විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හයවැනි සතියට පිවිසෙයි:
අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

2018 අප්‍රේල් 6

වැටුප් වැඩි වීමක්, සෞඛ්‍ය රක්ෂනයක්, සහ විශ‍්‍රාම වැටුපක් ඇතුලු ඉල්ලීම් කීපයක් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පෙබරවාරි 28 දා ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනය හයවන සතියට ද අවතීර්න වී ඇත. වර්ජනයට නායකත්වය දෙන විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ පිටුපසට පැදීම් සහ ආන්ඩුවේ තර්ජනයන් හමුවේ අනධ්‍යන කම්කරුවෝ අධිෂ්ඨානශීලීව දිගටම සටනේ රැඳී සිටිතිි.

තම අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන උත්සුකයෙන් විශ්ව විද්‍යාලයන්ට දිනපතා පැමිනෙන දහස් සංඛ්‍යාත කම්කරුවන්ට සමිති නායකත්වය කියන්නේ වැටුප් වැඩි කිරීමට අදාල චක‍්‍රලේඛය “අද” නිකුත් වන බවයි. කම්කරුවන් පවසන පරිදි එම “අද” මෙතෙක් උදා වී නැත.

අරගලය ඉදිරියට ගෙන යා හැකි එකම ක‍්‍රමය වන්නේ, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට ලක්ව සිටින අවශේෂ කම්කරු පන්තිය සහ පීඩිතයන් තම අරගලය වටා රැලිකර ගනිමින් ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමයි. ඊට එරෙහිව සිටින ඒකාබද්ධ කමිටුව, දිගටම යෙදී සිටින්නේ මැති ඇමතිවරුන්ට කන්නලව් කිරීමේ ව්‍යායාමයකය .

උසස් අධ්‍යාපන ඇමති කබීර් හසීම් සමග ඒකාබද්ධ කමිටුව අප්‍රේල් 2 දා කල සාකච්ඡාවක දී සියයට 10 ක වැටුප් වැඩි කිරීමක් සඳහා එකඟතාවයක් ඇති කරගත් බවත්, ඒ සඳහා අදාල චක‍්‍රලේඛය ඊට පසුදින නිකුත් කෙරුනු පසු, අප්‍රේල් 4 දා වර්ජනය අවසන් කරන බවත් ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුනි.

නමුදු, අප්‍රේල් 4 දා මල්වත්තගේ මාධ්‍යයට ප‍්‍රකාශ කලේ වර්ජනය දිගටම ගෙන යාමට සිදුව ඇති බවයි. තම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ආන්ඩුව සුපුරුදු පරිදි කොක්කෙන් මුදා හල ඔහු, “අපේ ඉල්ලීම් ඉටු කිරීමට ඇමතිතුමා එකඟ වුවත්, නිලධාරීන් ඇමතිතුමාගෙ උපදෙස් ක්‍රියාත්මක කිරීම පමා කරන” බව පැවසීය.

ධනපති ආන්ඩුවේ සහ ධනපති ක‍්‍රමයේ පැවැත්ම සඳහා තම සාමාජිකත්වයේ දැවෙන අවශ්‍යතා පාවා දීමට මෙම සමිති නිලධරය කෙතරම් සූදානම් ද යන්න ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ධම්මික එස්. ප්‍රියන්ත ලංකාකොම් වෙබ් අඩවියට කල ප‍්‍රකාශයකින් මනාව පැහැදිලි වෙයි. ඔහු මෙසේ කියයි: “ඇමතිවරයා ප‍්‍රදානය කල සියයට දහය අපේ ඉල්ලීමට පහල අගයක් වුනත්, රටේ පවත්නා දේශපාලන අස්ථාවරභාවය සලකා නම්‍යශීලි වන්නට අපි තීරනය කලා.”

හුදෙක් නිලධාරීන් මත වරද පටවමින් ආන්ඩුව ආරක්ෂා කරන මල්වත්තගේ ඇතලු සමිති නායකයන් කරන ප‍්‍රකාශ මුලුමනින්ම වංචනිකය. සැබැවින්ම, නිලධාරීන් ක්‍රියාත්මක කමින් සිටිනුයේ ඇමතිවරයා දෙන උපදෙස් වන අතර, ඔහුගේ උපදෙස් ගලා එනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන්ගෙන් නිර්නය කෙරුනු ආන්ඩුවේ ආර්ථික පිලිවෙතෙනි.

ජාමූඅ ආන්ඩුවට නියෝග කොට ඇත්තේ පසුගිය වසර අවසන් වන විට දල ජාතික නිශ්පාදනයෙන් සියයට 5.5 ක් ව පැවති අයවැය පරතරය 2020 වන විට සියයට 3.5 දක්වා පහත හෙලන ලෙසය. ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින මෛත්‍රීපාල-සිරිසේන ආන්ඩුව සහ පෙර පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඉල්ලා සිටි දැවැන්ත නය මුදල් ජාමූඅ විසින් ලබා දුන්නේ ඉහත නියෝගය ඇතුලු තවත් නියෝග ගනනාවක් යටතේ යි.

අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සුබසාධනයන්හි දැවැන්ත කප්පාදු, පෞද්ගලීකරනය සහ ප‍්‍රතිව්‍යූහකරනය මෙන්ම මහජනතාව මත දැවැන්ත බදු පැටවීම මෙම නියෝගයන් අතරින් ප‍්‍රමුඛ වන අතර, අනධ්‍යන සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ මෙම ප‍්‍රහාර වලටයි.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඇතලු සමස්ත සමිති නිලධරය ඉහත යතාර්ථය කම්කරුවන්ගෙන් මුලුමනින්ම වසන් කරනුයේ එවන් හෙලි කිරීමක් ධනේශ්වර ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දෙසට කම්කරු පන්තිය යොමු කරන බැවිනි. ධනපති ක‍්‍රමයට තදින් බැඳී ඇති මෙම සමිති එවන් අරගලයකට ඉඳුරාම සතුරු ය.

2008 දී පුපුරා ගිය ලෝක ධනේශ්වර අර්බුදය වඩාත් ගැඹුරුවන තත්වය තුල, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සෑම රටකම ආන්ඩුවල පිලිවෙත බවට පත්ව ඇත. එම ප‍්‍රහාරයන්ට එරෙහිව, සෑම රටකම පාහේ කම්කරු පන්තිය දැවැන්ත පරිමාන අරගලයන්ට අවතීර්න වෙමින් සිටිති.

වෘත්තීය සමිති නිලධරය විසින් කෘතිම ලෙස යටපත් කරගෙන සිටි කම්කරු පන්තික අරගල, එක්සත් ජනපදය වැනි දියුනු ධනපති රටවල සිට ශ්‍රී ලංකාව වැනි නොදියුනු රටවල් දක්වා යලි වේගයෙන් මතුවෙමින් පවතී. 1960 ගනන් වල පැන නැගි ජාත්‍යන්තර පරිමාන පන්ති අරගල රැල්ලෙන් පසු පලමු වතාවට යලි මතුව ඇති කම්කරු පන්තියේ මෙම රැඩිකලීකරනය දැවැන්ත විප්ලවවාදී විභවයක් අත්කර ගනී.

ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන පන්ති අරගලයන් අතර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සටන් ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා, ඔක්ලහොමා සහ කෙන්ටකී ප‍්‍රන්තයන්ගේ දසදහස් ගනන් ගුරුවරුන්ගේ වර්ජනයන්ගෙන් ද, ග්‍රීසිය, බ‍්‍රසීලය, අජන්ටිනාව, මෙක්සිකෝව, එක්සත් රාජධානිය, කැනඩාව, කෙන්යාව සහ අනෙකුත් බොහෝ රටවල අධ්‍යන සහ අනධ්‍යන සේවකයන්ගේ අරගල වලින් ද සමස්ත පෘථිවි ගෝලය සංලක්ෂනය වී ඇත.

පසුගිය දශක කීපය තුල අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල සිදු කෙරුනු කප්පාදුවල පරිමාව සලකන කල, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කම්කරුවන් පන්ති සටනේ පෙරමුනට පැමිනීම පුදුමයට කරුනක් නොවේ. ලංකාවේ මෑත ඉතිහාසය තුල දීර්ඝතම කම්කරු පන්තික වර්ජනය ලෙස සැලකිය හැකි අනධ්‍යන කම්කරු වර්ජනය මෙම ජාත්‍යන්තර වර්ධනයේ ප‍්‍රකාශනයකි.

මෙම ජාත්‍යන්තර පරිමාන අරගලයන්ගේ කැපී පෙනෙන ආකාරයේ පෙදු ලක්ෂන පවතී:

* මෙම සෑම අරගලයකදීම පාහේ කම්කරුවන් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩි කිරීමක්, සෞඛ්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ය.

ජීවන වියදම අහස උසට නැග ඇති තත්වය හමුවේ වැටුප් වඩි වීමකින් තොරව ජීවත් වීමට නොහැකි තත්වයට ලොවපුරා කම්කරු පන්තිය ඇද දමා ඇත. මහජන අධ්‍යාපනය මෙන්ම මහජන සෞඛ්‍යය ද දැවැන්ත පරිමාන කප්පාදු වලින් පිරිහෙලා ඇති තතු තුල සෞඛ්‍ය රක්ෂනය දැවෙන අවශ්‍යතාවයකි. එමෙන්ම වඩවඩාත් අනාරක්ෂිත වන තම මහලු දිවිය සුරක්ෂිත කර ගැනීම සඳහා විශ‍්‍රාම වැටුපක් ආවශ්‍යකම කෙරී පවතී.

* කම්කරු පන්ති විරෝධී, සම්මුතිවාදී සංවිධානයන් වන වෘත්තීය සමිති සහ කම්කරුවන් අතර වර්ධනය වන සෘජු ගැටුම මෙම අරගලයන්ගේ අනෙක් පෙදුු ලක්ෂනය යි.

වර්ජිනියා, ඔක්ලහොමා සහ කෙන්ටකී ප‍්‍රාන්තයන් හි ගුරුවරුන්ගේ අරගලයන් සංවිධානය කලේ වෘත්තීය සමිති නිලධරයට එරෙහිව පහල සාමාජිකත්වය විසිනි. අනධ්‍යන කම්කරු අරගලය ආරම්භ කිරීමේදී විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය වර්ජනයට සහභාගි නොවීමට ගත් තීරනයට එරෙහිව එම සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ පහල සාමාජිකත්වය සම්මත කල යෝජනාව මෙහි ශ්‍රී ලාංකික ප‍්‍රකාශනයකි.

* මෙම සෑම අරගලයක්ම කම්කරු පන්තියට සුවිශේෂ වූ අනන්‍යතාව සහ ධනපති-විරෝධී ස්වභාවය වඩවඩාත් අත්පත්කර ගනිමින් සිටී. එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති අරගල සැලකුවහොත් එම අරගල තුලදී කම්කරුවන් ඒකාග‍්‍ර වනුයේ වර්නය සහ වර්ගය ආදී අනන්‍යතා නොතකා පන්ති අනන්‍යතාවය මතයි. ලංකාවේ අනධ්‍යන කම්කරු අරගලයේදී, උතුරේ සිට දකුන දක්වා ද බස්නාහිර සිට නැගෙනහිර දක්වා ද වූ විශ්ව විද්‍යාලයන් හි සේවයේ නියුතු සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ඒකාග‍්‍රව සිටින්නේ මෙම පන්ති අනන්‍යතාව මතයි.

* මෙම සෑම අරගලයකම වෛෂයික තර්කනය යොමුව පවත්නේ, වැටුප්, සෞඛ්‍ය සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුවට, රාජ්‍ය මර්දනයට සහ සමාජ අසමානතාවයට සහ සමාජ අර්බුදයේ විවිධ රූපාකාරයන් ට එරෙහි වනකම්කරුවන් ඒකාග‍්‍ර කෙරෙන මහ වැඩ වර්ජනයන් දෙසටයි.

අනධ්‍යන කම්කරුවන් මෙන්ම තැපැල්, විදුලි බල සහ දුම්රිය කම්කරුවන් ඇතුලු අරගලයට පිවිස සිටින සියලුම කම්කරුවන් තම අරගල තුල පවත්නා මෙම පොදු ලක්ෂන හඳුනා ගත යුතුය.

මෙම සියලුම කම්කරුවන්ගේ ඉල්ලීම් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වහා ප‍්‍රතික්ෂේප කරන්නේ “මුදල් නෑ” යන සූත‍්‍රයෙන් ගසා දමමිනි. ධනපති ක‍්‍රමය තුල නිශ්පාදන මාධ්‍යයන්හි අයිතිය සහ සමාජ ධනයේ අති මහත් ස්කන්ධය සංකේන්ද්‍රනය වී පවත්නේ ධනපතියන් අතලොස්සක් අත බැවින් ද, කම්කරු පන්තිය නිපදවන සැබෑ වත්කම් වඩවඩාත් ගලා යන්නේ එම ධනපතියන් අතට බැවින් ද, අවසාන විග‍්‍රහයේ දී සමස්ත ධනේශ්වර පර්යාය පාලනය කරනු ලබන්නේ බිලියනපති කුඩා මූල්‍ය කතිපයාධිකාරයක් බැවින් ද, කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අවශ්‍යතා සැපිරීමට “මුදල් නෑ” යැයි ආන්ඩුව කියන විට එය වෛෂයික සත්‍යයකි.

එසේනම් මුදල් සොයා ගන්නේ කෙසේද?

ඒ සඳහා සමාජයේ සමස්ත දේශපාලනික සහ ආර්ථික ජීවිතය තුල කම්කරු පන්තියේ ආධිපත්‍යය පිහිටුවිය යුතුය. එය කල හැක්කේ මහා පරිමාන කම්හල්, බැංකු සහ වතු කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට ලාභය සඳහා වන නිශ්පාදනය අහෝසිකොට මානව අවශ්‍යතා සඳහා වූ නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ජාත්‍යන්තර පරිමානව තහවුරු කල යුතුය. මේ වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

මෙවන් සටනකට, ලොවපුරා වෘත්තීය සමිති මෙන්ම, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ද පරම ලෙසම සතුරුය. එම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් සටන් වදින සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්ට කායිකව පහර දීමට එම සමිති නිලධරය කීප වතාවක්ම පෙලඹුනේ එබැවිනි.

අනධ්‍යන කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී අරගලය තම අතට ගත යුතුය. මේ සඳහා කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකචඡා වලින් තීන්දු ගැනෙන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. එම කමිටු ක්‍රියාත්මක විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මතයි.

එම ක්‍රියාකාරී කමිටු මගින් තම අරගලය අනෙකුත් කම්කරුවන් සහ ආන්ඩුවේ ප‍්‍රහාර වලින් බැටකන ගොවීන්, තරුනයන් සහ ශිෂ්‍යයන් අතරට ගෙන යමින් ඔවුන් ඒකාග‍්‍ර කොට ධනපති ආන්ඩුව සහ ධනපති ක‍්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් දේශපාලන අරගලයක් සංවිධානය කල යුතුය.

අනධ්‍යන කම්කරුවන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ අයිතීන් සහ අවශ්‍යතා තහවුරුකල හැක්කේ එමගින් පමනි.

පානි විජේසිරිවර්ධන

Share this article: