හාවි සුලි කුනාටුව සිදුකල විනාශයට ගෙවන්නේ කවුද?

Who will pay for the devastation caused by Hurricane Harvey?

2017සැප්තැම්බර් 2

සමහර නිවැසියන් තම නිවහන් කරා ආපසු යෑමට පටන් ගනිද්දී හා විපතට පත්වූවන් බේරාගැනීමේ යෙදී සිටින්නන්, ටෙක්සාස්හි හූස්ටන් හා ඒ අවට වතුරට යට වී ඇති ගොඩනැගිලි තුල සොයා බැලීමේ යෙදී සිටින අතර, හාවි සුලි කුනාටුව සිදුකල මහා පරිමාන විනාශයේ පරිමාව පූර්න වශයෙන් එලි දකින්නේ දැන් ය. සමහරක් මිනුම් දඬු මගින් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ස්වභාවික විපත ලෙස සැලකෙන මෙහි දුරදිග යන පල විපාක, එය සෘජුවම බලපෑ මිලියන ගනනට පමනක් නොව එක්සත් ජනපදයේ සමාජ හා දේශපාලන ස්ථාවරත්වයටද බලපානු ඇත.

පසුගිය සිකුරාදා කුනාටුවෙන් මියගිය සංඛ්‍යාව නිල වාර්තා වලට අනුව 46 ක් වුවද ඉදිරි දින වලදී එම සංඛ්‍යාව ඉහල නගිනු ඇතැයි බලාපොරොත්තු වේ. ගංවතුරෙන් මිලියනයක් වැනි විශාල සංඛ්‍යාවක් අවතැන්වී ර‍ටේ අභ්‍යන්තර සරනාගතයන් බවට පත්වී ඇත. රටේ හතරවැන්නට විශාලතම නගරය වන හූස්ටන්ද ඇතුලත් කරගත් හැරිස් නම් කවුන්ටියේ (ඇමරිකාවේ ප්‍රාන්ත කවුන්ටි වලට බෙදා ඇත) පමනක් ගංවතුරට යටවූ ප්‍රමානය 136,000 ක් බව ගනන් බලා ඇත.

දිවයිනක් බඳු තත්ත්වයකට පත්ව ඇති අසල පිහිටි බෝමන්ට් නගරයට (ජනගහනය-118,00)තවමත් නල ජලය නැතිව තිබෙන අතර, නගරයේ ජලපොම්ප පිලිසකර වන්නේ කවදාදැයි කවුරුවත් නොදනී. තාමත් ගින්නෙන් දැවෙමින් පවතින ආකෙමා ආයතනය වැනිවූ ප්‍රදේශය පුරා ඇති රසායනික හා පිරිපහදු කම්හල් තවමත් වතුරෙන් යටවී ඇත. ගනන් කර නැති ප්‍රමානයක පාරවල් වලට බරපතල ලෙස හානි සිදුවී ඇති අතර සමහරක් ඒවා ගසා ගෙන ගොසිනි.

ඇකියුවෙදර් (AccuWeather) ආතයනය ගනන් බලන පරිදි කුනාටුවේ මුලු මහත් පිරිවැය ඩොලර් බිලියන 190 දක්වා, එනම් අවුරුද්දක් පුරා එක්සත් ජනපදයේ නිපදවන සියලු භාන්ඩ හා සේවා නිෂ්පාදන අගයෙන් 1% දක්වා විය හැක. මෙය, කැට්රීනා සුලිකුනාටුව (2005) හා සැන්ඩි සුලි කුනාටුව (2012) යන දෙකේම එකතුවට ආසන්න අගයක් වේ. රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ගං වතුරට මිශ්‍ර වීම හේතුවෙන් දහස් ගනනකට දැරීමට සිදුවන අමතර සනීපාරක්ෂක වියදම් හා ගෑස් මිල වැඩි කිරීම සඳහා වන අවස්ථාව ඩැහැ ගන්නා තෙල් සමාගම් වල මිල වැඩි කිරීම්වල බලපෑම් ආදියෙන් සිදුවන අමතර වියදම් මේ ගනන් බැලීම් වලට ඇතුලත් නොවේ.

මේ තනි සුලි කුනාටුව මෙම වසරේ එක්සත් ජනපද මුලු මහත් ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක්, සමහරවිට ආර්ථික වර්ධනය අඩකින් කැපී යාම පවා සිදු කරනු ඇත. ආර්ථික කටයුතු කඩාකප්පල් කරමින් හා දස දහස් ගනනකට ආදායම් අහිමි කරමින් හූස්ටන් හි විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවීම නිසා‍වෙන් වූ හානිය නිසා, සති නැත්නම් මාස ගනනාවක් වාසය සඳහා නුසුදුසු වනු ඇත.

තදින්ම ප්‍රහාරයට ලක්වනුයේ දුගීන් හා කම්කරු පන්තිය යි. වඩාත්ම තදින් කුනාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිවාස හිමියන් ගෙන් 80% කට වඩා වැඩි කොටසකට ගංවතුර රක්ෂනය නැත. මෙහි තේරුම නම් නොයෙකුත් මධ්‍යම ආන්ඩුවේ ආයතන මගින් සැපයෙන නො සෑහෙන ප්‍රමානයේ නය මුදල් මත යැපීමට ඔවුනට සිදුවනු ඇති බවයි, ඒද ඔවුනට ඒවා ලබාගැනීමට හැකි වුවහොත් පමනි.

විනාශයේ සැබෑ පරිමාව පැහැදිලිවත්ම එහි වඩා දුරදිග යන විපාකද දැනෙනු ඇත. එක්සත් ජනපදය හාවියේ ප්‍රහාරයට ලක්වන්නේ ගැඹුරු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේදී ය. ට්‍රම්ප් පාලනාධිකාරයට හෝ පාලක පන්තියේ එහි විරුද්ධවාදීන් හට කිසිදු සැලකිය යුතු මහජන සහායක් නැත. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ගැඹුරු අභ්‍යන්තර භේදයන්ගෙන් භින්නවී ගිය ඇමරිකානු පාලක පන්තිය, අති විශාල සමපේක්ෂනාත්මක බුබුලු මත ගොඩනැගුනු ආර්ථික පද්ධතියකට ද, එන්න එන්නම කෝපාවිෂ්ඨ හා එදිරිවාදී වන්නාවූ කම්කරු පන්තියකට ද මුහුන පා සිටී.

පසුගිය සතිය පුරාවට ඇමෙරිකානු මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය තම බලවේග ඒකරාශී කලේ, හාවි සුලි කුනාටුව නම් “ශෝකාන්තය” පිලිබඳව කුහක මෙන්ම වංකවූ විස්තර ප්‍රචාරද, වගකිව යුත්තේ කවුද, කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳව කිසියම් සාකච්ඡාවක් හිතාමතාම මගහැරීම ද, අලලා ගත්, මැනවින් අංග රචනය කළ දේශපාලන නාඩගමක් රඟ දැක්වීමට ය. එහි අරමුන වූයේ කෙසේ හෝ කම්කරුවන් අවශ්‍ය නිගමන කරා එලැඹීම වැලැක්වීම ය. එය නම්, හාවි සුලි කුනාටුව සිදුකල අතිමහත් ව්‍යසනය, ඇමරිකානු පාලක පන්තිය වගකීම දැරිය යුතු, ධනවාදයේ අපරාධයක් බව ය.

මේසා පරිමාන ගංවතුර ගැලීමක් සිදුවීමේ හැකියාව පෙර දැකිය නොහැකි හෝ පෙර නොදක්නා ලද හෝ නොවීය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල, අවදානම් කලමනාකරන විශේෂඥ රොබට් බී සමග කල සම්මුඛ සාකච්ඡාවේ සඳහන් පරිදි නගරයට උතුරින් වැටෙන වැහි ද නගරය ගංවතුරෙන් යට නොකර මෙක්සිකෝ බොක්කට ගලායෑම සහතික කිරීම සදහාවූ වැනි, අති මූලික පියවර ගැනීමක්වත් නිකම්ම නොතකා හැර තිබුනි. ප්‍රදේශයට සුලි කුනාටු සඳහා නැඹුරුවක් තිබුනේවුව ද, ආපදාවක් වුවහොත් ප්‍රදේශයෙන් ක්‍රමවත්ව ඉවත් වීම සඳහා සැලැස්මක් නොවීය.

සෑහෙන ප්‍රමානයේ සූදානමක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන මට්ටමේ සැලසුම්කරනයක් හා පෙරදැක්මක් සඳහා පාලක පන්තිය නොපොහොසත් ය. පසුගිය හතලිස් වසර මුලුල්ලේම ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙපාර්ශවයම යටතේ, ඒකායන ලෙස යෙදී ගෙන ඇත්තේ ධනය යලිඉහලට බෙදාහැරීම, සමාගම් සඳහා රෙගුලාසි ඉවත් කිරීම, මූල්‍ය සමපේක්ෂනය ආදී ප්‍රතිපත්තිවල ය. මේවායේ ප්‍රතිඵල දක්නට ලැබෙන්නේ හූස්ටන්හි පමනක් නොව මුලු රට පුරාම ය: වාර්තාගත මට්ටමේ සමාජ අසමානතාව, කර්මාන්ත හරනයවූ නගර, පිරිහෙමින් පවතින ජීවිතාපේක්ෂා කාලය සහ -මිචිගන්හි ෆ්ලින්ට් නගරයේ ජල සැපයුම විෂවීම ඇතුලත් ගනන් නැති උදාහරන මගින් පෙන්නුම් කරන පරිදි- ඛාදනය වන රටේ අධස්ථ ව්‍යූහය .

වතුර බැස යාමටත් පලමුව, පාලක ප්‍රභූවේ දේශපාලන නියෝජිතයන්ගේ ප්‍රධාන උත්සුකය වී ඇත්තේ, ව්‍යසනයට වගකිවයුත්තන් ඒ සඳහා වන්දි ගෙවීම වැලැක්වීම සහතික කර ගැනීම ය. යම් ආකාරයක මධ්‍යම ආන්ඩුවේ හදිසි ආපදා අරමුදල් පනතක් සම්මත කිරීම බලාපොරොත්තු විය හැක. කැට්රීනා හා සැන්ඩි සුලි කුනාටු වලට පසුව සිදු වූ පරිදි, උපකාර අවශ්‍ය කරන අයට සාමාන්‍යයෙන් නය මුදල් ස්වරූපයෙන් දෙනු ලබන, නොසෑහෙන්නාවූ එම අරමුදල් සඳහා වුවද බරපතල ලෙස සටන් වැදීමට සිදු වනු ඇත.

පාලක පන්තිය කුමන හෝ ක්‍රමයකින් මේ වියදම දැරීමට කම්කරුවන්ට බල කරනු ඇත. ට්‍රම්ප් පාලනාධිකාරයේ ප්‍රධානතම දේශීය ප්‍රතිපත්ති ප්‍රමුඛතාව, සමාගම් සඳහා බදු මහා පරිමානයෙන් කපා දැමීම යි. හාවි ය පහරදීමට පෙරාතුව, ගංවතුර නැගීගෙන එද්දීමත්, ජනාධිපති ට්‍රම්ප් හා උප ජනාධිපති මයික් පෙන්ස් ඔවුන්ගේ “බදු ප්‍රතිසංස්කරන“ යෝජනා ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුල සවාරිවල යෙදීගන සිටියහ.

මෙලෙසින්ම, රිපබ්ලිකානු ජෝන් මැකේන් පසුගිය මස 31 වනදා වොෂින්ටන් පෝස්ට් හි, “කොන්ග්‍රසය සාමාන්‍ය කටයුතුවලට යලි පිවිසීමට කාලය ඇවිත්” යන මැයෙන් ප්‍රධාන ලිපියක් පළ කරමින් සුළි කුනාටුව ගැන සඳහනක් නොකරම, ඒ වෙනුවට “බදු ප්‍රතිසංස්කරනය” (මෙය,සමාගම් බදු කපා හැරීම සදහා මෘදුක්තියකි) හා ආරක්ෂක වියදම් වැඩි කිරීම උදෙසා කොන්ග්‍රසය ඉදිරියට යා යුතු බවට කැඳවුම් කලේ ය. මේ අතර ඩිමොක්‍රටිකයන් සමාගම් සඳහා බදු කපා හැරීම මගින් බදු නීති සංග්‍රහය “සරලකරනය” සඳහා පාලනාධිකාරිය සමග එකට වැඩ කිරීම සඳහා තමන්ගේ සහයෝග නැවත නැවතත් ප්‍රකාශ කර ඇත.

කම්කරු පන්තිය තමන්ගේ වැඩසටහන ඉදිරියට දැමිය යුතු ය. හානියට පත් වූ නිවහන් හා දේපල සම්පූර්නයෙන්ම යථා තත්වයට පමුනුවා, කුනාටුවේ බලපෑමට හසු වූ සියලු දෙනා යලි පූර්නත්වයට පත් කල යුතුය. කුනාටුවෙන් අවතැන්වූවන් සදහා ගුනාත්මක නිවහන් ලබා දිය යුතුය. නගරය යලි ගොඩනැගීම සඳහා සහ රටපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා බහු ට්‍රිලියන පොදු පහසුකම් වැඩ සටහනක් සදහා ආරම්භකත්වය දිය යුතුය.

මෙවැනි වැඩසටහනක් අරමුදල් යොදවා ක්‍රියාවට නැගීම සඳහා, මූල්‍ය ප්‍රභූවේ ධනයට හා බලයට එරෙහි සෘජු ප්‍රහාරයක් අවශ්‍ය කෙරේ. 2016 දී පොහොසත්ම ඇමරිකානුවන් 400 දෙනා ගේ මුලු ශුද්ධ වත්කම් වල අගය ඩොලර් ට්‍රිලියන 2.4 ක් වූ අතර කොටස් වෙලඳපලේ සිදුවෙමින් පවතින වර්ධනය හා සමග සිදු වූයේ එහි අගය වැඩි වීම පමනකි. මෙය හාවි සුලි කුනාටුවෙන් සිදුවූයේ යැයි ගනන් බලා ඇති හානිය මෙන් දොලොස් ගුනයකටත් වඩා අධික අගයකි. පසුගිය අවුරුද්ද තුල පමනක් එක්සත් ජනපදයේ බැංකුවල ශුද්ධ ආදායම බිලියන 171ක් විය. තුන්වන ලෝක යුද්ධයක් මුදාහැරීමේ තර්ජනය රැගත්, ලෝක ආධිපත්‍ය සඳහා වූ නිරන්තරයෙන් ප්‍රසාරනය වන යුද්ධ ධාවනයකට අවශ්‍ය මුදල් සපයමින්, එක්සත් ජනපද මිලිටරියේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 600 ඉක්මවයි.

කම්කරු පන්තිය විසින් නිර්මානය කරන මහා ධනස්කන්ධය වරප්‍රසාදිත කිහිප දෙනාගේ ග්‍රහනයෙන් මුදවාගෙන සමාජ අවශ්‍යතා සැපිරීම සඳහා යොදා ගත යුතුය. මුලුමහත් දේශපාලන පද්ධතිය පාලනය කරමින් ප්‍රතිපත්ති සඳහා අන දෙන යෝධ සංගත හා බැංකු කම්කරු පන්තිය විසින් පාලිත මහජන උපයෝගිතාවන් බවට පරිවර්තනය කල යුතුය.

එක්සත් ජනපදය තුල මෙන්ම ජාත්‍යන්තරව ද සමාජ අර්බුදයේ අන් සියලු ප්‍රකාශනයන්ගෙන් හාවි සුලි කුනාටුව වෙන් කල නොහැක. කම්කරු පන්තිය සඳහා නම්, විශාලතම ප්‍රශ්නය වන්නේ දේශපාලන බලය සඳහා වන අරගලය තුල සංවිධානය වීම ය. මෙය, පාලක ප්‍රභූවට පීඩනය දැමී‍මේ හෝ එහි යම් කොටසක් වෙනත් කොටසකින් විස්ථාපනය කිරීම පිලිබඳ කරුනක් නොවේ. කම්කරු පන්තිය දේශපාලන බලයක් ලෙස තමන්ව සංවිධානය කර ගනිමින් සමාජයේ ස්වාමිත්වය අත්කර ගත යුතුය. මෙම අරගලයට නායකත්වය දීම, සමාජවාදී සමානතා පක්ෂයේ මූලික කර්තව්‍ය යි.

ජෝශප් කිෂෝර්

Share this article: