ජුලියන් අසාන්ජ්ගේ දේශපාලන සරනාගත අයිතීන් දීම ඉක්වදෝරය ප්‍රතික්ෂේප කරයි

Ecuador refuses to give assurance of Julian Assange’s political asylum rights

මයික් හෙඩ් විසිනි, 2018 ජූලි 27

විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ් මුහුන පා සිටින භයානක අන්තරාය පිලිබඳ තවත් ඇඟවීමක් නම්, ඉක්වදෝරයේ විදේශ අමාත්‍යාංශය, අසාන්ජ් ගේ නීති උපදේශක කන්ඩායම විසින් ඔහුගේ ඉරනම පිලිබඳ සහතිකයක් ඉල්ලා යවා තිබුනු ලිපි දෙකකට පිලිතුරු සපයා නොතිබීමයි.

ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කර්යාලයෙන් අසාන්ජ් ඉක්මනින්ම එලියට දමන්නට ඉඩ ඇති බවට විශ්වාස කල හැකි වාර්තා පසුගිය දෙසතිය තුල පල වී තිබේ. 2012 දී ඔහුට එම තානාපති කාර්යාලයේ සරනාගත තත්වය දෙන ලද්දේ, ඇමරිකාවේ දී ජීවිත කාලයක් සිරගත කිරීමට හෝ මරනීය දන්ඩනයට මුහුනදිය හැකි, ඔත්තු සැපයීම සම්බන්ධ චෝදනා වලට මුහුන දීමට බි්‍රතාන්‍යයෙන් පිටුවහල් කරනු ලැබියහැකි තත්වයකින් ඔහුව ආරක්ෂා කිරීම සඳහා ය.

කර්ලොස් පොවිදා නම් අසාන්ජ් ගේ නීතිඥයෙක් ජුලි 24 දා ස්පුට්නික් නිව්ස් සඟරාවට මෙසේ පැවසිය : “අපි දින 10ට හා දින 5කට පෙර [අසාන්ජ්ට] ඉක්වදෝර විදේශ අමාත්‍යාංශයට යැවූ ලියුම් දෙකකින් ඔවුන් අසාන්ජ්ට ආගමනික සරන සැපයීමට ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ අපගේ අප්‍රසාදය පලකර සිටි නමුත් අපට ඊට ප්‍රතිචාරයක් ලැබී නැත.

මෙම නීතිඥයාට අනුව, ඉක්වදෝරය අසාන්ජ්ට සපයා තිබෙන සරන ඉවත්කරගතහොත්, විකිලීක්ස් ආරම්භකයාට ආන්ඩුවේ නියෝජිතයන් හමු වී තුන්වන රටකට පිටමන් වීම පිලිබඳව තොරතුරු ලබා ගැනීමේ අයිතියක් තිබේ.

පෙනෙන පරිදි ජාත්‍යන්තර නීතිය අනුව සරනාගමනය පිලිබඳ අති මූලික අයිතිය තහවුරු කිරීමට ඉක්වදෝරය විසින් ප්‍රතික්ෂේප කිරීම වනාහි කලින් වාර්තා කරන ලද පරිදි ඒ රටේ ආන්ඩුව, අසාන්ජ් ඒ දෙරටට බාරදීමේ සැලසුම් පිලිබඳව බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආන්ඩු සමග රහසිගත සාකච්චා වලට එලඹ සිටින බවයි.

ගෝලීය ආබාධිත සමුලුවකට සහභාගි වීමේ මුවාවෙන් ලන්ඩනයට පැමින සිටින ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරිනෝ හමුවීමට අසාන්ජ්ගේ නියෝජිතයන් කල ඉල්ලීමකට එරට විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දැක්වීමට සූදානම් වූයේ නැත. පොවෙදා ස්පුට්නික් සඟරාවට කියා සිටියේ, “ඉක්වදෝරය එසේ කිරීමට සූදානම් නැති බව” පැහැදිලි බවය.

මොරිනෝ බ්‍රිතාන්‍ය අධිකාරීන් සමග අසාන්ජ්ගේ ඉරනම සාකච්චා කරනු නැති බව ඉක්වදෝර් විදේශ අමාත්‍යංශය සතිය මුලදී කියා සිටියේ ය. මෙසේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මොරිනෝ සැබවින්ම බ්‍රිතාන්‍ය අධිකාරීන් සමග සිය තානාපති කාර්යාලයෙන් අසාන්ජ් ඉවත් කිරීම සඳහා සාකච්චා පවත්වනු ඇති යයි වාර්තා ගනනාවක් ම පලවුවාට පසුය.

අසාන්ජ් ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් එලියට බට වහාම පොලිසිය, අවුරුදු 6කට පෙර ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල සරන සෙවීමේදී ඔහු ඇපයක් බින්දේය යන සාවද්‍ය හේතුව උඩ ඔහු ව අත්අඩංගුවට ගනු ඇත. විදේශ ඇමති ජෙරෙමි හන්ට් ගිය සතියේ දී උදම් ඇනුවේ “අසාන්ජ්ට උනුසුම් පිලිගැනීමක් ලැබෙනු ඇති” යයි කියමිනි.

අසාන්ජ්ට විරුද්ධව ගොතාපු ලිංගික අතවර පිලිබඳ චෝදනා ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කරන ලද යුරෝපීය අත්අඩංගු වරෙන්තූව අන්තිමේදී ගිය අවුරුද්දේ දී ස්වීඩන් අධිකාරීන් විසින් අත්හරින ලද නමුත් බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ගේ ආන්ඩුව ඔහුට විරුද්ධ ඇපය බිඳීමේ චෝදනාව පිලිබඳ විභාගය නැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කල පරිදි බ්‍රිතාන්‍ය අධිකාරින් බලන්නේ ඔහු සදහටම නිශ්ශබ්ද කර දැමීමට එක්සත් ජනපදය තුලට පිටමන් කරන තෙක් අඩුගනනේ අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක්, සිරකොට තැබීමට හැකිවන පරිදි අසාන්ජ්ට නඩු පැවරීමට ය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඇටෝර්නි ජනරාල් ජෙෆ් සෙශන්ස් යන දෙදෙනම ඔහුට නඩු පැවරීමට සපථ කොට සිටිති.

අවුරුදු 6 ක් තිස්සේ ඔහු ඉක්වදොර් තානාපති කාර්යාලය තුල සැබවින්ම සිරකරනු ලැබ, නිරතුරුව මුරකරනු ලැබ, බාහිර ලෝකය සමග සියලු අදහස් හුවමාරුවලට ඉඩ නොලබා, පසු ගිය මාර්තු 28 න් පසුව ඔහුට සිය මව සමග පවා කතා කිරීමට නිදහස නැතිකොට තිබේ.

අසාන්ජ්ට එරෙහි මොනම අපරාධයක් හෝ පිලිබඳ චෝදනා ඉදිරිපත් කොට ඇත්තේ නැත. ඔහුට ඉදිරිපත්කල හැකි “බරපතල චෝදනා” ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය තුලම පමනි. මොවුන් ඔහුව සිරේ දමා ඇත්තේ වොෂින්ටනයේ පාලක ප්‍රභුව සහ එහි සගයන්, ඔහුගේ මාධ්‍ය සංවිධානය වන විකිලීක්ස් විසින් නිරතුරුව, ඔවුන්ගේ මහා පරිමාන ගුප්තාවේක්ෂනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හා යුද්ධ අපරාධ නිරන්තරව හෙලිදරව් කිරීම තුලින් ඇතිකෙරෙන බලපෑම පිලිබඳව දක්වන භීතිය නිසා ය.

පසු ගිය සතියේ දී අසාන්ජ්ගේ මව වන ක්‍රිස්ටින්, සිය පුත්‍රයා ට එරෙහිව කෙරෙන මර්දනය ට ද, වඩාත් පුලුල්ව දේශපාලන නිදහසට ද එල්ලවී ඇති තර්ජනයට එරෙහිව ලෝකයේ මහා ජනතාව නැගී සිටිය යුතුයයි ලෝක සමාජවාදී වෙබ් අඩවියට දුන් සාකච්චාවක් මගින් කැඳවුමක් කර සිටියාය.

ඇය මෙසේ අනතුරු හඟවා සිටියා ය. අප සර්වාධිකාරී රාජ්‍යයක් කරා ගෙනයනු ලබමින් සිටින්නෙමු, දැන් ඔබ සටන් නොකරතොත් ඔබට සිදුවන්නේ එයට යටත්ව දුක් විඳීමට ය, ජුලියන් මේ සියල්ලේ පෙරමුනේ සිටි. මේ මොහොතේ නොම්මර එකේ ඉලක්කය ඔහු ය. මේ මොහොතේ අප විසින් ආරක්ෂා කරගැනීමට නැගී සිටිය යුතු ව ඇති තැනැත්තා නම් ඔහු ය. මා මෙසේ කියන්නේ, හුදෙක් අම්ම කෙනෙකු හැටියට නොවේ. පුරවැසියෙකු හැටියට ද ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිලිබඳව විශ්වාස කරන කෙනෙකු ලෙස ද වේ. අප සටන් කල යුතුව ඇත්තේ ඔවුන් ඔහුව අල්ල ගතහොත් ඔවුන්ට අන් සියලු දෙනා ද අල්ල ගත හැකි වන නිසා ය. අප මෙය කලයුත්තේ මහා ජන ව්‍යාපාරයක් ලෙසය. පීඩනයේ බල වේගයන් පස්සට තල්ලුකල හැක්කේ ඒ ආකාරයෙන් පමනකි.”

ක්‍රිස්ටින් අසාන්ජ්, ආන්ඩු, දේශපාලන සංස්තාපිතය, මහා සංගත මාධ්‍ය සහ හිටපු “වම” පිලිබඳව ද ඇයගේ පුත්‍රයා ආරක්ෂා කරන බවට පොරොන්දු දී දැන් ඔහු සහ විකිලීක්ස් නිහඬ කිරීමට උත්සාහ කරන, බලවේගයන් සමග පෙල ගැසී සිටින ලිබරල් නායකයන් ගැන ද විශ්වාසය නොතබන ලෙස ඉල්ලා සිටියා ය.

ඇය මෙසේ ද කීවාය: “සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් හා ජීවන කොන්දේසි රැකීම උදෙසා නැගී සිටින සැබෑ සම්ප්‍රදායික වම සහ තමන්ගේ පුද්ගලික උත්සුකයන් හා වරප්‍රසාද වල එල්බගත් ඊනියා ලිබරල් වම හෝ බොරු වම ද අතර වෙනස දැක ගැනීමට මහජනයා ඉගෙන ගත යුතු ය.”

ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් අසාන්ජ් එලියට දමනු ලැබුවහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම උදෙසා විරෝධතා ලෝකය පුරාම දැන් සංවිධානය කෙරෙමින් ඇත. [විස්තර සදහා මෙතනින් ඇතුලුවන්න] ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙවන් ක්ෂනික උද්ඝෝෂන අනුමත කරන අතර සිය පාඨකයන්ට එවන් ක්‍රියාවලට සහභාගිවන ලෙස කියා සිටියි. එසේ වුවද මෙවන් ක්‍රියා වනාහි අසාන්ජ් ආරක්ෂා කරගැනීම සඳහා ද අන්තර්ජාලය ඇතුලත විවේචනාත්මක හඬ සහ ස්වාධීන මාධ්‍ය වලට උග්‍රකෙරෙන වාරනයට එරෙහිව දිර්ඝ ව්‍යායාමයක හුදු ආරම්භයක් පමනකි.

ජාත්‍යන්තර නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරමින් අසාන්ජ් එලියට දැමීම ගැන පැහැදිලි සැලීමක් සහිතව ඉක්වදෝරියානු විදේශ ඇමති ජෝ වලන්ශියා ස්පාඤ්ඤයේ ඒබීසී පුවත් පතට මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙය වනාහි බ්‍රිතාන්‍ය ආන්ඩුව, ඉක්වදෝර් ආන්ඩුව, සහ අසාන්ජ්ගේ නීතිඥයන් යන “පාර්ශව තුනක් විසින් ජාත්‍යන්තර නීතියේ රාමුව තුල සැලකිල්ලට භාජන කල යුතු වූ කාරනයකි එවන් සාකච්චා පැවැත්වෙමින් තිබෙන බව අඟවමින්, “විසඳුමක් සොයාගැනීමට කොයිතරම් කාලයක් ගතවෙයි ද යන්න පෙර දැකීම දුෂ්කර වනු ඇතැ” යි ඔහු කියා සිටියේ ය.

දින කිහිපයක් ඇතුලත අසාන්ජ්ව එලියට දැමෙනු ඇතැ’ යි යන වාර්තා ප්‍රසිද්ධියේ ලිහිල් කරමින් ම වලන්ශියා සරණ “සදහටම” නොවේ යයි කියා සිටියේ ය. අසාන්ජ් ගේ බාහිර ලෝකය සමග සබඳතා කපා දැමීම ආරක්ෂා කරමින් ඔහු කියා සිටියේ එය වාරනයක් නොවන බවකි.

“ඉක්වදෝරය අසාන්ජ් ට සරනාගත අයිතිය ලබා දුන්නේ අපගේ රට විසින් ඔහුට ආරක්ෂාව ලබාදෙන එකඟතාවය උඩ ය” යි කී වැලන්ශියා මෙසේ ද කීය, “මේ සම්ප්‍රදාය තහවුරු කරන්නේ [රටක] සරන පතන තැනැත්තා, එම සත්කාරක රට තුන්වන පක්ෂයක් [මෙහිදී නම් ස්පාඤ්ඤය] සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය ට බාධා කරන ප්‍රකාශන නොකට යුතු බව ය.

මෙය වනාහි කලින් තිබුනු ස්පාඤ්ඤ ආන්ඩුව විසින් ඉවත් කරනලද කැටලන් ආන්ඩු නායකයන් අත්තනෝමතිකව සිරගත කිරීමට ද ඔවුන් බලෙන් ස්ථාන මාරු කරවීමට ද ගෙනගිය වැඩ සටහන පිලිබඳව අසාන්ජ් විසින් කාවදින විවේචනයක් කල තතු තුල, ඔහු මිනීකන වෘකයන්ට දැමීම යුක්ති සහගත කිරීම සඳහා යොදාගත් ව්‍යාජයකි. මෙහි සඳහන් “තුන්වන කන්ඩායම්” වලට නිසැකවම ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුලත් වේ. මොරිනෝ ආන්ඩුව ඇමරිකාව සමඟ සමීප වීමට කටයුතු කරමින් සිටී.

අසාන්ජ්ට එරෙහි මේ මර්දක පියවර ගත හැකි වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ජෙරෙමි කෝර්බින් නායකත්වය දෙන ලේබර් විරුද්ධ පක්ෂය, අසාන්ජ් එක්සත් ජනපදයට බලෙන් යැවීමට එරෙහිවීම පසෙක තිබියේවා අගමැති මේ ගේ ආන්ඩුවේ තර්ජන වලට විරුද්ධ වීම පවා ප්‍රතික්ෂේප කරන තතු තුල ය.

ඕස්ට්‍රේලියානු පුරවැසි අසාන්ජ් ට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදය සමඟ සහයෝගය පවත්වාගෙන යන අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඕස්ට්‍රේලියානු ආන්ඩුවද එරට ලේබර් පක්ෂ විපක්ෂයද මේ තරමටම වගකිව යුතු ය. ඔවුන් මෙම සහයෝගය පවත්වාගෙන යන්නේ ඔස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පකක්ෂය, සුප්‍රසිද්ධ පරික්ෂනකාරී පුවත්පත් කලාවේදී ජෝන් පිල්ජර්ගේ ද සහයෝගය සහිතව ගිය ජුනි 17 වන දා සිඞ්නි නුවර නගර ශාලාවේදී පවත්වනලද ගෝලීයව ප්‍රචාරිත රැලියකට ප්‍රති විරුද්ධව ය. එම රැලිය බලකර සිටියේ ජුලියන් අසාන්ජ්ට ඔහු ගේ කැමැත්ත පරිදි ඕස්ට්‍රේලියාවට පෙරලා පැමිනීමට ඇති අයිතිය, බලෙන් එක්සත් ජනපදයට පිටමන් කිරීම සිදු නොවන බවට සහතිකයක් ද සහිතව ඕස්ටේ්‍රලියාවේ ආන්ඩුව තහවුරු කල යුතුය කියාය.

අසාන්ජ්ගේ ඉරනම රදා පවත්නේ සැම තැනකම කම්කරුවන් ද තරුනයන් ද ඔහු වහාම නිදහස් කල යුතු යයි බලකරමින් ඔහුට එරෙහිව පෙලගැසී සිටින සකල ධනපති ආන්ඩු, අධිරාජ්‍ය ගැති ආන්ඩු, වෘත්තීය සමිති, සහ මාධ්‍ය සංවිධාන වලට එරෙහිව මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයේ කේන්ද්‍රීය කොටසක් ලෙස එය තහවුරු කොට බලකර සිටීම මගිනි.

Share this article: