මුහුනුපොතේ වාරනය වාමාංශය ඉලක්ක කරගනී

Facebook censorship targets the left

2018 අගෝස්තු 3

වර්ජිනියාවේ චාලට්ස්විල්හි දී වසරකට පෙර පැවැත්වුනු නව-නාසිවාදී පාගමනක් හේතුවෙන් ලොවපුරා කම්කරුවන් හා තරුන ජනයා භීතියට පත්වූ හ. විදුලි පන්දම්වලින් පෙරෙට්ටූන් ආලෝකමත් කිරීම, “යුදෙව්වන් අප ව විතැන් නො කරනු ඇත” යයි ජපකිරීම, ස්වස්තිකය සහිත ධජ ලෙලවීම ආදිය කල නාසීහු කූ ක්ලුක්ස් ක්ලෑන් නිල ඇඳුම් ඇඳගෙන පාගමනේ යෙදුනි. එයට විරුද්ධ රැලියකට මෝටර් රථයක් ධාවනය කල එක් ෆැසිස්ට්වාදියෙක් කාන්තාවක් ඝාතනය කරමින් තවත් 35 දෙනෙකුට තුවාල සිදුකලේ ය.

2017 අගෝස්තු 12දා චාලට්ස්විල්හි දී රැලිය සංවිධානය කල “දක්ෂිනාංශය එක්සත් කරනු” නමැති සංවිධානය, එම රැලියේ අනුස්මරනය යෙදෙන දා වොෂින්ටන් ඩීසීහි තවත් විරෝධතාවක් පැවැත්වීමේ සැලසුමක් ගැන මේ වසර මුල දී නිවේදනය කල හ. එයට ප්‍රතිචාර ලෙස, දූෂන හෙලිදරවු කල චෙල්සී මෑනිං ඇතුලු වාමාංශික සංවිධාන හා ප්‍රමුඛපෙලේ පුද්ගලයන් දුසිමකට වැඩි පිරිසක් එදින ම එයට ප්‍රති-විරෝධී රැලියක් සඳහා කැඳවුම් කල හ.

එක්සත් ජනපද රහස් තොරතුරු ඒජන්සි සමග එකට වැඩ කරන මුහුනුපොත, ජූලි 31දා නිවේදනය කලේ එය “බෙදීම් දිරිමත් කරන,” “ප්‍රචන්ඩ,” හා අන්තවාදී ක්‍රියාකාරකමක් ලෙස එය විසින් නම් කල දෙය බාධනය කිරීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස, නාසි රැලිය නො ව, එම රැලියට විරෝධතාව දක්වන උද්ඝෝෂනය පිලිබඳ පිටුව බාධනය කර ඇති බව යි.

ප්‍රතිවිරෝධී රැලිය සංවිධානය කර ඇත්තේ “ව්‍යාජ ක්‍රියාකාරීත්වයක” සලකුනු පෙන්වා ඇති කන්ඩායමක් විසින් යයි ප්‍රකාශ කරමින් මුහුනුපොත සිය ක්‍රියාව සාධාරනීකරනය කල අතර, ඒ පිලිබඳ තොරතුරු හෝ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කර නැත.

මුහුනුපොත විසින් ඉවත් කරන ලද දක්ෂිනාංශයට එක්සත් නොවනු යන ඩීසීහි පැවැත්වීමට නියමිත ව තිබෙන රැලිය

මුහුනුපොතේ ක්‍රියාව සමග අත්වැල් බැඳගෙන එන ප්‍රකාශ පැහැදිලි කරන්නේ, ප්‍රතිවිරෝධී රැලිය බාධනය කිරීම වනාහි, දුරදිග යන හා අන්තරායකාරී පූර්වාදර්ශයක් සපයමින් වාමාංශික දේශපාලන මත මර්දනය හා අපරාධකරනය කිරීමේ දැනුවත් උත්සාහයක් බව යි.

මෙම ප්‍රතිවිරෝධී සිද්ධිය හා තවත් ගිනුම් 32ක් බාධනය කිරීම නිවේදනය කරමින් මුහුනුපොත විසින් පලකල නිවේදනය, අත්ලාන්තික් කවුන්සිල් චින්තන තටාකය විසින් සිදුකරන ලද විශ්ලේෂනයක් උපුටා දැක්වූ අතර, එම විශ්ලේෂනය, මුහුනුපොත විසින් ඉලක්ක කරගන්නා සියලු ගිනුම් පොලිස් ප්‍රචන්ඩත්වය, සංක්‍රමනිකයන් මත ප්‍රහාර සහ ට්‍රම්ප් පරිපාලනය විසින් ෆැසිස්ට් කන්ඩායම් දිරිමත් කිරීම ආදියට එරෙහි වන්නා වූ ගිනුම් ද ඇතුලත් වාමාංශික ගිනුම් බව සඳහන් කරයි.

මුහුනුපොත විසින් වසා දමන ලද පිටු “දේශපාලන වර්නාවලියේ වාමාංශය” ඉලක්ක කල බව සහ “ඇමරිකානුවන් එකිනෙකාට එරෙහි ව පිහිටුවමින් බෙදීම් දිරිමත් කිරීමේ මං සෙවූ” බව අත්ලාන්තික් කවුන්සිල් වාර්තාව කීවේ ය.

එම ගිනුම් “එක්සත් ජනපද ආගමන හා රේගු බලාධිකාරයට (අයීසීඊ) හා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බදු සැලසුමට එරෙහි විරෝධතා” සහ “ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට විරුද්ධ විරෝධතා” දිරිමත් කලේ ය.

මුහුනුපොතේ නිවේදනය හා අත්ලාන්තික් කවුන්සිල් වාර්තාව යන දෙක ම ඕවෙලියානු හා ආඥාදායක භාෂාවෙන් පිරී පවතී. ඕනෑම දෙයක් ඇතුලු කිරීමට හැකියාවැති තරම් පුලුල් යෙදුමක් වන “ව්‍යාජ ක්‍රියාකාරීත්වය” යන්නෙන් අර්ථවත් වන දෙය නීර්නය කිරීමට තරම් මුහුනුපොත කවුද? ඉතිහාසය තුල කිසි කලෙක නොපැවතුනාට වඩා සමාජ අසමානතාවක් පවතින සමාජයක බෙදීම් “දිරිමත් කිරීම” අවශ්‍ය නො කරන තතු තුල, එවැනි බෙදීම් දැනටමත් නොපවතින්නාක් මෙන් “බෙදීම් දිරිමත් කරන” පිටු වසාදැමීමේ අයිතිය මුහුනුපොතට දුන්නේ කවුද?

අගෝස්තු 1දා සෙනට් රහස් තොරතුරු කමිටුව ඉදිරියේ එක්සත් ජනපද රහස් තොරතුරු ඒජන්සීන් සමග සමීප ව සම්බන්ධ “ආරක්ෂක” සමාගම් හා චින්තන තටාකවලින් කල සාක්ෂි කැඳවීමක දී මෙම තේමාවන් ඉදිරියට ඇදුනි.

“සැක කටයුතු ප්‍රජාවන්” යනුවෙන් එය විසින් නම් කරන අයගෙන් ව්‍යාපාරවල කීර්තිනාමය ආරක්ෂා කරන්නේ කියන විශේෂඥ සමාගමක් වන නිව් නොලේජ්හි පර්යේෂන අධ්‍යක්ෂිකාව වන්නේ රෙනී ඩිරෙස්ටා ය.

“හානිකර ආඛ්‍යාන බොහෝ කාලයක් තිස්සේ පැවතී ඇති” බව කී ඩිරෙස්ටා, “අද්‍යතන බලපෑම් සහගත මෙහෙයුම් තුල එම ප්‍රචාරනය නිරතුරු ව ම ඉතා බලපෑම් සහගත, බෙදාහදා ගතහැකි හා ක්ෂනික ව ග්‍රහනය කරගත හැකි අංගවල රූපාකාරයන්ගෙන් යුතු ව අපේ මිතුරන් විසින් බෙදාහරිනු ලබන” බව කීවා ය.

“නොමග යවන තොරතුරු, වැරදි තොරතුරු හා සමාජ මාධ්‍ය රැවටිලිකාරයන්, කරදරකාරයන්ගේ සිට තොරතුරු යුද්ධයේ ඉහල වාසි ලබන්නන් බවට පරිනාමය වී ඇති” බව ඇය කීවා ය.

2016 මැතිවරනයට පෙරාතුව පලකරන ලද “ව්‍යාජ” දැන්වීම් ගැන සඳහන් කරමින් ඇය කියා සිටියේ, එම ගිනුම් “වාමාංශය ඉලක්ක කරගනිමින් ජිල් ස්ටෙයින් හෝ සෙනට් සභික බර්නි සෑන්ඩර්ස්ට සන්සන්දනාත්මක ව ලේකම් ක්ලින්ටන් ව ඍන වර්නයකින් පාටගැන්වීමේ යෙදුනු” ප්‍රකාශ දිරිමත් කල බව යි.

මුහුනුපොත විසින් ඉවත් කරන ලද කන්ඩායමකින් ප්‍රසිද්ධ කරන ලද සිද්ධියක්

එවැනි “බලපෑම් මෙහෙයුම්”, “දෘෂ්ටිවාදයන් විශ්වාස කරන්නන්ට” හා “රාජ්‍ය නො වන අන්තවාදීන්ට” වඩ වඩා ආයාචනා කරමින් සිටින බව ඇය අවධානයට ලක්කලා ය. වෙනත් වචනවලින් කියතොත්, එම මෙහෙයුම්, ධනේශ්වර පද්ධතිය කෙරෙහි හෙම්බත් ව සමාජවාදී හෝ වාමාංශික විකල්පයක් සොයන්නන් කෙරෙහි යොමු ව ඇති අතර ඉන් ගම්‍ය වන්නේ, එවැනි සංකල්ප “අන්තවාදී” බැවින් සාපරාධීකරනය කල යුතු බව යි.

සාක්ෂි විමසීමට සහභාගි වූ තවත් අයෙක් වන ග්‍රැෆිකා ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ඩබ්ලිව්. කෙලී, දේශපාලන වර්නාවලියේ “අන්තයන්” පිලිබඳ තැනෙන “ස්වයංක්‍රීය ගිනුම්”, දිනකට යැවෙන පනිවුඩවලින් “ප්‍රධාන ධාරාවේ අව්‍යාජ දේශපාලන ගිනුම්” මෙන් “25 සිට 30 ගුනයක් දක්වා නිෂ්පාදනය කරන” බව කීවේ ය.

“සමාජීය කැලඹිලිවල” මූලාශ්‍රය ලෙස “පිටස්තර කලහකාරීන්” ලේබල් කරන්නා වූ ඇමරිකානු ප්‍රති-කොමියුනිස්ට්වාදයේ දීර්ඝ-කාලීන සම්ප්‍රදාය පුනස්ථාපනය කරමින් නිශ්චිත කතන්දරයක් නිර්මානය කරනු ලැබෙමින් පවතී. ධනවාදය පිලිබඳ ව විවේචනශීලී වන ඕනෑම දේශපාලන දෘෂ්ටියක්, “අන්තවාදීන්” විසින් ඉදිරියට දමන “ව්‍යාජ බලපෑම් මෙහෙයුමක්” ලෙස හංවඩු ගැසීමට ද එනිසා රාජ්‍යය හා තාක්ෂනික ඒකාධිකාරයන් විසින් මර්දනය කිරීමට ද නියමිත ය.

එසේ කිරීමේ දී, ඩිමොක්‍රටික් පක්ෂය හා රහස් තොරතුරු ඒජන්සි සමග පෙලගැසී සිටින රාජ්‍යයේ කොටස් විදෙස් පිලිවෙතට සම්බන්ධ කාරනාවන් අරබයා ට්‍රම්ප් සමග තිත්ත කන්ඩායමික ගැටුමක යෙදී සිටින්නේ, වාමාංශික දේශපාලන විරුද්ධත්වයක ඉස්මතු වීමට එරෙහි ව ධවල මන්දිරය සමග සන්ධානගත ව සිටිමිනි. මෙම සිද්ධියේ දී එය එහි ප්‍රකාශනය ලබාගෙන ඇත්තේ ෆැසිස්ට්වාදී රැලියකට විරුද්ධ වන්නන් ඉලක්ක කරමින් හා එහි දිගුවක් ලෙස, ෆැසිස්ට්වාදීන් ආරක්ෂා කරමින් හා නීතිගත කරමිනි.

දේශපාලන විරුද්ධත්වය අවජාතකකරනය හා අපරාධකරනය කිරීමට, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සියලු කන්ඩායම් විසින් ගන්නා උත්සාහයන් තේරුම්ගත යුත්තේ පන්ති යෙදුම්වලිනි. ධනය දශක ගනනාවක් තිස්සේ ඉහල කොටස් වෙතට යලි බෙදාහැරීමෙන් ඉක්බිති ව, දැන්, ඇමරිකානු සමාජයේ පහල අර්ධයේ ධනයට සමාන ධනයක් පුද්ගලයන් තිදෙනෙකු විසින් පාලනය කරයි. ලෝකයේ ධනවත් ම මිනිසා වන ජෙෆ් බෙසොස්ගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 143කි.

මෙම මූල්‍ය කතිපයාධිකාරය හා කොටස් වටිනාකම්වල බුබුලෙන් ධනවත් වී ඇති ආදායම් උපයන්නන්ගෙන් ඉහල සියයට 10හි පලල් වපසරියේ සිටින අය, වඩ වඩා සමාජවාදී දේශපාලනය වෙතට හැරෙන කෝපාන්විත හා හතුරු කම්කරු පන්තිය විසින් තමන් ව වටලනු ලැබ ඇතැයි දැකගනිති.

මූර්ත වැටුප් එකතැන පල්වෙමින් හෝ ඇද වැටෙමින්, සෞඛ්‍යාරක්ෂනය හා විශ්‍රාම වැටුප් නිමක් නැති කප්පාදුවලට ලක්කරමින් හා එලඹෙන මාස කිහිපය තුල ප්‍රධාන කොන්ත්‍රාත්තූන්වල කල් ඉකුත් වෙමින් තිබෙන තතු තුල, 1930 ගනන්වල දැකගත් වාඩිලාගැනීමේ වැඩ වර්ජනවලින් මෙපිට වඩාත් ම සටන්කාමී කම්කරු අරගල පුපුරා යාම සඳහා වේදිකාව සැකසී පවතී. පන්ති අරගලයේ වර්ධනය, පන්ති අරගලය මර්දනය කිරීමටත්, ධනය පොහොසතුන් යලි බෙදීයාම පහසු කිරීමත් පිනිස පාලක පන්තිය දශක ගනනාවක් තිස්සේ රඳා පැවතුනු වෘත්තීය සමිති සමග කම්කරුවන් වඩ වඩා ඍජු ගැටුමකට එලඹවමින් පවතී.

මෙම කොන්දේසි යටතේ, තම සමාජීය වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට හා ප්‍රසාරනය කරගැනීමට, ස්වාධීන දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම හා අපරාධකරනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස පාලක ප්‍රභූව දැකගනී. ජීවිතයත් මරනයත් අතර වන මෙම පන්ති අරගලයේ දී පාලක ප්‍රභූවේ හස්තයෙහි පවතින තීරනාත්මක ආයුධයක් වන්නේ මුහුනුපොත, ගූගල් හා ට්විටර් විසින් නිර්මානය කරනු ලබන වාරනයේ මහා උපකරනය යි.

එහෙත් කතිපයාධිකාරය එතරම් බියවන කම්කරුවන්ගේ අරගලවල පුපුරා යාම, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට පදනම සම්පාදනය කරනවා පමනි. ඉදිරියේ එලඹෙන අරගලවල දී, එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද ධනේශ්වර පද්ධතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ මහජන ව්‍යාපාරයක කොටසක් ලෙස නිදහස් හා විවෘත අන්තර්ජාලය ද භාෂනයේ නිදහස ද සඳහා වන ඉල්ලීම කම්කරුවන් තමන් අතට ගන්නවා ඇත.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: