ආන්ඩුව සමග සම්මුතියකින් වෘත්තීය සමිති ලංවිම වර්ජනය පාවාදෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 සැප්තැම්බර් 23

සැප්තැම්බර් 13 සිට දින හතක් පැවති ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) සේවක වර්ජනය, ආන්ඩුව සමග ඇතිකර ගත් සම්මුතියකට යටත් කොට වෘත්තීය සමිති විසින් 20 වෙනිදා නතර කරනු ලැබීය. වර්ජනය කැඳවුම් කලේ ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (ඒවෘසස) විසිනි.

මෙම සමිති සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස), පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශී‍්‍රලනිප* හා එක්සත් ජාතික පක්ෂයට (එජාප* සම්බන්ධ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේස) සහ ජාතික සේවක සංගමය (ජාසේස) ඇතුලු සමිති 30 ගනනක එකතුවකි.

ඉල්ලීම් ලැබෙන තුරු වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙන යන බවට වහසි බස් දෙඩු ඒවෘසස නායකයන් වර්ජනය නතර කලේ ආන්ඩුවේ මර්දනය ඉදිරියේ දීන ලෙස දන ගසා යටත් වී ගෙනය.

වර්ජනයට 22, 000 ක් පමන කම්කරුවෝ සම්බන්ධ වූහ. වර්ජනය බිඳීම සඳහා ලංවිම සියලු ම සේවකයන් ගේ නිවාඩු අවලංගු කිරීම, අනියම්, ආදේශක, පරිවාස, පුහුනු වන හා අභ්‍යාස ලාබී සේවකයන් සේවයෙන් නෙරපීමේ ලියුම් නිකුත් කිරීම, සේවා ස්ථානවලට පොලීසිය යෙදවීම සහ අවශ්‍ය මොහොතක වර්ජකයන් ට විරුද්ධව මෙහය වීම සඳහා හමුදාව සීරුවෙන් තැබීම ඇතුලු මර්දන පියවරයන් ආන්ඩුව ගෙන තිබුනි.

සමිති විසින් වර්ජනය නතර කලේ ආන්ඩුවේ මෙම මර්දනය හා බිය ගැන්වීම් නොතකා අරගලය ගෙන යාමට කම්කරුවන් තුල පැවති අධිෂ්ඨානය තිබිය දීය.

ජීවන තත්වයන් ට, සේවා කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර කෙරෙහි කුපිත වී සිටින කම්කරු පන්තියේ සෙසු කොටස් අතර ලංවිම කම්කරුවන්ගේ අරගලයෙන් දිරිගැන්වෙනු ඇතැයි ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති ද තැති ගෙන සිටියහ.

ඒ නිසා අත්‍යාවශ්‍ය නීති කඩන බවට හා අමාත්‍යංශය වටලන බවට ඒවෘසස කැඳවුම්කරු හා ලංවිසේස ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ගේ වහසිබස් දෙඩවීමට පිටුපසින් ආන්ඩුව සහ ඒවෘසස නායකයන් අතර සම්මුතිය සූදානම් කෙරුනේ කම්කරුවන්ගේ අරගලයට ඇබ ගැසීමේ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිවය. ඒවෘසස වෙනුවෙන් ලංවිසේස, ශ්‍රීලංනිසේස හා ජාසේස ගිවිසුමට අත්සන් තබා ඇත.

ආන්ඩුව සමග ඇතිකරගත් සම්මුතියෙන් පසු ඒවෘසස කැඳවුම්කරු හා ලංවිසේස ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් “දෙපැත්තටම අවාසියක් නොවන ලෙස” වර්ජනය අවසන් කල බව මාධ්‍යයට ප‍්‍රකාශ කලේ ය.

ජයලාල් ජවිපෙ වෘත්තීය සමිති අංශයේ ප‍්‍රධාන නායකයෙකි. ඊනියා උද්ඝෝෂන මගින් ජවිපෙ උත්සහ කරන්නේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වර්ධනය වන කෝපය එහි ධනේශ්වර ගැති දේශපාලන උවමනාවන් සඳහා ගසා කෑමට ය.

වර්ජනය තුල වෘත්තීය සමිති සන්ධානයේ යටත්වීම වසන් කරමින් “අපි මස් රාත්තල ම ඉල්ලන්නේ නැහැ. පාරිභෝගිකයන් ගැනත් හිතල ඉල්ලීම් සම්බන්ධයෙන් අපි නම්‍යශීලී වුන” බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේය.

ලංවිම සේවකයන් වර්ජනයට එලඹුනේ: 2015 වැටුප් විෂමතාවය විසඳීම, මහජන මුදල් කොල්ලකන දූෂිතයන්ට දඬුවම්දීම, ජාතික වෘත්තීය පහුනු අධිකාරියේ පුහුනුවන්නන් ලෙස අනියම් කම්කරුවන් යොදා ගෙන කෙරෙන වහල් සේවය අවසන් කිරීම, වෘත්තීය සමිති මර්දනය හා පලි ගැනීම නතර කිරීම, අර්ථසාධක අරමුදල් වංචාව විසඳීම සහ තාක්ෂන සේවකයන්ට අවදානම් දීමනාවක් ගෙවීම යන ඉල්ලීම් මුල් කරගෙනය.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ (ලංවිපොසේස) මුහුනු පොතේ පලකර ඇති ආන්ඩුව සහ සමිති අතර අත්සන් කල ගිවිසුමට අනුව සිදු වී ඇත්තේ මේ වසරේ ඉංජිනේරු සහ විධායක නොවන ශ්‍රේනිවලට දුන් සියයට 6 දීමනාව මූූලික වැටුපට ගැලපෙන ලෙස සියයට 10 දක්වා සියයට 4 න් වැඩි වීම පමනි. අනියම් සේවකයන් ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීම හෝ අනෙකුත් ඉල්ලීම් ගැන මොනම සඳහනක්වත් ගිවිසුමේ නැත.

වැඩි වන දීමනාව මෙම වසරේ ජනවාරියේ සිට බල පවත්වන අතර හිඟ වැටුප් අදියර දෙකකින් ගෙවීමට සහ “විද්වතුන් හා විදුලි බලමංඩලයේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ කමිටුවක් මගින් මාස තුනක කාලයක් තුල සියලුම සේවාවන් ට ගැලෙපෙන පරිදි වැටුප් පරිමානයන් තීරනය” කිරීමේ ආන්ඩුවේ කොන්දේසිවලට සමිති එකඟ වී ඇත.

වර්ජනය කල දින ගනන සේවකයන්ගේ නිවාඩු වලින් හිලව් කිරීමට ද සමිති එකඟ වී ඇත.

ආන්ඩුව සහ සමිති අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවය ගැන බරපතල අවිශ්වාසයක් මෙන් ම විරුද්ධත්වයක් ලංවිම සේවකයන් අතර මතු වී ඇත.

හලාවත පාරිභෝගික සේවා අංශයේ කම්කරුවෙක් මෙලෙස පැවසුවේ ය. “වර්ජනයේ ප‍්‍රථිපල අපි හිතපු තරම් සාර්ථක නැහැ. සියයට 10 ක දීමනාවක් තමයි ඉල්ලලා තියෙන්නේ. වැඩි දෙනා කලකිරීමෙන් ඉන්නේ. දවස් අටක් වර්ජනය කරලා. නිවාඩු ටික ඉවර කර ගත්තා විතරයි. වෘත්තීය සමිතිවලට මීට වඩා දෙයක් කම්කරුවන්ට දෙන්න බැහැ. කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් කිරීමට මේ සමිති විරුද්ධයි කියන එකට මම එකගයි. කම්කරු පන්තියේ ඉල්ලීම් ජය ගැනීමට කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍යයි කියල ඔබ කියන එක හරි.”

මඩකලපුව විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයෙකු වන නලීන් ප‍්‍රකාශ කලේ “තාවකාලිකව අපි වර්ජනය නැවැත්තුවා. ජනවාරි මාසයේ වැටුපට මූලික වැටුපෙන් 10% ලබා දෙනව කියනවා. අපි ඉල්ලුවේ සියයට 14 ක්. සියයට 10 යි වැඩිවෙන්නේ. රුපියල් 3000 ක විතර දීමනාවක්. මූලික වැටුප වැඩි වෙන්නෙත් නැහැ. ඕටී පැය 20ක් කැපුවොත් වැඩිවෙන එක ආපහු අඩුවෙනවා. ඒ නිසා මේක බොරු ප්‍රෝඩාවක්. පොරොන්දු වුන දීමනාව වුනත් ලැබෙයිද කියල කිසිම විශ්වාසයක් නැහැ.”

ලංවිපොසේස මුහුනු පොතට අදහස් පලකර ඇති බොහෝ ලංවිම කම්කරුවෝ ද වර්ජනය නතර කිරීම ගැන වෘත්තීය සමිති කෙරෙහි විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත. අසන්ත ජීවන්ත අබේගොඩ මෙසේ ලියා ඇත. “අපි නම් බලාපොරොත්තු වුනේ ඕක නෙමෙයි. යුනියන් කිව්ව විදිහට වැඬේ කලේ නැහැ. අන්තිමට ලජ්ජා වුනේ අපි.”

“වැඩක් නැහැ. අපි ලොකු දෙයක් කරන්න එලියට ආවේ අන්තිමට සිද්ධ වුනේ එකම දේ” ශානක ලියනගේ ලියා ඇත.

කම්කරුවන්ගේ විරුද්ධත්වය මතු වන තතු තුල අරගලය නතර කලේ “තාවකාලිකව” බවත් පොරොන්දු ඉටු නොකලොත් යලිත් අරගලය පටන් ගන්නා බවත් කියමින් ඔවුන් අස්වැසීමට සමිති නායකයෝ තැත් කරති. එහෙත් එය දැනුවත් බොරුවකි.

“මෙම ඉල්ලීම් පදනම් කරගෙන නැවත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට නොපෙලඹීම” ට ද ආන්ඩුව සහ සමිති අතර ඇතිකර ගත් ගිවිසුම “පූර්න සහ අවසන් සමථයක් ලෙස” පිලිගැනීමට ද වෘත්තීය සමිති එකඟ වී ඇත.

සමිති මුල සිට ම වැඩ කලේ කට්ටිවාදී ඉල්ලීම් වලට සහ “දුෂන විරෝධී” ඝෝෂාවකට යටකර ඔවුන්ගේ වැටුප්, රැුකියා සහ සේවාකොන්දේසි වලට පහර එල්ල කෙරෙන සැබෑ ආර්ථික දේශපාලන මූලයන් වසන් කරමින් ලංවිම සේවයකන්ගේ අරගලය පීලිපැන්නවීමට ය.

දූෂන නැතිකර මූල්‍ය කලමනාකරනයක් මගින් ලංවිම හා එහි සේවකයන්ගේ අයිතීන් රැකගත හැකිය යන්න ද සමිති නායකයන් විසින් සේවකයන් අතර තොරොම්බල් කරන මිථ්‍යාවකි.

ලංවිම සේවකයන්ගේ රැකියා, වැටුප් හා සේවාකොන්දේසි වලට පහර එල්ල වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යූහගත කිරීම ඇතුලු ආර්ථික ප‍්‍රතිසංස්කරනවල කොටසක් ලෙසය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව නතර කල තැනින් පටන් ගෙන වර්තමාන ආන්ඩුව ඒ වැඩපිලිවෙල පෙරට ගෙන යයි.

ආන්ඩුව මුහුන දී සිටින මූල්‍ය සහ නය අර්බුදය විසඳා ගැනීම පිනිස මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරන කඩිනම් කලයුතු බව මෙම වසරේ මාර්තු මාසයේ ලංකාවට පැමිනි ජාමුඅ නියෝජිත කන්ඩායම අවධාරනය කලේ ය. ඒ සඳහා අවශ්‍ය මූලික ප‍්‍රමිතීන් සපුරා නොතිබීම ගැන මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කල ජාමුඅ ලංවිම, තෙල් සංස්ථාව, වරාය, ජලසම්පාදන මන්ඩලය හා ශ්‍රී ලංකා ගුවන් තොටුපොල සහ ගුවන් සේවා අධිකාරිය ඇතුලු විශාල රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහගත කිරීම කඩිනම් කල යුතු බව නිර්දේශ කලේ ය.

ඒ අනුව මෙම ආයතන වල ප‍්‍රධානින් සහ එම ආයතන පාලනය කෙරෙන අමාත්‍යංශ මුදල් අමාත්‍යාංශයත් සමග මාර්තු 15 වෙනිදා එම වැඩ පිලිවෙල අඩංගුකර ගත් “ආයාතනික අභිප‍්‍රායන්ගේ ප‍්‍රකාශනයකට” අත්සන් කලේ ය. මෙම ආයතනවල “ඵලදායිතාවය වැඩිදියුනු කිරීම”, සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉහල දැමීම”, ආයතන ව්‍යූහාත්මක වෙනස්කම් හා මෙහෙයුම් කාර්යක්ෂමතා වැඩි දියුනු කිරීම” ඊට ඇතුලත් වේ: එනම් වැඩ පරිමාවන් ඉහල දැමීම, රැකියා කප්පාදුව හා වැටුප් ඉල්ලීම් සීමා කිරීම හා සේවා ගාස්තු ඉහල දැමීමක් ද එමගින් ක්‍රියාවට දැමේ.

අතිකාල පැය ගනන හා වෙනත් දීමනාවන් කප්පාදුව, අඩු වැටුපට කොන්ත‍්‍රාත් සහ අනියම් සේවකයන් බඳවා ගැනීම හා පහල ශ්‍රේනිවල වැටුප් වැඩිවීම් සීමා කෙරී ඇත්තේ ඊට අනුකූලවය.

මෙම කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී කම්කරු පන්තියෙන් මතුවන විරෝධය රුදුරු ලෙස මර්දනය කිරීමට කිසිසේත් නො පැකිලෙන බව තෙල් සංස්ථා කම්කරු අරගලයේ දී මෙන් ම ලංවිම කම්කරු වර්ජනයේ දී ද ආන්ඩුව යලි වතාවක් පෙන්නුම් කර ඇත.

ආන්ඩුව සමග සම්මුතියකින් ලංවිම සේවක අරගලය පාවා දීම මගින් වෘත්තීය සමිති කර ඇත්තේ ආන්ඩුවේ මෙම මර්දන හස්තය තවත් ශක්තිමත් කිරීමකි.

Share this article: