන් කල පරිදි, බල්ගේරියාවේ ජනගහනය “ප‍්‍රපාතයකට ඇද වැටෙමින් සිටියි”. “1989 දී බල්ගේරියාවෙහි මිලියන නවයකට ආසන්න ජනතාවක් ජීවත් වූහ. දැන් සිටින්නේ මිලියන හතකට මඳක් වැඩි සංඛ්‍යාවකි. ප‍්‍රක්ෂේපනවලින් පෙන්නුම් කෙරෙන්නේ 2050 වන විට මෙම සංඛ්‍යාව මිලියන 5.5ට වඩා අඩු වන බව යි. සියවස අවසන් වන විට දැන් සිටින සංඛ්‍යාවෙන් අඩකට ආසන්න විය හැකි ය.” මේ සම්බන්ධයෙන් ගත් කල රුමේනියාව, යුක්රේනය, මෝල්දෝවාව හා බොස්නියාව තුල සහ කලින් ස්ටාලින්වාදීන්ගේ පාලනය යටතේ පැවති අනෙක් රටවල දක්නට ලැබෙන්නේ ද මෙම පොදු ප‍්‍රවනතාව ම ය.

එපමනක් නො ව, සංවාදයේ දී සහ ටොරොන්ටෝවේ දී ප‍්‍රසිද්ධියේ ඩිරෙක්ෂන්ස් තිරගත කිරීමෙන් පසුව පැවති ප‍්‍රශ්න හා පිලිතුරු සැසියේ දී, සිය චිත‍්‍රපටය තුල විස්තර වන කොන්දේසි අදාල වෙනස්කම් සහිතව පෘථිවිය මත සෑම තැනක ම පවතින බව පෙන්වා දීමට කොමැන්ඩරෙව් විශාල උත්සාහයක් දැරුවේ ය. ජනතාව රැවටී සිටින අතර ඔවුන් සතු දේ පැහැර ගන්නා සාපරාධී ප‍්‍රභූවක් සමාජයේ ආධිපත්‍යය දැරීම, කැකෑරෙන ජනතා කෝපය, විනාශකාරී සමාජීය, සංස්කෘතික හා මානසික ප‍්‍රතිවිපාක ... මේවා විශ්වීය ප‍්‍රපංච ය. මතුපිටට යටින්, හෝ හැම විට ම මතුපිටට යටින් ම නො ව, ගොඩ නැගෙමින් පවත්නා සමාජ පිපිරීම ද විශ්වීය ය.

මෙම චිත‍්‍රපටය දෝෂවලින් තොර නො වේ. සමහර සිද්ධි මාලාවන් අනෙක්වාට වඩා ප‍්‍රබල ය. එතරම් ම එකිනෙක සම්පාත වන බැවින් පලි ගැනීමට උත්සාහ කරන රියැදුරිය පිලිබඳ සිද්ධි මාලාව තරමක වෙහෙසක් ඇති කරයි. කතන්දරය තුල එන චෙකොව්ගෙන් ආභාසය ලද කොටස මුසු කිරීම තුල දී ව්‍යාකුල වේ. එහෙත් අව්‍යාජ සහ බලගතු මොහොතවල් ඉතා ම අව්‍යාජ ද බලගතු ද වේ.

ඉරානයෙන්...

සමාජ පරාසයේ පුලුල් බව අතින් ගත් කල අලි අස්ගාරිගේ ඩිසපියරන්ස් එම ගනයට ම අයත් නොවන නමුත් එය හෘදයසාක්ෂියට අනුකූල වූ ද සසල කරවනසුලූ වූ ද පරිශ‍්‍රමයකි. සාරා සහ හමීඞ් උසස් පාසල් සිසුවෝ ය, යෞවන පෙම් යුවලකි, පලමු වතාවට ලිංගිකව එක් වී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස යෞවනිය අනපේක්ෂිත ප‍්‍රතිවිපාකවලට මුහුන පා සිටියි. ඇයට වෛද්‍ය සහාය අවශ්‍ය ය.

එහෙත් ඔවුහු අවිවාහකයෝ ය. එහෙයින් ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාව නීති විරෝධී ය. මෙය රාත‍්‍රි කාලය යි. ටෙහෙරානය සීතල ය. සාරා පලමු රෝහලට තනිව ම ගොස් තමන් දූෂනය කරන ලද බව කියා සිටියි. හමීඩ් ඇය ගැන තැවෙන ඇයගේ “සොහොයුරෙකු” ලෙස පෙනී සිටියි. වෛද්‍යවරයා තරමක් සැක මුසු වේ. යුවල පලා යති.

දෙවන රෝහලේ දී ඔවුහු තමන් විවාහක බව කියා සිටිති. සාරා පරීක්ෂා කරනු ලැබේ. ඇයට සුලු සැත්කමක් කල යුතු ය. හැම දේ ම හොඳින් සිදු වී ගෙන යන බවක් පෙනේ. එහෙත් රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියාට ඔවුන්ගේ අනන්‍යතා පත‍්‍ර බැලීමට වුවමනා ය. ඔවුන් ලඟ විවාහ සහතිකයක් තිබිය යුතු ය. නැත් නම් “මොකුත් කරන්න බෑ” ය. නැත හොත් ඇයගේ පියා විසින් ඇය ඇතුලත් කල යුතු ය. ඇයට ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. පෞද්ගලික රෝහලකට යන ලෙස ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ. “සමහර විට එයාලට පුලුවන් වේවි උදව් කරන්න. ... එයාලා ලොකු ගානක් අය කරාවි ...[ඒත්] එයාලා ප‍්‍රශ්න ගොඩක් අහන්නෙ නෑ.” ඒ කෙසේ වුව ද, සාරාගේ ශරීරයට ඖෂධයක් එන්නත් කර තිබිය දී ම, අවසානයේ ඔවුන්ට පෞද්ගලික රෝහලෙන් ද පලා යාමට සිදු වේ.

මෙම වේදනාකර, නින්දා සහගත ක‍්‍රියාවලිය රාත‍්‍රිය පුරා ම පාහේ සිදු වී ගෙන යයි. අවසානයේ දී සාරා බොහෝ මහන්සි වී සිය මිතුරෙකු සිටින තැන සොයා ගනී. වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඔහු උදව් කිරීමට උත්සාහ කරයි. ඉමහත් වෙහෙසටත් අපේක්ෂා භංගත්වයටත් පත් සාරා සහ හමීඞ් එක් අවස්ථාවක කෝපයෙන් වාද කර ගනිති. ඔහු යන්න යාවි යැයි කියාත් ආපසු නො ඒවි යැයි කියාත් ඈ හැම විට ම බියෙන් පසු වෙයි. මධ්‍යම රාත‍්‍රියේ ඔසු සලක් විවෘතව ඇත ... පසුව වෛද්‍යවරයෙක් අදාල ක‍්‍රියා පටිපාටිය අනුගමනය කරයි, එහෙත් යෞවනයන් දෙදෙනාගේ බැංකු පොත්වල තියෙන ඔක්කොම සල්ලිවලටත් වැඩි මුදලකට ය. ඇය ටියුෂන් ගාස්තු සඳහා වෙන් කර තබා ගත් මුදල් ද ඔහු ඉතිරි කර ගත් මුදල් ද වියදම් වෙයි. සැත්කම කරනු ලැබේ. මෝටර් රථයට ගෑස් අවශ්‍ය ය. ඔහු ඒ සඳහා පිටත්ව යයි. ඔහු ආපසු පැමිනෙන විට ඈ එහි නැත.

Disappearance( ඩිසපියරන්ස්)

එය මුලු මහත් ලෝක ධාතුව ම කම්පා නො කරයි. එහි දී සලකා බැලෙන කාරනාවලට මේ මොහොතේ පදනම් වන්නේ ඉස්ලාමීය නීතිය අරබයා බොහෝ දුරට මධ්‍යම පන්තිකයන් විසින් නැගෙන මැසිවිලි බව කිව හැකි ය. මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ, යෞවන ඉරානයන් වැඩි වැඩියෙන් අවිවාහකව එකට ජීවත් වීමට, විවාහය සඳහා අධික වියදමක් දැරීමට සිදු වීම සහ දික්කසාද වීමේ අනුපාතිකය ඉහල මට්ටමක පැවතීම ද හේතු වී ඇති බව යි. ඩොයිෂ් වෙලී පුවත්පතේ පල වූ ලිපියක් ඉරානය තුල “නිහඬ ජන විකාශ සහ සමාජ විප්ලවයක්” සිදු වෙමින් පවත්නා බව සඳහන් කරයි. එම ලිපිය මෙසේ ද පවසයි: “... සිදුව තිබෙන වෙනස, විශේෂයෙන් ම ජනගහන වර්ධනය පහත වැටීම, ජනයා විවාහ වන සාමාන්‍ය වයස් මට්ටම පහත වැටීම සහ කුඩා පවුල් වර්ධනය වීම ඇසුරින් මැනවින් පෙන්වා දිය හැකි ය. මින් පෙර කිසි කලෙක මෙතරම් අවිවාහක ජනතාවක් සිට නැත. දික්කසාද වීමේ අනුපාතිකය ද ඉහල යමින් පවතී.” ලිපියේ දී සම්මුඛ සාකච්ඡාවට ලක් කෙරෙන එක් යෞවනයෙකු පරමාදර්ශයක් වශයෙන් “වඩාත් ලිබරල් රටවල්” ගැන සඳහන් කිරීම ද ස්වාභාවික ය.

එහෙත් පවත්නා තත්ත්වය අමානුෂික ය, ක‍්‍රෑර ය; එය හෙලිදරව් කරන්නට අස්ගාරිට සෑම අයිතියක් ම ඇත.

පලස්තීන සිනමාකරු මාදි ෆ්ලීෆෙල් එ වර්ල්ඩ් නොට් අවර්ස් (2012) නමින් අපූර්ව චිත‍්‍රපටයක් නිර්මානය කලේ ය. ඊට බොහෝ දුරට පදනම් වූයේ ඔහුගේ පියා විසින් ද දශක කිහිපයක් තිස්සේ අධ්‍යක්ෂවරයා විසින් ම ද වෘත්තීය උපකරනවලින් තොරව රූපගත කරන ලද චිත‍්‍රපට ය. මෙම කෘතිය දකුනු ලෙබනනයේ පිහිටි ඒන් එල් හෙල්-වි සරනාගත කඳවුර තුල ජීවත් වන්නවුන්ගේ ඉතිහාසය සහ ඉරනම කෙරෙහි අවධානය යොමු කරයි.

ෆ්ලීෆෙල්ගේ අ ඩ‍්‍රවුනින් මෑන් හුදෙක් විනාඩි 16ක් තුල දිග හැරෙන්නකි. එහෙත් තැති ගන්වනසුලු සරනාගත අර්බුදය ගැන ටොරොන්ටෝ උලෙලේ දී වඩාත් ම සෘජුව සාකච්ඡා කලේ එම නිර්මානය යි. එය ඇරඹෙන්නේ සාගරය මැද තිබෙන වස්තුවකිනි. සමහර විට එය පහුරක් විය හැකි ය. අනතුරුව මුහුද අසල සිටින මිනිසෙක් යටි ගිරියෙන් කෑ ගසයි. යෞවනයෙක් නින්දෙන් අවදිව, අදාල ලියකියවිලි නැතිව ඇතන්ස් නුවර නො නැසී ජීවත් වීමට ප‍්‍රයත්න දැරීමක් බව පැහැදිලිව පෙනෙන දෛනික චාරිත‍්‍රයකට මුල පුරයි. ඔහු සිය ගරා වැටුනු තට්ටු නිවාසයෙහි තමන් සමග හවුලේ ජීවත් වන මිනිසුන් දෙදෙනාගෙන් යුරෝ පහක් නයට ඉල්ලා ගැනීමට අසාර්ථක කන්නලව්වක යෙදෙයි. දෙදෙනා අනක් ගුනක් නැතිව ඔහු එලවා ගනිති. යාප්පුවෙන් සිගරැට්ටුටක් ඉල්ලා ගැනීම වුව දුෂ්කර කටයුත්තකි.

A Drowning Man( අ ඩ‍්‍රවුනින් මෑන්)

වැදගැම්මකට නැති සටකපට මිනිහෙක් නගරයේ කඩමන්ඩියේ පිහිටි සපත්තු කඩයකින් තමන්ට මෘදු අඩි ඇති රතු පාට සපත්තු ජෝඩුවක් සොරකම් කරවා ගැනීම සඳහා ඔහු යොදා ගනියි. යෞවනයා ඒ කටයුත්ත භාර ගනියි. එහෙත් ඒවායේ ප‍්‍රමානය නො ගැලපෙයි. ඔහු දැරූ අන්තරායදායක පරිශ‍්‍රමය වෙනුවෙන් ඔහුට කිසිවක් නො ලැබේ. ඔහු ආහාරයක් සොයා ගැනීමට බොහෝ සේ වෙහෙසෙයි. ලන්දෙන් අල්ලා ගත් කැස්බෑවෙකු වුව කාරියක් නැත. ඔහුට මිනිසෙකු සහ බල්ලෙකු මුන ගැසේ. තමන් මාස අටකට කලින් පලස්තීනයේ සිට පැමිනි වග ඔහු පැහැදිලි කරයි. රැකියාවක් නැත. මිනිසා සමග ලිංගික ක‍්‍රියාකාරකමක නිරත වීම වෙනුවෙන් ඔහුට මුදල් ගෙවනු ලැබේ. පහුවදා ඔහු තව මත් සිය සපත්තු පෙට්ටිය වැරෙන් අල්ලා ගෙන කඳු ගැටයක සිට ඇතන්ස් නුවර දෙසත් මුහුද දෙසත් විමසිල්ලෙන් බලා සිටියි. එය අව්‍යාජ, බැරෑරුම් චිත‍්‍රපටයකි. එය වෘත්තාන්ත චිත‍්‍රපටයක් බවට පත් කල යුතු ය.

අධ්‍යක්ෂ හුසෙයින් තබක්, ද ලෙජන්ඩ් ඔෆ් ද අග්ලි කිං නමැති සිය චිත‍්‍රපටයේ දී රැඩිකල්වාදී වූත් දුෂ්කරතාවලින් පීඩිත වූත් තුර්කි-කුර්දි සිනමාකරු යිල්මාස් ගුනීගේ ජීවිතය සලකා බලයි (ගුනීට “අග්ලි කිං” යන නම පටබැඳුනේ තර්ජනාත්මක වූත් බොහෝ විට ප‍්‍රචන්ඩ වූත් නලුවෙකු ලෙස 1950 ගනන්වල දී ඔහු තුර්කි චිත‍්‍රපටවල රඟපෑ චරිත නිසා ය).

ගුනී මනස්කාන්ත චරිතයකි. ඔහු සිය ජීවිතය පුරා ම තුර්කි බලධාරීන් හා මිලිටරිය සමග ගැටලු ඇති කර ගත්තේ ය. 1970 ගනන්වල දී ඔහු “විප්ලවවාදී” චිත‍්‍රපට නිර්මානය කිරීමට ප‍්‍රාර්ථනා කලේ මාක්ස්වාදී “විලාස පෑවේ” ය. තුර්කියේ දුප්පතුන් හා පීඩිත සුලුතරයන් කෙරෙහි ඔහු තුල වූ හෘදයංගම භාවය හා බලවත් ඇල්ම ගැන කිසි සැකයක් නැත. Hopeහෝප් -1970), Elegy(එලජි -1972), Friend(ෆ්‍රෙන්ඩ් -1974) හාAnxiety (ඇන්සයිටි -1974) වැනි චිත‍්‍රපට නිසා ඔහු තුර්කි සිනමාව හා දේශපාලනය තුල කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්ව තිබේ. කටුක සමාජ කොන්දේසි ගෙන හැර පෑ නිසා අවසානයේ දී ඔහුගේ සියලු ම චිත‍්‍රපට තහනම් කරන ලදි.

අවන් හලක ඇති වූ කලහයක දී විනිසුරුවරයෙකු ඝාතනය කරන ලදැයි චෝදනා කොට Anxiety (ඇන්සයිටි) රූපගත කරන අතරතුර දී ඔහු අත් අඩංගුවට ගනු ලැබින (තමන් නිර්දෝෂී බව ඔහු හැම විට ම කියා සිටියේ ය). දහ නව වසරක සිර දඬුවමක් නියම කරන ලදුව, හොර රහසේ උපදෙස් යවමින් හා යකඩ කූරු අතර හිඳ රූපාවලිය නරඹමින් ගුනී සිය පසු කාලීන චිත‍්‍රපට ගනනාවක් සිර ගෙදර සිට අධ්‍යක්ෂනය කිරීම විස්මයට කරුනකි. ඔහුගේ වඩාත් ම ප‍්‍රකට කෘති අතරින් එකක් වන Yol(යොල් -1981 ) නිර්මානය කෙරුනේ ද එකල ය. අවසානයේ 1981 දී සිර ගෙදරින් පැන ගිය ඔහු බටහිර යුරෝපයට සේන්දු විය. අවුරුදු කිහිපයකට පසු ඔහු පිලිකාවකින් මිය ගියේ ය.

ගුනීගේ කලාමය පෞරුෂය පියෙර්-පවුලෝ පැසොලිනිගේ කලාමය පෞරුෂයට සමාන කර ඇත. තබක්ගේ චිත‍්‍රපටය කුර්දි ප‍්‍රශ්නය ද ඇතුලුව ගුනීගේ වෘත්තීය ජීවිතය විසින් මතු කෙරුනු දේශපාලනික ගැටලූුසවිස්තරාත්මක විමසා බැලීමකට ලක් නොකරන නමුත් සංකීර්න වූත් කැරලිකාරී වූත් මිනිසෙකු විසින් කරන ලද කලාමය නිෂ්පාදනය ගැන කනිෂ්ඨ පරම්පරාවට කියා දීමට ඔහුට නිසැකව ම අවශ්‍ය ය. එය ඔහුගේ ගෞරවයට හේතු වේ.

ෆ‍්‍රැන්කන්ස්ටයින්: ඕර්, ද මොඩර්න් ප්‍රොමිතියස් (1818) කතුවරිය වන මේරි ෂෙලී (1797-1851) මනස්කාන්ත කවයන්හි සැරි සැරූ මනස්කාන්ත තැනැත්තියකි. ඇය විලියම් ගොඞ්වින් (කැලෙබ් විලියම්ස්, 1794 කර්තෘ) සහ මේරි වොල්ස්ටෝන්ක‍්‍රාෆ්ට් ( එ වින්ඩිකේෂන් ඔෆ් ද රයිට්ස් ඔෆ් විමෙන්, 1792) යන රැඩිකල්වාදීන්ගේ දියනිය විය. මේරි පසුව කිවිවර පර්සි බයිෂි ෂෙලී සමග විවාහ වූ අතර ෂෙලී හැරුනු විට කිවිවර ලෝඩ් බයිරන්ගේ ඇසුරෙහි ද කල් ගත කලා ය. ෆ‍්‍රැන්කන්ස්ටයින් නමැති සිය ශ්‍රේෂ්ඨ ගොතික් නවකතාව රචනා කිරීම සඳහා ඇයට අනුප‍්‍රානයක් වූයේ එම ඇසුර යි.

Mary Shelley (මේරි ෂෙලී )

සෞදි අරාබි අධ්‍යක්ෂිකා හයිෆා අල් මන්සූර් Mary Shelley (මේරි ෂෙලී ) නමින් චරිතාපදාන චිත‍්‍රපටයක් අධ්‍යක්ෂනය කර ඇත. එකරුනෙහි පමනක් වුව ද යම් සමාජ විද්‍යාත්මක වැදගත්කමක් පවතී. මේරි ලෙස එලී ෆෑනිං ද පර්සි ෂෙලී ලෙස ඩල්ගස් බූත් ද රඟපාති. ගොඩ්වින්ගේ චරිතය අතිදක්ෂ නලුවෙකු වන ස්ටීවන් ඩිලන් විසින් නිරූපිත ය. චිත‍්‍රපටය ප‍්‍රන්ස විප්ලවයෙන්, නැපෝලියානු යුද්ධවලින් හා වියානා සම්මේලනයෙන් සමන්විත යුගයට, මේරි සහ පර්සි ෂෙලීගේ සුධීමත් භාවයට ද ඔවුන් අත්විඳි භාවමය කම්පනයට ද තුඩු දුන් යුගයට, සාධාරනයක් ඉෂ්ට කරන්නේ සුලු වශයෙනි. සමහර අවස්ථාවල දී කෘතිය කර්කශ ස්ත‍්‍රීවාදී විවේචනයක් බවට පත් වීමේ අන්තරාය ද මතු වේ. එහෙත් අප සියලු දෙනාගේ ම වාසනාවට අවසන් මොහොතේ දී එය ඉන් ගැලවී ගැනීමට සමත් වේ.

මන්සූර්ගේ මේරි ෂෙලී අඩු ගනනේ විශිෂ්ට පුද්ගලයන් හා විශිෂ්ට යුගයක් ගැන උනන්දුව දැල්වීම නිසා වත් ගෞරවයට පාත‍්‍ර විය යුතු ය.

Share this article: