මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ ප‍්‍රසිද්ධ සාක්ෂි කැඳවීමක්

නවීන් දේවගේ විසිනි, 2017 සැප්තැම්බර් 10

මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ ප‍්‍රසිද්ධ සාක්ෂි කැඳවීමක් සැප්තැම්බර් 3 ඉරිදා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාර ප‍්‍රවේශාගාරයේදී පැවැත්විනි. ඊට මීතොටමුල්ලේ නිවසියන් තිදෙනෙක් සාක්ෂි ඉදිරිපත් කල අතර සසප සාමාජිකයන් දෙදෙනෙක් පරීක්ෂනයට අදාලව තම අත්දැකීම් ඉදිරිපත් කලහ. මෙම ස්වාධීන කම්කරු පරීක්ෂනය (ස්කප) ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසිනි.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩලයේ පානි විජේසිරිවර්ධන ප‍්‍රකාශ කලේ මීතොටමුල්ලේ ඛේදවාචකය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් පැවැත්වීමට පසුගිය මැයි 9 දින තීන්දුවක් ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මේ ව්‍යසනයට හේතු වූ කරුනු ගැන පරීක්ෂනයක් පැවැත්වීමේ නමින් විශ‍්‍රාමික විනිශ්චයකරුවෙකු වන චන්ද්‍රසේන නානායක්කාරගේ නායකත්වයෙන් කමිටුවක් පත්කොට ආන්ඩුව ඊට වගකිව යුතු බව වසන් කිරීමට උත්සාහ ගන්නා තත්වය තුලයි. එම කොමිසමේ පරීක්ෂනයක කිසිදු වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධ කෙරී නැහැ. ධනපති පුවත්පත් ඊනියා පරිසරවේදීන් කරනු ලැබූ විකෘතිකිරීම් වලට එරෙහිව සත්‍ය හෙලිදරව් කිරීමට අපගේ මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය පියවර ගනු ලැබුවා, යයි ඔහු පැවසීය.

“සසප අවධාරනය කරන්නේ මෙම ඛේදවාචකය ලාභය මත පාදකව පවතින ධනේශ්වර ක‍්‍රමය විසින් සිදු කෙරුනු අපරාධයක් බවයි” විජේසිරිවර්දන අවධාරනය කලේය.

දිනේශ් හේමාල්

ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහයෝගය දෙමින් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය වෙනුවෙන් එහි සාමාජික හේමාල්, මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ධනපති මාධ්‍ය හා දක්ෂිනාංශික ශාස්ත‍්‍රාලිකයන් ගෙන යන ධනපති ගැති අර්ථකතන, විවරන, ප‍්‍රචාර වෙනුවට ස්වාධීන කම්කරු පරීක්ෂනයෙන් කුනුකන්ද නාය යෑමේ මූලයන් හෙලිදරව් කෙරන බව පැවසීය.

කුමුදු

මීතොටමුල්ල කුනු කන්ද ඉවත්කරන ලෙසට මහජනයා කල උද්ඝෝෂනයේ වසර ගනනාවක් නියැලුන කුමුදු සාක්ෂි දෙමින් කන්ද නාය යාමේ වගකීම ආන්ඩුව විසින් මහ ජනතාව මත පැටවීම හෙලා දක්කාය. “ඕක සුන්දර වෙල් යායක්: කුනු කන්දක් ගාව ගෙවල් තිබ්බෙ නෑ. වතුර හරි ම පිරිසිදුයි. ඉස්සර අපි ඔතන නානවා; දං කඩනවා; කීර කඩනවා; ගොවිතැන් කරනවා.

“ කුනු කන්ද ආශ්‍රිතව විවිධ ගැටලු මතු වෙන්න ගත්තම එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මීතොටමුල්ල අක්කර දෙකක කොටසකට පමනක් කුනු බැහැර කිරීමට උසාවි නියෝගයක් දුන්නා. ඒ අක්කර දෙක ඉක්මවා ක‍්‍රමයෙන් කුනු කන්ද ව්‍යාප්ත කලේ පාලකයන් විසින්. දවසකට කුනු ටොන් අටසියයක් විතර ආවා. ගොවිපලවල, රෝහල්වල අපද්‍රව්‍ය පවා මෙහි ගෙනාවා. පිටින් ගේන කුනු නගර සභාවෙ ලොරියකට මාරු කරන්න රුපියල් හාරදහසක් පන්දහසක් අය කලා කියල ආරන්ච්චියි.

“සුලඟින්, මැස්සන් විෂබීජ පැතිරෙනවා. කාක්කෝ, බල්ලො, කබරගොයි, ගැරඬි සෑහෙන්න බෝ වෙලා. රෝග පතිරුනා. ඩෙන්ගුවලින් මරන සිද්ධවුනා. හෝදලා වේලෙන්න දාන ඇඳුමක් පවා ගඳ ගහන්න ගන්නවා. කුනු කන්ද ඉවත් කරන ලෙසට ඉල්ලමින් ගෙන ගිය උද්ඝෝෂන ඉස්සෙල්ල ආන්ඩුවත් දන් ආන්ඩුවත් පොලීසිය යොදල මර්දනය කලා.”

ඇය තව දුරටත් කියා සිටියේ කුනු කන්ද මහජනයා නොතකා පවත්වාගෙන යාම මගින් ඔවුන් ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමේ සැලසුමක් පැවතුන බවය.

කුමුදු මෙසේද සඳහන් කලාය: “2013 ගෙවල් කඩන්න හදද්දී පැන නැගුනු විරෝධතාවල මම ඉස්සරහින් ම හිටියා. උද්ඝෝෂන කරන කොට පොලීසියෙන් අපට ගැහුවා. ගෝඨාභය [රාජපක්ෂ] අපිව සෙත්සිරිපායට ගෙන්නලා පොලවේ අඩි හප්පලා තර්ජනය කලා.

“දැන් පලාතේ රාහුල විද්‍යාලය වසා දමලා. මේ නිසා දුගී සිසුන් පාසැල් යන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් දී දුර බැහැර පාසලකට යැවීමට නිවාස නාය යෑමට හසුවූ දෙමාපියන්ට මුදල් නැහැ.”

පාලිත ජයරත්න

පලාතේ නිවැසියෙක් හා රොලේ මාස්ටර් කොම්පැනියෙ කම්කරුවෙක් වන පාලිත ජයරත්න සාක්ෂි ඉදිරිපත් කරමින් “මට දුවලා දෙන්නෙකුයි, පුත්තු දෙන්නෙකුයි ඉන්නවා. බාලම පුතා කුනු කන්ද කඩා වැටීමෙන් පස්සෙ දැඩි කම්පනයකට ගොදුරු වෙලා ඉන්නෙ” යයි සඳහන් කලේය.

ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කලේය: “මෙතන අනවසර ඉදි කිරීම් කියලා දෙයක් නෑ. අනවසර ඉදි කිරීම් කියන්නෙ මිනිස්සුන්ව එලව ගන්න යොදන උපක‍්‍රමයක්. නාය යෑමෙන් පසු අපේ නිවාස පිහිටා තිබුනු ස්ථානය අවදානම් කලාපයක් ලෙස නම් කලා. මාස තුනක ගෙවල් කුලී වියදම් කියලා රුපියල් 150,000කුත් බඩු ඇද ගන්න කියලා 10,000කුත් ඔක්කොම රුපියල්160,000ක් දුන්නා. මේ මාසේ 14 වෙනිදාට මාස පහක් වෙනවා. අනික් මාසවල සල්ලි තාමත් නෑ.

මසකට රුපියල්35,000 බැගින් මාස 10කට ගෙවා ඔහු නිවසක් කුලියට ගෙන ඇත්තේ හිඟ මුදල බැංකු පොතේ ඉතිරිකර තිබූ මුදල්වලින්ද ගැනීමෙනි. මාස දහය ගතවූ පසු කරන්නේ කුමක් ද යන්න ගැන තමන්ට අර්බුදයක් ඇතැයි ජයරත්න පැවසීය.

“ගෙට විතරක් තක්සේරු කරලා වන්දි ගෙවන්න තීරනය කලා. අපි ඉල්ලා සිටියා ගෙයටත් ඉඩමටත් දෙකට ම එක විට වන්දි අවශ්‍ය බව. දිසාපති අපව කැඳවලා කිව්වේ ගෙට ගෙවන ගනන අර ගන්න, ඉඩමට පස්සෙ ගෙවයි. ඉඩමට පස්සෙ ගෙවන කතාව කාටවත් කිසිම විශ්වාසයක් නෑ. කොරියන් හෝ ජපන් සමාගමකට අපි ඉන්දැද්දීම මේ ඉඩම් විකුනා දාල ද කියන සැකයක් තියෙනවා. නිතරම වගේ ජපන් කොරියන් උදවිය බස් පුරවල ඇවිත් නොයෙක් සමීක්ෂන කටයුතු කරනවා,” යයි ඔහු දිගටම කරුනු ඉදිරිපත් කරමින් සඳහන් කලේය.

ඔහු පෙරෙටුගාමී සමාජවාදී පක්ෂයේ නුවන් බෝපගේ කුනුකන්දට එරෙහි විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීම ගැන සඳහන් කරමින් මෙසේ කීවේය: “අපිට සටන් කරන්න සංවිධානයක් නෑ. තිබ්බ සංවිධාන අනික් පැත්තට පාවා දීමයි කරලා තියෙන්නෙ. බෝපගේ සටන පාවා දුන්නා..”යයි කියා සිටියේය.

දේහින් වසන්ත

කරදියාන කසල රැඳවුම ගැන වාර්තාවක් සසප සාමාජික දේහින් වසන්ත සභාවට ඉදිරිපත් කලේ ය. එය පිලියන්දලට කිලෝමීටර තුනක් නුදුරින් පිහිටා ඇත. මීතොටමුල්ල පෙර පැවතියාක් මෙන් මෙහි ද කලින් පැවතියේ සුන්දර වෙල් යායකි. මීට වසර දහසයකට පමන පෙර මෙහි කසල දැමීම ආරම්භ කර ඇත්තේ ව්‍යාපාරිකයෙකි. 2005, 2006 වසරවල ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා නාගරික සංවර්ධනය භාරව සිටි ගෝඨාභය රාජපක්ෂ යටතේ එහි කුනු බැහැර කිරීම පුලුල් කර ඇත.

සසප සාමාජිකයෙක්වන ගාමිනී කරුනාතිලක මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම ගැන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්වතුන් පිරිසක් සිදු කල පරීක්ෂනය ගැන එහි ප‍්‍රධානියා වන ජයලත් එදිරිසිංහ සමග කල සම්මුඛ සාකච්ඡාවක අත්දැකීම සභාවට ඉදිරිපත් කලේ ය. එදිරිසිංහ එම පරීක්ෂන වාර්තාව ලබා දිය නොහැකි බවත් එය සකස් කලේ අධිකරනයට ඉදිරිපත් කිරීමට පමනක් බවත් ප‍්‍රකාශ කර ඇත. ව්‍යසනය ගැන ඔහුගේ ස්වාධීන අදහස විමසන ලද විට ඔහු ප‍්‍රකාශ කොට ඇත්තේ එවන් අදහසක් දැක්වීමට තමන් අදාල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෙක් නොවන බවත් තමන්ව පරීක්ෂනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන නිසා බවත් ය.

එම පරීක්ෂනයේ මුඛ්‍ය අරමුන වී ඇත්තේ මීතොටමුල්ල ව්‍යසනය රජය අපහසුතාවට පත් කිරීමට සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද, ස්වභාවික ව්‍යසනයක් ද, එම ව්‍යසනයට ප‍්‍රදේශවාසීන්ගේ ක්‍රියාකාරකම් හේතු වී ඇත් ද සොයා බැලීමයි. කරුනාතිලක මෙසේ සඳහන් කලේය: “පහැදිලිවම මෙම පරීක්ෂනය පැවැත්වූයේ මහජනතාව මත වරද පැටවීමටයි.”

විලානි පීරිස්

පරීක්ෂන සභාවේ වැඩ අවසන් කරමින් සසප දේශපාලන මන්ඩලයේ සාමාජිකා විලානි පීරිස් මීතොටමුල්ල නිවැසියන්ගේ සාක්ෂිවලින් තහවුරු වන්නේ කුනු කන්ද නායයාම සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව ද ඇතුලුව අනුප‍්‍රාප්තික පාලනයන් විසින් සිදු කල අපරාධයක් බවයි. “මෙම අපරාධය ලාබය මත පදනම්ව ඇති ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක්,” යයි ඇය චෝදනා කලාය.

“කසලකුනු දැමීමට තෝරා ගන්නේ දුගීන් ජීවත්වන ප‍්‍රදේශයි. මීතොටමුල්ල වගේම කරදියාන නුවර-ගොහාගොඩ, මුතුරාජවෙල, පුත්තලම තෝරාගෙන අති සියලු ප‍්‍රදේශ දුගීන් ජීවත්ව සිටින ප‍්‍රදේශ. මෙම ප‍්‍රශ්නය පන්ති ප‍්‍රශ්නයක්,” ඇය කීවාය.

ලෝක පරිමානව ධනේශ්වර ක‍්‍රමය ගැඹුරු අර්බුදයකට මුහුනදී කම්කරු පීඩිත මහජනතාව මත එම බර පැටවීමට ලොවපුරා ධනපති පාලකයන් ඉදිරියට යමින් ඇති බව පෙන්වා දුන් ඇය, ලෝක පක්ෂය වන හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා මෙම සමාජ ප‍්‍රතිවිප්ලවයේ මුර්ග අපරාදයන්ට එරෙහිව කම්කරු පන්තිය ප‍්‍රමුඛ දුගී ජනයා සමාජවාදී වැඩපිලිවෙලින් බලමුලු ගැන්වීමට සටන්වදින බව පීරිස් සඳහන් කලාය.

ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල්හි තට්ටු නිවාසයක් ගිනි ගනු ලැබූයේ ලාභය තකා ගිනිගන්නා සුලු ආවරනයන් යොදා එම නිවාස අලුත් වැඩියා කල තත්වයේදී බවත්, එක්සත් ජනපදයේ ෆ්ලින්ට් නගරයේ ජල නල මගින් ජලයට ඊයම් කවලම් කෙරෙන තත්වයක් ඇති කර ජලය දූෂනයෙන් ජීවිත සිය ගනනකට විනාශකාරී කොන්දේසි නිර්මානය කෙරුනු බවත් ඇය පෙන්වා දුන්නාය. මෑතකදී ඇමරිකාවේ හුස්ටන් නුවර සිදුවී ඇති ජලගැල්ම පොදුකාර්ය ව්‍යූහය ජරපත් වීමට ඉඩහැරීමෙන් සිදුකෙරුනු තවත් අපරාධයක් බව පැහැදිලි කල පීරිස්, මේ අපරාධයන්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛාවන්” යයි කීවාය.

“මීතොටමුල්ල ව්‍යසනය සේම ලංකාවේ ගංවතුරෙන් හා ඩෙංගු පැතිරීමෙන් සිදුවන විනාස දුගී මහජනතාව මත පටවා ඇති තවත් ව්‍යසනයන්. නිදහස් අධ්‍යාපනය නිදහස් රෝහල් සේවය ගොවීන්ගේ පොහොර සහනාධාර කපාහරිමින් මුලුමහත් මහජනතාවගේ අයිතීන් උදුරා ගන්නේ ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කිරීම පිනිසයි.”

“මීතොටමුල්ල නිවැසියන් තේරුම්ගෙන ඇති පරිදි ධනපති ආන්ඩු සූදානම් වන්නේ කොලඹ අතුලු ඒ අවට ප‍්‍රධාන නගරවල අඩු ආදායම්ලාභීන් නිවාස වලින් ඉවත්කර ආයෝජකයන්ට එම ඉඩම් පවරාදීමටයි.” යයි චෝදනා කල ඇය දැනටමත් කොම්පඤ්ඤ වීදියේ නිවාස සියගනනක් ඉවත්කර අක්කර 7ක් ඉන්දියානු ටාටා හා තවත් අක්කර 3ක් පකිස්තානයේ ඉම්පීරියල් යන සමාගම්වලට පවරා අතිබව ඇය පෙන්වා දුන්නාය.

මීතොටමුල්ල ධනකුවේරයන් සඳහා උද්‍යානයක් ගොඩනගන බව බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රනවක ප‍්‍රකාශ කර ඇති බව සඳහන් කල ඇය අධිරාජ්‍යවාදී ලෝක බැංකුවේ හා මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ සංවර්ධන වැඩපිලිවෙලක් යටතේ නිවාස ඉවත් කිරීම පටන් ගත් බවත් සිරිසේනගේ ආන්ඩුව බස්නාහිර සංවර්ධන වැඩපිලිවෙල යටතේ එම වැඩපිලිවෙල පෙරට ගෙන යයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුනු කන්දට එරෙහිව සටන්කල මහජනතාව ආන්ඩුවලට බලපෑම් දැමීමේ හුදු විරෝධතා වැඩපිලිවලක රඳවා නොමග යවූ බවද කියා සිටි ඇය, දැන් මෙම ප‍්‍රශ්න සම්බන්ධව ආන්ඩුව හා එක්ව සොච්චම් වන්දි මුදලකට ජනතාව යටත් කිරීමට එම නායකයන් කටයුතු කරන බව පවසුවාය.

ධනවාදයේ ව්‍යසනයන්ට එරෙහිව, සමාජවාදී වැඩපිලිවෙල යටතේ ධනේශ්වර පක්ෂවලින් හා ව්‍යාජ වාම කන්ඩායම් වලින් ස්වාධීනව කම්කරු පන්තියේ ප‍්‍රමුඛත්වයෙන් ක්‍රියාකාරී කොමිටි ගොඩ නැගිය යුතු බව ඇය අවධාරනය කලාය.

ලාභය මත පදනම් වන ධනපති ක‍්‍රමය විස්ථාපනය කර සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමෙන් පමනක් දුගීන්ගේ ප‍්‍රශ්න විසඳිය හැකි බව පෙන්වාදුන් පීරිස් මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින සසප ගොඩනැගීමට එක්වන ලෙස ඉල්ලා සිටියාය.

Share this article: