සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සරය සැමරීමේ මීලඟ දේශනය
සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

2018 අගෝස්තු 21

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පවත්වන දේශන මාලාවේ මීලඟ දේශනය “සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය“ යන මාතෘකාව යටතේ අගෝස්තු 30 සවස 04.00 ට කොලඹ, බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 දී පිහිටුවූයේ ඉන් සිවු වසරකට පෙර ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාගයකට ඇතුලුවීම මගින් සිදු කල මහා පාවාදීමට එරෙහිව කල අරගලයකිනි. සුලු ධනපති ජාතිකවාදයට එරෙහි සටන, ආරම්භයේ පටන්ම විකොස/සසප ජාත්‍යන්තර සමාජවාදය මත කම්කරු පන්තියත් එහි නායකත්වය යටතේ සෙසු පීඩිතය ජනයාත් බලමුලු ගැන්වීමට ගෙනගිය අරගලයේ මූලිකාංගයක් විය.

ලසසප 1964 සිදු කල කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පාවාදීම මගින් ගම්බද ගොවි ජනයා හා තරුනයන් ඇතුලු සෙසු පීඩිතයන්ට කම්කරු පන්තියේ නායකත්වය අහිමි කරනු ලැබූ තතු යටතේ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එල්ටීටීඊය වැනි සුලු ධනපති ජාතිකවාදී ව්‍යාපාරවලට මාවත විවෘත වුනි. විකොස, මෙවන් සංවිධාන ගෙනගිය කම්කරු පන්තික විරෝධී සුලු ධනපති දේශපාලනය එලිදරව් කිරීමේ න්‍යායික හා දේශපාලනික අරගලයක් ගෙනගියේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ සටනේ අත්‍යන්ත කොටසක් ලෙසය.

විකොස ආරම්භයේ පටන් 1987 දී අභාවප්‍රාප්ත වන තෙක්ම එහි ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය විසින් 1970 දී රචිත ජවිපෙ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් කෘතිය එම අරගලයේ කේන්ද්‍රීය අවියක් විය. එමෙන්ම, 1971 දී ගම්බද තරුනයන් මත පාදකව ජවිපෙ දියත් කල කැරැල්ල කඩතුරාවක් ලෙස ගෙන එවක පැවති ධනපති ශ්‍රීලනිප-ලසසප-කොප ආන්ඩුව ජවිපෙටත් පොදුවේ ගම්බද තරුනයන්ටත් එරෙහිව ගෙනගිය ම්ලේච්ඡ ලේවැකි මර්දනයට විරුද්ධව කම්කරු පන්තිය හා පීඩිත ජනයා බලමුලු ගැන්වීමේ සප්‍රතිපත්තික අරගලයකට ද විකොස මූලිකත්වය ගති.

ජවිපෙ පසුකලෙක, එනම් 1988-89 සමයේ දී කම්කරු පන්තියට එරෙහිව විවෘත ෆැසිස්ට් ව්‍යාපාරයක් බවට කුනු වී 2000 ගනන් මුල දී ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට ම පරිවර්තනය වූයේ, විකොස/සසප මෙම සුලු ධනපති සංවිධානය ගැන කල දේශපාලන හා න්‍යායික විශ්ලේෂන බලගතු ලෙස සනාථ කරමිනි. දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ උද්‍යෝගිමත් කසකරුවන් ලෙස ද ශ්‍රීලනිප හා එජාප ධනපති පක්ෂ සමග විවෘතව හවුල් වෙමින් ද ගෙනගිය ප්‍රතිගාමී දේශපාලනය හේතුවෙන් කම්කරුවන්, ගම්බද ජනයා හා තරුනයන් අතර ජවිපෙ අතිශයින් අපකීර්තිමත් වූ තතු යටතේ එයින් බිඳුනු කන්ඩායමක් විසින් 2012 දී පිහිටුවන ලද පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) ද පෙන්නුම් කර ඇත්තේ තමන් ජවිපෙ සුලු ධනපති ජාතිකවාදී මූලයන්ගෙන් කිසිසේත්ම බිදී නැති බවයි.

අගෝස්තු 30 දේශනය, සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරිම පිනිස විකොස/සසප ගෙනගිය දශක 5ක අරගලය සමාලෝචනය කරමින්, අද කම්කරු පන්තිය හා තරුනයන් එයින් උකහා ගත යුතු දේශපාලන පාඩම් වග විභාග කරනු ඇත. එම අවස්ථාවට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: