ශ්‍රී ලංකාවේ අගමැති විශ්වාස භංගයෙන් බේරෙයි

Sri Lankan prime minister narrowly survives no-confidence resolution

කේ. රත්නායක විසිනි, 2018 අප්‍රේල් 6

පැය 12ක් තිස්සේ පැවති පාර්ලිමේන්තු විවාදයෙන් පසුව 4දා පක්ෂව 76ක් හා විපක්ෂව 122ක් ලෙස ඡන්ද ලැබීමෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ බේරී ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන පාර්ලිමේන්තු කන්ඩායම වන ඒකාබද්ධ විපක්ෂය යෝජනාව ඉදිරිපත්කර තිබුනි. ආන්ඩුව පෙරලා දමන බවට එම කන්ඩායම ප‍්‍රසිද්ධියේ දිව්රූහ.

විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට මූලික නිමිත්ත වුනේ, 2015 ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වී දෙමසක් ගතවුන තැන මහ බැංකුව හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් යන මූල්‍ය සමාගම පැටලුනු, රුපියල් බිලියන සිය ගනනක් සම්බන්ධ බැඳුම්කර මගඩියයි. මෙම මගඩියට සම්බන්ධවූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමත් ඔහු ආරක්ෂා කිරීමත් ගැන වික‍්‍රමසිංහට ඉන් චෝදනා එල්ල විය.

එසේම, එවක නීතිය හා සාමය පිලිබඳ ඇමතිව සිටියදී, පසුගිය මාසයේ සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ සිදු කරන ලද මුස්ලිම් විරෝධී ප‍්‍රචන්ඩ ක්‍රියා නතර කිරීමට කඩිනම් පියවර ගැනීමට අසමත් වීම ගැන ද වික‍්‍රමසිංහට එම යෝජනාවෙන් චෝදනා එල්ල කෙරුනි.

සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ගොඩනගන ලද ඊනියා ජාතික එකමුතු ආන්ඩුවේ හවුල්කාරකි.

ආන්ඩුවට සහාය දෙන 41ක් හා රාජපක්ෂ සමග එක්ව සිටින 54ක් වශයෙන්, ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4දා පැවති ඡන්දයට පෙර දේශපාලනිකව බෙදී සිටියහ. විශ්වාස භංගය කල්ලි ගැටුම් උත්සන්න කර තවදුරටත් ආන්ඩුව අස්ථාවර කර ඇත. සිරිසේන සමග එක්ව සිටි ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 දෙනෙක්, විපක්ෂය වෙනුවෙන් ඡන්දය දුන් අතර අඩුම තරමින් 20 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේදී පාලක සභාගයේ පක්ෂ නින්දිත පරාජයකට මුහුන දීමෙන් පසුව සිරිසේන, තම සහකරුවන් ආන්ඩුවෙන් ඈත්කර තැබීමේ උත්සාහයක නිරතව සිටියේය. ඔහු ප‍්‍රසිද්ධියේ විශ්වාස භංගයට විරුද්ධ නොවූ නමුත් සිය “හෘද සාක්ෂිය” අනුව කටයුතු කරන මෙන්, ශ්‍රීලනිප මන්ත්‍රීන්ට උපදෙස් දුනි. ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ ඇමතියෙකු වන නිමල් සිරිපාල ද සිල්වා, විශ්වාස භංගයට පෙරාතුව වික‍්‍රමසිංහට අගමැති කමෙන් ඉල්ලා අස්වන ලෙස කියා සිටියේය. එම යෝජනාව පුලුුල් වශයෙන් අර්ථ දැක්වුනේ සිරිසේනගේ දේශපාලන පනිවිඩයක් ලෙසය.

තම කන්ඩායමෙන් කොටසක් විශ්වාස භංගයට පක්ෂවීමෙන් පසුව, තමන් කරන්නට යන්නේ කුමක්දැයි සිරිසේන ප‍්‍රසිද්ධියේ පවසා නැත. ජනාධිපති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව හුදෙක් තමන් එකමුතුවේ ආන්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බව වික‍්‍රමසිංහ පැවසීය. කෙසේ වුවත් එජාපයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෝ, විපක්ෂය සමග එක්ව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිති. වික‍්‍රමසිංහ මුහුනපා සිටින අර්බුදය උග‍්‍ර කරමින් ශ්‍රීලනිප ඇමතිවරු කියන්නේ, ජනාධිපති ආන්ඩුවේ නායකයා බවත් තමන් ඉල්ලා අස් නොවන බවත්ය.

කෙසේ වුවත් සිරිසේන, වික‍්‍රමසිංහ හා රාජපක්ෂ අතර ඇත්තේ මුලුමනින් ම උපායාත්මක මතභේද යන්ය. පාලක පන්තියේ ප‍්‍රධාන උත්සුකය වන්නේ, තියුනු වෙමින් ඇති මූල්‍ය අර්බුදයත් ආන්ඩුවේ කප්පාදු වැඩසටහන් වලට කම්කරුවන්, තරුනයින් හා ගම්බද පීඩිත ජනතාවගෙන් එල්ල වන වැඩෙන ප‍්‍රතිරෝධයත්ය.

වික‍්‍රමසිංහගේ ද සහාය ඇතිව සිරිසේන, රාජපක්ෂගේ අත්තනෝමතික පාලනයට ද ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන්ට ඔහු එල්ල කල ප‍්‍රහාරයන්ට ද පලවූ මහජන විරෝධය ගසාකමින් 2015දී බලයට පත්විය.

ඉන්පසුව ආන්ඩුව යම් සහන සැලසුව ද නැගී එමින් තිබුනු ආර්ථික ගැටලුවල බලපෑම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇපකාර නයක් සඳහා සාකච්ඡාවන්ට එලඹෙමින්, එහි කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමට පටන් ගති. පසුගිය දෙවසරක කාලය, කම්කරුවන්ගේ, සිසුන්ගේ හා ගොවීන්ගේ මෙන්ම යුද්ධයෙන් හා ආන්ඩුවේ කප්පාදු පියවර මගින් සිය සමාජ කොන්දේසි විනාශයට පත්වීමට එරෙහිව උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ වැඩෙන විරෝධතා හා අරගල මගින් සලකුනු කෙරේ.

මෙම විරුද්ධත්වය සලකුනු කරමින් 3දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කම්කරුවන් දහස් ගනනක් ක්ෂනික වැඩවර්ජනයකට එලඹුනහ. පිවිසුම් මාර්ග අවහිර කරමින් වැඩි වැටුප් ඉල්ලා ඔවුන් උද්ඝෝෂනය කලේය. වර්ජකයින්ගේ ඉල්ලීම් ලබාදෙන බවට ඇමතිවරු ක්ෂනිකව දුන් පොරොන්දු මත එම සටන්කාමී අරගලය නිමාවිය.

ඒ අතර, 15,000ක් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, පෙබරවාරියේ ආරම්භ කල වැඩ වර්ජනය අඛන්ඩව පෙරට ගෙන යති. වැඩි වැටුප්, විශ‍්‍රාම හා වෛද්‍ය වැඩසටහනක් ඔවුන් ඉල්ලා සිටී.

විශ්වාස භංගයට දිනකට පෙර මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආර්ථික අර්බුදය හා ජාමූඅ නිර්දේශ ගැන පවසා තිබුනි. “වත්මන් දේශපාලන අස්ථාවරත්වයෙන් බැහැරවී ඉක්මනින්ම ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම අපට අවශ්‍යයි” යනුවෙන් ඔහු අනතුරු ඇඟවුයේය. ආන්ඩුව නව ඉන්ධන මිල සූත‍්‍රයක්, එනම් ලෝක වෙලඳපොලට සමානුපාතිකව මිල වැඩිකල යුතු බව, එය ජාමූඅ විසින් පූර්වයෙන් නිර්දේශ කර තිබුනි.

“පලාත් පාලන මැතිවරනයේ ප‍්‍රතිපල හමුවේ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නිසා අවසන් දිනය පසුවී ඇත. විදුලි බලය සම්බන්ධයෙන් ද එවැනිම මිල මාරුවක් සඳහා සැප්තැම්බරයට දින නියමව ඇතත් ආන්ඩුවට එය ඉටුකල හැකිවේ ද යන්න අවිනිශ්චිතය” කුමාරස්වාමි පැවසීය.

රාජපක්ෂ කන්ඩායමේ විශ්වාස භංගයට මහ බැංකුවේ බැඳුම්කර මගඩිය හෝ මුස්ලිම් වරුන්ට එල්ලවූ ප‍්‍රහාරය සමග කිසිදු සම්බන්ධයක් නැත. කලින් පැවති රාජපක්ෂ තන්ත‍්‍රය ඥාති-මිත‍්‍ර සංග‍්‍රහයෙන්, දූෂනයෙන් හා සිංහල වර්ගවාදයෙන් ද ඉහවහා ගොස් තිබුනි.

සිරිසේන හා වික‍්‍රමසිංහ මෙන්ම රාජපක්ෂ ද අන්ත දක්ෂිනාංශික සිංහල බෞද්ධ කන්ඩායම් පෝෂනය කරමින් ඔවුන්ට දෙමල-මුස්ලිම් විරෝධී කැරලි ඇවිලවීම සඳහා අත නිදහස් කර දුන්නේය. මුස්ලිම් වරුන්ට එරෙහි මෑත ප‍්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධවූ බොදු බල සේනා හා මහසොහොන් බලකාය වැනි ව්‍යාපාර ආරම්භ වුනේ, රාජපක්ෂ යුගයේය. රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප‍්‍රාදේශීය සමාජිකයින්, මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකල මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන්ට සම්බන්ධවීමේ හේතු මත අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්රීවරු, විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය දුන්හ. සිරිසේන ජනාධිපති කරවීමට සහාය දුන් ටීඑන්ඒ, එතැන් පටන් ඇමරිකානු ආන්ඩුවේ සමීප සහචරයෙක්ව සිටී. ඇමරිකාවේ හා ඉන්දියාවේ භූදේශපාලනික ආසක්තයන් වෙනුවෙන් සේවය කරමින් ටීඑන්ඒ ගනන් බලන්නේ, දෙමල ප‍්‍රභූවේ අවශ්‍යතා සුරැකීමෙහිලා හොඳම මාර්ගය, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට සහාය දීම බවටය.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසුවේ, විශ්වාස භංග යෝජනාව රාජපක්ෂ කඳවුරේ “දේශපාලන අභිප්‍රේරනයක්” බව පවසන ගමන්ම ව්‍යාජ ලෙස කියා සිටියේ එය “දූෂනයට හා වර්ගවාදයට එරෙහි එකක්” බවය.

ජවිපෙ පාලක පන්තියේ සියලු කොටස් අතර උපාමාරු දමයි. ඔවුන් 2005දී රාජපක්ෂ බලයට පත්කිරීමට සහාය දුන් අතර දශකයකට පසුව 2015දී සිරිසේනට පිටුබලය දුනි. සිරිසේන තන්ත‍්‍රය ස්ථාවර කිරීමට උදව් කිරීම පිනිස ජවිපෙ, ඔහුගේ ජාතික විධායක කමිටුව තුල සිව් මසක් සේවයේ යෙදී සිටියේය.

මෙසේ කාකොටාගන්නා කන්ඩායම්වල මංමුලා සහගත දක්ෂිනාංශික උපාමාරු, කම්කරු පන්තියට අනතුරුඟවීමකි. පාලක පන්තිය ජාමූඅ නිර්දේශ ක්‍රියාවට නැගීමට කැපව සිටී. එසේම දැනටමත් ජීවන තත්වයන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට විරෝධය දක්වන කම්කරුවන්ට, සිසුන්ට හා ගොවීන්ට එරෙහිව පොලිසිය හා මිලිටරිය යොදවා ඇත. ගැඹුරුවන අර්බුදයකට මුහුනපා සිටින තතු හමුවේ පාලක පන්තියේ සියලු කොටස් තල්ලු වන්නේ, ආඥාදායක පාලනයක් ඇටවීම දෙසටය.

කම්කරු පන්තිය තම ස්වාධීන සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගිය යුතුය. තරුනයින්ගේ ද පීඩිත ගොවීන්ගේ ද සහාය ගොනුකර ගනිමින් එය, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය එයයි.

Share this article: