ශ්‍රී ලංකාවේ සසප කොලඹදී මැයි දින රැස්වීම පවත්වයි

SEP (Sri Lanka) calls May Day meeting in Colombo

සමාජවාදී සමානතා පක්ෂය, 2018 අප්‍රේල් 19

සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරත්වයේ දිනය සලකුනු කරන
මැයි 1දා
කොලඹ නව නගර ශාලාවේදී
සවස 3ට
ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. එමගින් අපි ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම් කඩාකප්පල් කිරීමට ආන්ඩුව දරන උත්සාහයට විරුද්ධව නැගී සිටිමු.

එයට සහභාගී වන ලෙස සසප, කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුනගෙන් ඉල්ලා සිටී. එසේම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා මැයි 5දා පැවැත්වීමට යන අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ද ලියාපදිංචි වන ලෙස අපි ඔවුන්ට ආරාධනය කරන්නෙමු.

මාර්තු 28දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැයි 1ට යෙදී ඇති සියලු රැස්වීම් පෙලපාලි හා රැලි කල් දැමීමට කැබිනට් මන්ඩලය තීරනය කර ඇති බව නිවේදනය කලේය. මැයි දින රැලි මැයි 7දා පවත්වන ලෙස “ඉල්ලා” සිටිමින් ඔහු එදින නිවාඩු දිනයක් සේ ප‍්‍රකාශයට පත් කලේය.

“ආන්ඩුව මෙම තීරනය ගනු ලැබුවේ, ගරුතර සංඝරත්නයේ උපදෙස් මත” යයි ඔහු පැවසීය. “මැයි මුල් සතියේ රට පුරා උත්කර්ෂවත් ලෙස ආගමික උත්සව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.” බෞද්ධයෝ බුදුන්ගේ උපත, බුද්ධත්වය හා පිරිනිවන් පෑම මුල්කරගෙන මැයි මාසයේ පුර පසලොස්වක දින වෙසක් උත්සවය පවත්වති.

මැයි දිනය කඩාකප්පල් කිරීමේ ආන්ඩුවේ තීරනය, එය පෝෂනය කරන ප‍්‍රතිගාමී සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමග එක පෙලට පිහිටයි. ආන්ඩුවේ තීන්දුව එය මුහුනදී සිටින දැවැන්ත දේශපාලන අර්බුදය සමග බැඳී තිබේ. වැඩවර්ජන හා විරෝධතා රැල්ලක් හමුවේ මැයි දිනය, ධනපති පාලනය කෙරෙහි කම්කරු පීඩිත ජනතාවගේ විරුද්ධත්වය ගොනුවන ලක්ෂ්‍යයක් බවට පත්වනු ඇතැයි ආන්ඩුව බියපත්ව සිටී.

වෘත්තීය සමිතිවල කඩකප්පල් කිරීමේ හා මැඩපැවැත්වීමේ උත්සාහය තිබියදීම විශ්වවිද්‍යාල, වරාය, විදුලිබල, ඛනිජතෙල්, තැපැල්, දුම්රිය, සෞඛ්‍ය හා වතුකරය ද ඇතුලු විවිධ ක්ෂේත‍්‍රවල කම්කරුවෝ වැඩවර්ජන මාලාවක නිරතවූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන් ක්‍රියාවට නගමින් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා සමාජ කොන්දේසි වලට ආන්ඩුව විසින් එල්ල කර තිබෙන රුදුරු ප‍්‍රහාරයන්ට ඔවුන් විරෝධය දක්වයි.

නිදහස් අධ්‍යාපනය වනසන ආන්ඩුවේ පිලිවෙතට එරෙහිව සිසුන් අතර ද පොහොර ඇතුලූ ගොවිතැනට සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සහන කැපීමට එරෙහිව ගොවීන් අතර ද පෙරලිකාරී අරගල පුපුරා ගියේය. කොලඹ පාලනයේ වර්ගවාදී සිවිල් යුද්ධයේ ව්‍යසනයෙන් තවමත් පීඩා විඳින උතුරු නැගෙනහිර, මිලිටරි ග‍්‍රහනයට හා තම නිවාස හා ඉඩම් යලි ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහජන විරෝධතා පැනනැගී ඇත.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායමත් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයත් ඇතුලු ආන්ඩු හවුල, පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයෙන් නින්දිත පරාජයකට මුහුනපෑමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, ආන්ඩුව කෙරෙහි ඡන්දදායකයන් තුල ඇති වෛරයයි.

ආන්ඩුව දැන් දරුනු අස්ථාවරත්වයකට මුහුනපා සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිප විපක්ෂ පාර්ලිමේන්තු කන්ඩායම අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේය. ඡන්දයෙන් වික‍්‍රමසිංහ බේරුනු නමුත් ඇමතිවරුන් 16 දෙනෙක් ඔහුට විරුද්ධව ඡන්දය දුන් අතර ඔවුහු දැන් විපක්ෂයේ වාඩිගන්නා බවට තර්ජනය කරති. ඇතිවිය හැකි බෙදීමක් වලක්වා ගැනීමේ මංමුලා සහගත ව්‍යායාමයක නිරත වෙමින් සිරිසේන සිය ආඥාදායක විධායක බලතල ප‍්‍රයෝජනයට ගනිමින් පාර්ලිමේන්තුව මැයි 8දා දක්වා අත්හිටුවීය.

කම්කරු පන්තියට මුහුනදීම පිනිස තිරය පිටුපස සිරිසේන හා වික‍්‍රමසිංහ සූදානම් කරමින් සිටින්නේ, පොලිස් රාජ්‍ය පාලනයකි. රටේ දැවැන්ත නය බර හා මූල්‍ය අර්බුදය වැඩකරන ජනතාව මත පැටවීම හැරෙන්නට ආන්ඩුවට අන් විකල්පයක් නොමැත.

රාජපක්ෂ දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නමින් අලුත් පක්ෂයකට නායකත්වය දෙයි. පුලුල්ව පැතිර පවතින මහජන විරෝධය ගසාකමින් ආන්ඩුවේ විරුද්ධවාදියෙකු ලෙස පෙනීසිටීමට ඔහු උත්සාහ දරයි. රාජපක්ෂ ඔහුගේ ආඥාදායක පාලන ක‍්‍රමෝපායන් පිලිබඳව කුප‍්‍රකටය. බලයට පත්ව කම්කරු පන්තිය රුදුරු ලෙස මැඩීමේ අටියෙන්, ඔහු වර්ගවාදය අවුස්සමින් හා දක්ෂිනාංශික බලවේග ඔහු සූදානම් කරමින් සිටියි.

ජනතා විමුක්ති පෙරමුන ද ඇතුලු ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද කිසිදු නිල පක්ෂයක්, ජාමූඅ කප්පාදු නියෝග වලට හෝ වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීමට විරුද්ධ නොවෙති. ජවිපෙ දැනටමත් ආන්ඩුවේ “ඉල්ලීමට” හිස නමමින්, මැයි 1දා මැයි රැලිය පවත්වා “වෙසක් උත්සවය කඩාකප්පල්” නොකරන බව නිවේදනය කර ඇත. වාර්ගික ප‍්‍රතිරෝධය ඇවිස්සීමට ගනන් බලා කරනු ලබන ක්‍රියාවක් ලෙස ඔවුන්, යාපනයේ පැවැත්වෙන රැලියක් අමතන බව ද කියා සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 28දා, මැයි දිනය අත්හිටුවීම අකුලා ගන්නා ලෙස “ආන්ඩුවට බලකිරීම” පිනිස සියලු “ප‍්‍රගතිශීලී බලවේග” එක්සත් කිරීමට කැඳවුමක් කලේය. ඔවුන් කම්කරු පන්තියේ කුමන හෝ දේශපාලන බලමුලු ගැන්වීමක් අවහිර කිරීම සඳහා ව්‍යාජ වාම සංවිධානවල සන්ධානයක් ඇති කිරීමට උත්සාහ කරමින් ආන්ඩුවේ සටන්කාමී විරුද්ධවාදියා ලෙස පෙනී සිටියි.

මැයි 1දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප‍්‍රකාශයට පත් කලේ, ප‍්‍රන්ස විප්ලවයේ සියවස් සැමරුම සඳහා 1889දී පැරිස් නුවර රැස්වුන දෙවන ජාත්‍යන්තරය විසිනි. එය 1886දී පැය 8 වැඩ දිනය ඉල්ලා චිකාගෝවේදී කල අරගලය ලේ වැකි මර්දනයකට ලක්කිරීම සමරනු ලැබින. මැයි 1දා යෙදෙන්නේ නිවාඩු දිනක ද නැතිනම් වැඩකරන දිනක ද යන්න හෝ එයට හාම්පුතුන්ගේ හෝ පවතින ආන්ඩුවේ අනුමැතිය ලැබෙන්නේ ද යන්න සැමරුමට අදාල වන්නේ නැත.

මෙරට ප‍්‍රථම මැයි දින සැමරුම ඒ. ඊ. ගුනසිංහ විසින් නායකත්වය දෙන ලද වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් 1927 වසරේදී පවත්වන ලදී. එවක ගුනසිංහ කම්කරු පන්තියේ විරෝධය නොතකා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය ආරක්ෂා කල අතර මහා අවපාතය මගින් නිර්මානය කල අර්බුදය මධ්‍යයේ ලංකා සමසමාජ පක්ෂය, පුලුල් සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් 1936දී ප‍්‍රථම මැයි දින රැලිය සංවිධානය කලේය.

බ්‍රිතාන්‍යයෙන් නිල නිදහස ලැබූ 1948න් පසුව ලසසපයේ දේශපාලන පරිහානිගත වීම හා පසුබෑම ප‍්‍රකාශිත වුනේ, ශ්‍රීලනිපයේ සිංහල වර්ගවාදයට ඔවුන්ගේ යටත්වීම තුලය. ඔවුන් 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායකගේ ධනපති ශ්‍රීලනිප ආන්ඩුව බලයට පත්කිරීමට හිලව් වශයෙන් ආන්ඩුව මැයි 1දා නිවාඩු දිනයක් කලේය. 1964දී ලසසපය, මැයි දිනය තුල ප‍්‍රකාශයට පත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම විවෘතවම පාවාදෙමින් සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිපය ආන්ඩුවට එක් විය. එම පාවාදීම අවසානයේදී, 1983දී ආරම්භවී 30 වසරක් පුරා දිවයිනේ පැවති ලේ වැකි සිවිල් යුද්ධයට පාර කැපීය.

යුද්ධය කම්කරු පන්තියේ කුමන හෝ අරගලයක් මැඩීම සඳහා මාධ්‍යයක් ලෙස යලි යලිත් යොදාගනු ලැබින. දෙවතාවකදී මැයි දින සැමරුම් තහනම් කරනු ලැබීය- ප‍්‍රථම වරට 1987 දී එසේ කලේ එවක සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසිනි; 2006දී සටන් විරාමය බිඳ යුද්ධය යලි ආරම්භ කිරීමට සූදානම් වෙමින් රාජපක්ෂ විසින් “ආරක්ෂක හේතූන්” මත මැයිදින රැලි නොපවත්වන ලෙසට කරන ලද “ඉල්ලීම” කලේය.

ඒ දෙවතාවේම කම්කරු පීඩිත ජනතාවගේ දේශපාලනිකව වැඩි දියුනු කොටස් එම තහනම් නොතකා මැයි 1දා ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන ලදී. 1987දී මැයි දිනය සැමරීමට කම්කරුවන්ට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට මූලිකත්වය ගත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි.

මෙවර මැයි දිනය උදාවන්නේ, උත්සන්න වන භූදේශපාලනික ආතතීන් ද ලෝක යුද්ධයක වැඩෙන තර්ජනය ද මධ්‍යයේය. න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග ගැටුමක් ඇවිලීමේ තර්ජනය මතුකරමින් පසුගියදා ඇමරිකාවේ මූලිකත්වය යටතේ සිරියාවට මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පෙන්නුම් කෙරුනේ එයයි. ඒ අතර යුද්ධයට ද සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා තරුනයින්ගේ රැඩිකලීකරනය ද වර්ධනය වන ව්‍යාපාරයක් ද ඇතිවෙමින් තිබේ.

දියුනු වේවා ශ්‍රී ලංකාව වැනි පසුගාමී රටවල වේවා, ලෝකය පුරා කම්කරුවන් මුහනදෙන හදිසි කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තරව ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගමින් සමාජවාදී ආකාරයකට සමාජය ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා ධනවාදය අහෝසි කිරීමය. මේ පදනම මත අපි සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැස්වීමට පැමිනෙන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

මැයි 1දා ජාත්‍යන්තර කම්කරු දිනය දිගු කල් දිනේවා!

ලෝක සමාජවාදය සඳහා ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂය ගොඩනගනු!

Share this article: