ධනවාදය හා කෘතිම බුද්ධි විප්ලවය

Capitalism and the artificial intelligence revolution

2018 අප්‍රේල් 6

මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ දසදහස් ගනන් ජනයා මරා දමා ඇති හෝ අංග විකල කර ඇති එක්සත් ජනපදයේ ඩ්‍රෝන් ඝාතන වැඩපිලිවෙල සමග ගූගල් සමාගමෙහි ඒකාබද්ධ වීමට විරුද්ධ ව ආස්ථානයක් ගන්නා ගූගල් සේවකයන් 3,000කට අධික පිරිසක් පසුගිය මාසයේ ලිපියක් අත්සන් කල හ.

“ගූගල් සමාගම යුද්ධ ව්‍යාපාරයේ නොයෙදිය යුතු යයි අපි විශ්වාස කරන්නෙමු” යයි ප‍්‍රකාශ කල ගූගල් සේවකයෝ, එක්සත් ජනපද ඩ්‍රෝන් යුද වැඩපිලිවෙල සමග සංගෘහිත පුලුල් ඩ්‍රෝන් පරීක්ෂන පද්ධතියක් වන “මාවෙන් ව්‍යාපෘතියට” සහභාගි වීම ගූගල් විසින් අවසන් කල යුතු යයි ඉල්ලා සිටිය හ. “ගූගල් හෝ එහි කොන්ත‍්‍රාත්කරුවන් කිසි දිනෙක යුද තාක්ෂනය වර්ධනය නො කල යුතු ය” යන පිලිවෙතක් අනුගමනය කරන ලෙස ලිපිය මගින් ඉල්ලා සිටියහ.

ඩ්‍රෝන් ඝාතන වැඩපිලිවෙල සමග ගූගල් සමාගමෙහි බද්ධ වීම පෙන්නුම් කරන්නේ, රුසියාව හා චීනය සමග “මහා බල තරඟයේ” නව යුගයක් ප‍්‍රකාශයට පත්කරමින්, ලෝක වේදිකාව මත තම මිලිටරි බලය යලි තහවුරු කරගැනීමේ එක ම විධිය වන සිය යුද්ධ සැලසුම් සමගින් එක්වන ලෙස සිලිකන් නිම්නයට (එක්සත් ජනපදයේ ප‍්‍රධාන පරිගනක තාක්ෂන කලාපය) පීඩනය යෙදීම දැකගන්නා එක්සත් ජනපද මිලිටරිය සමග ප‍්‍රධාන තාක්ෂනික සමාගම් වඩ වඩා ඒකාග‍්‍ර වීම යි.

එය ගූගල් සමාගම ස්වදේශික රහස් තොරතුරු සෙවීම හා වාරනය තුල ඉටුකරන භූමිකාව තරම් ම අනිෂ්ට පෙරනිමිති සහිත වේ. “ගැඹුරු අධ්‍යයනය” හා කෘතිම බුද්ධි තාක්ෂනයන් භාවිතය හරහා “විකල්ප මතවලට” වඩා “විශ්වාසනීය අන්තර්ගතයන්” දිරිමත් කිරීමට (2017) අප්‍රේල් මාසයේ සිය සෙවුම් ක‍්‍රම ලේඛනවල වෙනස්කම් ගූගල් විසින් නිවේදනය කලේ ය. මෙම වෙනස්කම් වාමාංශික වෙබ් අඩවිවලට වන පිවිසුම් සියයට 75කින් පමන ඇද වැට්ටවූ අතර එහි කේන්ද්‍රීය ඉලක්කයක් වන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි.

වඩාත් පලල් ව ගත් කල මහජනයා අන්තර්ජාලය මත කියන හා කියවන දේවල් වාරනය කිරීමට හා පිරික්සීමට අවශ්‍ය පරිදි තම කෘතිම බුද්ධි පද්ධති පුහුනු කිරීමට හා විශාලනය කිරීමට ගූගල්, ෆේස්බුක් හා ට්විටර් සමාගම් වෘත්තීය වාරකයන් දසදහස් ගනනක් සේවයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මිලිටරියේ, පොලීසියේ හා රහස් තොරතුරු ඒජන්සිවල පුහුනුව ඇත්තන් ය.

මිලිටරිය විසින් තාක්ෂනික සමාගම් සේවයේ යොදාගැනීමේත් එම සමාගම් රහස් තොරතුරු ඒජන්සීන් සමග හවුල් වීමේත් කේන්ද්‍ර‍්‍රයේ පවතින්නේ කෘතිම බුද්ධි තාක්ෂනයේ ක්ෂනික වර්ධනය යි. කෘතිම බුද්ධියේ බලය භාවිතා කරන ගූගල් සමාගම, පුද්ගලයන් හා ඉලක්ක ගත ප‍්‍රදේශයක වස්තූන් හඳුනාගෙන ඩ්‍රෝන් සටහන් තුල කොටුකිරීමට එක්සත් ජනපද මිලිටරියට උදව් දෙමින් සිටී.

“කෘතිම බුද්ධිය යොදාගැනීමේ ඉලක්කය වන්නේ” මුහුනු පොත නමැති සමාජ මාධ්‍ය යෝධයාගේ ප‍්‍රවෘත්ති ප‍්‍රතිපෝෂනය හැසිරවීමේ කොටසක් ලෙස “මුහුනුපොත මත සියලු අන්තර්ගතය තේරුම් ගැනීමට” බව මුහුනුපොතේ ප‍්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් මේ වසර මුල ප‍්‍රකාශ කලේ ය.

මිලිටරි හා රහස් තොරතුරු ඒජන්සි කෘතිම බුද්ධිය භාවිතා කිරීමේ අරමුන සෑම ආඥාදායක තන්ත‍්‍රයක ම ශුද්ධ වූ ඉලක්කය යි: එනම්, ජාතික ආරක්ෂක ඒජන්සිය “සම්පූර්න තොරතුරු පිලිබඳ දැනුම” යයි කියූ දෙය නො වේ නම් එහි නිල නො වන පරමාර්ථ ලියවිල්ල කියන ලෙස “සියල්ල එකතු කිරීම, සියල්ල ගැන දැනගැනීම...සියල්ල ප‍්‍රයෝජනයට ගැනීම” යි.

සිහිවිකල් වූ ආඥාදායකයෙකුගේ මනෝන්මාදී මනස් සෘෂ්ටිය ලෙස වෙනත් සන්දර්භයක් තුල පෙනීමට ඉඩ ඇති මෙම පරමාර්ථ ප‍්‍රකාශය, කෘතිම බුද්ධියේ බලය හරහා ක්ෂනික යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ.

ජනවාරි 16දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත්වූ අන්තර්ජාල වාරනයට එරෙහි විරෝධය සංවිධානය කිරීම නමැති අන්තර්ජාල සාකච්ඡාවට විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් එවූ ප‍්‍රකාශය තුල කෘතිම බුද්ධිය අවභාවිතය මගින් මානව වර්ගයාට එල්ල වන යෝධ අන්තරායන් පිලිබඳ ව අනතුරු ඇඟවී ය.

“මානව වර්ගයාගේ අනාගතය වන්නේ යන්ත‍්‍ර පාලනය කරන මිනිසුන් හා මිනිසුන් ව පාලනය කරන යන්ත‍්‍ර අතර අරගලය යි. එනම්, සන්නිවේදනයේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරනය හා කෘතිම බුද්ධිය විසින් සන්නිවේදනය පැහැරගැනීම අතර ගැටුම යි” යනුවෙන් අසාන්ජ් අනතුරු ඇඟවී ය. “කෘතිම බුද්ධිය විසින් බලාත්මක කරන හසුකරගත නො හැකි මහජන සමාජ බලපෑම මානවයාගේ පැවැත්මට ම තර්ජනයකි. මානව හැකියාවන් වඩ වඩා ග‍්‍රහනය කරගන්නා සූක්ෂමතාවක් ද පරිමානයේ හා වේගයේ මෙහෙයවීමක් ද විසින් සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රපංචයන් හැඩගැස්සවීමට දැරූ සාම්ප‍්‍රදායික උත්සාහයන්ගෙන් මෙම ප‍්‍රපංචය වෙනස් වේ.”

මහජනයාගේ තොරතුරු රහසේ රැස්කිරීම හා යුද්ධය නිර්මානය කිරීමට කෘතිම බුද්ධියේ භාවිතය ධනවාදය යටතේ මෙම පරිනාමන තාක්ෂනය යොදාගනු ලැබෙමින් තිබෙන එක් විනාශකාරී අභිප‍්‍රායක් පමනි.

ඇමේසන් ගබඩාවල දී සේවකයන්ගේ සෑම චලනයක් ම හසුකරගැනීමට කෘතිම බුද්ධිය දැනට මත් යොදාගනු ලැබේ. කම්කරුවන් නාන කාමරයට (වැසිකිලියට) යන වාර ගනන ගනන් කරන ඇමේසන් කෘතිම බුද්ධි පද්ධතීන්, එක් වැඩමුරයක දී කම්කරුවන්ට ඇවිදීමට බලකෙරී ඇති සැතපුම් පහලොවක් දක්වා වන ගමන්වල දී හුස්ම ගැනීමට ඔවුන් නතර වුවහොත් එය ගැන ද වැඩබාර නිලධාරීන් ව දැනුවත් කරයි. උබර් හා ලිෆ්ට් වැනි සමාගම්, සෞඛ්‍යයට හා යහපැවැත්මට හානි කරමින් රියැදුරන් ව වැඩිකාලයක් මහන්සියෙන් වැඩකරන්නට තල්ලු කරන්නේ කෘතිම බුද්ධිය භාවිතයට ගනිමිනි.

තවත් රැඩිකල් වෙනස්කම් එලඹීමට නියමිත ය. හවුලේ වාහන භාවිතා කරන සමාගම් හා නැව් සමාගම් රියැදුරන් රහිත මෝටර් රථ, ට‍්‍රක් රථ හා බෝට්ටු යෙදවීමට හැල්මේ ක‍්‍රියාකරද්දී රැකියා දසදහස් ගනන් අතුගෑවී යනු ඇත. ගොඩනැගිලි සමාගම්වල සිට ආහාර නිෂ්පාදන සමාගම් දක්වා වන ආයතන තුල වැඩභූමි ක‍්‍රියාකාරකම් සිට සිල්ලර වෙලඳාම් දක්වා වූ සෑම තනි ක්ෂේත‍්‍රයක ම කාර්මික කම්කරුවන් ව දහස් ගනනින් විස්ථාපනය කර ඇති පලල් ස්වයංක‍්‍රීයකරන රැල්ල, කෘතිම බුද්ධියේ හා රොබෝ තාක්ෂනයේ ඒකාග‍්‍රකරනය වීම විසින් තව තවත් පුලුල් කරනු ඇත.

2013 දී ඔක්ස්ෆර්ඞ් සරසවිය කල සමීක්ෂනයකට අනුව ඉදිරි දශක දෙක තුල පමනක් එක්සත් ජනපද රැකියාවලින් අඩක් පමන කෘතිම බුද්ධිය හා රොබෝ පද්ධති විසින් විනාශ කරනු ඇත.

කාර්මික විප්ලවයේ පටන් ම තාක්ෂනයේ සෑම වර්ධනයක් ම මානව පීඩනය හා ඝාතනය සඳහා වන උපකරනයක් බවට පරිවර්තනය කිරීමට ධනවාදය ක‍්‍රියාකර ඇත. කපුකටින ජම්බාරය හඳුන්වා දීම ලන්ඩන් හා මැන්චෙස්ටර් නගරවල 19වන ශතවර්ෂයේ පැල්පත්වලට බිහිසුනු සමාජ කාලකන්නි කමක් ගෙන ආවේ ය. ජෙනී කපුකැටීමේ යන්ත‍්‍රය ඇමරිකානු වහල් මෙහෙය පුනර්ජීවනයට හේතු විය. “මූලෝපායික බෝම්බ හෙලීම” හරහා ගුවන් යානය දසදහස් ගනන් සිවිල් වැසියන් ඝාතනය කරන මෙවලමක් බවට පරිවර්තනය කරනු ලැබී ය. න්‍යෂ්ටික විලයනය මගින් නිෂ්පන්නිත අසීමිත ශක්තිය සමස්ත සමාජයන් හා සමහර අවස්ථාවල මානව වර්ගයා මත් විනාශ කිරීමේ ක‍්‍රමයක් බවට හරවනු ලැබී ය.

එහෙත් වෛෂයික ව බිලියන ගනන් ජනයාගේ ජීවන තත්ත්වයන් යෝධ ලෙස විස්තානරය කිරීමකට කොන්දේසි නිර්මානය කරන මෙම තාක්ෂනයන් එවැනි බිහිසුනු භාවිතාවන්ට යොදාගැනීමට ඉඩදිය යුත්තේ මන් ද? රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි 1926 දී ලියූ පරිදි:

තාක්ෂනයට හා විද්‍යාවට ඒවායේ ම තර්කනයක් -එනම්, ස්වභාව ධර්මය ඥානනය කිරීමේ හා මිනිසාගේ අවශ්‍යතා ජයගැනීමේ තර්කනය- පවතී. එහෙත් තාක්ෂනය හා විද්‍යාව වර්ධනය වන්නේ රික්තයක් තුල නො ව, පන්තීන්ගෙන් යුක්ත මානව සමාජය තුල ය. තාක්ෂනය පාලනය කරන පාලක පන්තිය වන දේපොල හිමි පන්තිය ඒ හරහා ස්වභාව ධර්මය පාලනය කරයි. තාක්ෂනය ඒ හැටියට ම ගෙන මිලිටරිවාදී හෝ සාමවාදී යයි කිව නො හැක. පාලක පන්තිය මිලිටරිවාදී වන සමාජයක් තුල තාක්ෂනය යොදා ගැනෙන්නේ මිලිටරිවාදයේ සේවය සඳහා ය. (“රේඩියෝව, විද්‍යාව, තාක්ෂනය හා සමාජය”)

සෑම තාක්ෂනික සොයාගැනීමක්ම ධනවාදය යටතේ සමාජය පාලනය කරන පාලක ප‍්‍රභූවේ හස්තය මත කම්කරු පන්තියට එරෙහි ව හා, මිලිටරි ප‍්‍රචන්ඩත්වය යොදා යටත් කරගැනීමට හා මර්දනය කිරීමට ඔවුන් මාන බලන රටවලට එරෙහි ව යොදන මුගුරක් බවට පත් වේ.

වෙනස් හස්තයන් අත එම තාක්ෂනය ම වෙනස් ප‍්‍රතිඵල නිපදවයි. සමාජවාදී සමාජයක් තුල කෘතිම බුද්ධියේ හා රොබෝ තාක්ෂනයේ විප්ලවය ජනගහනයේ ආර්ථික යහපත පමනක් නො ව සංස්කෘතික ජීවිතයේ ද යෝධ ආරෝහනයකට කොන්දේසි නිර්මානය කරයි. දහඩිය ගලන හා කොඳු කැඩෙන රැකියා විස්ථාපනය වීමේ අර්ථය වන්නේ මහජන විරැකියාව හා දුප්පත් කම නො ව විශාල විවේකය හා අධ්‍යාපනය, පවුල් ජීවිත හා සංස්කෘතික වර්ධනය සඳහා කම්කරුවන්ට පවතින අවස්ථා විස්තාරනය වීමකි.

ගොඩනැගිලි කර්මාන්තය ස්වයංක‍්‍රීය කිරීම හා ගොඩනැගිලි තාක්ෂනයට ආකලන නිෂ්පාදනය (ත‍්‍රිමාන මුද්‍රනය) විස්තාරනය වීම නිවාස, පාසල් හා රෝහල් ගොඩනැගීමට අවශ්‍ය ශ‍්‍රම ප‍්‍රමානය යෝධ ලෙස පහත දමා සියලු දෙනාට විශිෂ්ට නිවාස සුරක්ෂිත කර දෙනු ඇත. ජාන අනුක‍්‍රමය, ඖෂධ වර්ධනය හා වෛද්‍ය අධ්‍යයනයන් විශ්ලේෂනයට කෘතිම බුද්ධියේ බලය යොදාගැනීම හුදෙක් පිම්බෙන ඖෂධ මිල ගනන්වලට ගෙවිය හැකි ටික දෙනෙකුට පමනක් නො ව සමස්ත මානව වර්ගයා සඳහා පෙර නුවූ විරූ මානව සෞඛ්‍යය සොයාගැනීම් ප‍්‍රතිඵල කරදෙනු ඇත.

කෘෂිකර්මය හා ප‍්‍රවාහනය යන ක්ෂේත‍්‍ර දෙක ම රොබෝකරනය කිරීමෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ, කෘෂිකාර්මික ඒකාධිකාරයන් විසින් කුඩා ගොවීන් විනාශ කිරීම නො ව, මන්දපෝෂනය අවසන් කරමින් හා ඉහල ගුනාත්මක ආහාර වේලක් සැමට ලබාදීම සහතික කරමින් ආහාර මිල යෝධ ලෙස පහල දැමීම යි.

මානව වර්ගයා සඳහා මෙම භව්‍යතාව දරා සිටින මාක්ස්වාදීහු විද්‍යාව හා සමාජය තුල මානව ප‍්‍රගතියේ සම්බන්ධය තහවුරු කලා වූ බුද්ධි ප‍්‍රබෝධයේ සම්ප‍්‍රදායන් මත පදනම් වෙති. අයිසැක් නිව්ටන් වැනි පුද්ගලයන් ස්වභාව ධර්මයේ රහස් අනාවරනය කරගනිද්දී සමාජය ද තාර්කික ව වටහාගනු ලැබිය හැකි වූ අතර, එලෙස වටහාගත් විට එය යහපත් ආකාරයට වෙනස් කරනු ලැබිය හැකි විය.

මෙම දෘෂ්ටිය, බුද්ධි ප‍්‍රබෝධය ප‍්‍රතික්ෂේප කරමින් අවුෂ්විට්ස් (මහා ජන සංහාරක) ගෑස් කුටීරවලට හේතු වූයේ ගුරුත්වය පිලිබඳ න්‍යායය යයි කියූ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ මධ්‍යම පන්තික අසුබවාදීන්ගේ දෘෂ්ටියට ඍජු ලෙස ප‍්‍රතිවිරුද්ධ ව පිහිටයි. තමන් කාල් මාක්ස්ගේ ශිෂ්‍යයන් බව ව්‍යාජ ලෙස කියාසිටි හර්බට් මාකුස් හා මැක්ස් හෝක්හයිමර් (මොවුන්ගේ න්‍යායයන් තවමත් මාක්ස්වාදය ලෙස විශ්ව විද්‍යාලවල ඉදිරිපත් කෙරේ) වැනි දිරිසුන් බුද්ධිමත්තු නො තකා හැරියේ හරියට ම ට්‍රොට්ස්කි සඳහන් කල කාරනය යි: එනම්, “තාක්ෂනය හා විද්‍යාව වර්ධනය වන්නේ රික්තයක් තුල නො ව පන්තීන්ගෙන් යුක්ත මානව සමාජය තුල යි.”

ප‍්‍රශ්නය වන්නේ නිෂ්පාදන බලවේග ද ඒ නිසා සමාජය ද පාලනය කරන්නේ කවුරුන් විසින් ද යන්න යි.

මානව වර්ගයාට මාවත් දෙකක් විවර ව තිබේ. ධනවාදී මාවත යුද්ධය එකපැහැර පුපුරා යාම, දුප්පත් කම, මහජන මර්දනය හා ආධිපත්‍යධාරී ආඥාදායකත්වය ඉදිරිපත් කරයි. සමාජවාදයේ මාවත හුදෙක් මෙම බිහිසුනු දේවලින් නිදහස පමනක් නො ව මානව වර්ගයාට සකලාකාර පීඩනයන්ගෙන් හා අසමානතාවන්ගෙන් විමුක්තිය ලැබීමේ මාවත ඉදිරිපත් කරයි.

මානව වර්ගයා තෝරා ගන්නේ කුමන මාවත ද යන්න පන්ති අරගලය මගින් තීන්දු කරනු ලැබේ. එක්සත් ජනපදය පුරා ද යුරෝපයේ ද සමස්ත ලෝකයේ ද වැඩෙන වැඩ වර්ජන රැල්ලක් මධ්‍යයේ වඩාත් ම තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ වෙනස් කර්මාන්ත හා රටවල කම්කරුවන්ගේ වෙනස් අරගල සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා පොදු දේශපාලන ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ කිරීම යි. ක්ෂිතිජයේ පවතින යෝධ තාක්ෂනික විප්ලවය, මානව වහල්භාවය වෙනුවට මානව විමුක්තිය සඳහා වන විප්ලවයක් බවට පරිවර්තනය වනු ඇත්තේ එවිට පමනි.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: