වතු කම්කරුවන් මත සූරාකෑමේ නව ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති නායකයන්ට අල්ලස් දෙයි

එම්. දේවරාජා විසිනි, 2018 අප්‍රේල් 11

තේ පඳුරු බෙදාදී ඒවායේ වැඩ කිරීමට ගැටගැසුනු “අඳ ගොවියන්” හෙවත් “කොන්ත‍්‍රාත්කරුවන්” බවට කම්කරුවන් පරිවර්තනය කිරීම සඳහා වතු කලමනාකාරීත්වයට දෙන සහයෝගයට අල්ලසක් ලෙස වෘත්තීය සමිති නායකයන්ට, සාපේක්ෂ වශයෙන් විශාල ඉඩම් කට්ටි පවරා දීමට පටන් ගෙන තිබේ.

කැලනිවැලි වතු සමාගම යටතේ පවත්නා බොහෝ වතුවලට මෙම නව පද්ධතිය හඳුන්වා දීම සඳහා, ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී), පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) හා අනෙකුත් වෘත්තීය සමිති, කලමනාකාරීත්වය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරති.

වතු සමාගම් මෙම නව සූරාකෑමේ පද්ධතිය ක්‍රියාත්මක කරමින් සිටින්නේ ගෝලීය වෙලඳපොලේ ප‍්‍රතිමල්ලවයන් සමඟ තරඟ කිරීම සඳහා ශ‍්‍රම පිරිවැය අඩුකිරීමට හා ලාභ තේ නිෂ්පාදන සම්පාදනය කිරීමේ කොටසක් ලෙස ය.

“අඳ ගොවි” ක‍්‍රමය යටතේ කම්කරුවන්ට අර්ථසාධක අරමුදල්, නිවාස හා වෛද්‍ය පහසුකම් වැනි සීමිත අයිතීන් පවා අහිමි කිරීමට නියමිත ය. 2016 සාමූහික ගිවිසුමක් මඟින් ආන්ඩුව විසින් අනුමත කරන ලදුව වෘත්තීය සමිති ද එකඟ වූ මෙම ක‍්‍රමය මේ වසර අවසන් වන විට සෑම වත්තක ම ක්‍රියාත්මක කිරීමට නියමිත ය. සමහර වතු කොටස්වල කලමනාකාරීත්වය විසින් ක්‍රියාවට දමා ඇති මෙම ක‍්‍රමය යටතේ කම්කරුවන් සති අග හා නිවාඩු දිනවල නිශ්චිත ප‍්‍රමානයක වැඩකොටසක් ඉටුකල යුතු ය.

දික්ඔය ඈන් ෆීඩ් වත්තේ ස්ටෑම්ෆෝඩ් හිල් ඩිවිසන් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලොසවෙඅ) වාර්තාකරුවන්ට මෙසේ කී හ: “නව ක‍්‍රමය යටතේ වෘත්තීය සමිති නායකයන්ට තේ පඳුරු විශාල ගනනක් සහිත ලොකු ඉඩම් කොටසක් ලැබෙනවා. එය සමාගම විසින් හඳුන්වා දුන්නෙ ගිය අවුරුද්දෙ. අපේ වත්තෙ හෙක්ටෙයාර් හතලිස් දෙකහමාරක හොඳ වර්ගයේ තේ පඳුරු තියෙනවා.

“මෙයින් හෙක්ටෙයාර් 22ක් කම්කරුවන් අතර බෙදා දුන්නා. එයින් හෙක්ටෙයාර් නවයක් එන්යූඩබ්ලිව් හා සීඩබ්ලිව්සී නායකයන් අතර බෙදල දීල තියෙනවා. ඉතුරු හෙක්ටෙයාර් 13 කම්කරුවන් 49ක් අතර බෙදා දුන්නා. ඒ ආකාරයට කලමනාකාරීත්වය සමිති නායකයන්ට අල්ලස් දීල මේ ක‍්‍රමය පිලිගැනීමට අපිට බලකලා. මේ ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති නායකයො ඔක්කොම කලමනාකාරීත්වයත් එක්ක එකතු වුනා.

දැඩි දුෂ්කරතාවන්ට මුහුන දෙමින් ඉන්නෙ. දවස් පහක් වත්තෙ වැඩ කරල ඉරිදයි සෙනසුරාදයි අපට වෙන් කරල තියෙන තේ පඳුරු බලාගන්න ඕන. අපට විවේක වෙලාවක් නැති හින්ද ලමයින්ගෙ ඉගන ගන්න වැඩවලටත් ඒක බලපාල. වැඩකරන දවස් ගානයි වැඩ කරන වපසරියයි අඩු වුන හින්ද අපේ පඩිය අඩු වේගෙන යනවා. දවසට දලු කිලෝ 18 ටාගට් එක ඉවර කරන්න බැරි හින්ද රුපියල් 140 ඵලදායිතා දීමනාව කපනවා. අපි මේ අලුත් ක‍්‍රමයට විරුද්ධයි.

“කම්කරුවන් මේ අලුත් ක‍්‍රමයට එකඟ වුනේ සටන් කරන්න වෙන විකල්පයක් තිබුනෙ නැති හින්ද. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු මේ අලුත් ක‍්‍රමයට විරුද්ධව සටන් කිරීමේදි වැදගත්.”

සියලු වෘත්තීය සමිති නායකයෝ මෙම පරාගත ක‍්‍රමය පිලිගන්නා ලෙස බලකිරීමට කම්කරුවන් අතර උද්ඝෝෂනය කරති. සමහර වතුවල කම්කරුවන්ට මෙය පිලිනොගත හොත් රස්සාව නැති කරන බවට සමිති නායකයන් තර්ජනය කර ඇත.

මෙම ක‍්‍රමය පලමු වරට 2016 දී හඳුන්වා දෙනු ලැබුවේ වලපනේ මා-ඌව වත්තේ ය. දැනට එය වෘත්තීය සමිතිවල සහයෝගය ද ඇති ව තවත් වතු කිහිපයක ක්‍රියාත්මක ය. පසුගිය වසරේ අප්‍රේල් 4 දා හැටන්හි ස්ටෑම්ෆෝ ඩ් හිල් වත්තේ දී සහකාර කම්කරු කොමසාරිස් හා වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවක දී කම්කරුවන් අතර ඉඩම් සමසේ බෙදා දීමට තීරනය කෙරුනි.

වතු බිඳ දැමීම සාධාරනීකරනය කල දික්ඔය ටිල්ලේරි වත්තේ ඉහල කොටසේ සීඩබ්ලිව්සී නායක සංකිලිදේවන් මෙසේ කීවේ ය: “වතුවල ශ‍්‍රම හිඟය නිසා සීඩබ්ලිව්සීය වතු බෙදා දීමට මූලිකව සහයෝගය දෙනවා. ඒත් කම්කරුවන්ට වෙන්කරන ඉඩම් ඔවුන්ට දිය යුත්තෙ ගිවිසුමක් අත්සන් කරල කියල අපි කියනවා.” කම්කරුවන් වතුවල වැඩකිරීමට කැමති නැති බවත් ඔවුන් කම්මැලි වී ඇති බවත් කියමින් සංකිලිදේවන් කම්කරුවන්ට පහර දුන්නේ ය. “ඇයි අපිට ඉඩම් හිමියො වෙන්න බැරි? ඉඩම් අයිතිකාරයො වෙන්න පුලුවන් නගරවලින් එන අයට විතර ද?” යනුවෙන් ඔහු ඇසී ය.

කම්කරුවන්ට කිසිදු ඉඩම් හිමිකාරීත්වයක් ලබා දී නැත. වතුවලින් ඔවුන් ඉවත් කරන විට ඔවුන්ට රැකියා නැතිව යයි. ජීවත් වීමට සරිලන වැටුපක් හම්බ කරගත නො හැකි නිසා තරුනයන් වතුවල වැඩකිරීමට කැමති නැත. ටිල්ලේරි වත්තේ කලමනාකාරීත්වයෙන් සංකිලිදේවන්ට හෙක්ටාරයක් ලැබී තිබේ.

මෙම නව ක‍්‍රමයේ සැබෑ තත්ත්වය වන්නේ කම්කරුවන් දැනට ඔවුන්ට හිමි අයිතිවාසිකම් අහෝසි කර “කොන්ත‍්‍රාත්කරුවන්” බවට පරිවර්තනය කිරීම යි. කම්කරුවන්ගේ කොඳු කැඩෙන වැඩක් වන මෙමඟින් ඔවුන්ගේ පවුල්වල කුඩා ලමුන් හා විශ‍්‍රාමික දෙමාපියන් පඩි නො ලැබ සූරාකැවෙන තත්ත්වයට පත් කෙරෙයි.

නව ආදායම් බෙදාගැනීමේ ක‍්‍රමයට වතු කම්කරුවන් අතරින් විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබේ. දික්ඔය ටිල්ලේරි වත්තේ පහල කොටසේ කම්කරුවන් 100 කට වැඩි දෙනෙක් මාර්තු 14 දා වත්තේ තේ කම්හල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ හ.

ඈන් ෆීල්ඩ් වත්තේ ස්ටෑම්ෆෝඩ් හිල් ඩිවිසන් කම්කරුවෙක් වන පී. දෙයිවානි මෙසේ කීවා ය: “අපි මේ ආදායම් බෙදන ක‍්‍රමයට විරුද්ධ යි. මේ ක‍්‍රමය යටතේ අපි තවත් පීඩාවට පත්වෙනවා. මේකට සහයෝගය දෙන්න ඔක්කොම වෘත්තීය සමිති කලමනාකාරීත්වයත් එක්ක එකතු වුනා. කම්කරුවන්ට හම්බ වුනේ තේ පඳුරු 1,000 ක් නැත්නම් ඊටත් අඩුවෙන්. ඒකෙ ආදායමත් එක්ක අපිට එදිනෙදා වියදම් වත් දරාගන්න බැහැ. මුල පටන් ම මම මේකට විරුද්ධ වෙච්ච හින්ද කලමනාකාරීත්වය මට විරුද්ධව පොලීසියෙ පැමිනිල්ලක් දැම්ම.

“ අනාගතේ දි අපිට ගොඩක් දේවල් නැති වෙනව. අපේ වත්තෙ සන් ලීස් කොටසෙ ලමයින්ගෙ සුබසාධන මධ්‍යස්ථානෙ දැනටමත් වහල දාල. කම්කරුවො වෘත්තීය සමිතිවලින් බිඳිල ක්‍රියාකාරී කමිටු ගොඩනගන්න ඕන කියන එකට මම එකඟ යි.”

එම වත්තේ ම දරුවන් තිදෙනෙකුගේ මවක් වන ටී. නෙසාමාර් මෙසේ කීවා ය: “මට මාස 10 ක ලමයෙක් ඉන්නවා. ලමය හම්බ වුනාට පස්සෙ එක දිගට ම ලෙඩ වෙච්ච හින්ද මට මාස කිහිපයක් වැඩට යන්න බැරිවුනා, ඒත් මට වැඩට යන්න පුලුවන්. එහෙම වුනත් කලමනාකාරීත්වය මට වැඩ දෙන එක ප‍්‍රතික්ෂේප කරනවා. අලුත් ක‍්‍රමය යටතෙ කම්කරුවන්ට දීපු ඉඩම් කට්ටිය දෙන එකත් ඒගොල්ලො ප‍්‍රතික්ෂේප කරනව. මම සීඩබ්ලිව්සී එකේ සාමාජිකාවක් වුනත් සමිතිය ඒ ගැන කතාකරන්නෙ නැහැ. වෘත්තීය සමිතිවලින් ප‍්‍රයෝජනයක් නැහැ.”

එස්. පුවනේශ්වරී මෙසේ කීවාය: “අද මට දලු කිලෝ 18 ටාගට් එක දෙන්න බැරි වුන හින්ද ඵලදායිතා දීමනාවෙන් රුපියල් 140ක් කැපෙනව. අපේ වැඩකරන කොටස් බොහොමයක් තනි කම්කරුවන්ට දීල තියෙන හින්ද අපි වැඩකරන්නෙ කුඩා කෑල්ලක දවස් පඩියට, ඒ හින්ද අපිට ටාගට් එක දෙන්න බැහැ. මේ ඉඩම් බෙදද්දි වෘත්තීය සමිති නායකයන්ට ලොකු කොටස් හම්බ වුනා. අපිට හම්බ වුනේ පොඩි ඉඩම් කොටසක් නිසා අපේ ආදායම් අඩුවෙලා දැඩි දුෂ්කරතාවන්ට මුහුන දෙන්න සිද්ද වෙලා තියෙනව. අපි මේ අලුත් ක‍්‍රමයට විරුද්ධ යි. අපිට ඕන කලින් ක්‍රමේට සාධාරන පඩියකට වැඩ කරන්න.”

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති වනාහි වතු කලමානාකාරීත්වය හා වතු හිමියන් වෙනුවෙන් විවෘතව ක්‍රියා කරන කාර්මික පොලිසියක් බවයි. මෙම පරිවර්තනය වතුවල පමනක් නො ව අනෙකුත් ක්ෂේත‍්‍රවල හා ජාත්‍යන්තරවත් සිදුවෙමින් පවතී.

ලාභ පිපාසයෙන් පෙලෙන ධනපති පන්තියේ ජාතික ක්‍රියාමාර්ග හා ඒවා සමඟ බද්ධව සිටින වෘත්තීය සමිති සමඟ කම්කරුවන්ට ඉදිරියට යා නො හැක. වෘත්තීය සමිතිවලින් වෙන්ව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමටත් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව අනෙකුත් කම්කරුවන් සමඟ එකමුතු වීමටත් වතු කම්කරුවන් පෙරට ආ යුතු ය.

වතු කම්කරුවන් අර්බුද ග‍්‍රස්ත වතු සමාගම් වල ගොදුරු බවට පත්වනවා වෙනුවට වතු ද ඇතුලු නිෂ්පාදන පද්ධතිය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට යටත් කිරීම සඳහා සටන් වැදිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය වතු කම්කරුවන් අතර මෙම ක්‍රියාමාර්ගයට සටන් වදී.

Share this article: