අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම්වලට ශාස්ත‍්‍රාලිකයෙකුගේ ප‍්‍රහාරයක්

සකුන ජයවර්ධන විසිනි, 2018 අප්‍රේල් 20

“හඳ ඉල්ලීමට එහා ගිය සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය” යන ශීර්ෂ පාඨය යටතේ අප්‍රේල් 7 දිවයින පුවත්පතට ජනිදු ලියන පතිරන නම්වූ “ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්” දීර්ඝ ලිපියක් ලියා තිබුනි. ඔහු මෙම ලිපිය එල්ල කර තිබුනේ වර්ජකයන්ට එරෙහිව ආන්ඩුවට පන්දම් ඇල්ලීමට, අනෙකුත් කම්කරුවන් හා සිසුන් උසි ගැන්වීමට හා පසුගාමීත්වය වගා කිරීමටයි.

පතිරනගේ ලිපියෙන් දින කීපයකට පසු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අප්‍රේල් 11 දා “විශේෂ ප‍්‍රකාශයක්” නිකුත් කරමින් අනධ්‍යන සේවක වැටුප් වැඩිකිරීමේ ඉල්ලීමට කඩඉමක් ලෙස ආචාර්යවරුන්ට දෙන දීමනා යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනි. ඉහත ප‍්‍රකාශයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ පතිරන ඇතුලු ආචාර්යවරුන් පිරිසක් අනධ්‍යන සේවකයන්ගේ අරගලයට එරෙහි ව ආන්ඩුවට උල්පන්දම් දීමට ඉදිරිපත්ව සිටි බවයි.

වැටුප් වැඩි වීමක්, සෞඛ්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ඇතුලු යුක්ති සහගත ඉල්ලිම් කීපයක් මුල් කරගෙන අනධ්‍යයන කම්කරුවන් පෙබරවාරි 28 වනදා ආරම්භ කල වැඩ වර්ජනය දින හතලිස් ගනනක් පැවතියේය. ධනේශ්වර ගැති බංකොලොත් ප‍්‍රතිපත්ති අනුගමනය කරන වෘත්තීය සමිති මේ වනවිට අනධ්‍යන සේවකයින්ගේ අරගලය පාවාදී ඇත. එහෙත් සමිති වල පස්සට ඇදීම් හා ආන්ඩුවේ තර්ජන මධ්‍යයේ ගෙනගිය මෙම අරගලයෙන් ප‍්‍රකාශයට පත්වූයේ තම ජීවන හා සමාජ කොන්දේසි රැක ගැනීමට සමස්ත වැඩකරන ජනතාව තුල ලියලමින් පවතින බලවත් උවමනාවයි.

පතිරන මෙම ඉල්ලීම්වලට පහර දීමට ලියූ ලිපිය තුල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයන් සන්සන්දනය කරමින් මෙසේ පවසයි: “එකම තාප්පය දෙපසට වී එකම කාර්යයෙහි නියැලෙන මේ දෙකොට්ඨාසය අතුරින් අඩු වැටුප් ලබන කන්ඩායම සේවයේ නිරත වන අතර වැඩි වැටුප් ලබන කන්ඩායම හෙවත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සේවකයින් මේ වනවිට වැඩ වර්ජනයක නියැලී සිටියි.” එනිසා අනධ්‍යයන කම්කරුවන්ගේ අරගලය “නිකම්ම කෝලමක් නොව අබුද්දස්ස කෝලමක්” යැයි කියමින් ඔහු බුරා පනී.

මෙය නාහෙන් එහා නොදකින්නෙකුගේ තකතිරු සංසන්දනයකි. කම්කරුවන් වැටුප් වැඩිවීම් ඉල්ලා අරගලයට පැමිනෙන්නේ වෛෂයිකව ඔවුන් මුහුන දෙන දුශ්කර ජීවන හා සමාජ කොන්දේසි නිසාය. ඇතැම් කම්කරු කොටස් තවමත් අරගල බිමට පැමින නැත්තේ ඔවුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් විය හැකි නිසා නොව එවන් අරගල මතුවීම වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ විසින් දැනුවත්වම යටපත් කර තිබෙන හෙයිනි. තම ජීවන කොන්දේසි එකදිගට කප්පාදුවන තතුතුල ඔවුන් අතර කැකෑරෙන විරෝධය පුපුරා ඒමට නියමිතය.

ගෝලීය ධනපති ක‍්‍රමයේ අර්බුදය තුල තම සමාජ හා ජීවන අයිතීන් කප්පාදුවට සෑම රටකම කම්කරුවෝ මුහුන දෙති. ඊට එරෙහිව ලෝකය පුරා වැඩෙන අරගල රැල්ලක් ඇමරිකාව, ප‍්‍රන්සය, ජර්මනිය, ඉන්දියාව ආදී රටවල එකදිගට දකින්නට ලැබේ. ලංකාව තුල පසුගිය කාලය පුරා දකින්නට ලැබුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව උත්සන්න කර ගෙනයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගල වර්ධනය වීමයි.

ශ්‍රේනිවාදයෙන් ඉහවහා ගිය විශ්වවිද්‍යාල සේවක සංගම් මෙන්ම අනෙකුත් සමිති ද ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව අවශේෂ කම්කරුවන්ට ආමන්ත‍්‍රනය කර ඒකබද්ධ අරගලයක් වර්ධනය කිරීමට නොහැරුනා පමනක් නොව ආසන්න සහෝදර සේවකයන්ට පවා කිසිදු කැඳවීමක් නොකර වර්ජන හා විරෝධතා හුදකලා කර දැමූහ. විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් හා පතිරන වැන්නන් ක්‍රියා කලේ අනධ්‍යයන සේවකයන් හුදකලා කිරීමට පමනක් නොව ඔවුන්ට එරෙහිව ආන්ඩුව උසිගැන්වීමටයි.

වැටුප් වැඩි කිරීම, සියයට හයකින් අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් ඉහල දැමීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය 2011 දී ගෙනගිය උද්ඝෝෂනය ගැන පතිරන මෙසේ කියයි: “එහි ප‍්‍රතිපලයක් ලෙස කිසියම් සාධනීය මට්ටමක් දක්වා ආචාර්යවරුන්ගේ වැටුප සෘජුවම නොව වැටුපට එක්කල දීමනා වසයෙන් වැඩිකර ගැනීමට ඔවුන් සමත් විය.” ඉන් “ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් තිබූ බරපතල ගැටලුවට යම් පමනක විසඳුමක් ලබාදී කඩා වැටෙමින් තිබූ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය බේරා ගෙන අනධ්‍යයන සේවකයින්ගේ රැකියාවද බේරා දිමට” හැකිවූ බව පතිරන කියයි.

මහාචාර්යවරයා පච දොඩවයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙහෙයවූ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ප‍්‍රමුඛ පිරිස එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සිය ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කල කල්හි අරගලය අතර මග නතර කර සීමිත දීමනා වැඩිවීමක් පිලිගෙන අකුලා ගත්හ. අධ්‍යාපනයට කරන වියදම් කප්පාදු කරමින් හා පුද්ගලික විශ්ව විද්‍යාල රට පුරා ආරම්භ කරමින් ආන්ඩුව සිය වැඩපිලිවෙල තීව්‍ර කර ගෙනයන තත්වයක රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අචාර්ය සංගමය විසින් බේරා ගත්තා යයි පතිරනගේ ප‍්‍රකාශය තවත් කෙබරයකි.

ආචාර්යවරයාගේ තවත් නොන්ඩි තර්කයක් නම් අනධ්‍යයන සේවක අරගලය ආන්ඩුවට පුද්ගලීකරන ප‍්‍රතිපත්ති දිරිගන්වන බවයි. ඔහු තව දුරටත් සඳහන් කරන්නේ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල වැසී “රටේ ප‍්‍රබලතම උද්ඝෝෂන කන්ඩායම වන ශිෂ්‍යයින් නිවාඩු ගන්වා ඇති බැවින්” එය ආන්ඩුවට ආශීර්වාදයක් වී ඇති බවය. තමන් අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි බවක් මවා පෙන්වන පතිරන එය නතර කරන්නේ කෙසේදැයි කිසිවක් නොකියා අනධ්‍යන සේවක අරගලය එය දිරිගන්වන බව කියයි.

විශ්ව විද්‍යාල සේවක අරගලය තිබුනද නොතිබුන ද ආන්ඩුව සිය පුද්ගලීකරන ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමන බව හිතනමතන අයෙකුට ත්රුම් ගැනීම අපහසු නැත. ආන්ඩුවේ ප‍්‍රතිපත්ති තීන්දුවී ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදයේ කොටසක් ලෙස ලංකාවේ උද්ගතවී ඇති ගැඹුරු ආර්ථික ප‍්‍රශ්න හා ඒවාට ඊනියා විසඳුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනවා ඇති කප්පාදු වැඩපිලිවෙලිනි.

ජීවන කොන්දේසි රැක ගැනීමට අනධ්‍යන සේවකයින් ගෙන ගිය අරගලය--ඔවුන් දැන සිටියේද යන්න නොතකා-- වෛෂයිකව ගැටුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රතිපත්ති හා ඒවා ක්‍රියාවට දමන ආන්ඩුවේ වැඩපිලිවෙල සමගය. ඔවුන්ගේ ඉල්ලීම් පුද්ගලිකරනය ඇතුලූ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමකින් තොරව දිනාගත නොහැකිව තිබුනි. ඒ බව දැන් කටුක ලෙස සනාතවී ඇත්තේ වර්ජනය බිඳීමට ආන්ඩුව කල තර්ජනයෙන් හා සමිතිවල පාවදීමෙන්ය. තම මූලික ඉල්ලීම් සඳහා අරගලයට එලැඹෙන කම්කරු පන්තියේ සෑම කොටසක් ම ඉදිරියේ මතුවන්නේ මෙම අභියෝගයයි.

විශ්ව විද්‍යාල සේවකයන් ඉදිරියේ වෛෂයිකව මතුවී තිබුනේ අවශේෂ කම්කරුවන්ට ද කැඳවුම් කරමින් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති පරාජය කිරීමට දේශපාලන අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයයි. එම දේශපාලන ඉදිරිදර්ශනය ධනපති ආන්ඩුව විස්තාපනය කොට, සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමයි. ධනේශ්වර ක‍්‍රමයට ගැට ගැසුනු වෘත්තීය සමිති එවන් අරගලයකට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය පීලිපන්වා පාවාදීමට ගොදුරු කරති. අනධ්‍යන සේවක සමිතිය ද ආචාර්ය සංගමය ද කලේ එයයි.

“රටේ ප‍්‍රබලතම උද්ඝෝෂන කන්ඩායම” ලෙස සිසුන් හඳුන්වන පතිරන ඔවුන්ගේ අරගලයට කුමන හෝ ආකාරයක සහයෝගයක් ප‍්‍රකාශ කර නැත. ආචාර්යවරුන්ගේ සමිති ද සිසුන්ගේ ප‍්‍රශ්න විසඳන ලෙස හිස් ප‍්‍රකාශ නිකුත් කොට අත් සෝදා ගත්තා මිස මොනම ක්‍රියාශීලී සහයෝගයක් වත් ප‍්‍රකාශ කලේ නැත.

කෙසේ වුවද, අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි සිසු උද්ඝෝෂනයේ පාඩම කුමක්ද? ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමේ ශක්‍ය දේශපාලන අරගලයකින් තොරව හුදු විරෝධතා දැක්වීම් කොයිතරම් ප‍්‍රබල වුවත් පුද්ගලිකරනය නතර කල නොහැකි බවයි. සිසුන්ට එවන් අරගලයක් ගෙනයා හැක්කේ කම්කරු පන්තිය වෙතට හැරී එය සමග එකමුතුවීමෙන් පමනකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය සිසුන් මෙම අරගලයෙන් පීලිපන්වා ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂනවල කොටුකර ඇත. පතිරන වැනි ආචාර්යවරුන් කරන්නේ සිසුන්ට එම දිරච්ච ලනුවම දීමයි.

සමාජවාදී ක‍්‍රමයකට තමන්ගේ සතුරුකම සහ සමාජ අසමානතාවයෙන් කුනුවන ධනපති ක‍්‍රමයකට පවතින කෑදරකම පතිරන ලිපිය තුලින් වමාරා ඇත. “එක් එක් පුද්ගලයාගේ තරාතිරම හා ඔවුන් කරන කාර්යභාරය නොසලකා, හුදෙක් ශ‍්‍රමය වැය කිරීම යන සාධකය මත පමනක්ම සැලකිල්ලට ගනිමින් සෑම දෙනාම එකම වැටුප් තලයක පිහිටුවිය යුතුය යන්න පූර්න සමාජවාදී රාජ්‍ය ඉල්ලීමකට එකඟ වීමට පුලුවන. එහෙත් ගැටලුව වන්නේ එවැනි පූර්න සමාජවාදී රාජ්‍යයක් මේ මිහිපිට තිබේද යන්නයි.”

ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර බුද්ධිමතුන් කන්ඩායමක් තුල අරගලයට ඇදෙන කම්කරු පන්තිය කෙරෙහි ගොනුවන වෛරයයි.

ධනපති සමාජයේ පවතින පන්ති භේදයෙන් නිර්මානය කෙරී පවතින විවිධාකාර “තරාතිරම්” වෙනස්කම් පතිරනට අනුව ස්වභාවිකය. මහාචාර්යවරයා වහංගු කරන සත්‍යය නම් සමාජයේ සැබෑ නිශ්පාදනය සිදු කරන්නේ කම්කරුවා බවයි. ඔහුගේ තර්කයට අනුව නම් ධනපති පන්තිය ප‍්‍රග්ධනයේ හිමිකාරීත්වය දරන නිසා, කිසිදු ධනයක් නිශ්පාදනය නොකලද ඔවුන්ට කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් අතිරික්ත වටිනාකම් සූරා කා ලාභ රැස් කර ගනිමින් පරපුටුවන් ලෙස ධනය කඳු ගසා ගැනීමට ඉඩ දිය යුතුවේ. ඉහල මධ්‍යම පන්තියට “තරාතිරම” හේතුවෙන් සිය වරප‍්‍රසාදිත තත්වය එසේම පවත්වා ගැනීමට ඉඩ තිබිය යුතුය.

පතිරනගෙන් දෝංකාර දෙන්නේ ධනවාදය සදාතනික බව පිලිගනිමින් වඩවඩාත් දකුනට ගිය ධනපති බුද්ධිමතුන් කන්ඩායමක ප‍්‍රතිගාමී අස්තානයයි. ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රයන් විසින් 1991 සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ පාලනයන් බිඳ දැමීමත් සමග පෙර සමාජවාදයට ඇඟෑලුම්කම් දැක්වූවන් ඇතුලු ශාස්ත‍්‍රාලිකයන් රොත්තක් සමාජවාදයට එරෙහිව සිටි සගයන් සමග පෙල ගැසෙමින් බාන් කඩාගෙන එලෙස දකුනට පැද්දේ සමාජවාදය තවදුරත් වලංගු නැති බවට ප‍්‍රකාශ දෙමිනි.

එහෙත් පසුගිය වසර 27 පෙන්නුම් කර ඇත්තේ ලෝක ධනවාදය එක අර්බුදයකින් තවත් අර්බුදයකට යමින් සමාජ අසමානතාවය පෙර නුවුවිරු ලෙස ගැඹුරුවන කොන්දේසි නිර්මානය කිරීමයි. ඇමරිකාවේ පටන්, අධිරාජ්‍යවාදී පාලක පන්තීන් එක යුද්ධයකින් තව එකකට යමින් ලෝක ආධිපත්‍යය සඳහා දරන මිලිටරි ධාවනයෙන් තුන්වන ලෝක යුද්ධය කරා මානව වර්ගයා ඇදගෙන යති. ඉන්දියාව, ලංකාව වැනි පසුගාමී රටවල පාලක පන්ති මහ බලවතුන්ගේ ඉත්තන් ලෙස පෙල ගැසෙමින් සමාජ අයිතීන් තලා දැමීම සඳහා ඒකාධිපති පාලනයන් ඇටවීමට හැරී සිටිති.

සෑම රටකම මෙන්ම ලංකාවේ ද වැඩකරන ජනතාවට එල්ලවන ප‍්‍රහාර හා ඊට එරෙහිව පැන නගින අරගල තුල ගැබ්වී ඇත්තේ මෙම අර්බුදයයි. සමාජවාදය සඳහා අරගලය හැර වෙනත් විකල්පයක් නැත. එය ඓතිහාසික අවශ්‍යතාවයකි.

මහජනයාගේ ඉදිරිගමනට අවශ්‍ය බුද්ධි ප‍්‍රබෝධය සඳහා මොනම ප‍්‍රගතිශීලි අදහසක්වත් ඉදිරිපත් කිරීමට නොහැකි පතිරන වැන්නන්ගේ ප‍්‍රචාර පිලිකුලේ කෙවිටෙන් බැහැර කර බුද්ධිමතුන් අතර හිතන මතන කොටස් හා තරුනයන් හැරිය යුත්තේ මාක්ස්වාදය හා සමාජවාදය සඳහා අරගලය වෙතයි. මෙම අරගලය ලංකාව තුල ගෙනයන්නේ සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ යි.

Share this article: