ඇමරිකා-බ්‍රිතාන්‍ය ප‍්‍රකෝපකරනයන්ට ප‍්‍රතිචාර දක්වමින් රුසියාව, ඇමරිකානු තානාපතිවරුන් නෙරපා හැර ශාන්ත පීටර්ස්බර්ග් උප තානාපති කාර්යාලය වසා දමයි

In response to US-UK provocations: Russia expels US diplomats, closes consulate in St. Petersburg

පැට්‍රික් මාටින් විසිනි, 2018 මාර්තු 30

රුසියානු ආන්ඩුව 29දා, ශාන්ත පීටර්ස්බර්ග්හි ඇමරිකානු උප තානාපති කාර්යාලය වසාදමා, තානාපති වරප‍්‍රසාද යටතේ එහි ක්‍රියාත්මකව සිටි ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් 60ක් රටින් නෙරපා හැරීම, වෙෂින්ටනය හා ලන්ඩනය විසින් අවුලුවන ලද රුසියානු විරෝධී උද්ඝෝෂනයට දැක්වුන සෘජු ප‍්‍රතිචාරයකි.

එම පියවර ගෙන ඇත්තේ, ට‍්‍රම්ප් ආන්ඩුව වොෂින්ටනයේ සියැටල්හි රුසියානු උප තානාපති කාර්යාලය වසා දැමීමටත්, බොහෝ දෙනෙක් වොෂින්ටනයේ තානාපති කාර්යාලයෙන් පිටත සේවයේ නියුතුව සිටි රුසියානු නිලධාරීන් 60 දෙනෙකුට රටින් පිටවන ලෙස නියෝග කිරීමෙන් තෙදිනකට පසුවය.

අන්‍යොන්‍ය නෙරපා හැරීම් හා වසා දැමීම්වල අර්ථය, ඇමරිකාව තුල ඉතිරිව ඇත්තේ, වොෂින්ටනයේ හා නිව් යෝර්ක් නගරවල රුසියානු තානාපති කාර්යාල දෙකකුත් රුසියාව තුල මොස්කව් හා ව්ලැඩිවොස්ටොක් නගරවල ඇමරිකානු තානාපති කාර්යාල දෙකකුත් පමනක් බවයි.

ඇමරිකානු තානාපති ජොන් හන්ට්ස්මන් රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා නියෝජ්‍ය විදේශ ඇමති සර්ගේ රියාබ්කොව් ඔහුගෙන් විමසා ඇත්තේ, මේ මාසයේ මුල බ්‍රිතාන්‍යය හා ඇමරිකාව විසින් දියත් කරන ලද රුසියානු විරෝධී උද්ඝෝෂනය තව දුරටත් උත්සන්න කරමින්, ඇමරිකාව තුල ඇති රුසියානු රාජ්‍යයේ දේපොල අත්පත් කර ගැනීමට එරට රජය දරන උත්සාහය ගැන සිය අදහස් පැහැදිලි කරන ලෙසය.

විදේශ අමාත්‍යාංශයට අනුව රියාබ්කොව් හන්ට්ස්මන්ට පවසා ඇත්තේ, එවන් පියවරක් “ගෝලීය ස්ථාවරත්වයට බරපතල ප‍්‍රතිවිපාක” ගෙන එනු ඇති බවයි. “අපගේ රටට විරුද්ධව මඩ ගැසීමේ ව්‍යාපාරයක් දිරිමත් කරන ඇමරිකානු බලධාරීන්, තමන්ගේ සිහි එලවාගෙන ද්විපාර්ශවික සම්බන්ධකම් විනාශ කරන ඉවබව නැති කටයුතු වලින් වැලකිය යුතු බව පැවසිය යුතුව ඇත.”

රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව් පැවසුවේ, තම ආන්ඩුව රුසියානු තානාපතීන්ට රටින් පිටවන ලෙස නියෝග කල ආන්ඩු 27ක නියෝජිතයින් පිටමං කරන බවයි. සෑම රටක්ම නෙරපනු ලැබූ සංඛ්‍යාවට සමාන ගනනක් “එකට එක කිරීමක්” ලෙස තමන් ද නෙරපා හරින බවයි. දැනටමත් නෙරපා හැර ඇති ඇමරිකාවේ 60ක් හා බ්‍රිතාන්‍යයේ 23ට අමතරව යුක්රේනයේ 13ක්, ජර්මනියේ 4ක්, ජෝර්ජියාවේ එකක් ඇතුලු මුලු ගනන 153කි.

රුසියාවට එරෙහි ඇමරිකා-බ්‍රිතාන්‍ය ව්‍යාපාරය පටන් ගත්තේ, කිසිදු පසිද්ධ කල සාක්ෂියකින් සනාථ නොකල, හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුකාර සර්ගේ ස්ක්‍රිපාල් හා ඔහුගේ දියනිය යූලියාට වසදීම පිලිබඳව රුසියානු ආන්ඩුව වගකිව යුතුය යන චෝදනාව එල්ල කිරීමත් සමගය. දෙදෙනා එංගලන්තයේ සැලිස්බරිහි උද්‍යානයක බංකුවක් මත සිහිසුන්ව ඇද වැටී සිටියදී බරපතල තත්වයෙන් රෝහල්ගත කරනු ලැබින.

ස්ක්‍රිපාල් වරුන්ට කියනු ලබන ස්නායු වායු ප‍්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව වගකිව යුතු බව සඳහන් ඒකාබද්ධ ප‍්‍රකාශයක්, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය විසින් මාර්තු 15දා නිකුත් කරනු ලැබින. මේ සමග යුරෝපීය සංගමය හා නැටෝව විසින් ද ඒ හා සමාන ප‍්‍රකාශ නිකුත් කල අතර මාර්තු 26දා ඇමරිකාව තානාපතීන් පිටමං කිරීම නිවේදනය කිරීමත් සමග සීතල යුද්ධයෙන් පසුව ඇතිවූ වඩාත්ම පුලුල් සම්බාධක ක්‍රියාවට නැගුනි.

යුරෝවේ ප‍්‍රකාශය ඒ තුල ඇති සැලකිය යුතු මතභේද වසං කරන ලදී. ගී‍්‍රසිය, හංගේරියාව හා සයිප‍්‍රසය එම ව්‍යායාමයට විරුද්ධ වූ අතර බෙල්ජියම, බල්ගේරියාව, අයර්ලන්තය, ලක්සම්බර්ග්, මෝල්ටාව, ඔස්ට්‍රියාව, පෘතුගාලය, ස්ලොවේකියාව හා ස්ලෝවේනියාව ඇතුලු රටවල් 9ක්, තානාපතීන් නෙරපීමේ ක්‍රියාවලියට එක්වීම ප‍්‍රතික්ෂේප කලහ.

ප‍්‍රධාන යුරෝපීය බලවතුන් අතර ද මතභේද මතුවිය. විශේෂයෙන්ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ හා වාම පක්ෂයේ ප‍්‍රමුඛ නායකයෝ, ස්ක්‍රිපාල්වරුන්ට වසදීම සඳහා රුසියාව වගකිවයුතු යයි කිසිදු සාක්ෂියකින් තොරව, මොස්කෝවට එරෙහිව ක්‍රියාකිරීම ප‍්‍රතික්ෂේප කලහ.

එස්පීඩීයේ නියෝජ්‍ය නායක රල්ෆ් ස්ටිග්නර්, සුඩෙයෙත්ෂෙ සේතුං පුවත් පතට පැවසුවේ, “අපට බෙහෙවින් හානිකර” වන පරිදි අර්බුදය දිග්ගැස්සීම ගැන තමන් බිය පලකරන බවයි. සාක්ෂි නොමැතිකම ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “පෙනීයන දේ හා විශ්වාසනීයත්වයෙන් තොර කරුනු චෝදනා නැගීමට තරම් ප‍්‍රමානවත් නොවන” බවයි.

රුසියාවට එරෙහි චෝදනා සනාථ කරන සාක්ෂි ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම, ලන්ඩනයේ හා වොෂින්ටනයේ ව්‍යායාමය සැලසුම්ගත හා දැනුවත් ප‍්‍රකෝපකරනයක් බව පැහැදිලිවම සලකුනු කරයි. බ්‍රිතාන්‍ය ආන්ඩුව, චෝදනා එල්ල වන විස වායුවේ සාම්පලයක් හෝ රසායනික අවි තහනම් කිරීමේ කාර්යාලයට ඉදිරිපත් කලේ නැත. බ්‍රිතාන්‍යය ද එවන් සිද්ධී නිරීක්ෂනය කිරීමේ වගකීම පැවරී ඇති පාර්ශවයක් වන අතර, එය එක්සත් ජාතීන්ගේ ආයතනයකි.

එම ආයතනයේ තාක්ෂනික ශිල්පීන් මේ සතිය තුල සිය පරීක්ෂන කටයුතු සඳහා සැලිස්බරියට පැමිනෙන අතර, ප‍්‍රතිපල අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට නියමිතය. රුසියානු විදේශ ඇමති ලැව්රොව් නැවත නැවතත් කියා සිටියේ, එම ආයතනය එලඹෙන සඳුදා වනවිටවත් රැස්වී ස්ක්‍රිපාල් ප‍්‍රශ්නය හා බ්‍රිතාන්‍ය ආන්ඩුවේ ප‍්‍රකාශ ගැන සාකච්ඡා කල යුතුය යන්න තම ආන්ඩුවේ අදහස බව ය.

ලැව්රොව් බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විවේචනය කරමින් පැවසුවේ ඇගේ ආන්ඩුව, “සියල්ලන්ට රුසියානු විරෝධී මාවත ගන්නා ලෙස බලකරන” බවයි. “ඊනියා ස්ක්‍රිපාල් ප‍්‍රශ්නය කඩතුරාව කරගෙන අපට එරෙහිව, එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ දරුනු බලපෑම හමුවේ ගෙන ඇති, පරම වශයෙන්ම පිලිගත නොහැකි පියවරයන්ට” ප‍්‍රතිචාර දක්වනවා හැරෙන්නට රුසියානු ආන්ඩුවට වෙනත් විකල්පයක් නැති කර තිබේ.

රසායනික අවි විශේෂඥයින් ගනනාවක්ම බ්‍රිතාන්‍යයේ නිල වාර්තාව ප‍්‍රශ්නයට බඳුන් කර ඇත. ස්ක්‍රිපාල් වරුන්ට එරෙහිව පාවිච්චි කරන ලදැයි පවසන “නොවිචොක්” ස්නායු වායුව පිලිබඳව දන්නා තොරතුරු වලට ඒවා නොගැලපෙන බවක් ඔවුහු කියා සිටිති.

ලන්ඩනයෙන් ලැබෙන අලුත්ම තොරතුරු, ප‍්‍රශ්නය පැහැදිලි කිරීමට උපකාරී නොවේ. බ්‍රිතාන්‍යයේ ත‍්‍රස්ත විරෝධී පොලිසියේ ප‍්‍රධානී ඩීන් හේඩන් පැවසුවේ, ස්ක්‍රිපාල්වරු විස ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ ඔවුන්ගේ නිවසෙහි ඉදිරිපස දොරටුව අසලදී බවයි. රුසියානු ආරක්ෂක නිලධාරියෙක් වන ජෙනරාල් ඇලෙක්සැන්ඩර් මිකායිලොව් පෙන්වා දුන්නේ, දොරකඩදී ස්නායු විස වායු ප‍්‍රහාරය එල්ලවුනා නම් ස්ක්‍රිපාල්වරු ඒ මොහොතේම මිය යා යුතුව තිබුන බවයි.

ඒ වෙනුවට පියා හා දියනිය දිවා ආහාරය සඳහා පිටතට ගොස්, ආහාරය නිම වීමෙන් පසුව උද්‍යානයේ බංකුවක වාඩිවී ඇත. ඔවුන් ඇද වැටී ඇත්තේ එහිදීය. තව ද බ්‍රිතාන්‍ය ආන්ඩුව 29දා පැවසුවේ යූලියා ස්ක්‍රිපාල් දැන් බරපතල තත්වයෙන් මිඳී සුව අතට හැරෙමින් සිටින බවයි. ඒ ප‍්‍රතිපලය පෙන්නුම් කරන්නේ, නොවිචොක් වැනි මරනීය විස ප‍්‍රහාරයක් එල්ලවී නැති බවයි.

2004දී ද්විත්ව ඒජන්තයෙකු ලෙස හෙලිදරව් වීමෙන් පසුව සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය නොකර සිරගත කරනු ලැබීමෙන් පසුව නිදහස ලැබූ ඔහුගේ මරනය සිදුකිරීමට තරම් රුසියානු ආන්ඩුවට, අවශ්‍යතාවක් තිබුන බව විශ්වාස කටයුතු ලෙස පැවසිය නොහේ. ඔහු ඔත්තුකරුවන් හුවමාරුවක කොටසක් වශයෙන් 2010දී නිදහස ලැබීය. පසුව ඔහුට හා රුසියානු පුරවැසියෙකු වූ ඔහුගේ දියනියට රුසියාවෙන් පිටවීමට අවසර ලැබුනි.

අභිප්‍රේරනයේ ආස්ථානයකින් ගත් කල, ස්ක්‍රිපාල් සිද්ධිය වාසි සහගත වුනේ, රුසියාව සමග ගැටුම් උග‍්‍ර කිරීම සඳහා හැකි සෑම කඩතුරාවක්ම යොදාගැනීමට උත්සාහ කරන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු මිලිටරි ඔත්තු සේවාවන්ට පමනි. ඇමරිකාවේ පිටුබලය ලත් යුක්රේනයේ දක්ෂිනාංශික කුමන්ත‍්‍රනය, රුසියාවේ පිටුබලය ලබන බෂර් අල් අසාද් තන්ත‍්‍රය පෙරලා දැමීමට ඇමරිකාව උත්සාහ දරන සිරියානු සිවිල් යුද්ධය හා වඩාත් පොදුවේ, නැගෙනහිර යුරෝපයේ හා බෝල්ටික් රටවල නැටෝ මිලිටරි මෙහෙයුම් මුල්කරගෙන ඇතිවී තිබෙන තියුනු ආතතීන්, රුසියාව සමග යුද්ධය සූදානම් කිරීමේ අරමුනු පැහැදිලි කරයි.

වොෂින්ටනයට හා ලන්ඩනයට විශේෂිතවම යුරෝපීය සංගමය සමග විදෙස් පිලිවෙත් සම්බන්ධයෙන් මතුවෙමින් ඇති මතභේද ගැන කනස්සල්ලක් ඇත. ඒවාට රුසියාවේ හා මැද පෙරදිග කලාපය තුල තමන්ගේම ආසක්තයන් ඇත. ඒවා ඇමරිකානු අවශ්‍යතා සමග නොපෑහෙයි. පෙන්ටගනය ජූලි මාසයේ එලඹෙන නැටෝ සමුලුවේදී, “30-30-30” යයි කියනු ලබන එකඟතාවක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වේ. එම යෝජනාව යටතේ, රුසියාව සමග ගැටුමක් අවස්ථාවේදී යෙදවීමට, හමුදා සේනාංක 30ක්, යුද නැව් 30ක්, හා ප‍්‍රහාරක ගුවන් යානා බල ඇනි 30ක් සූදානම් කල යුතුය.

රුසියාවට එරෙහි ප‍්‍රකෝපකරනයන්හි බලගතු දේශීය උත්සුකයන්ද ඇත. රුසියාව සමග හදිසි යුද තත්වයක් වර්ධනය කිරීමෙන්, අභ්‍යන්තර දේශපාලන විපක්ෂයට පහර දීම සඳහා කඩතුරාවක් සපයයි. ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ද එකසේය. දෙරට තුලම කුමන හෝ සැලකිය යුතු සමාජ අරගලයකට දැන් “රුසියාවේ උසිගැන්වීම්” යන හංවඩුව ගැසිය හැකිය. නැතිනම්, රුසියාව විසින් අන්තර්ජාලය ඔස්සේ පතුරුවා හරිනු ලබන “ව්‍යාජ ප‍්‍රවෘත්ති” වල ප‍්‍රතිපලයක් ලෙස දැක්වීමේ අවස්ථාව ලබා ගත හැකිය.

නව වසරේ උදාවත් සමග සමාජ නොසංසුන්තාවේ පොදු නැගීමක් ලෙස දෙරටේම හා යුරෝපයේ අනෙකුත් රටවලත්, කම්කරු පන්ති අරගලවල ඉහල යාමක් ඇතිව තිබේ. ප‍්‍රධාන ධනපති රටවල පාලක පන්තියේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, අන්තර්ජාල වාරනය ද ඇතුලු මර්දනය හා ආඥාදායක ක‍්‍රමෝපායන් යොදාගැනීමයි. කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන ප‍්‍රතිරෝධයට එරෙහිව, මර්දනකාරී පියවර ගැනීම යුක්තිසහගත කිරීම පිනිස රට තුල යුද උන්මාදය වැපිරවීම, රුසියාව යක්ෂාවේෂ ගැන්වීමේ ප‍්‍රධාන අරමුනයි.

ඇමරිකානු ව්‍යාපාරික මාධ්‍යය තුල රුසියානු විරෝධී උද්ඝෝෂනය තීව‍්‍ර කිරීමේ ව්‍යායාමය අඛන්ඩව සිදුවෙමින් ඇත. එන්බීසී නිව්ස් ජාලය 29දා රාත්‍රියේ වාර්තාවක් පල කලේය. බාරවූ රුසියානුවෙකු හා හිටපු ද්විත්ව ඒජන්තයෙකු මත පමනක් පදනම් වෙමින් කල සම්මුඛ සාකච්ඡාවක් මගින් කියා සිටියේ, පුටින් තන්ත‍්‍රය, පුද්ගලයින් අටදෙනෙකුගෙන් යුත්, “අතුගා දැමිය යුත්තන්ගේ ලැයිස්තුවක්” පිලියෙලකොට තිබෙන බවය.

කියනු ලබන ලැයිස්තුවට එම පුද්ගලයා ද ස්ක්‍රිපාල් හා රුසියාවේ තම ගනුදෙනුකරුවන්ගෙන් එකතුකරගත් ට‍්‍රම්ප් විරෝධී තොරතුරු ගොනුවක්, එෆ්බීඅයි, ඩිමොක‍්‍රටික් පක්ෂය හා සෙනේට් සභික ජෝන් මැකේන් වෙත සැපයූ, හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වූ ක්‍රිස්ටෝපර් ස්ටීල් ද සිටී.

Share this article: