ආන්ඩුව අනධ්‍යන සේවකයන්ට අවසන් දිනයක් නියම කරයිි: සමස්ත කම්කරු පන්තියට දෙන ලද බලගතු සංඥාවක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 අප්‍රේල් 12

අප්‍රේල් 17 වන දාට හෝ ඊට පෙර සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ට ආන්ඩුව ඊයේ නියෝග කලේය.

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.සී. දිසානායක සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා ගේ අත්සනින් නිකුත්කර ඇති මෙම නියෝගයට අනුව, මේ මස 17 වැනි දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුනු සහ කොන්ත‍්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු අනධ්‍යයන සේවකයින් සේවය අතහැර ගියා සේ සැලකෙයි.

එදිනට සේවයට වාර්තා නොකරමින් තවදුරටත් වර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවකයන්ට වර්ජනයේ යෙදී සිටින කාල සීමාව සඳහා වැටුප් නොගෙවන බව ද නියෝගයේ සඳහන් වෙයි.

ආන්ඩුව මෙම නියෝගය නිකුත් කලේ, පෙබරවාරි 28 වෙනිදා සිට වැඩ වර්ජනයේ යෙදී සිටින අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් සියල්ලම ප‍්‍රතික්ෂේප කරමිනි. වැටුප් වැඩි වීමක්, සෞඛ්‍ය රක්ෂනයක්, සහ විශ‍්‍රාම වැටුපක් යන ඔවුනගේ මූලික ඉල්ලීම් කම්කරු පන්තිය පොදුවේ මුහුන දෙන දැවෙන අවශ්‍යතාවයන් නියෝජනය කරයි.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නියෝගය, අනධ්‍යන කම්කරුවන්ට පමනක් නොව, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටින සමස්ත කම්කරු පන්තියට එරෙහිව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් දෙන ලද බලගතු සංඥාවකි.

ගැඹුරු දේශපාලන සහ ආර්ථික අර්බුදයකට ද සමාජ විරෝධයකට ද මුහුන දී සිටින ආන්ඩුවේ මූලෝපාය බවට පත්ව ඇත්තේ, රාජ්‍ය වියදම් දැවැන්ත ලෙස කප්පාදු කරමින් පුද්ගලීකරනය වේගවත් කිරීම සහ ඊට එරෙහිව නැගී සිටින කම්කරු-පීඩිත මහජනතාව පොලිස්-මිලිටරි ක‍්‍රම වලින් තලා දැමීමයි.

ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික අර්බුදය විසින් ලොවපුරා ධනපති පාලකයන්ට මෙවන් මූලෝපායන් ක්‍රියාත්මක කිරීම සඳහා වෛෂයිකව බලකෙරී ඇති බැවින්, මැති-ඇමතිවරුන්ට කරන කන්නලව් මගින් හෝ හුදුු විරෝධතාවයන් මගින් ඒවා වෙනස් කල නොහැක.

ධනපති ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනපති ක‍්‍රමයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වූ තමාගේම මූලෝපායක් කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ එබැවිනි.

අප්‍රේල් 10 වෙනි දා කොලඹ දී පැවැත්වූ පා ගමන

රාජ්‍ය මර්දනය පමනක් නොව, වර්ජනය කැඳවුම් කල විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ පිටුපසට ඇදීම් මධ්‍යයේ සති හයක් ඉක්මවා අඛන්ඩව වර්ජනයේ රැඳී සිටීම මගින් අනධ්‍යන සේවකයන් තම අධිෂ්ඨානය ඇති තරම් පෙන්වා ඇත. ආන්ඩුව විසින් සිය ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අප්‍රේල් 10 වෙනි දා කොලඹ දී පැවැත්වූ පා ගමනට, දිවයිනේ සියලු විශ්ව විද්‍යාල සහ අනුබද්ධ ආයතන නියෝජනය කරමින් 2000 කට ආසන්න අනධ්‍යන සේවක පිරිසක් සහභාගි වීම මගින් එම අධිෂ්ඨානය ඔවුහු යලිත් වරක් පෙන්නුම් කලහ.

එනමුදු තම සටන ජයග‍්‍රහනය කිරීම සඳහා අධිෂ්ඨානය පමනක් නොසෑහෙන බව කම්කරුවන් වටහාගත යුතු ය. තම අරගලය ඉහත සඳහන් කල මූලෝපාය මත පදනම් කර නොගතහොත් පරාජයකින් කෙලවර වීම වලක්වාගත නොහැක.

එවන් මූලෝපායකින් කම්කරු පන්තිය සන්නද්ධවීම වලකා සිටින්නේ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම දේශපාලන සංවිධානයන් විසිනි.

ධනේශ්වර පද්ධතියට තදින් බැඳී ඇති මෙම සංවිධාන සෑම විටම උත්සාහ දරන්නේ ධනපති පාලකයන් සමග ඇතිකර ගන්නා සම්මුති මගින් කම්කරු පන්තිය ධනේශ්වර ප‍්‍රහාරයන්ට යටත්කර දීමටයි.

අනධ්‍යන කම්කරුවන් ඉල්ලා සිටින සියයට 35 ක හිලව් දීමනාව සියයට 10 දක්වා කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය රක්ෂනයක් හා සහ විශ‍්‍රාම වැටුපක් යන ඉතා වැදගත් ඉල්ලීම් “පසුවට සකච්ඡා කර විසඳා ගැනීමේ” කඩතුරාව යටතේ අතහැර දැමීමටත්, උසස් අධ්‍යාපන ඇමති කබීර් හසිම් සමග අප්‍රේල් 3 වෙනිදා පැවති සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නායකයන් එකඟ වී ඇත.

ඒ අනුව පසුදින සිට වර්ජනය නතර කරන බව සමිති නායකයෝ නිවේදනය කලහ. එහෙත් හිලව් දීමනාව සියයට 10 කින් වැඩි කිරීම සම්බන්ධව නිකුත් කිරීමට පොරොන්දු වූ චක‍්‍රලේඛය යූජීසී ය විසින් මෙතෙක් නිකුත් කර නැත.

අනධ්‍යන සේවක ගැටලු විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කල සන්දේශයක් ද අප්‍රේල් 10 වන දා උද්ඝෝෂනය අතරතුර සමිති නායකයන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇත. එදින ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු සමග පැවති සාකච්ඡාවේ දී ඔහු පවසා ඇත්තේ අනධ්‍යන සේවක ගැටලු පිලිබඳව ජනාධිපතිවරයා “දැනුවත්” කර සති දෙකක කාලයක් තුල විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන් ම, සියයට 10 දීමනාව මෙම වසරේ ජනවාරි 1 වෙනිදා සිට බලපාන පරිදි ගෙවීමට අප්‍රේල් 3 වෙනිදා පැවති සාකච්ඡාවේ දී ඇමති හසීම් එකඟ වී ඇතත් එය අප්‍රේල් 15 සිට බලපාන පරිදි ගෙවන බවට වෙනස් කර ඇති බවත්, 2016 අගෝස්තු මාසයේ උසස් අධ්‍යාපන ඇමති සමග අත්සන් කල ගිවිසුම අහෝසිවන බවත් යූජීසී ය අප්‍රේල් 9 වෙනිදා ලිපියකින් දැනුම් දුන් බව ද ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මාධ්‍යයට පවසා ඇත.

ආන්ඩුවේ අවසන් දින නියෝගය ඇතුලු ඉහත පියවර සියල්ලෙන් පැහැදිලි වන්නේ සමිති නායකයන්ගේ මෙම නිවට යටත්වීම පාවිච්චි කරමින් වර්ජනයේ යෙදී සිටින සේවකයන් හෙම්බත් කර ඔවුන්ගේ අරගලය දියකර හැරීමට ආන්ඩුව දැනුවත්ව කටයුතු කරන බවයි.

ආන්ඩුව අප්‍රේල් 3 වෙනිදා දුන් පොරොන්දුව කඩ කිරීමත්, මෙම කොන්දේසි සාමාජිකත්වය මත පැටවීමට යාමේ දී එල්ල විය හැකි බරපතල විරුද්ධත්වයත් නිසා අරගලය දිගටම ගෙන යාමට සමිති නායකයන් ට බල කෙරී ඇති නමුත් ඔවුන් තෙපරබාමින් සිටින්නේ සාමාජිකයන්ගේ ඇස්වලට වැලි ගසා වර්ජනය අවසන් කිරීමේ සම්මුතියක් ආන්ඩුව සමග ඇති කර ගනිමින් අරගලය පාවාදීමට බව සසප අනධ්‍යන සේවකයන්ට අනතුරු අඟවයි.

අනධ්‍යන සේවක අරගලය කඩාකප්පල් කිරීමේ ආන්ඩුවේ උත්සාහය සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ධනපති ජනමාධ්‍ය ද පෙල ගැසී ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශාඛාව අප්‍රේල් 9 වෙනිදා නිකුත් කල මාධ්‍ය ප‍්‍රකාශයක් මගින් අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ඉල්ලීම කෙරෙහි ”දැඩි විරුද්ධත්වය” ප‍්‍රකාශ කර ඇත. “කවර හෝ වෘත්තීය සමිතියකට ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට ඇති අයිතිය අප පිලිගන්නා නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සාධාරනීකරනය කිරීම සඳහා ශාස්ත‍්‍රාලික දීමනාව කඩඉමක් ලෙස යොදා ගැනීම ගැන අපගේ සාමාජිකත්වය දැඩි ලෙස විරුද්ධ වන” බව එහි සඳහන් වේ.

ආචාර්යවරුන්ගේ සංගමය මෙසේ සෘජුව ම, අනධ්‍යන සේවක වර්ජනයට විරුද්ධ වන අතර විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල පද්ධතියෙන් පිටස්තර අනෙකුත් සියලු වෘත්තීය සමිති විසින් අනධ්‍යන සේවක අරගලය හුදකලා කොට එය මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කර ඇත.

ලංකාදීප පත‍්‍රය අනධ්‍යන සේවක වැඩ වර්ජනය ගැන අප්‍රේල් 11 වෙනිදා පලකල වාර්තාවක් මගින් අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව මහජනයා කුපිත කිරීමේ උත්සාහයක් දරා ඇත. වර්ජනය නිසා විශ්ව විද්‍යාල අවට “වක‍්‍ර රැකියාවන්හි නිරත ත්‍රීරෝද රථ හිමියන්, ආපන ශාලා, හෝටල් සහ කැන්ටීන් මෙන් ම, සිසුන්ට ආහාර සපයන පිරිස්, සැලුන්, පොත් හල්, කොමියුනිකේෂන්, රූපලාවන්‍යාගාර මෙන් ම, සතිපොල වෙලඳකරුවන් ද සිය ආදායම් බින්දුවට බැස ඇතැයි” වාර්තාව සඳහන් කරයි.

අනධ්‍යන සේවක වර්ජනය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල පැන නැගුන දීර්ඝතම අරගලයයි. එමෙන් ම, එය ධනපති ආන්ඩුවල ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සිදුවෙමින් පවත්නා පුලුල් රැඩිකලීකරනය සමග වෛෂයිකව බද්ධ වූ අරගලයකි.

පසුගිය දින වල ලංකාවේ මතු වූ වරාය, දුම්රිය, තැපැල්, විදුලි බල, තෙල් සහ සෞඛ්‍ය සේවකයන්ගේ අරගල හා වැටුප් ඉල්ලීම් මත ඉරානයේ හා ජර්මනියේ කම්කරු අරගල, දුම්රිය සේවය පුද්ගලීකරනයට එරෙහි ප‍්‍රන්ස දුම්රිය කම්කරුවන්ගේ අරගලයත් සමග පසුගිය සතියේ පුපුරා ගිය ප‍්‍රන්ස කම්කරුවන්ගේ මහ වර්ජනය, ඉන්දියාවේ ප‍්‍රවාහන කම්කරුවන්ගේ සහ දැන් පැතිරෙමින් පවතින ඇමරිකාවේ ගුරුවරුන්ගේ හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය මෙම ජාත්‍යන්තර රැඩිකලීකරනයේ ප‍්‍රකාශනයන් ය.

හරයෙන් පමනක් නොව, රූපයෙන් ද සමාන වන මෙම කම්කරු පන්තික අරගල සඳහා එකම ජාත්‍යන්තර මූලෝපායක්, එනම් ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් ඓතිහාසිකව සහ වෛෂයිකව ආවශ්‍යක කෙරී ඇත.

මෙම මූලෝපායට මුලුමනින්ම සතුරු වෘත්තීය සමිති වලින් ඉවත්ව තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අනධ්‍යන කම්කරුවන් අරගලය සියතට ගත යුතුය.

මෙම ක්‍රියාකාරී කමිටු තුල කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා තුලින් ගනු ලබන තීන්දු හරහා ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව අරගලය දැනුවත්ව සංවිධානය කිරීමට සහ ඒ වටා තමන් මෙන් ම ප‍්‍රශ්නවලට මුහුන දී සිටින අවශේෂ කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත බලමුලු ගන්වා ගැනීමට අනධ්‍යන කම්කරුවන් ආරම්භකත්වය ගත යුතුය.

අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව විසින් ක්‍රියාත්මක කොට ඇති මර්දනය, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක් ලෙස සලකා අනධ්‍යන කම්කරුවන් ආරක්ෂා කිරීමට අවශේෂ කම්කරුවන් පෙරට පැමිනිය යුතු වන අතර, ආන්ඩුවට එරෙහි සමස්ත කම්කරු පන්තියේ දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කිරීම අත්‍යවශ්‍ය කෙරී ඇත.

එසේම, ධනපති ක‍්‍රමය යටතේ පහර කෑමට ගොදුරුව සිටින ගම්බද දුගී ගොවීන්, රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යයන් ඇතලු පීඩිත ජන කන්ඩායම් එම අරගලය වටා පෙල ගස්වා ගැනීමට සටන් කල යුතුය.

එහි එල්ලය වියයුත්තේ කම්කරු පන්තියට වින කටින ධනපති පන්ති පාලනය අහෝසිකොට සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.

Share this article: