අගමැතිට එරෙහි විශ්වාසභංගය ලංකාවේ පාලක පන්තියේ ආන්තික කාකොටා ගැනීමක ප‍්‍රකාශනයක්

ප‍්‍රදීප් රාමනායක හා පානි විජේසිරිවර්ධන විසිනි, 2018 අප්‍රේල් 3

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 බදාදා විවාදයට ගැනීමට නියමිතය. මෙම යෝජනාව තුල වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා 14න් බහුතරයක්ම මහබැංකුවේ බැඳුම්කර සෝලියට අනුබල දීම පිලිබඳවයි. මාර්තු මාසයේ මහනුවර ප‍්‍රදේශයේ වර්ගවාදීන් සිදුකල මුස්ලිම්-විරෝධී ප‍්‍රචන්ඩත්වයන් වැලැක්වීම සම්බන්ධයෙන්, එවකට නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍යධුරය දැරූ වික‍්‍රමසිංහ අසමත් වූ බවට ද විශ්වාසභංගයෙන් චෝදනා කෙරෙයි.

ඒකාබද්ධ විපක්ෂය නමින් රාජපක්ෂ වටා එක්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) මන්ත්‍රීවරුන්ට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්වී සිටින ශ්‍රීලනිප හා එජනිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතියන් කිහිප දෙනෙක් ද විශ්වාසභංගයට අත්සන් තබා ඇති බව ප‍්‍රකාශවේ.

කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතියකට කිසිදු සම්බන්ධයක් නැති මෙම විශ්වාසභංග යෝජනාව පලාත් පාලන මැතිවරනයේදී ලැබූ ජයග‍්‍රහනයේ වාරුවද සහිතව යලි බලයට පැනගැනීම සඳහා වලිකන රාජපක්ෂ ප‍්‍රමුඛ කන්ඩායමේ දේශපාලන උපාමාරුවකි.

කෙසේ වෙතත් රාජපක්ෂ කඳවුර විසින් උදම්අනන පලාත් පාලන මැතිවරන ජයග‍්‍රහනය කිසිසේත් ම මහජනතාව කෙරෙන් ඔහු වෙත පලවූ ප‍්‍රසාදයක ප‍්‍රතිඵලයක් නොවේ. බොහෝ දෙනා රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලංපොපෙ) චන්දය දුන්නේ තමන්ගේ අයිතීන්ට එරෙහිව බරපතල ප‍්‍රහාර ගෙනයන සිරිසේන-වික‍්‍රමසිංහ “ජාතික සමගි ආන්ඩුව” කෙරෙහි විරුද්ධත්වය පලකිරීමක් ලෙසය.

වසර තුනකට පෙර රාජපක්ෂ පරාජයට පත්වූයේ දැඩි සේ අපකීර්තියට පත්වය. වසර දහයක් සෘජුව බලයේ සිටි රාජපක්ෂ යලි යුද්ධය ආරම්භ කොට දෙමල පීඩිත ජනතාව ලේ විලක ගිල්වා දැමූ අතර, යුද්ධය තුල වර්ධනය කරගත් පොලිස්-මිලිටරි මර්දන යන්ත‍්‍රය දකුනේ කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල මැඩීම සඳහා රුදුරුම ආකාරයෙන් යොදා ගත්තේය. ඔහු, 2015 දී, නියමිත කාලයට වසර එකහමාරකට කලින් ජනාධිපතිවරනය කැඳවූයේ යලි බලයට පැමින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත‍්‍රය වේගවත් කිරීමට සහ එයට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන් කුරිරු ලෙස මැඩීමටයි.

කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර දැන් වැඩෙන විරුද්ධත්වය නිසා ආන්ඩුව දෙදරා ඇතිවා පමනක් නොව රාජපක්ෂ ප‍්‍රමුඛ කන්ඩායම ද එය ධනපති පන්ති පාලනයට අභියෝගයක් ලෙස දකී. ලෝක අර්බුදයෙන් බැටකන තත්වය තුල ලංකාව තෙරපා ගෙන ඇති නය බර හා ආර්ථික අර්බුදය අරගලයට ඇදෙන වැඩකරන ජනතාව මත පටවන්නේ කෙසේදැයි ධනපති පන්තියේ සෑම කොටසක්ම ගනන් බලති. ආන්ඩුව පෙරලා බලයට ඒමට රාජපක්ෂ මානබලන්නේ මෙම සමාජ විරුද්ධත්වය තලා දැමීමේ රුදුරු එල්ලය ඇතිවය. පසුගිය අවුරුදු තුනේ පන්සල් ගානේ කරක් ගසමින් සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානවලට හා දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදී ප‍්‍රචාරයන්ට උඩගෙඩි දෙමින් රාජපක්ෂ දක්ෂිනාංශික බලවේග ගොනු කරමින් සිටියේය.

විශ්වාසභංගය ඉදිරිපත් කිරීමත් සමග පාලක පන්තියේ විවිධ කන්ඩායම් අතර වැඩෙමින් තිබුනු ආතතීන් තියුනු වී ඇත. හවුල් ආන්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරු වන අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) දුරස්තවී ආන්ඩුවේ ප‍්‍රහාරවලට තමන් වගකිවයුතු නැති බව ප‍්‍රකාශ කරමින් ජනාධිපති සිරිසේන තම අත ශක්තිමත් කර ගැනීමේ වියරු ප‍්‍රයත්නයක යෙදී සිටී. ශ්‍රීලනිප මැති ඇමති කන්ඩායමේ ඇතැමෙකු විශ්වාස භංගයට පක්ෂ ආස්ථානයක් ගනිද්දී පක්ෂයේ ග‍්‍රහනය තමාවෙත නතු කර ගැනීමේ අර්බුදයකට ජනාධිපති සිරිසේන මුහුන දී සිටියි. ඉන් උද්ගතවී ඇති අර්බුදයෙන් ආන්ඩුව බිඳවැටීමේ අද්දරකට තල්ලුවී තිබේ.

මෙම අර්බුදය තුල, සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අධිපතිවාදී ලෙස ක්‍රියා කිරීම පසුගිය සතියේ ප‍්‍රකාශවිය. ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකල 19 වන සංශෝධනයෙන් ජනාධිපතිගේ විධායක බලතල ගනනාවක් කප්පාදු කෙරුනි. ආන්ඩුවේ අමාත්‍යවරුන් පත්කිරීමේදී හා අමාත්‍යංශ වෙන් කිරිමේදී ජනාධිපති විසින් අගමැතිගේ අදහස් විමසිය යුතුවේ. සිරිසේන පසුගිය වකවානුවේ ප‍්‍රකාශ කලේ මෙලෙස තමන් අත තිබු “බලතල කැමැත්තෙන් පූජා කල ලෝකයේ එකම රාජ්‍ය පාලකයා” ඔහු බවයි.

එහෙත් ඔහු ගිය සතියේ අගමැති වික‍්‍රමසිංහ විසින් පාලනය කල ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලු ආයතන ගනනාවක්ම යලිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබේ. ඒ සමගම අගමැති යටතේ පිහිටුවා තිබූ ජාතික ආර්ථික කලමනාකරන පිලිබඳ කමිටුව අහෝසි කිරීම සිරිසේන විසින් නිවේදනය කලේ වික‍්‍රමසිංහගේ අනුමැතියකින් තොරවය. ජනාධිපතිගේ මෙම ක්‍රියාව සුලුපටු එකක් නොවේ. විශ්වාස භංග යෝජනාව දිනුවද පැරදුන ද අධිපතිවාදී පාලනයකට සිරිසේන දරන තැතක් ඉන් ප‍්‍රකාශයට පත්වේ.

ආන්ඩුව අපකීර්තියට පත්කෙරුනු මහබැංකුවේ දැවැන්ත මූල්‍ය මගඩියට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට තමන්ගේ සම්බන්ධයක් නැතැයි පෙන්නුුම් කිරීමට සිරිසේන දරන තැත කුහකය. සිරිසේන හා වික‍්‍රමසිංහ හවුලේ මෙම ප‍්‍රහාර ක්‍රියාත්මක කල අතරම ඇමරිකානු ගැති විදේශ ප‍්‍රතිපත්තියක් යටතේ වොෂින්ටනයේ යුදවාදී මූලෝපායික ජාලයට ලංකාවේ මිලිටරිය ගැට ගැසීය.

විශ්වාසභංගය සම්බන්ධයෙන් සිරිසේනගේ ශ්‍රීලනිපය ක්‍රියාකරනු ඇත්තේ කෙසේද යන්න පිලිබඳව සෘජු ප‍්‍රකාශයක් ජනාධිපති සිරිසේන විසින් නිකුත්කර නැතත් එම තීරනය මුල්කරගෙන ශ්‍රීලනිපය තුල පරස්පර විරෝධයන් නිර්මානය වී ඇත. “තමන් විශ්වාස භංගයට තදින්ම විරුද්ධ වන” බව පසුගිය සතියේ ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මාධ්‍යයට පවසද්දී එහි තවත් ප‍්‍රධාන ඇමතියෙකු වන එස්.බී. දිසානායක පැවසුවේ “විශ්වාස භංගයට විරුද්ධ වීමට ශ්‍රීලනිපට කිසිදු හේතුවක් නොමැති” බවයි.

ඔහුගේ පැත්තෙන් අගමැති වික‍්‍රමසිංහ විශ්වාස භංග යෝජනාව දිනා අත ශක්තිමත්කර ගැනීමකට උත්සාහ කරයි. මැතිවරන පරාජය නිසා වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්වී වෙනත් අයෙකු එම තනතුරට පත්කල යුතුයයි පක්ෂයේ කන්ඩායමක් කියා සිටියත් එජාප කෘත්‍යාධිකාරී කමිටුව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට රැලිවී ඇත. ධනපති පන්තියේ සැලකියයුතු කන්ඩායමක් නියෝජනය කරන එජාපය, සමාජ විරෝධයන් ලියලන තත්වය තුල ආන්ඩුවේ පරාජයක් පන්ති පාලනය අස්ථාවර වීමකට තුඩුදෙනු ඇතැයි ගනන් බලන්නේ එය ශක්තිමත් කර ගැනීමටයි. පලාත්පාලන මැතිවරනය පරාජය වී දෙපාර්ශ්වය වෙන්වීමකට ආසන්න තත්වයේ දී ආන්ඩුව අස්ථාවර වීමකට ඉඩ නොදෙන ලෙස සිරිසේනට හා වික‍්‍රමසිංහට ඇමරිකාව හා ඉන්දියාව අවවාද කලේය.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුරකුමාර දිසානායක දින දෙකකට ඉහතදී මාධ්‍යයට ප‍්‍රකාශ කලේ තමන්ගේ යෝජනාවන් සහිතව විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙන බවයි. සිය ඉතිහාසය පුරා කම්කරු පන්තියට සතුරුව ධනපති පක්ෂවල උපාමරු වලට සහය පලකර ඇති ජවිපෙ, රාජපක්ෂ බලයෙන් පහකොට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා ද දරදිය ඇද්දේය.

දෙමල ජාතික සන්ධානය (දෙජාස) එහි ආස්ථානය අද තීන්දු කරන බව නිවේදනය කර ඇති නමුත් අඟවා ඇත්තේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ භූ දේශපාලන උවමනාකම් වලට සේවය කරනගමන් කොලඹ ආන්ඩුවෙන් දෙමල ප‍්‍රභුවේ වරප‍්‍රසාද තර කර ගැනීමේ ප‍්‍රතිගාමී වැඩපිලිවෙලක දෙජාස යෙදී සිටියි.

කෙසේ නමුත්, පාලක පන්තියේ මෙම බෙදීම් සහ ඉරිතැලීම් යටින් පවත්නා ප‍්‍රධානතම හේතුව, තම ජීවන සහ සමාජ කොන්දේසි වලට එල්ල කෙරෙන බලගතු ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුල වේගයෙන් වර්ධනය වන සටන්කාමිත්වය යි. මෙම කන්ඩායම් අතර ඇත්තේ උපායික මතභේදයන්ය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ විධානය මත සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාත්මක කරන කප්පාදු සහ රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීම සම්බන්ධයෙන්ද මෙම සියලුම කොටස් අතර ඇත්තේ පොදු එකඟතාවයකි.

ශ්‍රී ලංකාව මුහුන දී සිටින තියුනු ආර්ථික අර්බුදය මැද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනපනත් අනුව යමින් මහජනතාවගේ ජිවන කොන්දේසි කප්පාදු කිරීම, පෞද්ගලිකරනය තව තවත් ඉහල දැමීම සහ ඊට විරුද්ධව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර වර්ධනය වන අරගල තලා දැමීම, මෙම පාලක පන්ති කොටස් විසින් ගොඩනගා ගන්නා කවර ආකාරයේ අලුත් දේශපාලන පෙලගැස්මක් තුල අනිවාර්ය න්‍යාය පත‍්‍රය යිි. කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට පොලිස් පාලනයකට මාරුවීමට ක්‍රියා කරන මෙම ධනපති කන්ඩායම් අතරින් කිසිදු තෝරා ගැනීමක් නැත.

කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම දේශපාලනිකව ස්වාධීන වෙමින් දුගීන් හා තරුනයන් බලමුලුගන්වා ගෙන සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම එකම විකල්පයයි.

Share this article: