විෂ වායුවකින් රෝගී වූ පොලිටෙක්ස් කම්කරුවන්
පාලකයන්ගේ නරුම නොතැකීම ගැන කෝපය පල කරයි

සුසර විස්කම් විසිනි , 2018 අප්‍රේල් 2

විෂ වායුවක් ආඝ‍්‍රානය වීමෙන් අපනයන ඇඟලුම් නිෂ්පාදන කම්හලක් වන ජාඇල ඒකල පිහිටි පොලිටෙක්ස් කම්හලේ කාන්තා කම්කරුවන් සියයක් පමන මාර්තු 19 සහ 20 දෙදින තුල රෝගී වූහ. විෂවායුව නිසා ක්ලාන්ත වී බිම ඇද වැටුනු, වමනය, ඔක්කාරය සහ දැඩි හිසරදය වැලඳුනු එම කම්කරුවන් ට රාගම, ගම්පහ සහ ජාඇල රෝහල් වලින් නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදු විය. රෝගී වීමට හේතුව තමන් වැඩකල අංශයේ වායු සමන යන්ත‍්‍රයක් තුලින් නිකුත් වූ විෂ වායුවක් බව කම්කරුවෝ කියති.

කම්කරුවන් රෝගීවීම ගැන විමසා බැලීමට මාර්තු 19 වෙනිදා පැමිනි ජාතික ඉංජිනේරු සහ පර්යේෂන හා සංවර්ධන ආයතනයේ නිලධාරීන් එවන් විෂවායුවක් නැති බවට නිගමනය කල බව කම්කරුවෝ කීහ. එහෙත් කම්කරුවෝ එය විශ්වාස නොකරති. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පර්යේෂන වාර්තාවක් නිකුත් කෙරී නැති අතර උසාවි නියෝගයක් මගින් මාර්තු 20 වෙනිදා සිට කම්හල දින 14 ක් වසා තබන ලෙස දැනුම් දී ඇති බව ද ඔවුහු කීහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ රෝගී වූ කම්කරුවන් මුනගැසී ඔවුන් මුහුන දුන් තත්වය විමසා බැලූහ. රැකියාවෙන් දොට්ට දැමීමට ඇති බිය නිසා තම නම් හෙලි නොකල නමුත් ඔවුහු වැදගත් කරුනු හෙලි කලහ.

රෝහල්ගතව සිටි එක් සේවිකාවක් මෙලෙස පැවසුවා ය. “පසුගිය 15 වෙනි බ‍්‍රහස්පතින්දා පටන් අප වැඩ කල ශාලාවේ දරාගන්න බැරි දුඟදක් වහනය වෙමින් තිබුනා. නාසය දවා හාරවාගෙන යන තරමට එම දුඟද දැනුනා. අමුතෙල් පිච්චෙනවා වගේ ගඳක් ඒක. පාලකයන්ට ඒ ගැන දැනුම් දුන්නා. නමුත් ඔවුන් ඒ ගැන ගනන් ගත්තේ නැහැ. දිගට ම වැඩ කරගෙන යන්න කියල බල කලා.”

පසුව දා එම වැඩ අංශය ට සුවඳ දියර ඉස්සත් තත්වය වඩා නරක අතට හැරුන බවත්, එහෙත් පාලකයන්ගේ බල කිරීම් සහ තර්ජනය කිරීම් නිසා එම අනතුරුදායක තත්වය තුල 16 වෙනිදා මුලු දවසත් 17 වෙනිදා වරුවකුත් වැඩ කිරීමට සිදු වූ බවත් ඇය පැවසුවාය. 18 වෙනි ඉරිදා නිවාඩුවෙන් පසු සඳුදා උදේ සේවයට පැමිනි විට ශාලාව පිරිසිදු කිරීමට යොදවා සිටි කම්කරුවන් හතර දෙනෙකු ක්ලාන්ත වී බිම ඇද වැටී සිටිනු දුටු බව ද ඇය පැවසුවාය.

කම්හලේ සමුහ මානව සම්පත් කලමනාකරු ඉන්දික ගමගේ හමුවූ කම්කරුවෝ අනතුරුදායක තත්වය පැහැදිලි කලහ. වායු සමන යන්ත‍්‍රය තුලින් නිකුත් වන වාතය ආඝානය වීම නිසා එම තත්වය ඇති වූ බවට තමන් අනුමාන කරන බව කම්කරුවන් ඔහුට පවසා ඇතත් ඔහු එය සැලකිල්ලට ගෙන නැත. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ එදින උදේ ආහාරය ගැනීම පිනිස සේවිකාවන් ආපන ශාලාවට පැමිනි විට ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් කම්කරුවන් අමතා වහාම වැඩ පටන් ගන්නා ලෙස ඔවුන්ට තර්ජනය කිරීම ය.

ආඝ‍්‍රානය කිරීම නොව වායු සමනයෙන් නිකුත් වන ජල වාෂ්ප පානය කලත් කිසිම දෙයක් නොවන බව ඉන්දික උජාරුවෙන් පැවසූ බව ඇය සඳහන් කලා ය. එපමනකින් නොනැවතුනු ඔහු “සුදුසු කාර්යයන් සහ අවශ්‍ය පිරිසිදු කිරීම් භාරවන්නේ සහ වගකීම් දරන්නේ පාලකයන් නිසා ඒ සම්බන්ධව කතා කිරීමට, ප‍්‍රශ්න කිරීමට හෝ යෝජනා කිරීමට කිසිදු අයිතියක් සේවිකාවන්ට නැති බැවින් වහාම වැඩ පටන් ගන්නා ලෙස” නියෝග කල බව ද ඇය පැවසුවාය.

වැඩ ආරම්භ කිරීමෙන් පසු එදින උදේ 9.00 ත් 10.00 අතර ක්ලාන්තවීම හෝ සිහිසුන්වීම නිසා සේවිකාවන් 45 දෙනෙකු බිම ඇද වැටී ඇත. පිරිමි සේවකයන් විසින් රෝගී වූ අය වාහන වලින් රෝහල්වලට රැගෙන ගියත් පාලකයන් මුලුමනින් ම මග හැර සිටි බව ද ඇය සඳහන් කලාය.

ඊට පසු 20 වන අඟහරුවාදා තවත් සේවිකාවන් 52 ක් එලෙස අසනීප වී ඇත. ඔවුන් ද රෝහල් ගත කිරීමට සිදු වී ඇති අතර 21 වෙනිදා වන විටත් රෝගීවුවන්ගෙන් සියයට 85 ක් පමන රෝහල් වල නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

පාලකයන් අවම වශයෙන් රෝගී වූ සේවිකාවන් ගැන සොයා බැලීමට වත් රෝහල්වට නොපැමිනි බව කම්කරුවෝ පැවසුහ.

ඒකල පොලිටෙක්ස් ආයතනයේ සේවකයන් 1500 ක් පමන සේවය කරති. අලුතින් බඳවා ගන්නා කම්කරුවෙකුගේ මාසික දල වැටුප රුපියල් 17,000 කි. වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 1250 ක් බව බඳවා ගැනීමේ දී පාලකයන් පොරොන්දු වී ඇතත් වසර 28 ක් සේවය කල සේවිකාවක් පැවසුවේ ඇගේ වර්තමාන මාසික මූලික වැටුප රුපියල් 26,500 ක් බවයි. අතිකාල දීමනා සමග රුපියල් 40,000 පමන ලැබෙන බව ද ඇය පැවසුවාය.

සාමාන්‍ය සේවාකාලය උදේ 7.30 සිට සවස් 4.00 දක්වා වන නමුත් අනිවාර්යයෙන් ම සවස 6.15 වන තුරු අතිකාල සේවයේ යෙදිය යුතුය. සෙනසුරාදා වරු දිනයක් ලෙස සැලකෙන නමුත් එදින ද සවස 6. 15 දක්වා අතිකාල සේවයේ යෙදිය යුතු වෙයි. දිනකට කෑලි 650 ක වැඩ ඉලක්කයක් කම්කරුවන් විසින් සම්පුර්න කලයුතු අතර ඒ සඳහා එක් අංශයක සියලු කම්කරුවන් අතර පොදුවේ බෙදී යන පරිදි රුපියල් 2200 ක සුලු දිරි දීමනාවක් ගෙවනු ලබයි.

උග‍්‍ර ශ‍්‍රම සුරා කෑමකට යටත් කර ඇති මෙම කම්කරුවන්ට ජීවන වියදමට සරිලන වැටුපක් නොගෙවන පොලිටෙක්ස් පාලකයෝ සොච්චම් සහන කිහිපයක් පමනක් සපයති. ආයතනයේ මාන්ඩලික නිලධාරීන්ට කිසිදු වෘත්තීය සමිතියකට බැඳීම තහනම් කර ඇත.

පොලිටෙක්ස් ආයතනයේ තවත් කම්කහල් කිහිපයක් යක්කල, කෑගල්ල සහ කොග්ගල පිහිටුවා ඇත.

මෙම පාලකයන්න් ගේ අතිශය දුෂ්ට ක්‍රියා පිලිවෙත ගැන වේදනාවෙන් සහ කෝපයෙන් කතා කල මැදිවියේ සිටින ජ්‍යෙෂ්ඨ සේවිකාවක් මෙසේ පැවසුවාය: ”ආයතනයට දවසින් දවස ලාභ වැඩි කර ගන්න හැකි වෙලා තියෙන්නේ අප නිසා. අපිට ලැබෙන සොච්චම් වැටුපට වඩා සිය දහස් ගුනයක් වටින ශ‍්‍රමයක් අපි ආයතනය වෙනුවෙන් වැය කරනවා. අපිට තියෙන නිවාඩු පවා නොගෙන මහන්සියෙන් සහ කැපවීමෙන් ප‍්‍රමිතියෙන් ඉහල ඇඟලූම් අපි නිෂ්පාදනය කරනවා. එවන් සේවයක් කරන අපිව මේ පාලකයන් ට තුට්ටුවකට වත් වටින්නේ නැහැ”

සිදු වූ විපත වැලක්වීමට කිසිදු පියවරක් නොගත් පාලකයන් රෝගී වූවන්ගේ ජීවිත වලට සිදු වුයේ කුමක් දැයි සොයා බැලීමට පවා උනන්දු නො වූ බව ඇය පැවසුවාය. “ඔවුන් බලන්නේ ලාභය වැඩිකර ගැනීම ගැන පමනයි. මෙතැන වැඩකරනවා ට වඩා හොඳයි ගෙදර ගිහිල්ලා වේලක් ඇර වේලක් හරි කාලා ඉන්න එක. මම එහෙම කියන්නේ පොලිටෙක්ස් පාලකයන්ගේ දුෂ්ට, අමන, ජඩ අමුනුස්සකම් විඳලා ඇතිවෙලා තියෙන නිසා. අපට සලකන්නේ වහල්ලුන්ට වගේ. මරනයක් අසනීපයක් වුනත් නිවාඩු දෙන්නේ නැහැ.”

නිෂ්පාදන කලමනාකරු චමිල, කර්මාන්ත ශාලා කලමනාකරු ජූඩ් විරාජිත්, මානව සම්පත් කලමනාකරු සමන් නම්මුනි, සමූහ මානව සම්පත් කලමනාකරු ඉන්දික ගමගේ යන අය සේවිකාවන්ගේ ආත්ම ගෞරවය ගැන නොතකා ඔවුන්ට අසභ්‍ය ලෙස කතා කරන බවත් සේවකයන් ඔවුන්ගේ වහලුන් ලෙස සලකන පහත ආකල්පයෙන් කටයුතු කරන බවත් පැවසූ ඇය “අපිව මේ වහල් ක‍්‍රමයෙන් මුදා ගැනීමට ක‍්‍රමයක් නැතිදැ?”යි විමසුවාය.

එයට පිලිතුරු දුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ ලාභය සඳහා නිෂ්පාදනය කරන හා ඒ සඳහා කම්කරු පන්තියේ ශ‍්‍රමය ඇටපොත්තටම සූරාකන ධනේශ්වර ක‍්‍රමය තුල කාන්තා හා පුරුෂ කම්කරුවන් මුහුන දී සිටින තත්වය ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවන බවත් කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානව මෙම ප‍්‍රශ්න වලට මුහුන දී සිටින බවත් පැහැදිලි කලහ.

ලාභය සඳහා කම්කරු පන්තික ශ‍්‍රමය සූරා කන ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමය තුල සැබවින් ම කම්කරුවා වැටුප් වහලෙක් බව ද ඔවුහු ඇයට පැහැදිලි කලහ. විශේෂයෙන් ම ලෝක ධනවාදය හෙවත් ලාභය සඳහා වූ නිෂ්පාදන ක‍්‍රමය බරපතල අර්බුදයකට යලි ඇදවැටී ඇති තතුතුල ලාභය සඳහා ධනපතියන් අතර තරඟය උග‍්‍ර වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

කම්කරු පන්තියේ අතීත සටන් තුලින් දිනා ගත් අයිතීන් යලි උදුරා ගනිමින් වැටුප් හා සේවා කොන්දේසි වලට පහර දෙමින් ලාභ රැක ගැනීමේ මරුවිකල් උත්සාහයක ධනපති පන්තිය යෙදී සිටින බවත් සෑම රටකම ධනපති හාම්පුතුන් හා ආන්ඩු විසින් කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයන් වඩ වඩා තීව‍්‍ර කරන බවත් වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

ලාභය සඳහා වූ නිෂ්පාදන ක‍්‍රමය අහෝසිකර විද්‍යාත්මක සමාජවාදී ආකාරයකට ලෝක නිෂ්පාදනය සංවිධානය කිරීමෙන් තොරව කම්කරු පන්තිය අත් විදින දුක් වේදනාවන්ගෙන් ඔවුන්ට විමුක්ත විය නොහැකි බව ද ඇයට පෙන්වා දුන්හ.

Share this article: