සිරියාව මත එක්සත් ජනපද-බ්‍රිතාන්‍ය-ප‍්‍රන්ස මිසයිල ප‍්‍රහාර විනාසකාරී යුද්ධයක අනතුර ඉහල දමයි

US-British-French missile strikes on Syria heighten danger of a catastrophic war

2018 අප්‍රේල් 16

මෙම සති අන්තයේ එක්සත් ජනපදය පෙරමුන ගත් සිරියාව මත මිසයිල් ප‍්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ න්‍යෂ්ටික විනාසයක් අවුලුවනු ඇති පුලුල් යුද්ධයක් සඳහා සූදානම්වීම් සිදු කෙරෙමින් තිබේ.

කෘෘස් මිසයිල 100ට වැඩි සංඛ්‍යාවකින් සිදු කෙරුනු විනාසයෙන් දුම් මැකී යාමටත් පෙර, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනී නිකී හේලි කයිවාරු ගසමින් සිටියේ, එක්සත් ජනපදය ආයුධ සූදානම් කරගෙන යුද ගැටුම පොරෙත්තුවෙන් සිටි බවට ය. ඉරිදා “ජාතියට මුහුන දෙනු” නම් සම්මුඛ සාකච්ඡා වැඩසටහනක දී, එක්සත් ජනපද හමුදා සිරියාව තුල රැඳී සිටිනු ඇත යි පැවසූ හේලි දමස්කසය සමග වෙලඳාම් කරන රුසියානු සමාගම්වලට එරෙහිව ට‍්‍රම්ප් පාලනාධිකාරය සඳුදා නව සම්බාධක පන වනු ඇත යි ද නිවේදනය කලා ය.

තමන් සිරියානු මිසයිල ආරක්ෂාව යාවත් කාලීන කරමින් සිටින බව නිවේදනය කරමින් රුසියාව පිලිතුරු දුන්නේ ය.

බොහෝ මාධ්‍ය අදහස් දැක්වීම් එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හා ප‍්‍රන්ස නාවික හා ගුවන් හමුදාවන්ගේ ඊනියා “සීමිත” ප‍්‍රහාරය අප‍්‍රමානවත් යැයි විවේචනය කල අතර වඩාත් බලගතු හා දීර්ඝකාලික මිලිටරි ප‍්‍රහාරයක් ඉල්ලා සිටියේ ය. නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය රිපබ්ලිකානු සෙනේට් සභික ලින්ඩ්සේ ග‍්‍රෑහම් මෙලෙස පැවසූ බව උපුටා දැක්වී ය, “කලබලය සන්සුන් වූ විට මේ ප‍්‍රහාරය දුර්වල ප‍්‍රතිචාරයක් ලෙස දකින්න ලැබේය යන්න ගැන මා කනස්සල්ලෙන් සිටිනවා. එමෙන්ම අසාද්ට ගෙවන්ට තිබුනේ සොච්චම් මිලක්...”

වොෂින්ටන් පෝස්ට් ඉරිදා තම ප‍්‍රධාන කතුවැකියේ දී සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත්කිරීමට නැවත වතාවක් ඉඟි කිරීම පිලිබඳව ට‍්‍රම්ප්ට පහර දුන්නේ ය. එය එක්සත් ජනපද හමුදාවන් හා ඇමරිකානු පිටුබලය ලබන හමුදා විසින් වාඩිලා ගැනුනු නැගෙනහිර සිරියාවේ පලල් දැවැන්ත භූමි තීරුවට ඇඟිල්ල දිගු කල අතර සිරියානු අගමැති බෂාර් අල් අසාද්ට ඉන් ඉවත්ව යෑමට බල කරනු පිනිස ට‍්‍රම්ප් එහි එක්සත් ජනපද බලය භූමිය තුල “තව දුරටත් ශක්තිමත්”කල යුතු යැයි ඉල්ලා සිටියේ ය.

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ ඩේවිඩ් සන්ගර් හා බෙන් හුබාඩ් ඉරිදා මුල් පිටුවේ ලිපියක ගුවන් ප‍්‍රහාරය අසාද්ගේ චූදිත රසායනික අවි වැඩසටහනට බරපතල ලෙස හානි සිදු කර ඇතැ යි යන පෙන්ටගන ප‍්‍රකාශයන්ට එරෙහිව තර්ක කලහ. ඔවුහු මෙසේ සඳහන් කලහ: “අසාද් මහතාගේ රසායනික නිෂ්පාදනාගාර පුපුරුවා හැරීම පහසු වන අතර, ඔහුට ඒවා වෙන කොහේ හරි නැවත ගොඩනැගීමට, නැත්නම් ඕනෑ ම ජාතියකට සන්තකයේ තබා ගැනීමට අවසර ඇති, වානිජ වශයෙන් ලබා ගත හැකි ක්ලොරීන් වැනි ද්‍රව්‍යයකින් විෂ සෑදීම දෙසට හුදෙක් හැරීම ද සාපේක්ෂව බොහොම සරලය.”

ප‍්‍රකෝපකරන සඳහා නව පදනම් ද මිලිටරි ආක‍්‍රමනය සඳහා අලුත් කඩතුරා ද මේ වන විටත් සැකසෙමින් ඇත. රංග ගත කෙරුනු තවත් රසායනික ප‍්‍රහාරයක් නොවන්නේ නම්, යුද්ධය සඳහා ඊ ලඟ “හේතුක සිද්ධිය”වනු ඇත්තේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් හෝ මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන් මත ප‍්‍රහාරයක් අසාද්ට ආරෝපනය කිරීම යි.

වසර 25ට වඩා කාලයක් මුලුල්ලේ එක්සත් ජනපදය අඛන්ඩ යුද්ධයක නියලී ඇත්තේ, ඉලක්ක ගත රට විසින් සිදු කෙරුනු හෝ ඕනෑ ම මොහොතක සිදු විය හැකි දාමරිකකම් පිලිබඳ ව්‍යාජ ප‍්‍රකාශ සමගින් සෑම ගැටුමක් ම යුක්තිසහගත කරමිනි: ඉරාකයට එරෙහිව “ජන නාශක අවි,” ලිබියාවට එරෙහිව සිවිල් වැසියන් මත ලඹදෙන සංහාරයක්, එමෙන් ම දැන් සිරියාවට එරෙහිව රසායනික අවි ප‍්‍රහාරයන්.

චූදිත විෂ ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් රුසියාවට හා සිරියාවට එරෙහිව මෑත සතිවල මාධ්‍ය උද්ඝෝෂනය, සැබවින් ම මාස ගනනකට පෙර සැලැසුම් කෙරුනු, ප‍්‍රහාරයක් සඳහා සුදුසු කඩතුරාවක් සැපයීමට සූදානම් කෙරුනු මෙහෙයුමකි. හිටපු ද්විත්ව ඒජන්ත ස්ක‍්‍රිපාල්ට හා ඔහුගේ දුවට එල්ල කෙරුනා යැයි කියන රුසියානු ආන්ඩුවේ චූදිත විෂ වැද්දීම පසු පස වහා ම හඹා ආවේ, ඉරානය හා රුසියාව සහාය දෙන තන්ත‍්‍රය පෙරලා දැමීමට එක්සත් ජනපද අනුග‍්‍රහ ලැබ සටන් කරමින් සිටින, ඉස්ලාමීය මිලීෂියා හමුදාවන් විසින් ඒ වන විට අල්ලා ගෙන සිටි ඩවුමා නගරය මත අසාද් තන්ත‍්‍ර යේ චූදිත ගෑස් ප‍්‍රහාරය ගැන මාධ්‍ය උද්ඝෝෂනය යි.

මුලුමනින් ම දූෂිත හා වංක බටහිර මාධ්‍ය ඒවා ඔප්පු කිරීමට කිසියම් හෝ සාක්ෂියක් ඉදිරිපත් නො කර, ආන්ඩුවේ ප‍්‍රකාශ ප‍්‍රචාරය කල අතර, එකී ප‍්‍රකාශ බොරු බව හෙලිදරව් කරමින් රුසියාව හා සිරියාව විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සඳහන් නො කලේ ය. සති අන්තයේ එල්ල කෙරුනු ප‍්‍රහාරය සතියකට පෙර සිදුවුනා යැයි පැවසෙන ගෑස් ප‍්‍රහාරයට ප‍්‍රතිචාරයක් නො වේ. එය රතු මුහුද, උතුරු පර්සියානු බොක්ක හා මධ්‍යදරනී මුහුදේ එක්සත් ජනපද, ප‍්‍රන්ස හා බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් වේදිකාවන් වලින් එල්ල කෙරුනු මිසයිල සම්බන්ධ කරමින් ඉහලින් ම සමායෝජිත ඒකාබද්ධ ප‍්‍රහාරයකි. එවැනි ක‍්‍රියාවක් දින කීපයක සැලැස්මක ප‍්‍රතිඵලයක් ලෙස කල හැක්කක් නො වේ.

දැන්, ඊට පසු, ජාත්‍යන්තර භූදේශපාලනික තතු හා එක්සත් ජනපදය හා යුරෝපයේ අභ්‍යන්තර දේශපාලනික අර්බුදය වඩාත් පුපුරුනසුලු ලෙස වර්ධනය වී ඇතිවා පමනි.

එක්සත් ජනපදය තුල, මැද පෙරදිග වඩා පුලුල් යුද්ධයක් සඳහා සූදානම් වීම මෙන් ම පාලක පන්තිය හා ආන්ඩුවේ කන්ඩායම් විසින් ගෙන යනු ලබන ට‍්‍රම්ප්ට එරෙහි දේශපාලනික යුද්ධය තනි ක‍්‍රියාදාමයකට එකාබද්ධ වී ඇත.

ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් හා මිලිටරියේ ප‍්‍රධානීන් දැනට රුසියාව සමග ගැටුමක් මග හැරීමට තීරනය කර ඇත්තේ මිලිටරි සලකා බැලීම් නිසා පමනක් නොව, දේශපාලනික ඒවා ද නිසා වේ. කෝපරේට් වෘත්තීය සමිතිවලට එරෙහිව ගුරුවරුන්ගේ වැඩවර්ජන හා කැරලි ඉදිරියට යමින් තිබෙන අතර වොෂින්ටනයේ දේශපාලන අර්බුදය ගැඹුරු වෙමින් පවතී. කම්කරු පන්තිය තුල යුද්ධයට එරෙහි මනෝගතිය පුලුල් ලෙස ව්‍යාප්ත වේ. මෙම තතු යටතේ අසාද් පෙරලා දැමීමට හා රුසියාව පිටුදැකීමට අවශ්‍ය යැයි එය සිතන රට ඇතුලත හා විදේශවල ක‍්‍රියා පාලනය කිරීමේ ට‍්‍රම්ප්ගේ හැකියාව ගැන මිලිටරියට විශ්වාසයක් නොමැත.

නවකොන්සර්වටිව්වාදී පන්ඩිතයෙකු වන මැක්ස් බූට්, “සෝලි මධ්‍යයේ ගුවන් ප‍්‍රහාර” නමින් වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ කතුවැකිය සමග පලවූ ලිපියක සිරියාව තුල යුද්ධයේ බලගතු ප‍්‍රසාරනයක් සමග ට‍්‍රම්ප්ගේ ඉවත් කිරීම සම්බන්ධ කලේ ය. “2003 වසන්තයේ දී බුෂ්ට ඉරාක සැලැස්මක් නො තිබූ ලෙස ම, අද ට‍්‍රම්ප්ට සිරියා සැලැස්මක් නැති” බව ඔහු ලිව්වේ “එක්සත් ජනපදයට පාර්ලිමේන්තු ආන්ඩුවක් තිබුනේ නම්, කොංග‍්‍රසයට ‘විශ්වාසභංග’ යෝජනාවක් ගෙන ආ හැකිව තිබුනේ, ඒ අනුව ආන්ඩුව ගෙන යාමේ ව්‍යාකූලත්වයෙන් තොරව, ඔහුට එරෙහිව වැඩි වෙමින් තිබෙන චෝදනාවලට සටන් කිරීමට ඔහුගේ අවධානයෙන් සියයට 100ක් කැප කිරීමට ට‍්‍රම්ප්ට ඉඩ අවසර දෙමින්” යැයි එකතු කරමිනි.

මිලිටරි ශක්තිය යොදා ගැනීම සඳහා නව බලය පැවරීමක් සම්මත කරන ලෙස කොංග‍්‍රසයෙන් ඉල්ලමින්, නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය මිසයිල් ප‍්‍රහාරයට යන්තම් පෙර ලියන ලද කතුවැකියක් පල කලේ ය. යුද්ධය සඳහා නව නීතිමය සාධාරනීකරනයක් කරා වන මෙම තල්ලුව පෙන්වන්නේ පාලක පන්තිය බොහෝ බලගතු මැදිහත්වීමකට සූදානම් වෙමින් සිටින බව යි. වැඩෙන්නා වූ විරුද්ධත්වයක් තිබෙනු ඇතැයි දැන සිටින එය යුද විරෝධී විසම්මතිය සාපරාධී කිරීමට හා යුද විරෝධී කතා තහනම් කිරීමට නීතිමය රාමුවක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි.

එමෙන් ම යුරෝපය තුල, මිසයිල ප‍්‍රහාරය ඇමරිකාව සමග ආතතීන් මෙන් ම අභ්‍යන්තර දේශපාලනික හා සමාජ අර්බුදය තීව‍්‍ර කර ඇත. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිරියානු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයක ඉල්ලීමට මුුහුන දෙන්නේ, ජනමත විචාරන පුලුල් යුද විරෝධී මනෝගතියක් ද රසායකික ප‍්‍රහාරය ගැන පුලුල් ව පැතිරුන සැකයක් ද පෙන්වීම සමගිනි. දුම්රිය වැඩවර්ජන රැල්ලකට ද තීව‍්‍රවන ශිෂ්‍ය විරෝධතාවන්ට ද මුහුන දෙන, ප‍්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට එරෙහි මහජන කෝපය ඇවිස්සීමට ගුවන් ප‍්‍රහාර තුඩු දී ඇත.

ජර්මනිය තුල මාධ්‍යයේ කන්ඩායම්, ඇන්ජෙලා මර්කෙල් සහාය දුන් නමුත් ඍජුව සහභාගී නො වූ ප‍්‍රහාරය යොදා ගනිමින් සිටින්නේ, ජර්මනියේ සම්පූර්න පරිමාන යලි සන්නද්ධ කිරීමක් හා එක්සත් ජනපදය මත අඩුවෙන් යැපෙන විදේශ ප‍්‍රතිපත්තියකුත් ඉල්ලීමට ය.

ජර්මානු පාලක පන්තිය ග‍්‍රහනයට ගනිමින් තිබෙන යුද උන පිලිබඳ සූචකයක් වන පහත කොටස ෆ‍්‍රැන්ක්ෆර්ට් අල්ජෙමේන් ෂේයිතුංග් සංස්කාරක බර්තෝල්ඩ් කෝහ්ලර් විසින් ලියනු ලැබිනි: “(ධවල මන්දිරයේ) ඕවලාකාර කාර්යාලයේ අත්මාර්ථකාමී ලදරුවා විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැන්වත් මුහුකුරා යන ලෙස ජර්මනියට බල කර යි. ජර්මානු නාවික හමුදාව ගුවන් යානා හාරක නෞකා හා ලූෆ්ට්වාෆ් කෘස් මිසයිල ලබා ගැනීම එතරම් ඉක්මනට සිදු නොවනු ඇත. ට‍්‍රම්ප්වාදය... අභියස ලෝකය තුල වඩා වගකීමක් භාර ගැනීමේ ජර්මානු කැමත්ත, ප‍්‍රන්සයට හා බ්‍රිතාන්‍යයට අත්පොලසන් දීමට සීමා කල නො හැක. හදිසි අවස්ථාවක දී ‘ශක්තිමත්’ ලෙස බල ගැන්වීමේ අල්ප සූදානමකින් යුත් ඉහල සදාචාරයක් ද මානවවාදී ප‍්‍රමිතීන්ද සහිත ජර්මානු විදේශ ප‍්‍රතිපත්තියේ අතිමූලික පරස්පරවිරෝධයන්, නිරායුධ පිරික්සුම් පියාසරයන්ගෙන් කිසි සේත් විසඳිය නොහැක.”

සිරියාව තුල පලල් යුද්ධයක් මෙන් ම ඉරානය හා රුසියාව සමග මිලිටරි ගැටුමක් දෙසට වන ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායාත්මක දිසානතිය සමග දැනට සිරියාව තුල රුසියානු හමුදා සමග ඍජු ගැටුමක් වැලක්වීමේ එක්සත් ජනපද මිලිටරියේ උපක‍්‍රමික තීරනය පටලවා ගැනීම මාරාන්තික දෝෂයක් වනු ඇත. මෙම සති අන්ත ප‍්‍රහාරයේ පරිසීමිත ස්වභාවය පිලිබිඹු කරන්නේ සිරියාව තුල ඕනෑ ම මිලිටරි ප‍්‍රහාරයකින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිලිබඳ ව ඇමරිකානු මිලිටරිය තුල පවතින අවබෝධය යි.

රුසියානු හමුදාවන්ට පහර දී තිබුනේ නම්, ප‍්‍රතිඵලය රුසියානු එකටෙක කිරීමක් වන්නට ඉඩ තිබීම ගැන ප‍්‍රශ්නයක් නොමැත. එය ලෝකයේ විශාල ම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ඍජු ගැටුමක් අවුලුවන අනාගත මිලිටරි ප‍්‍රහාරයකට පෙර ගතවෙමින් ඇති කාලය පිලිබඳ කාරනයක් පමනි. සිරියාව මත තව දුරටත් එල්ල කෙරෙන බටහිර ප‍්‍රහාරයක් අනිවාර්යයෙන් ම “ජාත්‍යන්තර සම්බන්ධතාවන්ගේ අවුල්ජාලයකට” මග පාදනු ඇතැ යි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ම අනතුරු අඟවා ඇත.

එවැනි සෑම ප‍්‍රහාරයක් ම අවධාරනය කරන්නේ විනාසකාරී ප‍්‍රතිවිපාක සහිත දැවන්ත යුද්ධයක අනතුර කොතරම් සැබෑ ද අභිමුඛ ද යන්නයි. ලෝකයා අත්දකිමින් සිටින්නේ මානව ශිෂ්ටාචාරය විනාස කිරීමට තර්ජනය කරන එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයේ විධාරනය යි. එය වැලක්විය හැක්කේ ධනවාදය අවසන් කිරීමට ලෝක කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීමෙන් පමනි.

බැරී ග්‍රේ

Share this article: