සිරස ආයතනය ඉදිරිපිට කලහකාරී සිදුවීම දේශපාලන විරුද්ධවාදීන්ට කල අනතුරු ඇඟවීමක්

වසන්ත රූපසිංහ විසිනි, 2018 අප්‍රේල් 7

අප්‍රේල් 4 දා රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලය අයත් එම්ටීවී/එම්බීසී ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් සිදුකල කලහකාරී සිදුවීම, සමාජවාදී සමනාතා පක්ෂය විසින් කොන්දේසි විරහිතව හෙලා දකියි.

සිරස රූපවාහිනිය විසින් අදාල අවස්ථාවේදී රූගත කොට විකාශය කල දර්ශනවලින් පෙන්නුම් කලේ, යූඇන්පීය යොදාගන්නා කොලපාට කොඩි රැගත් දුසිම් ගනනක කලහකාරීන් පිරිසක්, “එක්සත් ජාතික පක්ෂයට ජයවේවා!” යනාදී සටන් පාඨ කියමින් එම්ටීවී/එම්බීසී කාර්යාලය ඉදිරිපිට පාරේ විශාල රතිඤ්ඤා ප‍්‍රමානයකට ගිනි දල්වමින් තර්ජනය කරන ආකාරය යි. රතිඤ්ඤාවලින් නිකුත්වූ ඉමහත් ශබ්ධය “බෝම්බ ශබ්ධයක්ද නැතිනම් රතිඤ්ඤා ශබ්ධයක්ද යන්න සිතාගත නොහැකිව ඉමහත් මරන භයකට” තමන් පත්වූ බව සිරස මාධ්‍යවේදියෙක් සඳහන් කලේ ය. කාර්යාල පරිශ‍්‍රයට පිවිසෙන දොරටු සියල්ල අවහිර කිරීම නිසා සියයක් පමනවූ “නිව්ස් ෆස්ට්” කාර්ය මන්ඩලයට ආයතනයෙන් බැහැර යාමට නොහැකිව පැයක් පමන එහි සිරවී සිටි බවද සිරස සඳහන් කලේ ය.

ආතයනයේ සීසීටීවී දර්ශනවලට අනුව, මෙම කලහකාරී සිදුවීම මෙහෙයවූයේ කොලඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ බව සිරස සඳහන් කලේ ය. අගමැතිවරයා හා නාගරික මන්ත්‍රී අතර සමීප සබඳතාව පෙන්නුම් කරමින්, සිද්ධියෙන් පසු එදිනම අගමැති රනිල් වික‍්‍රමසිංහ අසල සිටම ගංගාරාමයේ “ආගමික වතාවතකට” ඔහු සහභාගිවී සිටින දර්ශනයක් ද, ඔහුගේ නමින් අගමැතිට සුභ පතා කොලඹ නගරයේ ස්ථාන ගනනාවක සවිකර තිබූ විශාල කටවුට් වල දසුන්ද සිරස විකාශය කලේ ය. අදාල අවස්ථාවේදී, කොලොන්නාව නගර සභාවේ උප සභාපති එජාපයේ අනුර ලියනගේ ද කාර්යාලය අසලින් ඇවිද යන ආකාරයත් ලියනගේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ගේ සමීප දේශපාලන හිතවතෙකු බවත් සිරස සඳහන් කලේය. ඔහු ද අගමැති සම්බන්ධවූ උක්ත ආගමික වතාවතට සම්බන්ධව සිටි බව සිරස මාධ්‍ය ආයතනය තවදුරටත් සඳහන් කලේ ය.

මෙම කලහකාරී සිදුවීම “දැඩිව හෙලා දකිමින්”, ලොව විශාලතම ජනමාධ්‍ය සංවිධානයක් වන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබේ. “මෙම සිදුවීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවත් සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින් සිටින” බවත් එම සංවිධානයයේ විධායක නිලධාරී සැලී ඈන් විල්සන් සඳහන් කලා ය. මේ අතර දකුනු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නිකුත් කල නිවේදනය සඳහන් කලේ, සිදුවීම “ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ලවූ නිර්ලජ්ජිත ප‍්‍රහාරයක්” මෙන්ම “ප‍්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමක්” බව යි.

පසුගිය මාස කිහිපය පුරා සිරස මාධ්‍ය ජාලය විසින් අගමැතිවරයා එක දිගට විවේචනය කරමින් සිටියේ ය. එමෙන්ම, මෙම ක්‍රියාව සිදුවූයේ, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කන්ඩායම් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්දයෙන් අගමැති ජයග‍්‍රහනය කල බවට කල නිවේදනයෙන් විනාඩි කිහිපයකට අනතුරුවය.

අගමැතිවරයා සම්බන්ධ සිරස ඊනියා “විවේචන” වික‍්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව මහජනයාට එල්ල කරන ගනන් නැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර සම්බන්ධ විවේචන නොව, ඒවා හුදෙක්ම පාලක පන්තියේ කොටස් අතර උපායාත්මක මතභේදවලට සම්බන්ධ ය. එසේ වුවද, මෙම දාමරික ක්‍රියාවෙන් ලබා දෙන තර්ජනාත්මක පනිවුඩය වන්නේ, සිරස පමනක් නොව අන් ඕනෑම පුද්ගලයෙක්, විශේෂයෙන්ම වැඩකරන ජනයා, ආන්ඩුව සම්බන්ධ කවර හෝ විවේචනයක් සිදු නොකර, කොන්දේසි විරහිතව ආන්ඩුවේ මතයට අනුකූලව කටයුතු කල යුතු බව යි.

මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් තම පාලනයට විරුද්ධ අදහස් පලකල මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට සිදුකල නින්දිත ප‍්‍රහාර හුවා දක්වමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවක් දමාගෙන 2015 ජනවාරියේ දී බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, රාජපක්ෂට නොදෙවෙනි ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව මෙම සිදුවීමෙන්ද, පසුගිය කාලයේ මාධ්‍යයට එල්ල කල විවිධ අඩත්තේට්ටම් මගින් ද සනාථ කොට තිබේ.

සිරස ප‍්‍රධාන කාර්යාලය අසල ඇතිවූ කලහකාරී සිදුවීම, තමා “හෙලාදකින” බවත් තමා හා තම රජය“නිදහස් මාධ්‍ය ප‍්‍රතිපත්තියට ගරු කරන” බවත්, 6 දා මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවත්වූ හමුවකදී ජනාධිපති සිරිසේන පැවසූ බව මාධ්‍යය වාර්තා කලේ ය.

“වෛරී අදහස් බෙදා හැරීමට විරුද්ධවීමේ” ප්‍රෝඩාව යටතේ, පසුගියදා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල සතියකට අධික කාලයක් මුලුමනින්ම අවහිර කිරීමට පියවර ගත් බව හා රජය විවේචනය කරන ලංකා ඊනිව්ස් සේවය වැනි වෙබ් අඩවි අවහිර කර තිබේය යන කාරනයම සැලකූ කල, සිරිසේනගේ ප‍්‍රකාශයේ වංචනිකභාවය පැහැදිලි වෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ “අතුරුදහන් කරවීම”, සිරස දෙපානම මැදිරි සංකීර්නයට හා මාධ්‍යවේදීන් දුසිම් ගනනකට එල්ල කල මැර ප‍්‍රහාරයන් ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර මාලාවකට වගකිවයුතු රාජපක්ෂ ආන්ඩුව තුල ප‍්‍රමුඛ නායකයෙකු හා කැබිනට් ඇමතිවරයෙකු ලෙස සිරිසේන කටයුතු කරමින් සිටි බවත්, ඔහු එකල ඒවාට එරෙහිව කෙලබිඳක් හෝ හෙලූ බවට කිසිදු වාර්තාවක් නොමැතිි බවත් මෙහිදී සිහිපත් කල යුතු ය.

“මෙම තිරිසන් ක්‍රියාව කල පිරිස් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා” යැයි සිදුවීම සම්බන්ධයෙන් සුපුරුදු වාචාලත්වයෙන් යුතුව යූඇන්පී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කල ප‍්‍රකාශය, ඊට නොදෙවෙනි ආකාරයෙන් වංචනිකය. කලහකාරී සිදුවීම මෙහෙයවූවන්ගේ වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධ කොට දින ගනනාවක් ගතවී ඇතත්, ඔවුන්ට එරෙහිව සිදුකල නෛතික කටයුත්තක් හෝ ඊනියා ”විනය පරීක්ෂනයක්” ගැන හෝඩුවාවක් හෝ ඇත්තේ නැත. එමෙන්ම, එවැන්නක් සිදුවිය හැකි බවට, සිතන මතන කිසිවෙකු මුලාවට පත් නොවනු ඇත.

සිදුවීම “පිලිකුලින් ප‍්‍රතික්ෂේප කරන” බව, රාජපක්ෂගේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍ය සාකච්ඡුාවකදී සඳහන් කලේ ය. රාජපක්ෂ ආන්ඩුවේ සියලූ අපරාධවලට සුදුහුනු තවරමින් ඒවාට නිරන්තර උඩගෙඩි දුන්, අලහප්පෙරුමට හා ඊනියා ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය නිදහස ගැන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මොනම කැක්කුමක්වත් නැත.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේ මූලික කටයුත්ත ඉටුකල, ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක කීවේ, සිරස ආයතනය ඉදිරිපිට සිදුවීම, ”මාධ්‍යයට එරෙහි රාජපක්ෂ කල්ලියේ වියරුවේ තවත් හැඩරුවක්” බවයි.

සියල්ලටමත් ඉහලින් මෙම සිදුවීම ඇගවුම් කරන්නේ, අර්බුද ග‍්‍රස්ථ ආන්ඩුව එයට එරෙහිවන්නන්ට විරුද්ධව වියරුවෙන් කඩා පැනීමට සූදානම් වන ආකාරය යි. වික‍්‍රමසිංහට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලූපිලි ඇන්දීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන සිටින නවසමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුනාරත්න වැනි වංචනිකයන් මහජනතාවගෙන් වසන් කරන්නේ, ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන් හා විරෝධතාවන් ලේවැකි ලෙස මර්දනය කිරීමේ කුප‍්‍රකට ඉතිහාසයකට අගමැතිවරයා හිමිකම් කියන බව යි.

කෙසේ වෙතත්, අගමැති කි‍්‍රයාත්මක වන්නේ, සුලූතරයක් වන ධනපති පන්තියේ කොටස්වල අවශ්‍යතා සන්තර්පනය කිරීම සඳහා, බහුතරයක් වන කම්කරුවන්, ගොවියන් ඇතුලූ පීඩිත ජනයා මර්දනය කිරීමට ය.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විස්වාසභංගය, සමස්තයක් ලෙස ධනපති ක‍්‍රමය මුහුනදී ඇති ගැඹුරු දේශපාලන අර්බුදයේම ප‍්‍රකාශනයක් වන අතර මහජනයා මුහුන දෙන එකදු මූලික ප‍්‍රශ්නයක් හෝ විස්වාසභංගයට මුලපිරූ ඊනියා විපක්ෂයේ උත්සුකයන් අතර නොවේ.

ආන්ඩුවේ කප්පාදු පියවර හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන්, ගොවියන් හා ශිෂ්‍යයන් ඇතුලු පීඩිත කොටස් අතරින් නිරන්තර අරගල පැනනගිමින් තිබෙන අතර ඒවාට මොනයම්ම හෝ විසඳුමක් දීමට අසමත් ආන්ඩුව ඒවාට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පොලිස් හා මිලිටරි ප‍්‍රහාර දියත් කරමිනි.

විස්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමෙන් පසු වික‍්‍රමසිංහ මාධ්‍යයට කීවේ, “ආන්ඩුව ඉදිරියට ගෙනයාමට නැවුම් විස්වාසයක් ගොඩ නැගී තිබෙන හෙයින් අලුත් ගමන පහසුවෙන් යාමට හැකිවෙන” බවයි. විස්වාසභංගය ජයගැනීමෙන් විනාඩි කිහිපයකට පසු සිරස ආයතනය ඉදිරිපිට සිදුකල කලහය, වික‍්‍රමසිංහගේ එම “අලුත් ගමනේ” හැඩරුව සහ තරම යහමින් කියාපායි.

Share this article: