දඹුල්ල බයෝ ෆූඞ් සේවකයන් දෙදෙනාගේ මරනය පාලකයන්ගේ නොතැකීමේ ප‍්‍රතිවිපාකයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 අප්‍රේල් 06

දඹුල්ල පන්නම්පිටියේ සීමා සහිත බයෝ ෆුඩ් පෞද්ගලික සමාගමේ, ෆ්රෝසන් හර්බ්ස් ප්‍රොසෙසින් (ශීත කල ශාඛ නිෂ්පාදන ඇසුරුම්) කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටි මධුෂාන් ජයවර්ධන (19) සහ එච්.එම්.ජී.නිරෝෂා දිල්රුක්ෂි (32) කර්මාන්ත ශාලාව තුල සිදු වූ අනතුරකින්, මාර්තු 22 දින මියගියහ.

පන්නම්පිටිය බයෝ ෆුඞ්ස් කර්මාන්ත ශාලා සමූහයට අයත් කර්මාන්ත ශාලාවක් වන මෙහි ශීත කල කරපිංචා , සේර, රම්පේ ආදිය ඇසුරුම් කර අපනයනය කරන අතර පිරිමි සහ කාන්තා කම්කරුවන් 50 ක් පමන සේවය කරති. බයෝ ෆූඞ් කර්මාන්ත ශාලා සමුහයේ මුලු සේවක සංඛ්‍යාව 800 ක් පමන වෙති.

සමාගමේ ප‍්‍රධාන කාර්යාලය මහනුවර පිහිටා ඇති අතර තේ, පොල්, කුලු බඩු හා ශීත කල නිෂ්පාදන සම්බන්ද තවත් කර්මාන්ත ශාලා කිහිපයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ස්ථානගතව ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තාකරුවන් විසින් හමුවූ සියලුම සේවකයින් ප‍්‍රකාශ කලේ මියගිය සේවකයින් දෙදෙනා වැඩකල, “ෆ්‍රෝසන් අංශයේ” සේවා කටයුතු දැඩි අවදානම් සහගත තත්ත්වයක පවතින බව ය. මේ වන විට ෆ්‍රෝසන් අංශය ඉදිකරමින් පවතින අතර, ඉහත මියගිය සේවකයින් කල කාර්යයන් සිදුකල යුත්තේ ස්වයංක‍්‍රිය යන්ත‍්‍රානුසාරයෙනි. එහෙත් නිපයුම් සඳහා පවතින ඉල්ලූම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නිමවීමට පෙර මිනිස් ශ‍්‍රමය යොදා ගැනීම නිසා සේවකයින් නිරන්තරයෙන් ස්වසන අපහසුතාවන්ට බඳුන්වී ඇත. ඉහත මරනයන් සම්බන්ධයෙන් ද ඒ තත්ත්වය බලපාන්නට ඇති බව කම්කරුවෝ කීහ.

මධුෂාන්ගේ පියා වන පී.බී. ජයවර්ධන (45) ඔහුගේ පුතාගේ මරනය ගැන මෙලෙස ප‍්‍රකාශ කලේ ය.“එයා [මාර්තු] 22 වැනිදා උදේ 8.00 ට වැඩට ගියා. සවස 5.00 ට විතර තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් ඒකෙ වෙන දේවල්, කරන දේවල් දන්නේ නැහැ. හැමදාමත් එහෙමයි. අපට සැකත් හිතුන වැඩ ඇරිල එන්නෙ නැත්තෙ ඇයි කියල. රාත‍්‍රි 11.30ට පමන ලමයෙක් ඇවිත් කීවා, මධුෂාන්ට කලන්තයක් හැදිල රෝහලට අරගෙන ගියා කියල, අපි ගිහින් වැඩපොලේ බැලුවා. එතැන පොලිසියෙන් මුරට දාලා, ඒ කාමරේ සීල් කරල තිබුනේ. කාටවත් එතැනට යන්ට බැහැ. ඊට පස්සෙ අපි රෝහලට ගියා, ඒ වන විටත් පුතයි, ඒ ගෑනු ලමයයි මිය ගිහින් මෝචරියට දාලා තිබුනේ”.

රෂ පරීක්ෂක වාර්තා ලැබෙන තුරු මරනයට හේතුව සොයා ගැනීමට අපහසු බව කම්හල් පාලකයන් විසින් ප‍්‍රකාශ කල බව ඔහු පැවසුවේ ය. “ඉතින් අපි මොනව කරන්නද? වෙනදේ බලාගෙන ඉන්නවා. පොලිසිය වගේම අනෙක් හෑම නිලධාරියෙක් ම සල්ලි වලට යටයි, අපිට කිසිම සාධාරනයක් නැහැ.”

සවස 5.00 ට පමන මියගිය දෙදෙනා ගැන පනිවුඩය කම්හලේ සිට කිලෝ මීටරයකටත් අඩු දුරකින් වූ ඔවුන්ගේ නිවෙස් වෙත පාලකයන් විසින් දැනුම් දී ඇත්තේ පැය 7 කට පමන පසුව, මධ්‍යම රාත‍්‍රියේ ය. මෙම සාපරාධී මරනය නිසා සෙසු කම්කරුවන් සහ ප‍්‍රදේශවාසීන් කුපිත වනු ඇතැයි සැලකිලිමත් වූ පාලකයන් ජීවිතක්ෂයට පත් වූ කම්කරුවන් දෙදෙනා ගැන ඔවුන්ගේ ඥාතීන්ට දැනුම්දීමට පෙර කම්හල වෙත පොලීසිය කැඳවාගෙන ඇත. ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි සහ වෛද්‍ය වරයෙකු ගෙන්වා ගැනීම මගින් මරනයන්ට නෛතික ආවරනය ක් සපයා ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇති බව කම්කරුවෝ සහ මියගිය අයගේ ඥාතීන් කීහ.

මධුෂාන් සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත් බවත් පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා ඉගෙනීම නතර කර කම්හලේ රැකියාවට ගිය බවත් ජයවර්ධන සඳහන් කලේ ය. “මුදල් අග හිඟකම් වැඩි යි. මමත්, ලෙඩෙක්. දියවැඩියාව හොඳ ට ම වැඩිවෙලා තියෙන්නේ. තවත් අතුරු ආබාධ තියෙනවා. මම කලේ මේසන් වැඩ. පුතා වැඩට ගිහිල්ල මාස 11 යි, එයාගෙ පඩියෙන් තමයි පහුගිය දවස්වල ජීවත් වුනේ. එයා නැතිවීම අපට දරා ගන්න බැරි පාඩුවක්, දුකක්. අපි කොහොමද ජීවත් වෙන්නෙ.?” යයි දුක්මුසුව ඔහු ප‍්‍රශ්න කලේ ය.

මලගම කටයුතුවලට කියල රුපියල් ලක්ෂයක් මාර්තු 26 වෙනිදා කම්හලෙන් දී ඇතත් අවමගුලට සහභාගී වීමෙන් පසු කම්හල් පාලනාධිකාරයේ කිසිවෙක් මිගිය කම්කරුවන්ගේ ඥාතීන් මුන ගැසීමට පැමින නැත.

මරනයට පත් වූවන් සඳහා වන්දියක් ලබා ගැනීම ගැන කතා කල විට ඒ ගැන “දැන් ම කිසිවක් කතා කල නොහැකි” යයි කම්හලේ ඉහල නිලධාරියෙක් වන වන ලාල් රනවීර ප‍්‍රකාශ කල බව මදුෂාන් ගේ පියා පැවසී ය.

“ඔහෙලට ඔහෙලගේ පුතා නැතිවුනා පමනයි. ඊට වඩා අපට කෝටි ගනනක් පාඩු වුනා, ඊටත් වඩා අපේ කීර්ති නාමයට විශාල කැලලක් වුන” බව රනවීර පැවසු බව ජයවර්ධන කෝපයෙන් ප‍්‍රකාශ කලේ ය. “මගේ ඇඟපුරා හිරිගඩු පිපුනා. සල්ලි ද මනුෂ්‍ය ජීවිතේ ද වටින්නෙ?” යයි ඔහු ප‍්‍රශ්න කලේ ය.

“ෆ්‍රෝශන් අංශයේ” සේවය කරන නම ප‍්‍රකාශ නොකල තවත් තරුනයෙක් මෙසේ පැවසුවේ ය: “අපි දැනගෙන හිටියෙ නැහැ මෙවැනි අනතුරක් වෙයි කියල, දැන් තමා තේරෙන්නේ මේක මර උගුලක් කියලා. කලින් මේ ගැන දැනුමක් තිබුන නම් පැත්ත පලාතේ යන්නේ නැහැ. ෆ්‍රෝශන් එකේ වැඩ වලදී අවදානමක් තිබුනා. හුස්ම ගැනීමේ අපහසුතා නිතර තිබුනා, ඒ නිසා ටික වේලාවයි කාමරයේ ඉන්ට දෙන්නෙ, ඊට පස්සෙ එලියට එන්ට ඕන. ඒකයි ක‍්‍රමය.”

මිය ගිය දෙදෙනා වැඩි වෙලාවක් සිටිය නිසා මිය යන්නට ඇතැයි කියමින් පාලකයන් ඔවුන් මත ම වරද පැටවීමට උත්සාහ කරන බව ඔහු පැවසීය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ විට ප‍්‍රයෝජනයට ගැනීම පිනිස ඔක්සිජන් උපකරන හෝ වෙනත් ආරක්ෂක උපකරන කම්කරුවන්ට සපයා නැති බව ද සඳහන් කල ඔහු සිය සහෝදර සේවකයන් දෙදෙනාගේ මිය යාම කම්හලේ පාලකයන් ගේ වරදින් සිදු වූ බවට චෝදනා කලේ ය.

“අපරාදෙ ඇඹුල් අඹේ දිල්රුක්ෂි අක්කා. එයාට චූටි බබෙකුත් ඉන්නවා. එයා අම්මා එනකම් තාමත් බලා ඉන්නවා. හරිම දුකයි,”යනුවෙන් ඔහු සහෝදර සේවිකාවගේ මියයාම ගැන ශෝකයෙන් සඳහන් කලේ ය.

“නම දාන්න එපා, පොටෝගන්නත් එපා. එහෙම වුනොත් ගන්න සොච්චමත් නැතිවෙයි, අපිට නඩුත් දායි” යයි කම්හල් පාලකයන්ගේ දුෂ්ටත්වය ගැන සදහන් කරමින් නම ප‍්‍රකාශ නොකල තවත් තරුන කම්කරුවෙකු පැවසුවේ ය.

“මෙතැන කර්මාන්තශාලා ගනනාවක් තියෙනවා. ෆ්‍රෝශන් අංශයේ අපි වැඩ කරන්නෙ, කරපිංචා, රම්පේ, සේර වැනි දේවල් තමයි අපනයනය සඳහා සකස් කරන්නෙ. ගැටලුව තියෙන්නෙ ෆ්‍රෝශන් ෆැක්ටරියේ ඉදිකිරීම් තවම අවසන් නොවීමයි. විශේෂයෙන් ඒ දෙදෙනා මියගිය කාමරය ඇතුලත යුනිට් එක” බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ ය.

ඔහු සහ සෙසු කම්කරුවන් ප‍්‍රකාශ කල පරිදි කම්හල් පාලකයන් විසින් ඉඳි කිරීම් නිමවීමට පෙර මෙම අංශයේ වැඩ පටන් ගෙන ඇත්තේ නිෂ්පාදන සඳහා පවතින ඉහල ඉල්ලුම නිසාය. “ඔය මධුෂාන් සහ දිල්රුක්ෂි මියගිය තැන කාමරයේ ඇතුලට ගිහින් සිදුකල යුතු කාර්යයන් මිනිත්තු 5ක් 10 ත් අතර දී කරන්න ඕන. ඊට පසු එලියට එන්න ඕන, නැතිනම් ඒ කාලයේ දී හුස්ම ගන්න බැරි වෙනව, එහෙම වෙන බව දැනෙන කොට ම එලියට එන්න කියල තමයි අපට කියල තියෙන්නෙ, අමාරුම නම්, ඔක්සිජන් සිලින්ඩර ලඟට යන්න කියනව, මටත් තව කිහිප දෙනෙකුටත්, එහෙම අමාරු වෙලා තියෙනවා.”

හදිසි අනතුරක දී ප‍්‍රතිකාර ලබාදීමේ ක‍්‍රමවේදයක් කම්හල තුල නැති බවත් අනතුරට භාජනය වූ තැනැත්තා දඹුල්ලේ ලෙනදොර ග‍්‍රාමීය රෝහලට ගෙන යන බවත් ඔහු පැවසුවේ ය.

“මිනිස්සු ඔය කාමරයට ගිහින් කටයුතු කලයුතු නැහැ. ඒ වායුව මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නෙත් නැහැ. ස්වයංක‍්‍රීයව යන්ත‍්‍රානුසාරයෙන් කෙරෙන කාර්යයක් ඒක. පාලකයන් එය නොතැකීම නිසා දෙන්නෙක් ගේ ජීවිත අහිමි වූ” බව ඔහු කීවේ ය.

කොලඹ බබාපුල්ලේ වත්තේ පිහිටි ඇඩම් එක්ස්පොර්ට් ආයතනය මතට අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කරමින් පැවති ගොඩනැගිල්ලක කොටසක් පතිත වීමෙන් පෙබරවාරි 13 කාන්තාවන් ඇතුලු කම්කරුවන් 7 දෙනෙනෙකු මිය ගිය අතර කම්හලේ වායු සමීකරන යන්ත‍්‍රයකින් පිට වූ විෂ වායුවක් ආඝ‍්‍රානය වීමෙන් ඒකල පිහිටි පොලිටෙක්ස් ඇඟලුම් කම්හලේ කාන්තා කම්කරුවන් 100 ක් පමන මාර්තු 19-20 දෙදින තුල අසාධ්‍ය ලෙස රෝගී වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමට සිදු විය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවකට අනුව ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය කාර්මික අනතුරු සංඛ්‍යාව 4000 ක් වේ. මිය යන ගනන 80 කි. ලෝකයේ වාර්ෂිකව මිලියන 2.78 වැඩි පිරිසක් වෘත්තීමය අනතුරු හෝ රෝග නිසා මිය යති. ඊට අමතරව වැඩ පල අනතුරු වලින් මිලියන 374 ක් මරනීය නොවන තුවාල සහ රෝග වලට ගොදුරු වෙති.

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය සහ ලෝක වෙලඳපොලේ උග‍්‍රවන තරඟය තුල මිනිස් ජීවිත නොතකා ධනපති නිෂ්පාදකයන් විසින් ලාභ හඹා යාම ද තීව‍්‍ර වීම කාර්මික අනතුරු සහ මරන සංඛ්‍යාව ඉහල යාමට ප‍්‍රධාන හේතුවකි.

Share this article: