අවිශිබමය අනධ්‍යන සේවක වර්ජනයට එරෙහිව ශිෂ්‍යයන් මෙහෙයවීමේ ප‍්‍රයත්නයක

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2018 අප්‍රේල් 4

අවිශිබම විසින් සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයට එරෙහිව, මාර්තු 26 දා, කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයේ සටන්පාඨ අතර මූලික වූයේ, සයිටම් වසා දමනු සහ වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලු විසඳා විශ්ව විද්‍යාල යථා තත්වයට පත් කරනු යන්නයි.

අවිශිබම මෙම විරෝධතාව කැඳවූයේ, මසකට ආසන්න කාලයක් ඇදී යමින් පවතින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට තම සහයෝගය පල කිරීම සඳහා සිසුන් අතර වැඩෙමින් පවතින උත්සුකය දියකර හැර කම්කරුවන් සහ සිසුන් අතර ඒකාග‍්‍ර වීමක් වලකා ලීමටය.

විරෝධතාවයට සහභාගිවන ලෙස සිසුන්ට කරන ලද කැඳවුමක් මුහුනුපොතෙහි අවිශිබම පිටුවෙහි පලකොට තිබුනි. අවිශිබම වෙනුවෙන් කැඳවුම කරන රත්කරව්වේ ජිනරතන භික්ෂුව මෙසේ කියා සිටී: “මේ විදිහට විශ්ව විද්‍යාල වැහිලා තියෙන එක ආන්ඩුවට හොඳයි. මොකද ආන්ඩුවට විරුද්ධව කෙරෙන සටන් අරගල මොකුත් කෙරෙන් නෑ. මේ වැඩවර්ජනය අස්සේ ආන්ඩුව මිනිස්සු එපා කියපු, අරගල කරලා එපා කියපු, අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක්‍රියාවට දාන්න උත්සාහ කරනවා.”

අවිශිබමයේ නරුම තර්කය වන්නේ ආන්ඩුව අනධ්‍යන සේවක ගැටලු නොවිසඳා අරගලය දිග්ගැස්සීමට සලස්වන්නේ අවිශිබමය සංවිධානය කරන ශිෂ්‍ය විරෝධතා නවතා දැමීමේ අරමුනින් බවයි. අනධ්‍යන වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල “අකර්මන්‍ය” වී ඇති තත්වයක් තුල ආන්ඩුව සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අනුයුක්ත කර අධ්‍යාපනය විකිනීමේ “කුමන්ත‍්‍රනයක” නිරත වී සිටින බව අවිශිබමය කියා සිටී.

අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ, වර්ජනය හේතුවෙන් විභාග, නව ශිෂ්‍ය බඳවා ගැනීම් හා පර්යේෂන නැවතී ඇති බවයි. ඒ පිලිබඳව ආන්ඩුව “නිද්‍රාශීලි පිලිවෙතක්” අනුගමනය කරන බව ඔහු කීවේ ය.

වර්ජනය හේතුවෙන් සිදුවන පාඩු ගැන වීරසේකර කතා කරන්නේ, “වර්ජනය නිසා පව් ගෙවන සරසවි සිසුවෝ” නමින් දැනටමත් ධනපති පුවත්පත් වර්ජනයට විරුද්ධව ශිෂ්‍යයන් මෙහෙයවීමට, ශිෂ්‍යයන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන කතුවැකි ලියා ඇති තත්වයක දී ය.

අනධ්‍යන කම්කරු වර්ජනයට ගරහමින් වීරසේකර කියා සිටියේ වර්ජනය හේතුවෙන් “ආන්ඩුවට එරෙහි විරෝධතා” නැවතී ඇති බව සහ එයින් ආන්ඩුවට “වාසිි” ලැබී ඇති බවයි.

ගැටලු විසඳනු යනුවෙන් අවිශිබමය ආන්ඩුවට කරන බලපෑම ව්‍යාජයකි. එම ව්‍යාජයට යටින් ඔවුහු අනධ්‍යන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට එරෙහි උද්ඝෝෂනයක නිරතව සිටිති. ඒ මෙසේය:

01. අනධ්‍යන වර්ජනය හේතුවෙන් “ආන්ඩුවට එරෙහි සටන් නැවතී” ඇතැයි යනුවෙන් අවිශිබමය කරන ප‍්‍රකාශය අනධ්‍යන වර්ජනය හෙලා දැකීමකි. එමෙන්ම එය, අනධ්‍යන කම්කරු අරගලය වටා සිසුන් පෙලගැස්වීමට හා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය ඊට ගොනු කොට අරගලය පුලුල් කිරීමට හතුරු ආස්ථානයකි.

එපමනක් නොව කම්කරු පන්තියේ අරගලවලට ඉහලින් ශිෂ්‍ය සටන් තබා කම්කරු පන්තියට එරෙහිව ශිෂ්‍යයන් මෙහෙයවීමේ ද ප‍්‍රයත්නයකි.

අවිශිබමයේ හා ඊට නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ජනතා විමුක්ති පෙරමුනෙන් සංවිධානාත්මකව වෙන් වුවද එහි දේශපාලනයෙන් බිඳී නැත. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) කම්කරු පන්තියට සතුරු ඉතිහාසය කම්කරුවන් සහ ශිෂ්‍යයන් යලි මතකයට නගා ගත යුතුය. මධ්‍යම පන්තික විරෝධතා දේශපාලනයේ ගිලුනු මෙම ව්‍යාපාරවලට කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැමදා පවතින්නේ ලේවැකි විරුද්ධත්වයකි.

අවිශිබමට හා පෙසපට අනුව, සියයට 20 ක වැටුප් වැඩි කිරීමක්, වෛද්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ඉල්ලමින් 15,000 ට අධික අනධ්‍යන කම්කරුවන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ගෙනයන වර්ජනය “ආන්ඩුවට විරුද්ධව කරන සටනක් හෝ අරගලයක්” නොවේ.

අධ්‍යාපන, සෞඛ්‍යය ඇතුලු සුභසාධන කප්පාදුව හමුවේ තම ජීවන තත්වයන් රැක ගැනීම සඳහා අනධ්‍යන කම්කරුවන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් සහ ඒ සඳහා ඔවුන් ගෙනයන සටන සමස්ත කම්කරු පන්තියේ පොදු ඉල්ලීම් නියෝජනය කරයි. අනධ්‍යන සේවක වෘත්තීය සමිති විසින් එම සටන ආන්ඩුවට එරෙහි සටනක් ලෙසට වර්ධනය වීම වලකාගෙන සිටියද එය වෛෂයිකව යොමුව පවතින්නේ ආන්ඩුවට එරෙහිවයි.

එම වර්ජනය ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව රටපුරා වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්තියේ සහ ගම්බද පීඩිත ගොවීන්ගේ අරගලවල කොටසකි. එමෙන්ම එය, ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන කම්කරු පන්තික රැඩිකලීකරනයේ ප‍්‍රකාශනයකි.

2.“වැඩ වර්ජනය අස්සේ, අරගල කරලා එපා කියපු අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක්‍රියාවට දාන්න උත්සාහ කරනවා” යනුවෙන් අවිශිිබම පවසන්නේ දැනටමත් එම ප‍්‍රතිපත්තිය යහමින් ක්‍රියාවට දමා ඇති තත්වයකයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ක්‍රියාවට නංවා බොහෝකල් ය. උපාධි ප‍්‍රදානය කරන පුුද්ගලික අධ්‍යාපන ආයතන දුසිම් ගනනක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර නව ආයතන ඉදි වෙමින් පවතී. 2009 දී ආරම්භ කල සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය මහජන විරෝධය නොතකා තවදුරටත් පවත්වා ගෙන යෑම ආන්ඩුවේ අරමුනයි.

මෙම පිලිවෙත් යටතේ මේ වනවිටත් පෞද්ගලික උපාධි අධ්‍යාපන ආයතනවල ඉගෙනුම සඳහා 2016 උසස් පෙල සමත් සිසුන්ට පොලී රහිත නය ලක්ෂ ගනනින් ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ වසරේ සිදුකල පෙල පොත් කප්පාදුව හා 2015 සිට ඇරැඹූ නිල ඇඳුම් සඳහා වවුචර් දීම මෙම පිලිවෙත් මත පාසැල් ක්ෂේත‍්‍රය තුල ක්‍රියාවට නංවා ඇති පියවරයන් ය.

3. අනධ්‍යන කම්කරු වර්ජනය ආන්ඩුවට විරුද්ධ “අරගලයක්” නොවේ යයි හෙලා දකින අවිශිබමයේ ඊනියා අරගලයේ වාර්තාව කුමක් ද?

අවිශිබමය සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහි විරෝධතා, සත්‍යග‍්‍රහ, පාගමන්, උපවාස ආරම්භ කලේ 2009 පැවැති මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ සිටයි. වසර නමයක් පුරා ඔවුන් ගෙන ගිය “අරගල” මගින් අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල කරමින් පවත්නා ප‍්‍රහාරය දශමයකුදු ආපසු හැරවිය නොහැකිව ඇත.

මෙම ප‍්‍රහාර ගලා එන්නේ අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමයේ ඓතිහාසික නොහැකියාවෙන් බව දැනුවත්ව වසන් කරන අවිශිබමය, සිසුන් බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිරකොට එම ප‍්‍රහාර වලට යටත් කරයි.

අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කල හැක්කේ ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනක් වන අතර, එවන් අරගලයකට නායකත්වය දීම සඳහා ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය කම්කරු පන්තිය යි.

මෙම ඉදිරි දර්ශනය යටතේ අනධ්‍යන කම්කරු අරගලය වටා අවශේෂ කම්කරු පන්තිය සහ සිසුන් මෙන්ම අනෙකුත් පීඩිත ජන කොටස් බලමුලු ගැන්වීම සඳහා සටන් වැද සිටින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), එම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා, වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වූ කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරයි.

එවන් දේශපාලන අරගලයකට සහ කම්කරු පන්තික නායකත්වය යටතේ සිසුන් සංවිධානය කිරීමකට අවිශිබමය පරම වශයෙන්ම සතුරු ය.

අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය වටා සිසුන් ඒකාග‍්‍ර කරමින් ඉහත ආකාරයේ දේශපාලනික අරගලයක් වර්ධනය කිරීම වෙනුවට, අවිශිබම විසින් නැවත නැවතත් ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවන් හි සිසුන් කොටු කරනුයේ එබැවිනි.

මෙම වැඩපිලිවෙලට සතුරු අවිශිබමය හා පෙසප කම්කරුවන් හා නවක ශිෂ්‍යයන් අවමංගත කිරීමට උත්සහ ගන්නේ රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, හොරිකඩ වෘත්තීය සමිති නායකයන් සහ තවත් ව්‍යාජ-වාම කන්ඩායම් සමග “සයිටම් විරෝධී සිසු-ජන පෙරමුන” වැනි ධනපති සන්ධාන ගොඩනගා ගනිමිනි.

Share this article: