බුරුම මිලිටරිය රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි වාර්ගික පවිත්‍රකරනය උත්සන්න කරයි

Burmese military steps up ethnic cleansing of Rohingya Muslims

ජෝන් රොබට්ස් විසිනි, 2017 සැප්තැම්බර් 7

මියන්මාරය නමින් ද හැඳින්වෙන බුරුමයේ විදේශ ඇමතිනී අවුන් සාන් සුකී නායකත්වය දරන ආන්ඩුව, එරට මිලිටරිය විසින් පසුගිය සතිය පුරා වයඹදිග රඛින් ප්‍රාන්තයේ මුස්ලිම් රොහින්ගියානුවන්ට විරුද්ධ ව ගෙනයන “සංහාරක මෙහෙයුම්වල” දී මිලිටරියත් සමග මුලුමනින් ම අත්වැල් බැඳගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට අනුව, ආරක්ෂක හමුදාවන්ට එල්ලවූ ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් යැයි කියමින් අගෝස්තු 25දා, මිලිටරිය ඇරඹූ ගිනි තැබීමේ හා සමූහ ඝාතන සහිත වාර්ගික සංහාරක පිලිවෙත හේතුවෙන්, රොහින්ගියා මුස්ලිම්වරුන් 90,000ක් පමන එක්කෝ පලාගොස් ඇත; නැතහොත් බලහත්කාරයෙන් පන්නා දමා ඇත.

සැප්තැම්බර් 4දා තවත් සරනාගතයෝ 20,000ක් බංග්ලාදේශ දේශසීමාවට එක්රැස් වූහ. සියලු සරනාගතයන්ට ආපසු හැරී යන ලෙස බංග්ලාදේශ ආන්ඩුව නියම කර ඇත. එහෙත්, රටතුලට ඇදී එන්නන්ගේ සංඛ්‍යාව වැඩි නිසා වැලැක්වීම අසීරු බව ඒජන්සි ෆ්‍රාන්ස් ප්‍රෙස් සේවය වෙත අදහස් පලකල එක් දේශසීමා ආරක්ෂක භටයෙක් කීවේ ය. “පහුගිය වතාවට වඩා මේ අවස්ථාවෙ කට්ටිය වැඩි” යයි ඔහු කීවේ ය.

සැප්තැම්බර් 4දා වනවිට, අලුතින් එක් වුනු නව සරනාගතයන් 87,000 ද සමග ඔක්තෝබරයේ සිට මේ දක්වා පලා ගිය සරනාගතයන් සංඛ්‍යාව 150,000ක් දක්වා ඉහල ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි. අරකන් රොහින්ගියා ගලවාගැනීමේ හමුදාව (ඒආර්එස්ඒ) කලින් එල්ල කල කුඩා ප්‍රහාරවලට ප්‍රතිචාර වසයෙන් දියත් කෙරුනු පූර්ව “සංහාරක” මෙහෙයුම්, පසුගිය ඔක්තෝබරයේ ඇරඹී මාස පහක් තිස්සේ කෙරීගෙන ගියේය.

සරනාගත කඳවුරුවල දැන් වර්ධනය වන තත්ත්වය ව්‍යසනකාරී එකකි. බංග්ලාදේශය වෙත පලාවිත් තිබෙන මුලු සරනාගතයින්ගේ සංඛ්‍යාව 400,000කට අධික වේ.

බුරුම ජාතිකවාදී මැරයන්ගේ සහයෝගය ද ඇති ව, කලින් ම සැලසුම් කරන ලද සංහාර දියත් කිරීම සඳහා නිමිත්ත ලෙස ඒආර්එස්ඒ එල්ල කරන ලද ප්‍රහාර මිලිටරිය විසින් ගසාකෑවේ ය. අඩු වසයෙන් අගෝස්තුවේ මුල පටන් වත් හමුදාව තම භටකායන් මෙම ප්‍රදේශය තුල ස්ථානගත කර තිබුනි. එහි එල්ලය වන්නේ, පරම්පරා ගනනාවක් තිස්සේ බුරුමය තුල ජීවත් ව ඇති රොහින්ගියා මුස්ලිම්වරුන් මුලුමනින් ම එරටින් එලවා දැමීම යි.

සුකී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (එන්එල්ඩී) සෑම පියවරක දී ම මිලිටරියට පිටුබලය දී ඇත. සුකී හා එන්එල්ඩීය විසින් පත්කල ජනාධිපති යූ තින් යෝ, හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන් ලයිංගේ “ඉල්ලීම මත”, සමස්ත කලාපය ම “මිලිටරි මෙහෙයුම් පවතින ප්‍රදේශයක්” වසයෙන් නම් කිරීමට අවසර දුන් බව මාධ්‍ය වාර්තා කලේ ය.

බුතිඩවුං, මවුන්ඩෝ හා රතේඩවුං නාගරික ප්‍රදේශ මෙන් ම ටවුංපොලෙත්වේ හා මයින්ලුත් උප නගාරික ප්‍රදේශ ද මෙහෙයුම් කලාපය මගින් ආවරනය වන බව, යී කාන් පින්හි පිහිටා ඇති දේශසීමා පොලිස් මූලස්ථානයේ දී මේජර් කෝ සෝ සඳහන් කලේ ය. දැනට සිදුකර ඇති අපරාධ සාධාරනීකරනය කරමින්, ආඥාව අගෝස්තු 25 තෙක් පසුපසට ගෙනයාමට ද යූ ටින් කටයුතු කලේ ය. ජනාධිපතිවරයාගේ තීරනය, “පවිත්‍ර කිරීමේ මෙහෙයුම්වල දී ත්‍රස්තවාදී සංවිධානවලට විරුද්ධ ව තීරනාත්මක පියවරයන් ගැනීමේ හැකියාව” තහවුරු කරන බව මේජර් සෝ කීවේ ය. සැප්තැම්බර් 2දා වනවිට, මාධ්‍යවලට ද රාජ්‍ය නොවන සංවිධානවලට ද ඇතුල් විය නො හැකි කලාපයක් වසයෙන් නම් කරන ලද මෙහෙයුම් ප්‍රදේශයෙන් මුස්ලිම් නොවන “වාර්ගික පදිංචිකරුවන්” 11,700ක් ද පලවාහැර තිබුනි.

කිලෝමීටර 100ක වෙරල තීරයට සමාන්තර රොහින්ගියානුවන් ජීවත් වන ගම් හා නගර 10ක් පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප එක්සත් ජනපදයේ හියුමන් රයිට්ස් වොච් විසින් ගෙනහැර දැක්වීමෙන් පසු, නිවාස 2,700ක් පමනක් විනාශ කල බව හමුදාව පිලිගත්තේ ය. වැසියන් 1,500ක් පමන මරාදමමින් පසුගිය ඔක්තෝබරයේ සිට නොවැම්බරය දක්වා ආරක්ෂක හමුදා විසින් ගිනිතැබූ ප්‍රදේශය මෙන් පස්ගුනයකටත් වඩා මෙම ප්‍රදේශය විශාල බව එච්ආර්ඩබ්ලිව් සඳහන් කලේ ය.

සැප්තැම්බර් පලමුවන දා පැවති මිලිටරි සමරු උත්සවයක දී කතා කල ජෙනරාල් ලයිං, පොලිස් නිලධාරීන් 11ක්, සොල්දාදුවන් දෙදෙනෙක්, සිවිල් වැසියන් හා නිලධාරීන් 16ක් ඝාතනය වී, පාලම් 8ක් හා නිවාස 2,700ක් විනාශව ගොස් තිබුනු බව කියා සිටියේ ය. අගෝස්තු මාසයේ අවසන් සමයේ ආරක්ෂක හමුදා සහ ඒආර්එස්ඒ අතර ගැටුම් 90ක දී සටන්කාමීන් 370ක් පමන මරුමුවට පත් වූ බව අගෝස්තු 31දා නිකුත් කල යුදහමුදා වාර්තාවක් කියාසිටියේ ය.

මරන සහ විනාශයන් පිලිබඳ ව සුකීත් මිලිටරියත් වරද පටවන්නේ, පසුගිය ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කල, දුර්වල අවිවලින් සන්නද්ධ ඒආර්එස්ඒ සටන්කාමීන් මත ය. මෙම සන්නද්ධ කන්ඩායම සාමාජිකයන් බඳවා ගැනීම ඇරඹුවේ ඊට හයමසකට පෙර යැයි බුරුම ආරක්ෂක නිලධාරීහු පවසති. කැරලිකාරීන් මත කඩාපැනීම සඳහා බංග්ලාදේශ ආන්ඩුව පිරිනමන සහයෝගය හේතුවෙන් ඒආර්එස්ඒ හුදකලා කෙරී පවතී.

රොහින්ගියානුවන් නීති-විරෝධී “බෙංගාල” සංක්‍රමනිකයන් ලෙස හංවඩු ගසන එන්එල්ඩීය හා මිලිටරිය යන දෙක ම, රොහින්ගියා-විරෝධී ස්වෝත්තමවාදයේ ගැඹුරින් ම ගිලී සිටිති. ඔවුන් සලකනු ලබන්නේ, කිසිදු මූලික අයිතියකින් තොර, බුරුම පුරවැසියන් නො වන අය ලෙස යි.

බ්‍රිතාන්‍ය මිලිටරිය සමග එක්ව, 1942 පටන් ම සටන් කලේ යයි සැප්තැම්බර් 1දා පැවති සමරු උත්සවයේ දී ජෙනරාල් ලයිං “බෙංගාලිවරු” හෙලා දැක්කේ ය. එය යලි කිසි දිනක සිදු නො විය යුතු බව කී ඔහු, හමුදාව බුරුමයේ ස්වෛරීභාවය ආරක්ෂා කරනු ඇතැයි පැවසී ය.

1942 “බෙංගාලිවරුන්” ගැන ලයිං කල සඳහන, බුරුම ජාතිකවාදයේ ප්‍රතිගාමී මූලයන් අවධාරනය කරයි. බ්‍රිතාන්‍ය විජිතවාදී අධිකාරීන් එහි මිලිටරි බලකායන්ට රොහින්ගියා මුස්ලිම්වරුන් බඳවා ගනිද්දී, සමහර බුරුම ජාතිකවාදී ස්ථරයන් ජපානය සමගින් එක් වූයේ, නිදහස පිරිනමන බවට දුන් ව්‍යාජ පොරොන්දුවට වහවැටීගෙන ය.

ජපාන විජිතවාදී තන්ත්‍රය විසින් බිහිකල බුරුම විමුක්ති හමුදාව (බීඅයිඒ) ජපාන මිලිටරිය සමගින් එක්ව බ්‍රිතාන්‍යට එරෙහිව සටන් වැදුනි. බීඅයිඒ සාමාජිකයන් අතරට, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව බුරුම හමුදාව ගොඩනැගීමට ක්‍රියා කල සුකීගේ පියා වූ අවුන් සාං හා නේ වින් අයත් වූහ. 1962 සිට 1988 දක්වා බුරුම මිලිටරි ආඥාදායකත්වයට නායකත්වය දුන්නේ නේ වින් ය.

ජපාන හමුදාව සමග බුරුමයට කඩාවැදුනු බීඅයිඒ හමුදා, බ්‍රිතාන්‍යයට සහයෝගය දුන් අය ලෙස ඔවුන් නම් කල වාර්ගික සුලුතරයන්ට පහර දීමේ දී අතිශයින් කෲර ලෙස ක්‍රියා කලහ. බොහෝදෙනා ඝාතනය කරන ලදි. එක් අවස්ථාවක දී වාර්ගික සුලුතර කන්ඩායම්වලට පහර දීමේදී බීඅයිඒ හමුදාවන් පාලනයට කිරීමට පවා ජපානයට සිදු විය.

ජෙනරාල් ලයිං සඳහන් කරන සම්ප්‍රදායන් මේවා ය. බෙංගාලි “ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ ඇදී එන නිම නො කල දෙයක් බවට පත් ව ඇති” බව ඔහු කීවේ ය. මෙයින් පැහැදිලි ව ගම්‍ය වන්නේ, එම ගැටලුව කෲර වාර්ගික සංහාරයක් භාවිතා කර නිම කල යුතු කාලය එලඹ තිබෙන බවට බුරුම ආන්ඩුව නිගමනය කර තිබෙන බව යි.

රොහින්ගියා සරනාගතයන්ගේ තත්වය සබෑ ලෙස විස්තර කරන්නේ, එම ඓතිහාසික සාධකවලින් ය.

සැප්තැම්බර් පලමුවන දා බංග්ලාදේශයට පැමිනි 3,000ක පිරිස අතර වූ 60 හැවිරිදි ජලාල් අහමද්, 200 දෙනෙක් සමග කඩාවැදුනු හමුදාව තමන්ගේ මුලු ගම්මානයටම ගිනිතැබූ බව රොයිටර් පුවත් සේවයට කීවේ ය. සටන් බිම් හා ගම්මානවල සිදු වූ ගෙල කපා මරා දැමීම් හා වෙඩිතැබීම් සම්බන්ධ තවත් නිශ්චිත වාර්තා ෆෝටිෆයි රයිට්ස් (අයිතිවාසිකම් සවිමත් කරනු) යන ආධාර සේවයට ලැබී තිබේ.

විවිධ සරනාගත මධ්‍යස්ථාන වෙත ලැබී ඇති සිය ගනනක් වන සම්මුඛ සාකච්ඡා මත පදනම් ව සැප්තැම්බර් 1දා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තවදුර සාක්ෂි සම්පාදනය කලේය. විශේෂයෙන් ම අවුරුදු 17-45 අතර වයසේ පසුවන වැඩිහිටි පිරිමි රොහින්ගියානුවෝ සලකුනක් වත් නොමැති ව අතුරුදහන් වූහ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සලකනු ලබන, මහා පරිමාන ඝාතන හා අයිතීන් උල්ලංඝනය කිරීම් සිදු වී තිබීමේ හැකියාව චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වා දෙයි.

2012 හා 2014 සිද්ධීන් ද ඇතුලු බුරුම මිලිටරියේ කටයුතු ගැන පරීක්ෂනයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ නිලධාරීනකියා ඇතත්, සුකීගේ ආන්ඩුව එයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෑත ම “සංහාරක මෙහෙයුම්වල” පරිමානය, මැලේසියාව, තුර්කිය හා පාකිස්ථානය වෙතින් නිල විරෝධතා මතු කලේ ය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදෝදෝ තම විදේශ ඇමති රෙට්නෝ මර්සුදී බුරුමයට හා බංග්ලාදේශයට යැවී ය. ජාත්‍යන්තර පරිමානව බුරුම තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂන හා විරෝධතා පවත්වා තිබේ.

බටහිර ජාතීන් මිලිටරියේ කටයුතු ගැන විවේචන කලත්, ඒ ගැන සුකීගේ ආන්ඩුව හෙලාදැකීම ප්‍රතික්ෂේප කර තිබේ. උදාහරනයක් ලෙස, “අපගේ යුගයේ වඩාත් ම නිර්මානශීලී චරිතවලින් එකක්” ලෙස සුකී විස්තර කල බ්‍රිතාන්‍ය විදේශ ඇමති බෝරිස් ජොන්සන්, ප්‍රචන්ඩත්වය අවසන් කිරීම සඳහා ඇයගේ “සුවිශේෂී හැකියාවන්” ප්‍රයෝජනයට ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය.

මිලිටරියේ සංහාරයන් සමග සුකීට පවතින සම්බන්ධකම් ගැන ඉතා හොඳින් දැනුවත්ව, සිදුවන දේවල් කෙරෙහි ඇගේ අධිරාජ්‍යවාදී සහකරුවන්ට පවතින වගකීම සගවාලීම පිනිස, එසේ අදහස් දක්වා ඇත.

සුකී නායකත්වය දෙන ආන්ඩුව බොහෝසෙයින් ම යුරෝපා සංගමයේ හා එක්සත් ජනපදයේ නිර්මානයකි. “ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්” ලෙස ඇයව ඔජවැඩූ, ලන්ඩනය, බ්‍රසල්ස් හා වොෂින්ටනය, 2011 දී සුකී, මිලිටරි ජුන්ටාව සමග අටවාගත් සන්ධානයට නිල මුද්‍රාව තැබූහ.

බුරුම මිලිටරිය කෙරෙහි බටහිර අධිරාජ්‍යවාදීන් පලකරන විරෝධයට, එහි අපරාධ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම සමග මෙලෝ සම්බන්ධයක් නැත. එය යොමු වන්නේ, එයට -බුරුම මිලිටරියට- බීජිනය සමග ඇති සම්බන්ධකම් කෙරෙහිය. ජුන්ටාව, බුරුම විදෙස් පිලිවෙත වෙනස් කොට, බටහිර ආයෝජන වෙත එරට යලි යොමු කල විට, එක්සත් ජනපදය හා යුරෝපා රටවල් “මානව හිමිකම්” පිලිබඳව පලකල කනස්සල්ල හෙමින් සීරුවේම අත්හැර දැමූ හ.

Share this article: