ජර්මානු දක්ෂිනාංශය න්‍යෂ්ටික “සමූල ඝාතක අවි” ඉල්ලා සිටියි

German right demands nuclear “weapons of mass extermination”

2018 ජූලි 31

ජර්මනියේ දක්ෂිනාංශික සභාග ආන්ඩුව මිලිටරි වියදම් වල දැවැන්ත ඉහල නැංවීමක් කිරීමට තමන් හට ඇති උත්සුකය ප්‍රකාශයට පත් කොට යන්තම් සතියක් ගෙවුනු තැන, ප්‍රධාන ජාතික පුවත් පතක් න්‍යෂ්ටික ආයුධ ගබඩාවක් තැනීමට කැඳවුම් කර ඇත. ගෙවුනු සති අන්තයේ ප්‍රකාශයට පත් කෙරුනු තම නවතම කලාපයේ වෙල්ට් අම් සොන්ටාග්, මුල් පිටුවේ න්‍යෂ්ටික බෝම්බයක රූපයක් ප්‍රදර්ශනය කලේය. සිරස්තලය වන්නේ මෙයයි: “අපට බෝම්බය අවශ්‍යද” පිලිතුර වන්නේ පැහැදිලි සහ භියජනක “ඔව්!” එකකි.

මෙම ලිපියේ කතුවරයා වන්නේ ආන්ඩුවේ, මිලිටරියේ සහ විදේශ පිලිවෙත් සංස්ථාපිතයේ ප්‍රමුඛ පෙලේ පුද්ගලයන් සමග සමීප සබන්ධතා ඇති ක්‍රිස්ටියන් හැක්ය. ඔහුගේ දේශපාලන දිවිය 1960 දක්වා දිවෙයි. ඒ ඔහු දක්ෂිනාංශික ක්‍රිස්තියානි-ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍යයන්ගේ සංගමයේ (ආර්සීඩීඑස්) නායකයා ලෙස ඔහු නමක් නිර්මානය කරගැනීමත් සමගය. ඔහු හැම්බර්ග් හී මිලිටරි විශ්ව විද්‍යාලයේ උගන්වා තිබෙන අතර විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ජර්මානු කවුන්සිලයේ, මූලෝපායික අධ්‍යනයන් සඳහා අන්තර්ජාතික ආයතනයේ, අත්ලාන්තික අධ්‍යනයන් සඳහා කමිටුවේ, සහ ලෝක ආරක්ෂක ජාලයේ සාමාජිකයෙකි. පැහැදිලිවම හැක් ඔහුගේ පුද්ගලික අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා නොවේ.

වෙල්ට් අම් සොන්ටාග් පලමු පිටුවේ පලකල ජර්මානු ධජයෙන් සැරසූ න්‍යෂ්ටික බෝම්බය

ජර්මනියට තමන්ගේ මූලෝපායික අවශ්‍යතා වල ආරක්ෂාව එක්සත් ජනපදයට සහ අනෙකුත් නැටෝ සාමාජිකයන්ට භාර දීමට නොහැකියැයි තර්ක කරමින් හැක්ගේ ලිපිය “ජර්මනියේ ආරක්ෂක පිලිවෙතෙහි ගිවිසුම් ප්‍රකාර මුල් ගල් පිලිබඳ සමාලෝචනයක්” ඉල්ලා සිටියි. ජර්මනියට “සමූල ඝාතක අවි” නොමැතිව වැඩ කල නොහැකියි ඔහු ප්‍රකාශ කරයි.

හැක්ස්ගේ ලිපිය ජර්මන් ඉතිහාසයේ අඳුරුතම යුගය සිහි ගන්වයි. Vernichtung යනු සමූල ඝාතනය සඳහා යෙදෙන ජර්මානු වචනයයි. නාසීන් Vernichtungskrieg [සමූල ඝාතනයේ යුද්ධය] යන පදය 1941 ත් 1945 ත් අතර සෝවියට් සමූහ ආන්ඩුවට එරහි තුන්වැනි රයිකයේ යුද්ධය විස්තර කිරීමට යොදා ගත්තේය. හැක් කිසිදු දේශපාලන සැක සංකාවක් පල නොකරමින් සමූල ඝාතන අවි නිර්මානය කිරීමට ඉල්ලා සිටී යන කරුන, ජර්මානු රාජ්‍යයේ ඉහලම මට්ටම් වල පැතිර පවත්නා දේශපාලන දෘෂ්ටිය පිලිබඳ භයංකර ඥානයක් ලබා දෙයි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වසර 70 ටත් වඩා ජර්මානු දේශපාලන නායකයන් භාවිතා කිරීමට ධෛර්යමත් නොවූ භාෂාව දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් පවතී.

1945 පරාජය විසින් තමන් මත පටවන ලද අවහිරයන් විසි කර දැමීමට ජර්මනියට කාලය පැමින ඇතැයි හැක් අවධාරනය කරයි. එය තව දුරටත් තමන්ගේ අවශ්‍යතාවන් ස්ථිර සාරව ප්‍රකාශ කිරීමට මැලි නොවිය යුතුය. අතීත අපරාධයන් සම්බන්ධයෙන් සදාචාරවාදීව හිත රිද්දා ගැනීමේ සහ සමාව ඉල්ලීමේ කාලය අවසන්ය. හැක් මෙසේ ලියයි: “දේශපාලන නිවරදිභාවයට, මහජන ධෛර්යය හිඟ කමට සහ ප්‍රමානවත් නොවූ මිලිටරි මූලෝපායික ප්‍රතිෂ්ඨාවන්ට” තව දුරටත් “අපගේ ආරක්ෂාවේ න්‍යෂ්ටික සංරචකය යටපත් කිරීමට” ඉඩ නොදිය යුතුය.

“සදාචාරාත්මක උඩඟු බවෙහි පාදකයෙන් ට්‍රම්ප් හට පහර දීමෙහි” යෙදී ඉන්නවාට වඩා ජර්මනිය “තමන්ව හොඳින් සන්නද්ධ කර ගත යුතුයි - සියලු පැති වලින් සහ සියලු ආකාර වලින් ”

ජර්මනියට “විස්වාසය තැබිය හැක්කේ තමන් ගැනම පමනි”. ජාතික ආරක්ෂාව තමන්ගේම “න්‍යෂ්ටික වැලැක්වීමේ හැකියාවන් මත පදනම් වියයුතු අතර අත්ලාන්තිකය හරහා යන නව අවිනිශ්චිතතා සහ අභිමුඛ වීම් මුන ගැසීමේදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතු” යැයි හැක් අනතුරු අඟවයි.

“සුපිරි ආරක්ෂක සංස්කෘතියක්” සම්බන්ධ කෙටුම්පත සහ සංවර්ධනය නැවත හඳුන්වා දීම සම්බන්ධයෙන් කැඳවුම් කරමින් “බර්ලීනය මිලිටරි මූලෝපායික ප්‍රවර්ගයන්ගෙන් සිතීමේ හෝ ක්‍රියාකිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව වර්ධනය කල යුතුයැයි” ඔහු අවධාරනය කරයි. “වෙලඳ අවශ්‍යතාවන් ආරක්ෂා කරගැනීම වැනි භූ දේශපාලනික ප්‍රතිෂ්ඨාවන් නව අභියෝගයන්ට මුහුන දෙන තත්වයක් යටතේ හදිසි” යැයි ඔහු ලියයි. නමුත් “කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ මෙයයි: යුරෝපයේ කේන්ද්‍රීය බලය නැවත න්‍යෂ්ටික බලයක් බවට පත්විය හැකි වන්නේ කවර කොන්දේසි යටතේද සහ කුමන මිලකටද?”

වෙල්ට් අම් සොන්ටාග් හී ලිපිය ජර්මනිය තුල වන භයානක වර්ධනයක් සම්බන්ධයෙන් ආලෝකයක් සපයයි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය, ක්‍රිස්තියානි සමාජ සංගමය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් සමන්විත සභාග ආන්ඩුව පැහැදිලි ෆැසිස්ට් ලක්ෂන සහිත අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටී. අන්ත දක්ෂිනාංශික සහ වර්ගවාදී අල්ටර්නටිව් ෆර් ඩොයිච්ලෑන්ඞ් (ඒඑෆ්ඩී) පසුගිය මැතිවරනයේදී ලබා ගත්තේ සියයට 12.5 ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, නාමිකව ඇන්ජලා මර්කල් විසින් මෙහෙයවන සභාග ආන්ඩුව නිහීන ලෙස එහි දේශපාලන න්‍යාය පත්‍රය අනුගමනය කරමින් සිටී.

ජර්මානු රාජ්‍යයේ ඉහල මට්ටම් තුල නව-නාසිවාදී ආනුභාවයේ පුනර්ජීවනයට, පාලක සභාගය සඳහා එස්පීඩී යේ සහභාගීත්වය විසින් සහ වාමාංශික පක්ෂය විසින් සහ හරිත පක්ෂය විසින් පාලක සභාගයට දෙන ඍජු සහාය විසින් අනුබල දී ඇත. අන්ත දක්ෂිනාංශයේ වර්ධනය වන ශක්තියට හේතු වී ඇති තවත් සාධකයක් වන්නේ, ඒඑෆ්ඩී යේ අවශ්‍යතා සභාග ආන්ඩුව විසින් ඉටු කිරීම විවේචනය කිරීමට මැලිවන ජර්මානු ශාස්ත්‍රාලිකයන්ගේ බියගුලු කමයි.

මෙම දේශපාලන වට පිටාව තුල අන්ත දක්ෂිනාංශය තම නව-නාසිවාදී න්‍යාය පත්‍රය පසුපස හඹා යාම ධෛර්යමත් වී ඇත. සිය සති අන්ත කලාපය තුල ෆයිනෑන්ශියල් ටයිම්ස් නව-නාසිවාදී බලකායන්ගේ වර්ධනය වන බිය සැක නැති කම පිලිබඳව අවධානය යොමු කරයි. වාමාංශික කලාකරුවන්ට සිදුවූ ශාරීරික පහරදීම් සහ මරන තර්ජන සම්බන්ධයෙන් එය වාර්තා කරයි.

“ජර්මානුවන් තමන්ගේ අතීතය දෙස බලන ආකාරය වෙනස් කිරීමට” ඒඑෆ්ඩී යට අවශ්‍ය යැයි ෆයිනෑන්ශියල් ටයිම්ස් අනතුරු අඟවයි. “තුන්වන රයිකය සහ හිට්ලර් රෙජීමයේ අපරාධ සහ ම්ලේච්ඡ ක්‍රියාවන් සම්බන්ධයෙන් ජර්මනිය ඕනාවට වඩා වැඩියෙන් කේන්ද්‍රගත වී ඇතැයි එහි අනුගාමිකයන් දීර්ඝ කාලයක සිට තර්ක කොට ඇත. පසුගිය වසරේ එහි නායකයෙකු වන බියෝන් හොකේ මෙම අනුස්මරනය කිරීමේ සංස්කෘතිය තුල අංශක 180 ක විප්ලවයක් සිදු කිරීමට කැඳවුම් කල අතර බර්ලීනය මධ්‍යයේ තබා ඇති යුරෝපයේ මරා දැමුනු යුදෙව්වන් වෙනුවෙන් වූ ස්මාරකය විවේචනය කලේය. ‘තමන්ගේ අග නගරය තුල ලැජ්ජාවේ ස්මාරකයක් ස්ථාපනය කොට ඇති ලෝකයේ සිටින එකම ජාතිය ජර්මානුවන් යැයි’ ඔහු පැවසීය.”

සංස්ථාපිතයේ පක්ෂ වල නියෝජිතයන් විසින් ප්‍රතිරාව නංවනු නොලැබූ ඒඑෆ්ඩී දේශපාලන ඉල්ලීමක් හෝ ප්‍රකාශයක් ඇත්තේ කලාතුරකිනි.

පාලක කව තුල ඒඑෆ්ඩී ය දරා සිටින ආධිපත්‍ය ජනගහනයේ අතිමහත් බහුතරයකගේ මනෝභාවයන්ට ගැඹුරින් වෙනස්ව පිහිටන බව අවධාරනය කල යුතුය.

ජර්මනියේ සතිපතා පලවන ඬේ ස්පීගල් විසින් මෑතකදී පවත්වන ලද සංගනනයකට අනුව “ජර්මානු දේශපාලනයේ වර්තමාන දකුනට හැරී ගැනීමට” ජර්මානු ජනගහනයෙන් සියයට 67ක් විරුද්ධය. අතිමහත් බහුතරයක් න්‍යෂ්ටික අවි ආයුධ වර්ධනය කිරීමටද විරුද්ධය. ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ආයුධ අහෝසි කිරීම (පිලිබඳ සංවිධානය) වෙනුවෙන් යූගව් විසින් පවත්වන ලද සංගනනයකට අනුව ජර්මනිය එජ න්‍යෂ්ටික අවි ආයුධ තහනමට එක් වීම වෙනුවෙන් සියයට 71ක් කැමැත්ත පලකරයි.

නමුත් පලල් විරෝධය, වාමාංශික පක්ෂය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හරිත පක්ෂය සහ වෘත්තීය සමිති විසින් සිදු කරන බලපෑම් සහගත ක්‍රියාවන් මගින් අහුරාගෙන සිටිනු ලබයි. ජර්මනිය තුල සිදුවන භයානක වර්ධනය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති සහ දක්ෂිනාංශික ආක්‍රමනයට එරහිව අරගලයක් ආරම්භ කර ඇති එකම දේශපාලන පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයයි(සසජාතශි). ඇත්ත වශයෙන්ම, අන්ත දක්ෂිනාංශයේ වර්ධනය වන ආනුභාවයට එරහිව එස්ජීපී ය සහ සසජාතශි ය විසින් සිදු කරගෙන ගොස් තිබෙන අනවරත උද්ඝෝෂනය, එය ධනපති පුවත්පත් වල සහ රාජ්‍යයේ ඉලක්කයක් බවට පත් කොට ඇත.

අන්ත දක්ෂිනාංශයේ පුනර්ජීවනය නැවතිය හැකි සහ පරාජය කල හැකි එකම ආකාරය වන කම්කරු පන්තිය සහ තරුනයන් සමාජවාදී වැඩපිලි වෙල පසුපස රැලි කිරීම සඳහා වන තම සටන තීව්‍ර කිරීමෙන් එස්ජීපී ය වැලක්වීමට එයට නොහැක.

ජොහැන්ස් ස්ටර්න්

Share this article: