The Sky between the Leaves නම් ඩේවිඩ් වොල්ෂ්ගේ කෘතියේ හැඳින්වීම

The Sky Between the Leaves

2013 ඔක්තෝබර් 7

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රකාශන ආයතනය වන... මේරිං විසින් පල කරන ලද The Sky between the Leaves නම් ඩේවිඩ් වොල්ෂ්ගේ කෘතියේ හැඳින්වීමේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපිය ලෝසවෙඅ ය මෙම කෘතිය වෙනුවෙන් සකසා ඇති වෙබ් අඩවිය වන http://www.skybetweentheleaves.com/introduction.html හි පල කර ඇත. ඩේවිඩ් වොල්ෂ් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සාහිත්‍ය කලා අංශයේ ප‍්‍රධාන සංස්කාරකයා වෙයි. කෘතියේ අඩංඟු වන්නේ 1998 සිට 2012 දක්වා එම වෙබ් අඩවියේ පල වූ ලිපිවලින් තෝරා ගත් සංග‍්‍රහයකි.

එම ලිපි බිහිවූයේ සමාජවාදය සඳහා අරගලයේදී කලා ක්ෂේත‍්‍රය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කරන්නා වූ අරගලය තුලිනි. මෙම හැඳින්වීම එම අරගලයේත් මාක්ස්වාදී සාහිත්‍ය-කලා විචාරයේත් පදනම් සංක්ෂිප්තව පැහැදිලි කරයි.

හැඳින්වීම

සවිඥානික හෝ අවිඥානික හෝ සක‍්‍රිය හෝ අක‍්‍රිය හෝ සාරදර්ශී හෝ අසාරදර්ශී හෝ යථාර්ථයට එරෙහි වූ විරෝධයක් සැබෑ ලෙස ම නිර්මානාත්මක වූ සෑම කෘතියක් තුල ම හැමවිට ම පවතී.” - ට්‍රොට්ස්කි

I

මෙම කෘතියෙහි එන චිත‍්‍රපටි විචාර, සම්මුඛ සාකච්ඡා සහ ලිපි මුලින් ම පල වූයේ 1998 පෙබරවාරි මාසයේ දී ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ඇරඹූ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (ලෝසවෙඅ - www.wsws.org) ය. මේවායින් ලෝසවෙඅ ඇරඹීමට පෙර ලියැවුනු සමහර ලිපි පල වුයේ වර්කර්ස් ලීගයේ සහ එහි නම වෙනස් කිරීමෙන් පසුව හැඳින්වෙන සමාජවාදී සමානතා පක්ෂයේ පුවත්පත්වල ය. ඒවායින් මුල් ලිපි (1992-93) ලියන ලද්දේ නිව්යෝක් නගරයේ දී ය. 1993 දී බුලටින් පුවත්පත ඉන්ටර්නැෂනල් වර්කර්ස් බුලටින් -(IWB) නමින් පල කිරීම ඇරඹීමත් සමගම වාගේ මම පදිංචිය සඳහා ඩෙට්‍රොයිට් ප‍්‍රදේශයට ගියෙමි. ඉතිරි මුල් ලිපි පල වූයේ ඉහත කීී ප‍්‍රකාශනයේ (1994-96) ය.

පෞද්ගලික ඉතිහාසය සහ අදහස් පිලිබඳ කරුන මොහොතකට පසෙක තබමින්, මෙම විචාර සහ ලිපිවල සම්භවය සටහන් කර ගැනීමට නම් තීරනාත්මක ලෝක සිද්ධීන් ද අවුරුදු 40 ක් තිස්සේ මා සම්බන්ධ වී සිටින ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය ද ගැන සාකච්ඡාවක් අවශ්‍ය කෙරෙයි. සංස්කෘතිය සහ කලාව පිලිබ‍ඳ සංවිධිත වැඩ කටයුතු ජාත්‍යන්තර කමිටුව තුල වර්ධනය වීමත් එම ක්‍රියාදාමයට මා සහභාගි වීමත් 1991 දී දෙසැම්බරයේ දී සෝවියට් සංගමය විසුරුවා හැරීමට හජාජාක දැක් වූ ප‍්‍රතිචාරයේ ප‍්‍රතිඵලය ලෙස සිදු වූවකි.

1992 මාර්තුවෙහි පැවැත් වූ තම දොලොස්වැනි පුන්සැසියේ දී ජාත්‍යන්තර කමිටුව මෙම සිද්ධියේ ඓතිහාසික අර්ථභාරය සහ දේශපාලන ඇඟවීම් විභාග කලේ ය. එම සිද්ධිය ඉතා ම පැහැදිලිව ම ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසය තුල සිදු වූ හැරවුම් ලක්ෂ්‍යයක් විය. බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය ලැබූ රුසියාවේ කම්කරු පන්තිය ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමූ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජ, දේශපාලන , බුද්ධිමය සහ සංස්කෘතික වර්ධනය, වර්තමාන ලෝක ඉතිහාසයේ එම කේන්ද්‍රීය සිද්ධිය සමග වෙන් කල නො හැකි සේ බැඳී තිබුනි.

හතරවැනි ජාත්‍යන්තරය පෙරදැක තිබු පරිදි ස්ටැලින්වාදී නිලධරයේ ප‍්‍රතිමාක්ස්වාදී සහ ජාතිකවාදී පිලිවෙත් සෝවියට් සංගමය විනාශ කලේ ය. ජාත්‍යන්තර කම්කරු පන්තිය විශාල පරාජයකට මුහුන දුන්නේ ය. දැන් ප‍්‍රශ්නය ඉදිරිපත් වූයේ මෙසේ ය: නව විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් පැන නැගිය හැක්කේ කුමන පදනමක් යටතේ ද? පාලක ප‍්‍රභූන්ගේ ජයග‍්‍රහනවාදය ද තමන්ගේ කලින් පැවතුනු නොයෙක් වර්ගයේ වාමාංශීය දේශපාලන අනන්‍යතාවලට “හිටපු” යන වචනය ඈඳීමේ දැඟලිල්ල ප‍්‍රදර්ශනය කලා වු සුලුධනේශ්වර රැඩිකල් රොතුබුරුතුවල අසාරදර්ශනය ද නොතකා ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ ධනේශ්වර ක‍්‍රමය තම අතිමූලික වෛෂයික පරස්පර විරෝධතා විසඳා ගෙන නැති බවයි. සත්තකින් ම, ධනේශ්වර නිශ්පාදනයේ ගෝලීය ඒකාග‍්‍රතාවය සහ කම්කරු පන්තිය ලෝක මට්ටමකින් අතිවිශාල ව්‍යාප්තිය අඩු හෝ වැඩි වේගවත් කමකින් යුතු ව, ජාත්‍යන්තර පන්ති අරගලයේ නව පිබිදීමක් තුල ප‍්‍රකාශනයක් අත්පත් කර ගත්තා වු ආර්ථික, දේශපාලන සහ සමාජයීය පරස්පර විරෝධතාවන් හි තියුනු වීමකට තුඩු දෙන්නේ ය.

එහෙත් සමාජවාදී විප්ලවයේ ආත්මීය පූර්ව අවශ්‍යතාවයන් ගැන කිව හැක්කේ කුමක් ද? ධනේශ්වරය පෙරලා දැමීමේ වෛෂයික ආවේගයන් කම්කරු පන්තියේ විඤ්ඤානය තුල ආත්මීය ප‍්‍රකාශනයක් ලබා ගන්නේ කුමන ක්‍රියාදාමයන් තුලින් ද? හජාජාක වේ ප‍්‍රමුඛ සාමාජිකයෙක් වන ඩේවිඩ් නෝර්ත් දොලොස්වැනි පුන්සැසියට ඉදිරිපත් කල තම වාර්තාවල දී ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය විභාග කිරීම මගින් ද විශේෂයෙන් ම 1917 ඔක්තෝබර් විප්ලවයට පෙර දශකයන් තුල එම ව්‍යාපාරයේ වර්ධනය විභාග කිරීම තුලින් ද මෙම තීරනාත්මක ප‍්‍රශ්නවලට පිලිතුරු දීමට උත්සාහ ගත්තේ ය.

බොල්ශෙවික් පක්ෂය බලය ගැනීම අහම්බ ඓතිහාසික සිදුවීමක් නැතහොත්ල එක් අතකින් ධනේශ්වර ආන්ඩුවක් තුල ඇති වූ විශේෂයෙන් ම තියුනු වූ අර්බුදයක් සහ නිවැරදි ස්ථානයක, නිවැරදි වේලාවේ සිටීමේ හුදු වාසිය ලත් විප්ලවවාදී පක්ෂයක අධිෂ්ඨානවත් ක්‍රියාවන් ද අතර අහම්බයෙන් සිදු වූ අන්තර් ක්‍රියාකාරීත්වයක ප‍්‍රතිඵලයක් නිසා හෝ සිදු වූවක් නොවේ. නැත, ඔක්තෝබර් විප්ලවය, 1848 දී කොමියුනිස්ට් ප‍්‍රකාශනය පල කිරීමෙන් පසු ව පැමිනි දශකවලත්, විශේෂයෙන් ම, 1871 මැයි මස දී පැරිස් කොමියුනය මර්දනය කිරීමෙන් පසු කාලය තුලත් ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල දේශපාලන සවිඥානකත්වයේ සිදු වූ අතිමහත් වර්ධනයක ප‍්‍රතිඵලයක් විය. පැරිස් කොමියුනය සහ පෙට්‍රෝග‍්‍රාඩ්හි බිහි වු සෝවියට් සභාව අතරතුර වූ අවුරුදු 46 තුල දී කම්කරු පන්තියේ දේශපාලන සවිඥානකත්වයේ වර්ධනය දක්නට ලැබිනි. මෙහි ඉතාමත් දියුනු ම ප‍්‍රකාශනය වූයේ 1889 දෙවැනි ජාත්‍යන්තරය පිහිටු වීමත් ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ඇතුලුව ලොව පුරා සමාජවාදී පක්ෂ පැන නැගීමයි.

සමාජවාදී සවිඥානකත්වයේ වර්ධනය විශේෂ වු ආර්ථික හෝ දේශපාලන ඉල්ලීම් සඳහා සටනේ පමනක් ප‍්‍රතිපලයක් නොවේ. බොහෝ විට, නමුත් හැම විට ම නො ව, සමාජවාදයට හිතෛෂී වන්නා වූ ලේඛකයින් ගේ ද චිත‍්‍රශිල්පීන් ගේ ද සංගීතඥයින්ගේ ද එමෙන් ම ඔවුන් ගේ කෘතීන් තක්සේරු කල මාක්ස්වාදී විචාරකයින්ගේ ද වැඩ කටයුතු තුලින් කලාව සහ සංස්කෘතිය වර්ධනය වීම කම්කරු පංතියේ දෘෂ්ටිපථය පලල් කිරීමේ දීත් ධනේශ්වරයේ අසාධාරනකම් ගැන දැනුවත්කම වඩාත් තියුනු කිරීමේ දීත් කම්කරුවන් ගේ කේන්තිය සහ කැප කිරීමේ කැමැත්ත ඔප දැමීමේ දීත් සමාජවාදය සාක්ෂාත් කර ගැනීමේ සහ සැබෑ සමාජ සමානතාවය සහ සහෝදරත්වය මත පදනම් වූ සමාජයක් සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව ගැන ඔවුන්ගේ විශ්වාසය සහ ආත්ම විශ්වාසය වඩාත් උද්‍යෝගිමත් කිරීමේ දීත් අති විශාල භූමිකාවක් රඟ දැක් වූහ.

සමාජවාදය බිහි කිරීම සඳහා කම්කරු පන්තියේ වැදගත් කොටසක් තුල සංස්කෘතික පිබිදීමක් අවශ්‍ය වන්නේ ය: මක්නිසාද යත්, ධනේශ්වර සමාජය කෙරෙහි සවිඥානක වුත් විප්ලවවාදී වූත් විවේචනාත්මක ආකල්පයක් වර්ධනය කිරීම සඳහා එවැනි පිබිදීමක් අවශ්‍ය වන බැවිනි. එහෙත් මෙම පිබිදීම විප්ලවවාදී පක්ෂයේ උත්සාහයන් ගෙන් තොර ව නොසිදුවෙයි. එසේ වන්නේ නොවේ, මෙම වර්ධනය ස`දහා සටනට නායකත්වය දෙන්නේ කම්කරු පන්තියේ ඉතා දැනුවත් කොටස වන්නා වූ පක්ෂයයි. සමාජවාදී විඥානයේ බුද්ධිමය හරය වන්නේ පවතින්නා වූ සමාජ සම්බන්ධතා ද එදිනෙදා දේශපාලන පිලිගැනීම් සහ සංකල්පයන් ද ධනේශ්වර සමාජය තුල මතු වෙමින් “ස්වයංසිද්ධ” ප‍්‍රකාශනයක් ලබා ගනිද්දී ඒවා කෙරෙහි විවේචනාත්මක වූත් විප්ලවවාදී වූත් ආකල්පයන් ගැනීමයි. මේ අනුව, කලාව සහ සංස්කෘතිය ක්ෂේත‍්‍රයේ දී පක්ෂයේ වැඩ කටයුතුවල වර්ධනය විප්ලවවාදී සමාජවාදී සවිඥානකත්වය ස`දහා අරගලයේ අවශ්‍ය වු අංගයක් විය යුතු විය.

1992 ජාත්‍යන්තර කමිටුව විසින් සටහන් කර ඉදිරිපත් කරන ලද බුද්ධිමය සහ දේශපාලන ව්‍යාපෘතිය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල මගේත් මගේ සහකාරිය වන ජෝඈන් ලෝරියර් ගේත් ජීවිතයේ සහ වැඩ කටයුතුවල ප‍්‍රගාඪ වෙනසක් ඇති කිරීමට නියමිත විය. 1993 දී අපි නිව්යෝක් නගරයේ දී ඩේවිඩ් නෝර්ත් හමු වූයෙමු. මේ කාලය තුල දී මම බුලටින් සහ ඉන්ටර්නැෂනල් වර්කර්ස් බුලටින් ප‍්‍රකාශනවල අවුරුදු 2ක් තිස්සේ පූර්නකාලිකව වැඩ කර තිබුනෙමි. කලා ක්ෂේත‍්‍රය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් වීම සැලකිය යුතු පරිමානයෙන් පලල් කිරීමේ සැලසුම් ඔහු අප සමග සාකච්ඡා කලේ ය. අප ඩෙට්‍රොයිට් නුවර පදිංචියට පැමිනීමට ත් එහි දී මා ඉන්ටර්නැෂනල් වර්කර්ස් බුලටීනයේ කලා අංශයේ කතුවරයා ලෙස එහි කතෘ මන්ඩලයට එකතු වීමට ත් කැමති දැයි ඔහු මගෙන් ඇසුවේ ය. අපි මෙම ආරාධනය නො වලහා පිලිගෙන අපගේ සන්තකය පොදි බැඳගෙන 1993 නොවැම්බර් මස අග දී ඩෙට්ට්‍රොයිට් නුවරට පැමිනියෙමු. මෙහි දී සහෝදරවරුන් සහ මිත‍්‍රයින් ගේ ඇසුර ලබමින් අපි දෙදෙනා බැරෑරුම් සහ ස්ථිරසාර ශාස්ත‍්‍රීය වැඩකටයුතු වර්ධනය කිරීම සඳහා ඉහලින් ම හිතකර වූ අන්‍යොන්‍ය සහයෝගිත්වයක් පවතින්නා වූ පරිසරයකට පිවිසුනෙමු.

ඉන් පසු ව ගෙවී ගිය වසර තුල දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජාත්‍යන්තර සාකච්ඡාවන් සහ දේශපාලන සහ සංස්කෘතික වැඩ කටයුතුවල සම්බන්ධීකරනය මහා පිමිවලින් ඉදිරියට ගිය අතර අන්තර්ජාලය ඇතුලු නොයෙකුත් තාක්ෂනික වර්ධනවල උදව්වෙන් මෙම ක්‍රියාදාමය වඩාත් වේගවත් විය. 1998 න් පසු ව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ව්‍යාපෘතිය විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ අති විශාල ගෝලීය දේශපාලන සහ බුද්ධිමය සහයෝගි ක්‍රියාකාරිත්වයක් තුලින් පවත්වා ගෙන යනු ලැබී ය.

මෙම වැඩ කටයුතු තුල දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සංස්කෘතික වැඩ කටයුතුවල වර්ධනයට අර්ථභාරී එකතු කිරීම් කල සහෝදරවරුන් ගෙන් කිහිප දෙනෙක් පමනක් නම් කල හැකි ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝඈන් ලෝරියර් සහ ෆ්‍රෙඩ් මසෙලිස්, බ්‍රිතාන්‍යයේ පෝල් බොන්ඩ්, ජර්මනියේ සයිබීල් ෆූක්ස් සහ ස්ටෙෆාන් ස්ටීන්බර්ග්, ඕස්ට්‍රේලියාවේ රිචඩ් ෆිලිප්ස් සහ ශ‍්‍රී ලංකාවේ අභාවප‍්‍රාප්ත පියසීලී විජේගුනසිංහ ආදී වශයෙනි.

අපගේ වෙබ් අඩවියේ පල කර ඇති ලිපිවලින් සටහන් වෙන ප‍්‍රතිපල මෙම ක්‍රියාකාරිත්වය පැන නැංගා වූ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන සහ සංස්කෘතික ජීවිතයේ බුද්ධිමය සජීවි බවට සහ ප‍්‍රජාතන්ත්‍රීය ජීව ගුනයට දෙස් දෙයි. හජජාකමිටුවේ දෛනික දේශපාලන ජීවිතයට සංස්කෘතික වැඩ කටයුතු බද්ධ කිරීම නියෝජනය කරන්නේ එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව නාටකාකාර වූ දේශපාලන සිද්ධීන් දිග හැරෙන විට දී වඩ වඩාත් පැහැදිලි වන්නා වූ දේශපාලන ප‍්‍රතිඵල රැගත් අසමාන්‍ය වූ අත්පත් කර ගැනීමකි.

II

ගෝලීය චිත‍්‍රපටි කර්මාන්තය ගැන ලියද්දී, එහි දුෂ්කරතාවයන් සහ අසාර්ථකත්වයන් වඩාත් මනෝබද්ධ දෘෂ්ටියකින් බැලීමට කෙරෙන සාවද්‍ය පෙලඹීමක් හැමවිට ම පවතියි. සත්තකින් ම කර්මාන්තය පොදුවේ තමන් දෙස බලන්නේ ඒ ආකාරයෙනි. නිෂ්පාදනවල ගුනයත් නියැලෙන පුද්ගලයනුත් යෙදවෙන්නා වූ අති විශාල මුදල් සම්භාරයනුත් සලකා බලන කල්හි චෝදනා කල යුතු බොහෝ දේ පවතී. එසේ වෙතත් අවසාන තක්සේරුවේ දී චිත‍්‍රාගාර විධායකවරුන්ගේ පටු බව සහ සමහර අවස්ථාවල දී ඔවුන්ගෙන් කෙරෙන ද්‍රෝහිකම් ද බුද්ධිමතුන් ගෙන් වැදගත් කොටසක් දක්ෂිනාංශයට හැරීම ද චිත‍්‍රපටි තනන්නන් ගේ කලාත්මක දුර්වලතා සහ අසාර්ථකත්වයන් ද නොයෙක් වර්ගයේ කුහකයන් බොරුකාරයන් ගේ කැපී පෙනෙන පැවැත්ම ද ආදී වශයෙන් වර්තමාන ගැටලුවල සැබෑ සාධක වන මේ සියල්ල අන් කිසිවක් නො ව වෛෂයික ක්‍රියාදාමයක ආත්මීය ප‍්‍රකාශනයෝ වෙති.

අප ගේ කාලයේ සිනමාවේ පවතින තත්ත්වයන් සහ එහි ස්වභාවය වටහා ගැනීමට අප අපේක්ෂා කරන්නේ අප ගේ කාලයේ ලෝකය තුල පවතින තත්ත්වයන් සහ ස්වභාවයන් ඇසුරිනි. චිත‍්‍රපටි තැනීමේ පරිනාමය ගැබ් වී ඇත්තේ සමාජ සංවර්ධනය තුල ය. රුසියන් මාක්ස්වාදියා වූ ජෝර්ජි ප්ලෙකානොව් ( සහ 19 වන වැනි සියවසෙහි රුසියන් විචාරකයෙකු වූ වී. ජේ බෙලින්ස්කි) ගේ වදන් අනුගමනය කරමින් පවසන්නේ නම් අප ගේ අදහසට අනුව එක් විවේචනාත්මක කර්තව්‍යයක් නම් චිත‍්‍රපටි රචකයන් සහ අධ්‍යක්ෂවරුන් මනුෂ්‍යත්වය සොයා ගත්තේ සමාජ මාවතේ කුමන වු ලක්ෂයක දී දැයි නිර්වචනය කිරීමයි. මහජන කලා රූපාකාරයක් වන සිනමාව පන්ති අරගලයේ මට්ටමටත් කම්කරු පන්තියේ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිත්වයටත් විශේෂයෙන් ම සංවේදී වෙයි. චිත‍්‍රපටි තනන්නන් සමාජ ව්‍යාපාරවලින් පෝෂනය වී ඇත. එහි විරුද්ධ පැත්ත වන්නේ ඒවා නොමැති කල්හි ඔවුහු පිපාසයෙන් පෙලීමයි.

මෙම වෙලුමේ අඩංගු ලිපිවලින් ගනනාවක් ම ඇමරිකන් කම්කරු පන්තියේ උද්වේගී නැගීමෙන් ද එමෙන් ම රුසියන් විප්ලවයෙන් ද ජර්මනියේ, හංගේරියාවේ සහ අනෙක් ස්ථානයන්හි සිදු වූ සමාජ නැගිටීම්වලින් ද විශේෂයෙන් ම 1930 ගනන්වල දී සහ 40 ගනන්වල දී හොලිවුඩ් චිත‍්‍රපටි කෙරෙහි ඇති කරන ලද බලපෑම අවධානයට ලක් කරවයි. බොහෝ ලේඛකයින්, අධ්‍යක්ෂකයින් සහ නලුවන් වමට ඇදී ගිය අතර ප‍්‍රධාන වශයෙන් ඔවුන් ආකර්ෂනය වූයේ කොමියුනිස්ට් පක්ෂයට ය. මෙම විශේෂිත ඉතිහාසය අවසාන වශයෙන් ශෝචනීය ප‍්‍රතිඵල ගෙන දුන් නමුත් ජීවිතය පිලිබිඹු කිරීමට සහ විශාල ජන කන්ඩායම් වින්දනයට පත් කිරීමට ඇමරිකානු චිත‍්‍රපටිවලට තිබූ හැකියාව මෙම සටන්කාමී වීම මත අවිවාදිතව ම රැඳී තිබුනි.

මෙම කාල පරිච්ඡේදයේ ශ්‍රේෂ්ටතම පුද්ගලයින් තිදෙනෙක් ලෙස සැලකෙන චාලි චැප්ලින්, ඔසන් වෙල්ස් සහ ජෝන් ෆෝඩ් යන තිදෙනා ම 1930 ගනන්වල සහ 1940 ගනන්වල මුල් වසර තුල දී සලකනු ලැබුයේ වමේ කලාකරුවන් ලෙස ය. ඇත්තෙන් ම, පශ්චාත් යුද්ධ කාලයේ නිපද වූ චිත‍්‍රපටි මාලාවක් මගින් පෙන්නුම් කර ඇති අයුරු ඇමරිකන් ධනේශ්වර ජීවිතයේ වැදගත් අංගෝපාංග විවේචනයට ලක් කිරීමට සූදානම් වූ කලාකරුවන් - ඇමරිකාවේ උපත ලැබු අය මෙන් ම විදේශවලින් පදිංචිය සඳහා පැමිනි අය අතර ද - බොහෝ දෙනෙක් සිටියහ. මෙම චිත‍්‍රපටි සඳහා උදාහරන වන්නේ රුත්ලස්, ද ලේඩි ෆ්‍රොම් ෂැංහයි, ෆෝස් ඔෆ් ඉවිල්, බොඩි ඇන්ඩ් සෝල්, ද බෙස්ට් ඉයර්ස් ඔෆ් අවර් ලයිව්ස්, කෝට්, ප්ලැමිංගෝ රෝඩ්, කී ලාර්ගොආං ආදියයි.

1947 දී චිත‍්‍රපටි කර්මාන්තයේ බ්ලැක්ලිස්ට් හෙවත් කොන් කල යුතු අය ගේ නම් ලැයිස්තුව සකස් කිරීමත් 1947 දී සහ 1951- 52 කාලයේ දී ඇමරිකානු නො වන කරකම් ගැන පර්ලිමේන්තු කමිටු වේ (HUAC)තිරිසන් නඩු විභාගත් පිස්සු විකාරයෙන් කෙරුනු මාලු බෑමක් නො වීය. ජනතා ප්‍රේක්ෂක සමූහය රැඩිකල් මතවල ආනුභාවයට විවෘත වීමේ හැකියාව ඇමරිකන් පාලක ප‍්‍රභූව ඉදිරියේ මතු කරනු ලැබුයේ බැරෑරුම් ලෙස ආරක්ෂක පියවර ගත යුතු සැබෑ මතවාදී තර්ජනයක් ලෙස ය.

හිරෝෂිමා සහ නාගසාකිවල කරන ලද ජන සංහාරයන් මගින් සනිටුහන් කරනු ලැබූ පරිදි ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතා ලෙස ඇමරිකන් එක්සත් ජනපදය ඉස්මතු වීම සහ දේශපාලන සහ ශාස්ත්‍රීය වාතාවරනය කොමියුනිස්ට් විරෝධයේ විසකුරු දුමාරයෙන් දූෂනය කිරීම, වඩාත් සමානතා ලක්ෂන බිහි කෙරෙන්නා වූත් සමාජවාදීමය පවා වූත් සමාජයක් ඇමරිකාව තුල බිහි වීමේ ලකුනු පවතින්නේ ය යන මිත්‍යාව අහෝසි කර දැමී ය.

හොලිවුඩ්හි, නිව්යෝක් නාට්‍ය ක්ෂේත‍්‍රයේ සහ වෙනත් තැන්වල සිටි වාමාංශික කොටස් මැකාර්තිවාදී දඩයම්වලට සහ අවසානයේ දී පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයේ දී කම්කරු පන්තිය දේශපාලන පසු බැසීමට මුහුන දීමේ සුදානමකින් හෝ අවි දරා හෝ නො සිටියහ.

ස්ටැලින්වාදය විසින් සාවද්‍ය ලෙස උගන්වනු ලැබුවා වූත් බුද්ධිමය වශයෙන් නිරායුධ කරනු ලැබුවා වූත් මෙම තට්ටුන් 1930 ගනන්වල සහ 1940 ගනන්වල තීරනාත්මක අත්දැකීම් වැරදි කියවීමකට ලක් කරමින් ඒ අනුව ක්‍රියාත්මක වී සිටියහ. ධනවාදයේ ස්ථීරසාර ආරක්ෂකයන් වූ ෆ‍්‍රැන්ක්ලින් රූස්වෙල්ට් සහ ඩිමොක‍්‍රැටික් පක්ෂය මහජනතාව අවපාතයේ සමාජ විනාශයෙන් ගලවා ගැනීමට හැකි වේ යයි ඔවුහු ඉතා පහසුවෙන් ඒත්තු ගන්වනු ලැබ සිටියහ. එය සාක්ෂාත් කර ගනු ලැබුයේ නව අධිරාජ්‍යවාදී යුද්ධයක පිපිරීම මගින් පමනකි.

ඉන් අනතුරු ව 1941 ජුලි මස දී සෝවියට් සංගමය ආක‍්‍රමනය කරනු ලැබීමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂය තුල සහ ඒ වටා සිටි කලාකරුවෝ යුද්ධයට සහාය දීමට උනන්දුවෙන් තල්ලු වු අතර එසේ කිරීම මගින් ඇමරිකාවේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් අවමංගත කිරීමට උදව් වූහ. කොමියුනිස්ට් පක්ෂයේ රූස්ට්වෙල්ට් පාක්ෂික “මහජන පෙරමුනුවාදයේ” දාසයන් බවට පත් ව සිටි ඇමරිකානු වාමාංශය 1917 ඔක්තෝබර් විප්ලවය ස්ටැලින්වාදීන් විසින් පාවා දීමට එරෙහිව ට්‍රොට්ස්කි කල අරගලය මගින් ඉස්මතු කරනු ලැබූ ඓතිහාසික හා දේශපාලන මූලධර්ම පිලිබඳ මහා ප‍්‍රශ්න ගැන නො තැකීමෙන් හෝ විරුද්ධවාදී ව හෝ සිටියහ. (සත්තකින් ම මෙහි දී මෙම ස්ථාවරයෙන් ගෞරවාන්විත ලෙස වෙන් වී ගත් අය නලුවන් සහ ලේඛකයන් අතර සිටියහ. මෙහි දී එක් වරට ම මතකයට එන අය නම් එඩ්වඩ් ජී. රොබින්සන්, ජේම්ස් ටී. ෆැරෙල්, එඩ්මන්ඩ් විල්සන් සහ මේරි මැකාර්ති වැනි අය යි.)

වාමාංශික චිත‍්‍රපටි කලාකරුවන් එක එල්ලේ ම පලවා හැරීම සහ තවත් බොහෝ දෙනෙකුගේ යටත් වීම අද පවා අප අත්විඳින්නා වූ අනර්ථකාරී ප‍්‍රතිඵල දනවන්නා වූ විනාශකාරී සහ දීර්ඝකාලීන බලපෑම් ඇති කලේ ය. ඒ් කෙසේ වෙතත් 1950 ගනන්වල සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පිපිරීම් සහගත අරගල ඉස්මතු වීමත්, වියට්නාම් යුද්ධයට ජනප්‍රිය සහ සංස්කෘතික විරුද්ධත්වයන් වර්ධනය වීමත් ලොස් ඇන්ජලිස්, නෙවාර්ක් සහ ඩෙට්‍රොයිට් යන නගරවල බලවත් නාගරික නැගිටීම් පුපුරා යෑමත් ඇතුලුව 1960 ගනන්වල අගභාගයේ හා 1970 ගනන්වල දී මතු වූ පොදු කැරලිකාරී තත්ත්වයත් දේශපාලන වශයෙන් වඩා විරූපී සහ වඩා දුර්වල ආකාරයෙන් වුව ද චිත‍්‍රපටිකරුවන් ජීවමය කිරීමට සමත් විය.

1960 ගනන්වල බිහි වු “නව හොලිවුඩ්ය” (පෙන්, ඕල්ට්මන්, ස්කෝසීස්, කොපෝලා, කුබ්රික්, කැසවේටේස්, ඈෂ්්බී, සිමීනෝ, මලික්, ඇලන්, ලූමෙට්, පොලැක්, බෙන්ටන්, පෙකින්පා, නිකොල්ස්, පොලාන්ස්කි ආදීන් ) සමහර අවස්ථාවල දී නිල ඇමරිකානු සංස්ථා සහ මිත්‍යාලාප කෙරෙහි තියුනු බැල්මක් හෙලීමට සමත් වූ නැවුම් සහ නව්‍ය කෘතීන් සමහරක් නිෂ්පාදනය කලහ. එසේ ද වූවත් මේවායින් ඉතාමත් පෙරලිකාරී චිත‍්‍රපටි පවා, කම්කරු පන්තියේ සංයුක්ත තත්වයන් හා ජීවිතය සම්බන්ධයෙන් දියාරු උනන්දුවක් මෙන් ම පෙර අර්ධ ශතවර්ෂය සහ එසේ ම ඔවුන් ම ජීවත් වූ කාල පරිච්ඡේදය හැඩ ගස්වනු ලැබුවා වූ සිද්ධීන් ගැන බරපතල නො දැනුවත්කමකින් පෙලිනි.

මෙම දුර්වලතා වඩාත් පලල් ලෙස ගතහොත් එකල පැවති මධ්‍යම පන්තික විරෝධතා දේශපාලනයේ හරය වශයෙන් පැවතුනා වූ ලක්ෂනයෝ ය. අප අවස්ථා ගනනාවක දී ම සටහන් කර ඇති පරිදි “නව වම” කම්කරු පන්තිය වෙතට සමාජවාදී හැරීමක් ගැනීම ප‍්‍රතික්ෂේප කල අතර අන් සියල්ලටමත් වඩා රුසියන් විප්ලවය සහ ස්ටැලින්වාදීන්ගේ නැගීම ගැන ඓතිහාසික වැටහීමක් ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කලේ ය. ඔවුන් එසේ කලේ ප‍්‍රශ්න ඕනෑවට වඩා සංකීර්න වූ බැවින් හෝ ඒවා ඔවුන් මුහුන දීමට අකමැති වූ ප‍්‍රශ්නයේ හදවතට ඕනෑවට වඩා සමීප ඒවා වූ බැවින් ය.

මාධ්‍ය හා විශ්ව විද්‍යාල තුල කරකැවෙන්නා වූ පටු මතයට ප‍්‍රතිවිරුද්ධ ව 1968-75 කාල පරිච්ඡේදය “ප‍්‍රති-සංස්කෘතියේ” කාලයක් හෝ ශිෂ්‍ය නැගිටීම්වල පවා කාලයක් නො වීය. ප‍්‍රන්සය, ඉතාලිය, පෘතුගාලය, ආර්ජන්ටිනාව, චිලිය ඇතුලුව අමතර ව තවත් රටවල් ගනනාවක ම ධනේශ්වර සමාජ පර්යායේ පැවැත්ම තර්ජනයකට ලක් කලා වූ ද- වර්තමාන ඉතිහාසයේ ගමන් මාර්ගය වෙනස් කිරීමට ඉඩ තිබුනා වූ ද සැබෑ පූර්ව-විප්ලවවාදී වූ තත්ත්වයන් බිහි විනි. එහෙත් මේ සෑම අවස්ථාවක දී ම පැවතියා වූ විප්ලවීය විභවය විනාශ කර ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා මාධ්‍යමිකයින්ට හැකි විය.

III

පසු ගිය අවසාන දශක ගනනාව තුල චිත‍්‍රපටි නිශ්පාදනය තුල දිස් වූ බරපතල පරිහානිය සමාජ ප‍්‍රතිගාමිත්වයේ කාල පරිච්ඡේදයක් සමග සම්පාත විය. ධනපති ක‍්‍රමයට එරෙහි දැනුවත් විරුද්ධත්වයක් මත පදනම් නො වූ ද ඩිමොක‍්‍රැටික් පක්ෂයේ දේශපාලන අනසක මත රැඳී සිටියා වූ ද එක්සත් ජනපදයේ සටන්කාමී කම්කරු පන්තිය පසාකර යා නො හැකි බිත්තියක් අබියස නවතනු ලැබ සිටියහ. ඇමරිකානු පාලක පන්තිය, පලමුවෙන් ම ජිමි කාටර් යටතේ ද පසු ව වඩාත් ක‍්‍රමානුකූලව රොනල්ඩ් රේගන්, ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ වඩාත් මෑත දී බැරැක් ඔබාමා යටතේ වඩා ක‍්‍රමානුකූලව ද 1970 ගනන්වලින් පසු ප‍්‍රතිප‍්‍රහාරයක් සංවිධානය කලේ ය.

ගෝලීය ආර්ථික ඒකාග‍්‍රතාවය පිලිබඳ ක්‍රියාදාමය සියලුම ජාතිවාදී-අවස්ථාවාදී කම්කරු සංවිධානවලට සහ ස්ටැලින්වාදී සංවිධානවලට මාරක පහර එල්ල කල අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රුසියාව සහ විශේෂයෙන් චීනය යලි ඒකාබද්ධ කර ගැනීම මගින් අධිරාජ්‍යවාදයට හුස්ම ගැනීමේ ඉඩකඩක් උදාවිනි. තමන් ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂාවීමේ තත්වයකට වැටී ඇති බව කම්කරුවන් දැක ගත් අතර කලින් සඳහන් කරන ලද්දා වූ “සමාජවාදයේ අවසානය’’ පිලිබඳ කාලගෝට්ටිය, ඕනෑ එකක් උනාවේ ආපහු නැවටම නගිමු යැයි එක් ඇසකින් බැල්ම හෙලමින් සිටි වාමාංශික කොටස් අතර වැදගත් බලපෑමක් ඇති කලේ ය. කොටස් වෙලඳ පල සහ ඉඩම් වටිනාකම් උත්පාතය සහ ජනමාධ්‍ය හා විනෝද කර්මාන්තය තුලින් ලබා ගත හැකි ව තිබූ ආදායම් වඩාත් බලපෑම් සහගත දිරිදීමනා සැපයී ය.

පන්ති අරගලය බලහත්කාර ලෙසත් කෘතිම ලෙසත් යටපත් කරලීමේ නිෂ්පාදිතයක් වූ 1990 ගනන් සහ2000 ගනන්වල දී පැවති සමාජ නිශ්චලත්වයේ කාල පරිච්ඡේදයක් ඇමරිකාව තම ඉතිහාසය තුල දී වෙන කිසිම කාලයක දී නුදුටු වේ ය. 1950 ගනන්වල මුල් අවුරුදු තුල දී පැතිර තිබූ දේශපාලන (සහ ශාස්ත්‍රීය) කීකරුකම සහ ආධානග‍්‍රාහිත්වයේ භෞතික පදනම වූ ජනගහනයේ පලල් තට්ටුන් සතුව තිබූ සමාජ තත්වයන්හි වැඩිදියුනු වීමක් සිදුවෙමින් පැවතුනේ නැත. තත්වය එහි අනෙක් පැත්ත විය. එම තත්වයන් තියුනු ලෙස පරිහානියට පත් වෙමින් තුබූ අතර සමාජ අසමානතාවය පිලිකාවක් මෙන් වර්ධනය වෙමින් තිබින.

කෙසේ වෙතත් පැරනි වෘත්තීය සමිති සහ විරෝධතා ව්‍යාපාරවල වැදගැම්මකට නැති බව ඇතුලු ආර්ථික හා මතවාදී ක්‍රියාදාමයන්හි එකතුවක් මගින් කම්කරු පන්තිය තාවකාලික ලෙස හිරිවට්ටා තිබිනි. මෙය තුල ය, එනම්, සමාජ වර්ධනයන්හි සිදු වූ මෙම සංයෝගය තුල ය, පසුගිය සියවසේ අවසාන තුනෙන් එක තුල දී ඇමරිකන් චිත‍්‍රපට නිශ්පාදනයේ පිරිහීමේ අතිමූලික උල්පත සොයා ගත යුත්තේ. මෙම තත්වයන් යටතේ වඩාත් ප‍්‍රතිපත්තිගරුක සහ තීක්ෂන කලාකරුවන් දුර්මුඛ ව, අර්බුදයට වැටී එක්කෝ නිශ්ශබ්දතාවයට ඇද වැටුනි, නැතහොත් “රැල්ල සමග” පාවී ගියෝ ය. යටවීම ද සමාජීය ව අවමංගත වීම ද කරලිය අරක් ගත්තේ ය.

දශක ගනනාවක් තුල කෙරී ගෙන ගියා වූ කොමියුනිස්ට් විරෝධී ප‍්‍රචාරනය සහ සමාජීය වශයෙන් දිසාගත වූ කලාවට එරෙහි වූ උද්ඝෝෂන ව්‍යාපාරය මගින් ද වෛෂයික සත්‍යය, තර්කනය සහ ප‍්‍රගතිය පිලිබඳ සංකල්ප මාක්ස් විරෝධී “වම”ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, භව්‍යවාදය, පශ්චාත් නූතනවාදය) විසින් ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රතිපල වන්නා වූ ඓතිහාසික සහ සමාජ සවිඥානකත්වයේ දැනටමත් ඛාදනය වූ තත්ත්වය මගින් ද කලාකරුවන් විශේෂයෙන් ම හානිපත් කරවනු ලැබ ඇත.

කිසියම් පාලක පන්තියක් ඓතිහාසික වේදිකාව අතහැර යෑමට සූදානම් වන නමුත් එහි පාලනය අහෝසි කර දැමීමට නියමව ඇති පන්තිය තාමත් සම්පූර්නයෙන් ම මෝරා නැති සමාජ වර්ධනයේ අවධියකට සමානුරූපි වන්නා වූ “සමාජ නොතැකීමේ කාලපරිච්ඡේද” ගැන ප්ලෙකානෙව් වරක් ස‍ඳහන් කලේ ය. එවැනි කාල පරිච්ඡේදවල දී කලාකරුවන්ගේ “ආත්ම ‘සීතල නින්දකට’ වැටෙයි. ඔවුන්ගේ සදාචාරාත්මක මට්ටම ඉතා පහලට වැටෙයි. එසේ වූ විට ඔවුහු තමා පෙනී සිටින්නා වූ දෙය නිවැරැදි දැයි හෝ තම හැකියාවන් තුලින් ඔවුන් සේවය කරන්නා වූ පද්ධතිය හොඳ එකක් වන්නේ දැයි තමාගෙන් ම අසා නො ගනිති. ඔවුන් සොයන්නේ පොහොසත් හාම්පුතුන් පමනකි. උනන්දු වන්නේ තම කෘතීන් වැඩි ගනනකට විකුනා ගැනීම සඳහා පමනකි.”1

කලාව සහ සංස්කෘතියේ පුනර්ජීවනය වර්තමානයේ දී රැඳී පවතින්නේ නව සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී පදනමක පන්ති අරගලය සහ කම්කරු ව්‍යාපාරය පුනර්ජීවනය වීම මත ය. කලාවට තමන් විසින් ආරක්ෂා වීමට නො හැකි ය. ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි “වර්තමාන සමාජයට තමාව ම ප‍්‍රතිසංස්කරනය කර ගැනීමට නො හැකි වුව හොත් කලාව වැලැක්විය නො හැකි අන්දමින් කුනු වී යනු ඇත. මෙම කර්තව්‍යය සාරාර්ථ වශයෙන් ගත් කල විප්ලවවාදී කර්තව්‍යයක් වෙයි.” 2

IV

ලාභ ක‍්‍රමයට එරෙහිව පලල් ව පැතිරුනා වූත් කැලඹිලි සහගත වූත් විරුද්ධත්වයක පුනර්ජීවනය කලාකරුවන්ගේ දර්ශන පථය ඇතුලු “මානව වර්ගයාගේ දර්ශන පථය වසා සිටින්නා වු සංශයවාදයේ සහ අසාරදර්ශනයේ වලාකුලු විසුරුවා හැරීමට උදව් කෙරෙනු ඇත.”3

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ‘බටහිර මාක්ස්වාදය’, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සහ අනෙකුත් ප‍්‍රතිගාමී “වාමාංශික” ප‍්‍රවනතාවන් සමග ගැටෙමින් ඒවා විවේචනයට ලක් කලා වූ එක ම සංවිධානය විය. ව්‍යාජ-වාම ප‍්‍රවනතාවයන් කලාත්මක ප‍්‍රවනතා විභාග කිරීමේ වගකීම කෙරෙන් මුලුමනින් ම තම අත් සෝදා ගන්නා අතර හිස් වු විරෝධතා සහ අනන්‍යතා දේශපාලන උද්ඝෝෂන සහ ප‍්‍රචාරන උනන්දු කරවමින් නොයෙකුත් ආකාරයේ “වාම” ශාස්ත‍්‍රඥයින්ට ක්ෂෙත‍්‍රය විවෘත කිරීම හෝ මේ තුන ම හෝ කරති.

තම ක්‍රියාකාරිත්වය සහ චින්තනය තුලින් කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියාකලාපය ප‍්‍රතික්ෂේප කරන්නා වූත් ට්‍රොට්ස්කිගේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයට ද්වේශ කරන්නා වූත් මෙම “වාම” බුද්ධිමතුන්ගේ කල් පවතින්නා වූ ප‍්‍රමුඛත්වය සම්භාව්‍ය මාක්ස්වාදයේ බලපෑමේ දිග්ගැස්සුනු පරිහානියේ ප‍්‍රතිපලයකි. ස්ටැලින් විසින් සමාජවාදීන් සමූල ඝාතනය කරනු ලැබීම ද පැසිස්ට් තන්ත‍්‍රයන් විසින් කරන ලද අධි-හිංසනය ද මාක්ස්වාදීන් ගේ සමස්ත පරම්පරාවක් ම විනාශ කලේ ය. මිනිය නො හැකි වූ මෙම අහිමිවීමේ සෘජු ම වූ බලපෑම වූයේ ජත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ දේශපාලන සහ සංස්කෘතික මට්ටමේ බියකරු පහල වැටීමකි.

විරෝධාභාසාත්මක ලෙස සෝවියට් සංගමය විසුරුවා හැරීම ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සම්භාවීය මාක්ස්වාදය පුනර්ජීවනය කිරීමේ වෛෂයික කොන්දේසි නිපද වුයේ ය. එහෙත් මෙම පුනර්ජීවනයට ස්වයංක්‍රීය ක්‍රියාදාමයක් ලෙස වර්ධනය වීමට නො හැකි විය. හතරවැනි ජාත්‍යාන්තරයේ ජාත්‍යන්තර කමිටුව සෝවියට් සංගමය කඩා වැටීමේ ඓතිහාසික අර්ථ භාරය සහ දේශපාලන ගම්‍යයන් වටහා ගනිමින් ඊට බුද්ධිමය වශයෙන් නිර්මානාත්මක ප‍්‍රතික්‍රියාවක් වර්ධනය කලේ ය.

තම සංස්කෘතික වැඩ කටයුතු වර්ධනය කිරීමේ දී හජජාකමිටුවට මෙම ක්ෂේත‍්‍රයේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භාවිතාවේ සම්ප‍්‍රදාය සහ උදාහරනය මත පදනම් වීමේ හැකියාව පැවතුනි. සෝවියට් සංගමය තුල වර්ධනය වෙමින් පැවතුනු ස්ටැලින්වාදී නිලධාරිතන්ත‍්‍රයට එරෙහි අරගලයේ ආරම්භක වෙඩිමුරයක් වූයේ, ජාතික- නිලධාරිවාදී පෙලැන්තිය හැදුනු වැඩුනු සංස්කෘතික පසුගාමිත්වයට එරෙහි ව එල්ල කැරුනු ට්‍රොට්ස්කිගේ සාහිත්‍යය හා විප්ලවය (1923- 24) කෘතිය යි. ඊට දශක එකහමාරකට පසු ව ට්‍රොට්ස්කිගේ සහ ප‍්‍රන්ස ලේඛක ඔන්ද්‍රේ බ්‍රිතෝං ගේ සමකතෘත්වයෙන් ද ඔවුන් දෙදෙනාට අමතර ව දියේගෝ රිවේරාගේ අත්සනින් ද පල කෙරුනා වූ ත් “සැබෑ කලාවට විප්ලවවාදී නො වී සිටීමට නො හැකිය” යනුවෙන් ප‍්‍රකාශ කලා වූ ත් ස්වාධීන විප්ලවවාදී කලාවක් කරා (1938) යන ප‍්‍රකාශය කලාත්මක සහ බුද්ධිමය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙතෙක් ප‍්‍රකාශ කෙරී ඇති බලවත් ම ප‍්‍රකාශනයක් වෙයි.

මෙම කෘතියෙහි මාතෘකාව ගනු ලැබුයේ, බ්‍රිතෝං ගේ “1934 රමනීය අර්ධ රාත‍්‍රියේ දී” යන කවියෙනි. මා එය විග‍්‍රහ කරන්නේ ආසන්නව ම පවතින බාධක ඔබ්බෙහි ඇති වඩා දීප්තිමක් වූත් පලල් වූත් යථාර්ථයක් දැක ගැනීමට දැරූ උත්සාහයක් ලෙස ය.

මෙම විචාර සහ ලිපි ආරම්භ වන්නේ කලාව ලෝකය ඥානනය කිරීමේ සහ ලෝකය වෙත දිසාගත වීමේ මාර්ගයක් බවත් අර්ථභාරී කලාකරුවෙක් උත්සාහ දරන්නේ දේවල්වල යථා ස්වභාවයට තම කෘතිය අනුරූප කරවීමට බවත් මෙය සාක්ෂාත් කර ගන්නා කෘතියක් තුල වෛෂයික ව සත්‍ය වන්නා වූ සහ කල්පවතින වටිනාකමක් පවත්නා බවත් ය යන ස්ථාවරය මත ය. හේගල්ගේ යෙදුම අනුව “කලාව තමන් තුලින් සහ තමා ඉක්මවා” පලල් සමාජ ලෝකය, මානව සම්බන්දතා සහ මානසික විද්‍යාව වෙත සාරාත්මක සත්‍යයන් කරා දිසාගත කෙරෙයි.

කලාව ඉතා ම ගැඹුරු ම මානව උත්සුකයන් අපගේ අවධානයට ලක් කරන්නේ විද්‍යාත්මක සහ දාර්ශනික තර්කනයන් ලෙස නොව, චිත‍්‍රමය සහ සංවේදීමය රූපයෙනි: අපව සතුටු කරවන්නා වූ හෝ සොලවන්නා වූ හෝ අසහනයට පත් කරවන්නා වූ හෝ මේ සියල්ලම එකවිට සිදු කරන්නා වූ සංයුක්ත චිත්ත රූපවල ස්වරූපයෙනි. කලාකරුවා තම සංකල්පවල සත්‍යය ඔප්පු නො කරන අතර ඔහු ඒවා පෙන්වයි. “සැබෑ විද්‍යාඥයා මෙන් ම සැබෑ කලාකරුවා ද හැමවිට ම ඔහුට පෙර පැවතියා වූ දෙයට එකතු කිරීමක් කරයි.”4 එහෙත්, විද්‍යාත්මක මෙන් ම කලාත්මක වෛෂයික සත්‍යය ඥානනය කිරීමේ එකිනෙකට වෙනස් වූ මාදිලීන් පිලිබඳ මෙම න්‍යායික වෙනස්කම වටහාගත යුත්තේ අපෝහක ආකාරයට ය.

භාවවිෂයික සත්‍යය කලාත්මක ව සොයා යෑම ඓතිහාසික, සමාජයීය සහ දේශපාලන සන්දර්භය නොතකා සිටීමට ලැබෙන බලපත‍්‍රයක් නොවේ. මෙය ම මාක්ස් වෙනත් ආකාරයකට පැවසූ පරිදි, “අඥානත්වය කවදාවත් කිසිවෙකුටවත් උදව් කර නැත.”

එපමනක් නොව, යම් කලාකරුවකුගේ න්‍යායික සහ සාමාජයීය සවිඥානකත්වය කුමන මට්ටමේ පැවතියක් විවේචකයකුට, හුදෙක් තමන්ගේ ම නො විසඳා ගැනුනු හා භාවික ප‍්‍රතිචාරයන් පමනක් තම කලා විචාරවල පදනම ලෙස සැලකීමේ කිසිදු අයිතියක් නැත. විචාරකයා කිසි විටෙක හුදෙක් “හඟිනවා” පමනක් නොවේ. ඔහු සිතිය යුතු ද වන්නේ ය. විචාරකයා කලාකරුවාට හෝ තමාට අනුග‍්‍රහ සැලසීම නො කල යුතු ය. කලාකෘතිය මත සෞන්දර්යාත්මක සංවේදිතාවක් පමනක් නොව ඓතිහාසික දැනුමක් සහ සමාජ පරිඥානයක් ද යොදවමින් තමා ඉදිරියේ ඇති කෘතිය කල්පනාකාරී ව තක්සේරු කිරීම එම විචාර කාර්යය සඳහා අත්‍යාවශ්‍ය වන්නේ ය.

මාක්ස්වාදී විවේචනය සමන්විත වන්නේ කලාකරුවකුගේ, ලේඛකයකුගේ, චිත‍්‍රපටිකරුවකුගේ හෝ ගෘහනිර්මාන ශිල්පියකුගේ “පන්ති දෘෂ්ටිය සූත‍්‍රමය වශයෙන් හඳුනා ගැනීම මගින් ය යන කතාව- බොහෝ ප‍්‍රති-මාක්ස්වාදීන්ගේ අර්ථශූන්‍ය ප‍්‍රකාශ මෙන් ම කඨෝර මුසාවාදයකි. කලාකරුවා “සමාජ නිර්මිතයකට” වැඩිමනත් දෙයක් නොවේ යැයි ද තමන්ගේ කර්තව්‍යය වන්නේ කලාකෘතීන් හුදෙක් ධනේශ්වර වැඩ හරඹයෙහි රූප පමනක් ලෙසට හෙලිදරව් කිරීම යැයි ද දකින්නා වූ ප‍්‍රවනතාවන් ශාස්ත‍්‍රීය “වම” තුල සිටින තාක් දුරට ඔවුන් නියෝජනය කරන්නේ විද්‍යාත්මක සමාජවාදය මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කිරිමකි.

ඉතාමත් සියුම් වූ විචාර කෘතීන් සඳහා ආස්වාදනය ලබා දී ඇති මාක්ස්වාදය කලාව ප‍්‍රචාරනයේ මට්ටමට සිඳ වන්නා වූ ප‍්‍රවනතාත්මකත්වයට එරෙහිව නොනවතින ලෙස තර්ක එල්ල කර ඇත. කලාව විනිශ්චය කල යුත්තේ එහි සැබෑ බව, ගැඹුර, අවංකත්වය සහ රමනීයත්වය මත ය. එහෙත් මෙම ගුනයන් තීන්දු වන්නේ යථාර්ථය සමන්විත වන්නා වු “සමාජ සම්බන්ධතා සමස්තයේ” යම් තීරනාත්මක අංශයක් අවංක ලෙසත් නො බියවත් නිරූපනය කිරීමට කලාකරුවාට ඇති හැකියාව මතයි.

පන්ති සටන, ධනපතිවාදය, සූරාකෑම, දුප්පත්කම, අධිරාජ්‍යවාදය සහ යුද්ධය හුදු ප‍්‍රචාරනික යෙදුම් පමනක් නොවේ. ඒවා නවීන සමාජ ජීවිතය ගැබ්ව ඇත්තා වූ වෛෂයික යථාර්ථයේ වෛෂයික ප‍්‍රවර්ගයෝ, ලක්ෂනයෝ සහ ද්‍රව්‍යමූලයෝ වෙති. කලාකරුවන් බවට පත් වීමට අපේක්ෂ කරන්නවුන් ද “මත ගොඩ නගන්නන්” ද බොහෝ දෙනෙක් විසින් මෙය අප‍්‍රමානවත් ලෙස පිලිගැනීම, නොතකා හැරීම සහ ප‍්‍රතික්ෂේප කිරීම පවා තත්කාලීන සංස්කෘතියේ අර්බුදයේ ම ප‍්‍රධාන ලක්ෂනයකි. සමාජ යථාර්ථය කෙරෙහි අනුකම්පා විරහිත ව එලිය විහිදුවීම නො කර “භාවික සත්‍යය” හෙලිදරව් කල හැකියැයි විශ්වාස කරන අය ප්‍රේක්ෂකයින් නොමග යවමින් තමන්ව ම රවට්ටා ගන්නා අය වෙති.

ධනපති ක‍්‍රමයට එරෙහිව නව මහජන ව්‍යාපාරයක් පැන නගින්නා වූ මහා නැගිටීම්වල කාල පරිච්ඡේදයකට දැන් අපි ඇතුලු වී සිටිමු. පන්ති අරගලය යලි පිබිදීම කලාකරුවන්ගේ නව පරම්පරාවකට ආශ්වාදනය ගෙන දෙමින් නව නිර්මාන මාවත් සහ හැකියාවන් පෙන්වා දෙනු ඇත. මෙම ක්‍රියාදාමය තුල දී කම්කරු පන්තිය තුල සමාජවාදී සවිඥානකත්වයේ වර්ධනය සඳහා විප්ලවවාදී පක්ෂය කරන අරගලය තීරනාත්මක වූත් අත්‍යාවශ්‍ය වූත් භූමිකාවක් ඉටු කරන්නේ ය.

මෙම කෘතිය, කලාත්මක සංස්කෘතික ජීවිතයේ පවතින්නා වූ තත්ත්වයට කම්කරු සහ තරුනයින් ගේ අවධානය යොමු කිරීමටත් ඔවුන්ගේ අවබෝධය සහ සංවේදිත්වය ඉහල නැංවීමටත් ඔවුන්ගේ දෘෂ්ටිය පලල් කිරීමටත් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පසුගිය දශක දෙක තුල දරන ලද ප‍්‍රයත්නයන්ට කරන ලද ප‍්‍රදානයකි. මෙම කෘතියෙහි අරමුන වන්නේ අපගේ කාලයේ සංස්කෘතියේ පොදු ප‍්‍රශ්න මතට එලිය විහිදුවීම මගින් ද ඉතාමත් වැදගත් වු කලාත්මක සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් අවධානයට ලක් කිරීම මගින් ද චිත‍්‍රපටි නිශ්පාදනය කෙරෙහි වඩා තීක්ෂන වූ ආකල්පයන් ගැනීමට ද නව ආකාරයකින් ලෝකය දැකීමට හා විඳීමට ද හැකි වන අයුරු කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ සවිඥනකත්වය ඉහල නැංවීමයි.

ඒ සමගම වර්තමාන සංස්කෘතියේ මඩවලෙන් ගොඩ ඒමට උත්සාහ කරන්නා වූ කලාකරුවන් මත බලපෑමක් ඇති කිරීමට ද අපි සත්තකින් ම බලාපොරොත්තු වෙමු. තරුනයින් අතුරින් ද කිසිවකු නො දන්නා අය අතුරින් ද අද දවසේ දී යන්තමින් යැපෙන්නා වු හෝ යැපීමට කිසිවක් නැත්තා වූ අය අතුරින් ද කලාත්මක සත්‍යය වෙන කිසි දෙයකට ම වඩා ඉදිරියෙන් තබන්නා වූ චිත‍්‍රපටිකරුවන්, ලේඛකයින් සහ චිත‍්‍ර ශිල්පීන් ඉස්මතු වන බව අපට විශ්වාස ය.

අවසාන වශයෙන් මෙම කෘතියෙහි ඉදිරිපත් කර ඇති අදහස් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වූ උපදෙස් දුන් සියලුම සහෝදරවරුන්ට මගේ කෘතඥතාවය ප‍්‍රකාශ කිරීමට මෙහි දී ඉඩ දෙන්න. මෙම කෘතියේ ලිපි වර්ධනය වූයේ මුල් පිටපත් සහ යලි රචනා කිරීම් නැවත නැවත හුවමාරු කිරීම් ද සාකච්ඡා, මතභේද, ගැටුම් හා යලි සමාදානවීම් ද අඩංඟු වූ සමීප ශාස්ත‍්‍රීය සහභාගිත්වයක අපෝහකය තුලිනි. කම්කරු පන්තියේ සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ සමාජවාදී විමුක්තිය සඳහා අරගලය සමග වෙන් නො කල හැකි සේ බැඳී පවතින කලා සංකල්පයන් දරා සිටින්නා වූ විප්ලවවාදී ජාත්‍යන්තරවාදීන් ගේ ප‍්‍රජාවක කොටසක් වීම මගේ වාසනාවක් ලෙස සලකමි.

***

1 Georgi Plekhanov, “V.G. Belinsky’s Literary Views,” Selected Philosophical Works, vol. 5 තෝරාගත් දාර්ශනික කෘති, වෙලුම 5 (Moscow: Progress Publishers, 1981), පි. 204

2 Leon Trotsky, “Art and Politics in Our Epoch,” Leon Trotsky on Literature and Art, ලියොන් ට්‍රොට්ස්කිගේ සාහිත්‍යය සහ කලාව ed. Paul N. Siegel (New York: Pathfinder, 1970), පි.106

3 එම., පි.114

4 Aleksandr Voronsky, “On Art,” Art as the Cognition of Life ජීවිතය ඥානනය කිරීම හැටියට කලාව (Oak Park: Mehring Books, 1998), පි. 214

Share this article: