සයිටම්-විරෝධී “වැඩ වර්ජනයට” කම්කරු සහභාගිත්වය අවම වෙයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 25

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, “සයිටම් විරෝධී සිසු ජන පවුර” විසින් පසුගිය 21 දා ට කැඳවා තිබූ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ එක්දින “වැඩ වර්ජනයට” , එම ක්ෂේත‍්‍රයන් හි කම්කරුවන් දක්වා තිබුනේ අවම ප‍්‍රතිචාරයකි.“වර්ජනය ඉතා සාර්ථක” වූයේයැයි එය කැඳවූවන් ගසන කයිවාරු වලට විපරීතව, වෛද්‍යවරු හැර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාසැල් ගුරුවරුන්, හෙද-හෙදියන් ඇතුලු අවශේෂ කම්කරුවන් වර්ජනයට සහභාගි වූයේ නැති තරම්ය.

“සයිටම් විරෝධී සිසු ජන පවුර” විසින් පෙර සතියේ සංවිධානය කල සයිටම්-විරෝධී රථ පෙලපාලිය අවසන් කරමින් කොලඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වූ රැස්වීමේදී, 21 දා වැඩ වර්ජනයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් මුලුමනින්ම අඩාල කරන බවට එහි කථිකයන් උස්හඬින් ප‍්‍රකාශ කල ද, එය සංවිධානය කිරීම සඳහා කවර හෝ සංයුක්ත පියවරක් නොගැනුනි.

“මෙම සටන ජයග‍්‍රහනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සම්පූර්න දායකත්වය සහ කැපවීම” ලබාදෙන බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එම රැස්වීමේදී නැවත නැවතත් ශපථ වූ නමුදු තම පක්ෂයට අයත් වෘත්තීය සමිති සාමාජිකත්වය පවා වර්ජනයට මෙහෙයවා ගැනීමේදී ජවිපෙ අනුගමනය කලේ මුලුමනින්ම ඇල්මැරුනු පිලිවෙතකි.

පාසැල් සහ රෝහල් කීපයකට ගිය වෘත්තීය සමිති නියෝජිතයන් විසින් සිදුකරන ලද පත්‍රිකා බෙදීමක් හැර අන් කිසිම දැනුවත් කිරීමක් හෝ සිදු නොකෙරුනු බව දිවයිනේ විවිධ පලාත්වල පාසැල් සහ රෝහල් හි සේවයේ නියුතු ගුරුවරු සහ හෙද-හෙදියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූහ.

හලාවත ආනන්ද විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු මෙසේ පැවසුවේය: “අපි අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරනයට මුලුමනින්ම විරුද්ධයි. සයිටම් වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනය පුද්ගලීකරනයේ ප‍්‍රතිඵලයක්. ඒ නිසා ඊට එරෙහි සටන පුද්ගලීකරනයට එරෙහි සටනක්. වෛද්‍යවරුන්ගේ සමිතිය සහ ඒ අයත් එක්ක එකතුවෙල ඉන්න ‘සයිටම්-විරෝධී සිසු-ජන පවුර’ මේ සටන සයිටම් ට එරෙහි සටනක් බවට ලඝු කරල තියෙන්නෙ. අපි වුනත් මේ වර්ජනයට සහභාගි නොවෙන්න ඒක හේතුවක්. පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ සියලුම ප‍්‍රහාර වලට විරුද්ධව සෑම ක්ෂේත‍්‍රයකම වර්ජනයක් කැඳෙව්වනම් මීට වඩා සහභාගිත්වයක් අනිවාර්යයෙන්ම තියෙනව. කොහොම වුනත් පත්‍රිකාවක් බෙදීම හැර වෙන කිසිම දෙයක් ගුරු සංගම් වලින් කලේ නෑ. අපේ පාසැලේ කවුරුවත් වර්ජනයට සහභාගි වුනේ නෑ.”

ඒ සමගම ඔහු පැවසුවේ, කෙසේ නමුත් එවැනි වැඩ වර්ජනයකදී ආන්ඩුවේ මර්දනයට මුහුනදීම සඳහා නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි. “බලන්න දැන් විදුලිබල වර්ජනය. ආන්ඩුව අස්ථිර සේවකයන්ට ලියුම් ගැහුව සේවය හැර ගියා කියල. ඒ විතරක් නෙවෙයිි, හමුදාවත් දානව කිව්ව. ඊට ඉස්සෙල්ල තෙල් කම්කරුවන්ගේ සටනට හමුදාවෙන් පහර දීල මර්දනය කලා. අපි වර්ජනය කලත් මේ ප‍්‍රශ්න වලට මුහුන දෙන්න ඕන. ගුරු සංගම් වලට මේවට උත්තර නෑ. ඒ නිසයි මේ වර්ජන ඇල්මැරුනු විධියට සංවිධානය කරන්නෙ. අනෙක් අතට ගුරු සංගම් කීවට ගුරුවරු සටනට එන්නෙත් නෑ මේ ප‍්‍රශ්න වලට ඔවුන්ගෙන් විසඳුම් ලැබෙන්නෙ නැති නිසා.”

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක පැවසුවේ ද තම පාසැලේ කිසිවෙකු හෝ වර්ජනයට සහභාගි නොවූ බවයි. “අපි වර්ජනය නොකලෙ සයිටම් ට පක්ෂ නිසා හෝ ආන්ඩුවට විරුද්ධව සටන් කරන්න ඕන නැති නිසා නොවෙයි. පලමු කොටම අපිට මේ ගුරු සංගම් විශ්වාස නෑ. ඔය සිසු-ජන පවුරෙ ඉන්න අයත් අපි විශ්වාස කරන්නෙ නෑ. ඒකට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුනම නෙ මේ ආන්ඩුව ගේන්න වැඩ කලෙ. දැන් හදන්නෙ රාජපක්ෂට ආයෙත් තැන හදල දෙන්න.”

ජවිපෙ ට අයත් ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුලු වෘත්තීය සමිති කීපයක් එකතුවක් වන “සයිටම් විරෝධී ගුරු විදුහල්පති එකමුතුව” විසින් ගුරුවරුන් අතර බෙදා ඇති, “නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව සහ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව පෙලගැසෙමු! සැප්තැම්බර් 21 වර්ජනයට එක්වෙමු!” යන හිසින් යුත් පත්‍රිකාවෙන්ම මෙම සමිතිවල ධනපති ගැතිභාවය සහ ඔවුන් විසින් ඉදිරිපත් කරන ක්‍රියා මාර්ගයේ බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත්වෙයි.

සැප්තැම්බර් 21 “වර්ජනයට” එක්වෙමු යැයි ආරම්භයේදී ගුරුවරුන්ට පවසන මොවුන් අවසානයේදී යෝජනා කරන්නේ “අසනීප නිවාඩු වාර්තා කරමින් පාසල් පැමිනීමෙන් වැලකී සිටින” ලෙසයි. මෙය වර්ජනයක් ලෙසින් නම් කිරීමමත් ප්‍රෝඩාවකි. වර්ජනයකදී කම්කරු පන්තියේ ඓතිහාසික සම්ප‍්‍රදාය වනුයේ, වැඩපොලට පැමින තමාට නියමිත රාජකාරි කටයුතු වලින් ඉවත්ව සිටීම සහ එසේ ඉවත්ව සිටින කාලය තුල, තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පිකටිං, පෙලපාලි සහ රැස්වීම් වැනි විරෝධතාවන්හි නිරත වීමයි. අසනීප නිවාඩු වාර්තා කොට නිවසටවී සිටීමට යෝජනා කිරීම කම්කරුවන්ගේ සටන්කාමිත්වය මොට කිරීමට සහ අනෙකුත් කම්කරුවන් සමග ඇති කෙරෙන පන්ති සහයෝගීතාවය දුබල කිරීමට සිතාමතා ඇටවූ උගුලකි.

කම්කරු පන්තියේ සටන් සම්ප‍්‍රදායන්ගෙන් ඔවුන් බැහැර කොට, සත්‍යග‍්‍රහ, උපාවාස, පොල් ගැසීම්, දේව කන්නලව් සහ යාදිනි ඇතුලු නිවට නියාලු සහ පරාගතවාදී විධික‍්‍රමයන්ට කම්කරුවන් තල්ලු කොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීම “සයිටම් විරෝධී ගුරු විදුහල්පති එකමුතුව” ඇතුලු වෘත්තීය සමිතිවල කාර්යභාරය බවට පත්ව ඇත.

“එකමුතුව” පවසන්නේ සයිටම් සම්බන්ධ මහජනතාවගේ ඉල්ලීම් කිසිවකට “ආන්ඩුව ඇහුම්කන් දෙන බවක් නොපෙනෙන” බවයි.

ආන්ඩුව ඇහුම්කන් නොදෙන්නේ, ජනධිපතිගේ, අගමැතිගේ, එසේත් නොවේ නම් ඇමතිවරුන් කීප දෙනෙකුගේ දුෂ්ඨත්වය හෝ උද්ධච්ඡභාවය වැනි ආත්මීය කරුනු නිසා නොව, සුවකල නොහැකි අර්බුදයකින් වෙලී සිටින ධනපති ක‍්‍රමය විසින් ලොවපුරා පාලක පන්තීන්ට, පුද්ගලීකරනය ඇතුලු ප‍්‍රහාර වෛෂයිකව නියම කෙරී ඇති බැවිනි.

පරිහානිගත ධනපති ක‍්‍රමය තුලම ආන්ඩුවට “ඇහෙන දැනෙන” ක‍්‍රමවේදයන් සෙවීම හැර, ධනපති ක‍්‍රමයට විකල්ප වූ නිශ්පාදන-ආර්ථික ක‍්‍රමයක් තුල කම්කරු-පීඩිත මහජනතාව මුහුන දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා මෙම සමිති සහ ඒවායේ නිලධරය යොමු නොවන්නේ ඒවා ධනපති ක‍්‍රමයට සහ ධනපති රාජ්‍යයට තදින්ම බැඳී පවතින බැවිනි.

පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමේ සටන, ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් සමග අවශ්‍යයෙන්ම බැඳී පවතීි. ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකින් තොරව එවන් අරගලයක් සාක්ෂාත් කල නොහැක.

“සයිටම් විරෝධී සිසු ජන පවුර” සහ “සයිටම් විරෝධී ගුරු විදුහල්පති එකමුතුව” යන සංවිධානයන් දෙකම ඉහත වැඩපිලිවෙලට මාරක සතුරුය. ධනපති පාලකයන්ට බලපෑම් යෙදීම මගින් තම ගැටලු විසඳාගත හැකිය යන මිථ්‍යාව කම්කරුවන් සහ ශිෂ්‍යයන් අතර වපුරමින් විරෝධතා දේශපාලනය තුල ඔවුන් දිගටම සිරකොට තබනුයේ එබැවිනි.

ඔවුනගේ විරෝධතා දේශපාලනයේ අවසන් ප‍්‍රතිඵලය වනුයේ ආන්ඩුවේ පිලිවෙත් සහ ඒවායෙන් ගලාඑන ප‍්‍රහාරයන්ට කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් මුලුමනින්ම යටත් කිරීමයි. ගුරු-විදුහල්පති එකමුතුවේ පත්‍රිකාවෙන්ම ඒ බැව් සනාථ වෙයි. එහි මෙසේ සඳහන් වෙයි. “ගැටලුව විසඳීම සඳහා සැමට පිලිගතහැකි ප‍්‍රායෝගික යෝජනාවලියක් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇත. සයිටම් ආයතනයට ලමුන් බඳවා ගැනීම ස්ථිර පදනමින් තර කර 2016 දක්වා බඳවා ගෙන ඇති සිසුන්ට සාධාරනයක් ඉටු කිරීමට එමගින් යෝජනා කර ඇත. මෙම ගැටලු විසඳීම සඳහා අවම තරමින් එම යෝජනාවන් පිලිගත යුතුව ඇත.”

ප‍්‍රමිතිය අනිවාර්ය කරන සහ පුද්ගලීකරනය අනුමත කරන මේ යෝජනා ආන්ඩුව දැනටමත් පිලිගෙන තිබේ. “සයිටම් විරෝධී ගුරු විදුහල්පති එකමුතුව” යත්න දරන්නේ මෙම යෝජනාවන් කම්කරුවන් සහ සිසුන්ට ගිල්ලීමටයි. මෙම “වර්ජනය” කැඳවනු ලැබුවේමත් පුද්ගලීකරනයට එරෙහි සටන සඳහා සැබෑ උමනාවෙන් ඉදිරියට එන කම්කරුවන් සහ සිසුන් ගේ දිරිය බල සිඳ එම සටන දියකර දැමීමටයි.

Share this article: