ඉන්දියාව සහ ජපානය චීනයට එරෙහි සිය “මූලෝපායික හවුල” ශක්තිමත් කරති

India and Japan strengthen their anti-China “strategic partnership”

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2017 සැප්තැම්බර් 18

ජපාන අගමැති ෂින්සෝ අබේ පසුගිය සතියේ ඉන්දියාවට කල දෙදින නිල සංචාරය, ටෝකියෝව හා නව දිල්ලිය විසින් යොදා ගන්නා ලද්දේ, චීනයට අප්‍රිකාව මත ඇති බලපෑම ආපසු හැරවීම පිනිස ඉන්දු-පැසිෆික් කලාපය හරහා මිලිටරි-ආරක්ෂක සහයෝගිතාව විස්තාරනය කිරීම සහ ඒකාබද්ධ ආර්ථික හා මූලෝපායික ආරම්භකත්වයන් ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට යි.

මෙම සැලසුම්වලට, ජපානයේ ප්‍රධානතම මූලෝපායික සහකරුවා වන එක්සත් ජනපදය විසින්, කොරියානු අර්ධද්වීපය මත “පූර්ව-භංග යුද්ධයක්” දියත් කරන බවට යලි යලිත් කරන තර්ජනයන් මධ්‍යයයේ, සිය න්‍යෂ්ටික ආයුධ ව්‍යාපෘතිය අත්හරින ලෙස උතුරු කොරියාවට බලපෑම් කිරීම පිනිස, ජපානය සමඟ සමීප ව වැඩකිරීමට ඉන්දියාව දුන් අන්තරායකාරී පොරොන්දුව ද ඇතුලත් ය. එක්සත් ජනපදය විසින් අවුලුවා ඇති උතුරු කොරියානු අර්බුදය අබේ විසින් ගසාකමින් සිටින්නේ, ජපානය යලි සන්නද්ධ කිරීමට සහ ආක්‍රමනකාරී හා මිලිටරිවාදී විදෙස් පිලිවෙතක් අනුගමනය කිරීමෙන් ටෝකියෝව වලක්වාලන ව්‍යවස්ථාමය බාධකයන්ගේ ඉතිරි කොටස් ඉවත් කිරීම සඳහා ය.

අබේ හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සැප්තැම්බර් 14දා පැවති සමාප්ති හමුවේ දී නිකුත් කල දීර්ඝ ප්‍රකාශයේ දී මෙන් ම ඔවුන්ගේ ප්‍රසිද්ධ නිවේදනවල දී ද චීනය පිලිබඳ ව සඳහන් කිරීමෙන් වැලකීමට වගබලා ගත්හ. එහෙත් ඉන්දු-ජපාන සන්ධානය ශක්තිමත් කිරීමට ඔවුන් දරන ව්‍යායාමය අභිප්‍රේරනය කරන්නා වූ ප්‍රධාන සාධකය සහ ඉලක්කය වන්නේ, චීනය ය යන්න ගැන කිසිවෙකුට සැකයක් නැත.

සමුලුවට සූදානම් වන සමයේ, මෙම ගිම්හානයේ දින 73ක් පුරා ඇදී ගිය චීන-ඉන්දීය දේශසීමා අර්බුදය හා යුද උත්සන්නියට ප්‍රතිචාර ලෙස නව දිල්ලිය, ජපානය සමග සබඳතා වර්ධනය කරගත යුතු ය යන කතුවැකිවලින් සහ අදහස් දැක්වීමේ ලිපිවලින් ඉන්දීය මාධ්‍යයන් පිරී තිබුනි.

එවැනි අදහස් දැක්වීම් එකිනෙකාට නො වෙනස් ලෙස අවධාරනය කලේ, ඩොක්ලාම් සානුව මැදි කරගෙන තීව්‍රව ඇදී ගිය මිලිටරි ආරෝවේ දී, නව දිල්ලිය තමන් විසින් ආරක්ෂා කරන්නේ යයි කියන කුඩා භූතාන භූමිභාගයට අමතරව, ඉන්දියාවට නිශ්චිත ව පිටුබලය ලබාගත හැකි එකම රට ජපානය බව යි.

දි ඉන්දියන් එක්ස්ප්‍රෙස් පත්තරය පවසන පරිදි, ඩොක්ලාම් ආරවුල පිලිබඳ ව මෝදිගෙන් පුද්ගලිකව කථා කල අබේ, අර්බුදය මධ්‍යයයේ “එක හඬින් කටයුතු කිරීම” ගැන “ඔහුට ප්‍රශංසා කලේ ය.”

මෝදි හා අබේ නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශය තුල, තම හවුල්කාරීත්වය “ගෝලීය” එකක් යයි අවධාරනය කරමින්, ඉන්දු-ජපාන මිලිටරි මූලෝපායික සහයෝගිතාව වැඩිදුර ශක්තිමත් කිරීමේ සැලසුම් අන්තර්ගත කරගත්තේ ය. “තොරතුරු සෙවීම් හා මිනිසුන් රහිත පද්ධතිමය තාක්ෂනයන් ඇතුලුව ආරක්ෂක කර්මාන්තයේ සහයෝගිතාව වැනි ක්ෂේත්‍රවල ආරක්ෂක උපකරන හා තාක්ෂනික සහයෝගිතාව වැඩිවර්ධනය කරගැනීම” ගැන ක්‍රියාකිරීමට දෙරට එකඟ වූහ. ඉන්දීය හමුදාව සහ ජපානයේ ගොඩබිම් ආත්මාරක්ෂක හමුදාවන් සහභාගි වන “ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස” 2018 දී පැවැත්වීමේ හැකියාව සොයා බැලීමට ද ඔවුහු එකඟත්වය පලකලහ.

ප්‍රකාශය සඳහන් කල පරිදි මෙම හමුව, ජපානය විසින් යොදාගන්නා ලද්දේ, තමන්ගේ යූඑස් -2 නමැති ගොඩබිමේ දී මෙන් ම ජලයේ දී භාවිතා කලහැකි නවීන ගුවන් යානා ඉන්දියාවට විකිනීමට ඇති සූදානම අවධාරනය කිරීමට යි. ටෝකියෝව වෙනත් රටකට කරන විශාලතම ආයුධ විකිනීම, අබේ හා මෝදි විසින් නිවේදනය කරනු ඇතැයි ආරංචි පැතිරුන ද බොහෝ ඉන්දියානු හා ජපාන මූලෝපායඥයන් කනස්සල්ලට පත්කරමින් යූඑස්-2 ගනුදෙනුව ගැන සාකච්ඡා ඉදිරියට ඇදී යන්නේ, නව දිල්ලිය විශාල තාක්ෂන හුවමාරු කිරීම් ගැන අවධානය යොමු කිරීම නිසාවෙනි.

එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව සමඟ ඉන්දු-ජපාන “ත්‍රෛපාර්ශවික සහයෝගිතාවක්” දෙසට වන “නව ශක්‍යතා” සාදරයෙන් පිලිගත් මෝදි හා අබේ, “මෙම සහයෝගිතා ආකෘතින්හි මූලෝපායික වැදගත්කම අවධාරනය කරමින්,” එය ප්‍රසාරනය කිරීම පිනිස වැඩකිරීමට එකඟ වූහ. ඉන්දු-ජපාන-එක්සත් ජනපද වාර්ෂික මලබාර් නාවික අභ්‍යාසය ගැන ප්‍රකාශය තුල විශේෂයෙන් සඳහන් වුන අතර, එම අභ්‍යාසයේ මෑතම නිදර්ශනය ට්‍රම්ප් පරිපාලනය විසින් උත්කර්ෂයට නංවන ලද්දේ, ඉන්දියන් සාගරය තුල එදාමෙදා තුර සිදුකරන ලද විශාලතම යුද අභ්‍යාසය ලෙස යි.

ඉන්දියාවේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයා වන පාකිස්ථානය මූලෝපායිකව හුදකලා කිරීමට ඉන්දියාව ගෙනයන උද්ඝෝෂනයට ටෝකියෝවේ බලගතු සහයෝගය පල විය. පාකිස්ථානයේ සිට ක්‍රියාකාරී වන ඉන්දියානු-විරෝධී ඉස්ලාමීය කන්ඩායම් සමග සටන් වැදීමේ දී නව දිල්ලිය සමග වැඩකිරීමට එකඟතාව පලකල ජපානය, “2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරය හා ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාෂ්මීරයේ පතන්කොට්හි 2016 ත්‍රස්ත ප්‍රහාරය ඇතුලු ත්‍රස්තවාදී ප්‍රහාරවලට වගකිව යුත්තන් ඉස්ලාමාබාදය විසින් නීතිය හමුවට ගෙන ආ යුතු බවට” ඉන්දියාව කරන ඇනවීම අනුමත කලේ ය.

ඒකාබද්ධ ප්‍රකාශයේ උතුරු කොරියාව පිලිබඳ කොටසට, පාකිස්ථානයට කෙනිත්තීමක් මෙන් ම, බීජිනයට පහර දීම ව්‍යංගයෙන් අඟවන කොටසක් ද ඇතුලත් වූ අතර, “උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල ව්‍යාපෘතියට සහයෝගය දෙන සියල්ලන්ට “වගකීමේ” චෝදනා එල්ල කල යුතු යයි” මෝදි හා අබේගේ ඉල්ලීම් ද ඇතුලත් විය. පාකිස්ථානය තම න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කරගැනීමේ දී උතුරු කොරියාව සමඟ සහයෝගීව ක්‍රියාකර ඇතැයි ඉන්දියාව බොහෝ කලක සිට චෝදනා කර ඇත.

චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ආක්‍රමනයට නව දිල්ලිය ඒකාග්‍ර වීම මෙන් ම ඉන්දු-ජපාන සබඳතා ශක්තිමත් කරගැනීමට සමාන්තරව, ඉස්ලාමාබාදය සමග තමන්ගේ ම මූලෝපායික හවුල්කාරීත්වය තරකිරීම මගින් මහජන සමූහාන්ඩුව ප්‍රතිචාර දක්වා ඇති බව අවධානයට ගත යුතු ය.

ඩොලර් බිලියන 50ක චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා පාකිස්ථානය මූලික භුමිකාවක් ඉටුකරන, චීනයේ එක් තීරුවක්-එක් මාවතක් යන ආරම්භකත්වයට නම සඳහන් නො කරමින් මෝදි-අබේ ප්‍රකාශය පහර දුන්නේ ය. ආසියාව හා අප්‍රිකාව අතරත්, ඊසානදිග ඉන්දියාව හා ගිනිකොනදිග ආසියාව අතරත්, යටිතල පහසුකම් ගොඩනැගීමට ඉන්දියාව හා ජපානය හවුලේ ක්‍රියාකරන බවට වන පොරොන්දුවලට මෙය බද්ධ කරනු ලැබ තිබේ. ව්‍යාපෘතිය තවමත් නිල වසයෙන් දියත් කර නැතත්, ඩොලර් බිලියන 40ක ආසියා-අප්‍රිකා වර්ධන කොරිඩෝවක් සඳහා ඉන්දියාව හා ජපානය දැනට පියවර ගනිමින් සිටිති.

ආර්ථිකව පසුගාමී, චීනය, බංග්ලාදේශය හා බුරුමයට මායිම් වන ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ යටිතලපහසුකම් ගොඩනැගීමට, ඉන්දියාව විසින් ජපානයට ආරාධනා කිරීම, එම රටවල් දෙක අතර සබඳතාවන්ගේ ශක්තියට සාක්ෂි දරයි. ඉන්දියාව, එහි ඊසානදිග ප්‍රදේශය විශේෂයෙන් වැදගත් හා මූලෝපායික ව අනාරක්ෂිත ලෙස දැකගන්නේ, එම කලාපය ඉන්දීය-විරෝධී වාර්ගික-ජාතිකවාදී කැරලි ගනනාවක් හටගත් ප්‍රදේශය වීම, චීනය සමඟ දේශසීමා ගැටුමේ හදවතෙහි පිහිටීම සහ ඉන්දියාවෙහි අනෙක් පෙදෙස් සමඟ තුනී තීරුවක් හරහා පමනක් සම්බන්ධ වීම යන කරුනු හේතුවෙනි.

ගිනිකොනදිග ආසියාව සමග වානිජ හා මූලෝපායික සබඳතා ප්‍රසාරනය කිරීමේ සැලසුම්වලට ඊසානදිග ප්‍රදේශයෙහි සංවර්ධනය තීරනාත්මක යයි ඉන්දියාව දැකගනී. ඉන්දියාවේ “පෙරදිග ක්‍රියාකාරී වීම” යන පිලිවෙතට වොෂින්ටනය හා ටෝකියෝව ඔවුන්ගේ සහයෝගය යලි යලිත් සපථ කර ඇත්තේ, දකුනු චීන මුහුදේ ගැටුමට නව දිල්ලිය ගැඹුරින් ම ඈඳාගැනීමට ඔවුන් දරන උත්සාහයේ කොටසක් ලෙස යි. ජපානය සතු ව ආසියාන් රටවල් සමඟ පවතින ලාභ-ශ්‍රම නිෂ්පාදන, ඉන්දියාව හා සම්බන්ධ කිරීමට එරට දැඩි ලෙස උනන්දු ය.

අබේ-මෝදි හමුව ගැන බීජිනයේ ප්‍රතිචාරය නිශ්ශබ්ද ව සිටීම යි. විශේෂයෙන් ම ඩොක්ලාම් අර්බුදයෙන් ඉක්බිත්තේ, ඉන්දියාව සමඟ බැඳීම් යථාවත් කර ගැනීමට උත්සුක වන හා කොරියානු අර්ධද්වීපය තුල අර්බුදය අවුලුවාලන එක්සත් ජනපදයේ මුරන්ඩු මූලෝපායික පීඩනයට චීනය මුහුනපාන තතු යටතේ මෙය පුදුමයට කරුනක් නො වේ.

එහෙත් ගිනිකොනදිග ආසියාවට ඉන්දියාවෙහි පිවිසුම් මාර්ගය ලෙස ඊසානදිග ප්‍රදේශය සංවර්ධනය කිරීමේ ඉන්දියානු සැලසුම් ගැන, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්යින් විශේෂයෙන් සඳහන් කලා ය. “චීනය හා ඉන්දියාව අතර භෞමික ස්වාධිපත්‍ය අරබයා ඇති වන ආරවුල්වලට කිසිදු තුන්වන පාර්ශවයක් කිසිදු ලෙසකින් අතදැමිය නො යුතු” බව හුවා කීවා ය.

මෝදි-අබේ හමුවේ ප්‍රධාන උත්සුකය සමීප මිලිටරි-මූලෝපායික සබඳතා වාත්තු කරගැනීම වුවත්, දෙරට අතර වානිජ සබඳතා වේගවත් කිරීම කෙරෙහි ද ඔවුහු උනන්දු වෙති. ජපානයෙන් ඉන්දියාවට කෙරෙන අපනයන එක තැන පල්වෙමින් ද 2013-14 වසරවල ඩොලර් බිලියන 6.81ක්වූ ඉන්දියාව ජපානයට කරන අපනයන, 2016-17 වනවිට ඩොලර් බිලියන 3.85කට බැස ගිය තතු තුල දෙරට අතර වානිජමය සබඳතා මෑත වසරවල තුනී වී ඇත.

මෙම හමුවේ එක් ප්‍රධාන අවස්ථාවක් වූයේ, කිලෝමීටර 508ක් දිග, මුම්බායි හා අහමදාබාද් සම්බන්ධ කරන අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෝදිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාට්හි පැවති නවීන පන්නයේ උත්සවය යි. ඉන්දියාවේ පලමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමට චීනය ඉදිරිපත් කල ලංසුව පරයා යාමට අධිෂ්ඨානවත් වන ජපානය, සහනදායී සියයට 0.1ක පොලියක් මත අවුරුදු 50කින් ගෙවීයන පරිදි ඇමරිකානු ඩොලර් බිලියන 17ක් වන ව්‍යාපෘතියේ සමස්ත පිරිවැයෙන් සියයට 80කට වඩා අරමුදල් සම්පාදනය කරයි.

ගුජරාටයේ අලුත් මරුති සුසුකි මෝටර් රථ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා, සුසුකි සභාපති ඔසාමු සුසුකි සමගින් මෝදි හා අබේ එක් වූහ. සමස්ත ඉන්දියාව පුරා පවතින කෲර සූරාකෑමේ කොන්දේසිවලට එරෙහි ඕනෑම අභියෝගයක් අනුකම්පා විරහිත ව මර්දනය කරන බවට, විදෙස් ආයෝජකයන්ට ප්‍රදර්ශනය කිරීමේ අටියෙන් දේශපාලන සංස්ථාපිතය, පොලීසිය හා උසාවි බොරු චෝදනා මත මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙකු ජීවිතාන්තය දක්වා හිරගෙට යවා ඇත. හර්යානා ප්‍රාන්තයේ මනේසාර් මෝටර් රථ එකලස් කරන කම්හලේ දරිද්‍ර වැටුප් මට්ටම්වලටත් ස්ථිර නැති කොන්ත්‍රාත් රැකියාවලටත් එරෙහි විරෝධතාවකට එම 13දෙනා නායකත්වය දී තිබුනි.

චීනයට ප්‍රතිමල්ලව, ලාශ-ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස මතුවීමට, ඉන්දියාවට ජපාන ප්‍රාග්ධනයේ සහයෝගය දෙන ආර්ථික හවුල්කාරකමක් සමඟ, ඉන්දු-ජපාන මිලිටරි මූලෝපායික සන්ධානය තහවුරු කරගැනීමට මෝදි හා අබේ යන දෙදෙනා ම උනන්දු වෙති. ඉකොනොමික් ටයිම්ස් පත්‍රයේ මෑත පලකල කතුවැකියක්, ඉන්දීය කම්කරුවන්ගේ වැටුප් චීනයේ වැටුපෙන් පහෙන් පංගුවක් පමනක් බවට පාරම්බාමින්, මෙම වැටුප් වෙනස්කම් පවත්වාගෙන යාම, ඉන්දියාව නිෂ්පාදනයේ ලෝක බලවතෙක් බවට පත්කිරීමේ මෝදිගේ සැලසුම් යථාර්ථයක් බවට ගෙන ඒමේ දී තීරනාත්මක යැයි තර්ක කලේ ය.

කම්කරුවන් ප්‍රවේසම් විය යුතු ය: ඉන්දු-ජපාන සන්ධානය ශක්තිමත් කිරීම, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉවබව නැති හා ප්‍රකෝපකාරී ආක්‍රමනශීලීත්වය වඩ වඩා දිරිගන්වමින්, ජපාන අධිරාජ්‍යවාදයේ හා ඉන්දියානු ධනේශ්වරයේ ලෝක-බලවතුන් වීමේ අභිලාෂයන් තියුනු කරනු ඇත.

Share this article: