වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයාට ඇප ලබා දීම ප‍්‍රයෝගයෙන් මග හරියි

නවීන් දේවගේ විසිනි, 2017 ඔක්තෝබර් 08

පසුගිය බදාදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහුට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඔක්තෝබර් 11 දක්වා තව දුරටත් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදි. ජයලත් මේ වනවිට දින 50කට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිරකර ඇත.

මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරනයේ එම තීන්දුව ප‍්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රයන් ජයලත් විසින් කොලඹ මහාධිකරනයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් ඔක්තෝබර් 02 වැනි දා විභාගයට ගත් නමුත් පසුව එය ඔක්තෝබර් 09 දක්වා කල් දමා තිබේ. ඊට හේතුව ලෙස දැක්වුනේ, වග උත්තරකරුවන් වූ මරදාන පොලිස් ස්ථානාධිපති, කොලඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතිපති, නොතීසි ලැබී නොමැති නිසා අධිකරනයෙහි පෙනී නොසිටිමයි.

මේ අතර, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බල කරමින් 2015 වසරේ අගෝස්තු මස 5 වැනි දින උද්ඝෝෂනයක් පවත්වා කොටුව ප‍්‍රධාන මාර්ග අවහිර කර මහජන පීඩාවක් ඇති කිරීම සහ බලහත්කාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ජයලත් ඇතුලූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 11දෙනකුට එරෙහිව කොටුව පොලිසිය පවරා ඇති නඩුවක් ඔක්තෝබර් 6 කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනයේ දී කැඳවන ලදී. මේ නඩුව සම්බන්ධයෙන් අධිකරනයේ පෙනී නොසිටි වෛද්‍ය සිසුන් තිදෙනකුට පසුගිය අඟහරුවාදා කොලඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරනය වරෙන්තු නිකුත් කලේය.

මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරනයේ විභාග වෙන පොදු දේපල පනත යටතේ ඉදිරිපත්කර ඇති පැමිනිල්ල සම්බන්ධයෙන් ජයලත්ට එල්ල වී ඇති චෝදනාව ජූනි 21 සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි රුපියල් මිලියන 1.5ක දේපලවලට හානි කිරීමයි.

ජූලි 20දා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ දී “සයිටම් විරෝධී ජන පවුර සංවිධානය” පැවැත් වූ සාකච්ඡාවකට සහභාගී වී පිටතට එමින් සිටි ජයලත්ව බලාත්කාරයෙන් ග‍්‍රහනයට ගෙන වෑන් රියකට නංවා ගැනීමට දැරූ ප‍්‍රයත්නයක් අවට රැස්ව සිටි පිරිසගේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ විය. තමන් සම්බන්ධයෙන් තම පියාට තර්ජනාත්මක ඇමතුම් ලැබෙන බවත් මරදාන පොලිසිය යැයි හඳුන්වා ගත් සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් තමන් සොයා රාති‍්‍රයේ සිය වඳුරඹ නිවසට පැමින ඇති බවත් ජයලත් මීට පෙර මාධ්‍යයට පවසා තිබුනි.

පසුව, අගෝස්තු 18 නීතිඥයෙක් මාර්ගයෙන් ඔහු අධිකරනයට භාර විය. එදින ම මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරනය ජයලත් අගෝස්තු 23 දක්වා බන්ධනාගාරගත කලේය. එතැන් පටන් කිහිප විටක දී අදාල නඩු කැඳවුනු අතර ඒ සෑම අවස්ථාවක දී ම ඔහුට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප විය.

තම ඉල්ලීම වෙනුවෙන් සිසුන් කරන උද්ඝෝෂන මැඩලීමට ඔවුන්ට එරෙහිව අධිකරන නියෝග ලබා ගැනීම හා පොලිස් කැරලි මර්දන හමුදා යොදවා මුර්ග ලෙස පහර දීම එක දිගට සිදුවෙයි.

පොලීසිය උසිගන්වා ශිෂ්‍ය නායකයන් හඹායමින් ආන්ඩුව ගෙනයන මෙම මර්දනයට කම්කරු පන්තිය විරුද්ධ විය යුතුය. රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පුද්ගලිකරනයට එරෙහිව සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ විරෝධය තලා දැමීමට මෙම මර්දනය දියත්කර ඇත. එය හුදෙක් සිසුන්ට එරෙහි ප‍්‍රහාරයක් පමනක් නොව කම්කරු පංතියට බරපතල අනතුරු ඇඟවීමකි. ආන්ඩුවට එරෙහිව අප‍්‍රසාදයත් පංති අරගලයත් වැඩෙමින් පවතින තත්වය තුල ඇතිවීමට නියමිත සමාජ පිපිරීම් මැඩලීමේ පෙර සුදානමක ආන්ඩුව යෙදී සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දැමීමට ආන්ඩුව එලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මඩිමින් පියවර ගනිද්දී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය යොදා ගනිමින් සිටින්නේ ආන්ඩුවට බලපෑම් දමා නම්මාගෙන විසඳුම් සෙවීමේ නිස්සාර වැඩපිලිවෙල තවත් උත්සන්න කිරීමටයි.

Share this article: