උතුරු කොරියාවට එරෙහි යුද්ධයට සූදානම් වන ලෙස ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මිලිටරියට පවසයි

US defence secretary calls on military to be ready for war against North Korea

පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 10

උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාවේ දැඩි සූදානම සලකුනු කරමින් ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, “අපගේ ජනාධිපතිට අවශ්‍යනම් යොදාගැනීමට හැකිවන පරිදි අපගේ මිලිටරි විකල්ප සූදානමින් තබාගැනීම” හමුදාව විසින් කල යුතු යයි 9දා පැවසීය.

සූදානම ඇතිකර ගැනීම ගැන ඇමරිකානු හමුදාවේ ප‍්‍රදර්ශන සංගමයට මැටිස් කල කථාව කෙලින්ම ප‍්‍රතිරාවය නංවන්නේ, පසුගිය 5දා ජනාධිපති ට‍්‍රම්ප්, මැටිස් ද ඇතුලු සිය ඉහල මිලිටරි හා බුද්ධි අංශ ප‍්‍රධානීන්ගේ රැස්වීමකදී දුන් උපදෙස්ය. “එහිදී ට‍්‍රම්ප් පවසන ලද්දේ, ‘තව ද මම බලාපොරොත්තු වන්නේ ඔබ, අවශ්‍ය’ විට වඩා වේගවත් පරාසයක් සහිත පුලුල් මට්ටමක මිලිටරි විකල්ප මා හට සපයනු ඇතැයි” කියාය.

මැටිස් 9දා අවධාරනය කලේ, “එක්සත් ජනපද හමුදාව සූදානමින් සිටිය යුතු” බවය. සිය මිලිටරි ප්‍රේක්ෂකත්වයෙන් ඔහු කෙලින්ම ඉල්ලා සිටියේ, 1950-53 කාලයේ ඇමරිකාවේ මූලිකත්වයෙන් ගෙන ගිය ලේවැකි කොරියානු යුද්ධයේ ඉතිහාසය ඇතුලත් ටී.ආර්. ෆෙරෙන්බාක්ගේ “මේ වර්ගයේ යුද්ධය” කියවන ලෙසය. එය නුඳුරු අනාගතයේදීම තවත් ව්‍යසනකාරී ගැටුමකට හමුදාව මුහුනදිය හැකි බව පෙන්නුම් කිරීමක් විය.

ඇඟ සීතල කරන ඇඟවුමක් සහිතව, සැලසුම් කෙරෙමින් තිබෙන්නේ කුමක් ද හා හමුදාවෙන් අවශ්‍ය කෙරෙන්නේ කුමක් දැයි පෙන්වීමට මැටිස් ෆෙරෙන්බාක්ගෙන් උපුටා දැක්වීය: “ඔබ අතොරක් නැතිව ජාතියකට ඉහලින් පියාසර කරනවා විය හැකිය, ඔබ බෝම්බ හෙලනවා විය හැකිය, එය අනු බවට පත්කරමින් ද සුන් කරමින් ද එය ජීවයෙන් තොර දෙයක් බවට හරවනු ඇත. එහෙත් ඔබ එය ආරක්ෂා කිරීමට කැමැත්තේ නම්.... ඔබ එය කල යුත්තේ මිහිපිටය, රෝමානු හමුදාවන් කලාක් මෙනි, එනම් ඔබගේ තරුනයින් මඩ වගුරට දැමීම මගිනි.”

එම මිලිටරි රැස්වීමේදීම මාධ්‍යයට කථා කරමින් ඇමරිකානු හමුදා මාන්ඩලික ප‍්‍රධානීන්ගේ සභාපති වන ජෙනරාල් මාක් මිලි පැවසුවේ, මිලිටරිය ක්‍රියාකරන්නට සූදානම්ය, එහෙත් කාලය කෙටිය. “ඒ සඳහා අනියමිත කාලයක් නැත. තීරනයක් ගැනීමට සිදුව ඇත, ඒ ගැන කිසිදු සැකයක් ඇත්තේ නැත.”

මැටිස් මෙන්ම මිලී ද අනතුරු ඇඟවූයේ, උතුරු කොරියාව සමග යුද්ධයකදී මුහුන දීමට සිදුවන්නේ කුමකට ද යන්න ගැනය. “මෙහිදී පහසු, හොඳ, අවදානමින් තොර විකල්ප ඇත්තේ නැත. මෙය අසාමාන්‍ය පරිද්දෙන් දුෂ්කරය, අසාමාන්‍ය පරිදි අනතුරුදායකය. කිසිවෙකුත් එය අව තක්සේරු නොකල යුතුය.”

සිය ප‍්‍රකාශ තුලදී මැටිස්, “උතුරු කොරියාව මේ මාවතෙන් ඉවතට හැරවීමේ (යුද්ධය කරා වන) උත්සාහයක් රාජ්‍යතාන්ත්‍රික මූලිකත්වයෙන්, ආර්ථික වශයෙන් සම්බාධක සහිතව” ක්‍රියාත්මක කිරීමට ධවල මන්ඳිරය කටයුතු කරන බව පැවසීය.

කෙසේ වුව ද ජනාධිපති ට‍්‍රම්ප්, උතුරු කොරියාව සමග කුමන හෝ සාකච්ඡාවක් ඇරඹීමේ උත්සාහය යලි යලිත් හා විවෘතව බැහැර කලේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, පියොංයෑනය සමග සාකච්ඡා කිරීමේ හැකියාව ගැන සොයමින් “තම කාලය කා දමන” බව පසුගිය සති අන්තයේදී ප‍්‍රකාශ කරමිනි.

ට‍්‍රම්ප් 9දා පුනරුච්ඡාරනය කලේ, උතුරු කොරියාව සමග “කල හැක්කේ එක් දෙයක් පමනක්” බවට 6දා ඔහු පල කල ට්වීටර් සටහනය. කෙටියෙන් කිවහොත් මුලුමහත් විනාශයක් ගෙන දෙන යුද්ධයකි. 9දා ඔහු ට්වීටර් පනිවිඩයක සඳහන් කලේ, “අපේ රට වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමග අසාර්ථක ගනුදෙනුවක යෙදී ඇත. ඩොලර් බිලියන ගනන් මුදල් දී ලබාගත් දෙයක් නැත. පිලිවෙත ක්‍රියාත්මක කල නොහැකි ද?”

ට‍්‍රම්ප්ගේ ගොරහැඩි, මුග්ධ හා නපුරු තර්ජන, ඇමරිකානු හා ජාත්‍යන්තර කීකරු මාධ්‍යයේ කිසිදු සැලකිය යුතු විරුද්ධත්වයකට භාජනය නොවීය. ඒවා යලි වතාවක් පියොංයෑන් පාලන තන්ත‍්‍රය නිරතුරුවම යක්ෂාවේෂ ගැන්වීම තුලින්, යුද්ධයේ හස්තයක් ලෙස සේවය කරයි. ලෝකයට සැබෑ තර්ජනය එල්ල වන්නේ, උතුරු කොරියාවෙන් හා එහි සීමිත න්‍යෂ්ටික අවි වලින් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයෙනි. එය සියලු න්‍යෂ්ටික බලවතුන් ඇද ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අද්දරට පැමින සිටියි.

පසුගිය වසර 25ක කාලය මුලුල්ලේ ඇමරිකානු ආන්ඩුව, පියොංයෑනය කෙරේ නොසැඟවුනු සතුරු පිලිවෙතක් අනුගමනය කර ඇති අතර කිසිවිටෙකත් යහපත් චේතනාවකින් සාකච්ඡා කර නැත. ජනාධිපති ක්ලින්ටන් 1994දී, උතුරු කොරියාවට එරෙහිව පූර්න පරිමානයේ යුද්ධයක් දියත් කිරීමේ අද්දරට ගමන් කලේය. ඔහු අවසන් මොහොතේ අඩිය පස්සට ගත්තේ, තම ජෙනරාල්වරුන්, යුද්ධයේ පලමු මාස තුන ඇතුලත දස දහස් ගනන් ඇමරිකානු හමුදාව ද මිලියන බාගයක් තරම් දකුනු කොරියානු හමුදාවන් ද විනාශයට මුහුන දෙනු ඇති බව පැහැදිලි කිරීමෙන් පසුව පමනි.

ක්ලින්ටන් ආන්ඩුව, 1994දී උතුරු කොරියාව සමග කඩිමුඩියේ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු නොකලේය. එය බලයට එමින් සිටි බුෂ් පාලනය විසින් ඉක්මනින්ම මකා දැමීය. පියොංයෑනය සමග 2007 වසරේ බුෂ් විසින්ම න්‍යෂ්ටික හරන ගිවිසුමක් ඇතිකර ගැනීමට සාකච්ඡා පැවැත්වූවේ, ඇමරිකානු මිලිටරිය, ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුල යුද්ධයන්හි කොටුවීමේ තතු හමුවේ පමනි. අලුත් හා බලහත්කාරී පරීක්ෂන යාන්ත‍්‍රනයක් සඳහා ඒක පාර්ශවිකව බල කරමින් ඔහු ගිවිසුම මුලුමනින්ම කඩාකප්පල් කලේය. ඔබාමා කිසිවිටෙකත් යලි සාකච්ඡා ආරම්භ කලේ නැත.

උතුරු කොරියාව සමග ගනුදෙනු කිරීමේදී “එක දෙයක් පමනක් ක්‍රියාත්මක වනු ඇත” යන ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ, පියොංයෑනය වොෂින්ටනයේ ඉල්ලීම් වලට සම්පූර්නයෙන්ම දන ගැසීමට නොඅඩු කිසිවකින් ඇමරිකාවේ යුද ව්‍යායාමය නතර නොවන බවයි.

නොගිනිය හැකි ප‍්‍රතිවිපාක සහිත, ඊසානදිග ආසියාවේ නොවැලැක්විය හැකි යුද්ධය, ධවල මන්ඳිරය ද ඇතුලු වොෂින්ටනය තුල මෙන්ම ලොව පුරා අගනුවර වල ද ආතතීන් තියුනු කරමින් තිබේ.

පුලුල් ගැටුමක් හා යුද විරෝධී ව්‍යාපාර පැනනැගීමේ අන්තරාය ගැන සාවධානව සිටින මැටිස් හා ටිලර්සන් යන දෙදෙනාම, රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් අවසන් වන තෙක් ගෙන යාමේ අවශ්‍යතාව අවධාරනය කරන අතර ඊනියා “මිලිටරි විකල්පයට” ද පිටුබලය දෙති.

දිගු කලක් නිල සංස්ථාපිතයට අයත්ව සිටින අනෙකුත් පුද්ගලයින් ද එසේම කනස්සල්ල පල කරයි. ඒ කිසිවෙක් උතුරු කොරියාවට එරෙහි යුද්ධයකට මූලධර්මාත්මකව විරුද්ධ නොවෙති.

සීඑන්එන්හි පෙනී සිටිමින් 9දා, ජාතික ඔත්තු සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර්, ට‍්‍රම්ප් තම ප‍්‍රකාශවල සැර “බාලකරගත” යුතු බව කියා සිටියේය. උතුරු කොරියාව විසින් ඒවා “යුද ප‍්‍රකාශ කිරීම් ලෙස නොවේනම් යුද්ධයේ තර්ජන බවට ලෙහෙසියෙන්ම හරවාගත හැකිය.” ට‍්‍රම්ප්ගේ “යුදවාදී කයිවාරු” මගින් සිදු වන්නේ, පියොංයෑනය ප‍්‍රතිචාර දැක්වීමේ අන්තරාය වැඩිකිරීම පමනකැයි ඔහු අනතුරු ඇඟවීය.

සිඩ්නි නුවර 9දා පැවති ජාත්‍යන්තර නීතිඥ සංගමයේ සමුලුවක කථා කරමින් හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස්, උතුරු කොරියාවට ඇමරිකාව පූර්ව භංග ප‍්‍රහාර එල්ල කිරීම “විශාල වැරැද්දක්” වනු ඇතැයි ද එය ව්‍යසනකාරී යුද්ධයක් ඇවිලී යාමේ අන්තරාය ගැබ්කර ගන්නා බව ද පැවසීය. “ට්වීටර් සටහන් ප‍්‍රකෝපකාරී හා කුමන සිදුවීමක් හෝ වඩාත් පුලුල් ගැටුමකට තුඩු දෙන තත්වය නිර්මානය කරනු ඇත්තේ කුමන අවස්ථාවක ද?” ඔහු විමසීය.

ට‍්‍රම්ප්ගේ යුදවාදී ට්වීටර් සටහන් පලවෙද්දී රුසියාව හා චීනය සියලු පාර්ශවයන් සංසුන් විය යුතු යයි ඉල්ලා සිටියහ. ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ, “තැන්පත්ව හා තත්වය තවත් නරක අතට හැරීමට පමනක් තුඩුදෙන පියවර ගැනීමෙන් වලකින” මෙන්ය. චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකා හුවා චුන්යිං තත්වය විස්තර කලේ, අතිශයින්ම සංකීර්න හා බැරෑරුම් ලෙසය. ඒ දෙරටම උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට විරුද්ධත්වය පල කරන අතර කිසිවෙකුටත් සිය දොරකඩ ප‍්‍රධාන පෙලේ යුද්ධයක් අවශ්‍ය නොවේ.

ඒ අතර ඇමරිකාව හා එහි සහචරයෝ ගැටුමකට සූදානම් වෙමින් සිටති. දකුනු කොරියාවේ හැංකියොරේ පසුගිය සතියේ වාර්තා කලේ, යූඑස්එස් රොනල්ඩ් රේගන් නෞකාවේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රහාරක යානා ප‍්‍රවාහන නාවික බල ඇනිය “අති තීව‍්‍ර ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා” ඔක්තෝබර් මැද දකුනු කොරියානු යුද නැව් සමග සම්බන්ධ වන බවය. ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මේ මාසය අවසානයේ සතියක මිලිටරි අභ්‍යාස පැවැත්වීම පිනිස දකුනු කොරියාව වෙත නාවික ෆ්‍රිගේට් යාත‍්‍රා දෙකක් යවන බව නිවේදනය කලේය.

බ්‍රිතාන්‍යය ඩේලි මේල් පුවත්පත වාර්තා කලේ, අග්නිදිග ආසියාවේ ඇමරිකානු යුද්ධයට සම්බන්ධ වීම පිනිස නාවික හමුදාවේ එච්එම්එස් ක්වීන් එලිසබෙත් යන නව ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව හා අනෙකුත් යුද නැව් පිටත් කර හරින යුද සැලසුම් බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් සකස්කරනු ලබන බවය.

Share this article: