යේමනය තුල ලමුන් දුසිම් ගනනක් මරා දැමූ ගුවන් ප්‍රහාරයට එක්සත් ජනපදයේ දුස්සහාය

US complicit in air strike that murdered dozens of children in Yemen

2018 අගෝස්තු 10

තෙල්වලින් පොහොසත් හා මූලෝපායික ව තීරනාත්මක මැද පෙරදිග මත, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලනය ශක්තිමත් කිරීම ඉලක්ක කරගැනීම සඳහා වන ආක්‍රමනකාරී යුද්ධ සාධාරනීකරනය කිරීමට යොදාගන්නා ව්‍යාජ හේතුවක් වන, “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” දියත් කල තැන් පටන් ගත ව ඇති වසර 17 තුල වොෂින්ටනය හා එහි ප්‍රාදේශීය බලකාරයන් විසින් ගනන් නැති සංහාරයන් සිදු කර ඇත.

ඉරාකය, ලිබියාව හා සිරියාව ඇතුලු රටවල් සමස්ත වසයෙන් විනාශ කරනු ලැබ, මොසුල් හා රක්කා වැනි නගරයන් සමස්තයක් ලෙස දුම් දමන රොඩුබොඩු බවට ලඝු කරනු ලැබ ඇත. මරනයට පත් ව හා අංග විකල භාවයට පත් ව මෙයට ගොදුරු වූවන් ගනන මිලියන ගනනක් වන අතර, සිය නිවාසවලින් පලායාමට බලකෙරුනු සංඛ්‍යාව කෝටි සංඛ්‍යාත වේ.

මෙම සමස්ත ව්‍යාපෘතියේ අපරාධකාරීත්වය කැටිකර දක්වන ඍජු කෲරත්වය හා එය මානව ජීවිතය කෙරෙහි දක්වන අවඥාව පිලිබඳ සුවිශේෂී ක්‍රියාවන් තවමත් තිබේ. ඇමරිකානු ටැංකි ගුවන් යානාවක් විසින් ගුවනේ දී ඉන්ධන සපයමින්, එක්සත් ජනපද නිලධාරීන්ගේ සහයෝගය සහිත ව ඉලක්කය කරා එල්ල කලා වූ එක්සත් ජනපදය විසින් සපයන ලද ජෙට් ගුවන් යානයක් වන සවුදි යුද යානයක් විසින් ඇමරිකාවේ තනන ලද බෝම්බ හා මිසයිල අගෝස්තු 09දා යේමනය මත හෙලීම, එවැනි එක් සිද්ධියකි.

තෝරාගන්නා ලද ඉලක්කය වූයේ යේමනයේ උතුරේ සාදා පලාතේ දහ්යාන් නගරය මධ්‍යයේ පිහිටි සෙනග සහිත වෙලඳ සංකීර්නයකි.

ප්‍රහාරයට නියෝග දුන් අයට තමන් ඉලක්ක කරගන්නේ කවරක්දැයි යන්න ගැන පැහැදිලි අදහසක් ලබාගැනීම සඳහා, යුද යානා පැයකට අධික කාලයක් තිස්සේ නගරයට ඉහලින් පියාසර කරමින් තිබූ බව සාක්ෂිකරුවෝ වාර්තා කල හ. සෙනග පිරුනු වෙලඳපොලට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන් විශ්වාස නො කල බවත්, එනිසා තමන් සුපුරුදු පරිදි ව්‍යාපාර කරගෙන ගිය බවත් පදිංචිකරුවෝ පැවසූහ.

ගිම්හාන නිවාඩු කාලයේ අවසානය සැමරීමේ වාර්ෂික උත්සවය සඳහා, තම ගිම්හාන කඳවුරේ සිට දේවස්ථානය බලා වෙලඳපොල හරහා ගමන් කරමින් තිබූ පාසල් ලමුන්ගෙන් පිරී තිබුනු බස් රථයක් මතට සවුදි යුද යානා විසින් ඍජු ප්‍රහාරයක් එල්ල කලේ ය.

ගිනි ගනිමින් තිබූ බස් රථයේ සුන්බුන් අතරින් ඇදගත් ජීවය රහිත ලමුන් 29 දෙනෙකුගේ සිරුරු තම රෝහලට ලැබුනු බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (අයිසීආර්සී) වාර්තා කලේ ය. මින් බොහෝ ලමුන් අවුරුදු 10ට අඩු වයසේ වූ අතර සමහර ලමුන් අවුරුදු අටක් තරම් කුඩා වයසේ පසු වූ අය විය.

සාදා වෛද්‍ය කාර්යාලයට අනුව ගුවන් ප්‍රහාරය 47 දෙනෙකු ඝාතනය කල අතර, ඒ අතරට බස් රථය අසල වීදිවල සිටි අය ද අයත් වෙති. අවම වසයෙන් තවත් 77 දෙනෙකු වත් තුවාල ලැබූ අතර, ඉන් සමහරු බරපතල තත්ත්වයේ පසු වන නිසා මරන සංඛ්‍යාව ඉහල යා හැක.

සාදාහි රෙඞ් ක්‍රෙසෙන්ට් කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ හසන් මුව්ලෙෆ් අගෝස්තු 17දා උදෑසන ප්‍රහාරයෙන් පැයකට පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිනියේ ය. තමන් දුටු දෙය ඔහු මෙසේ විස්තර කලේ ය: “ප්‍රදේශය පුරා ශරීර කොටස් විසිරී තිබුනා, හැම පැත්තෙන් ම විලාප හඬ හා හැඬීම් ඇහුනා. පාසල් බස් රථය මුලුමනින් ගිනිගෙන විනාශ වී තිබුනා.” බොහෝ ලමුන්ගේ සිරුරු හඳුනාගත නො හැකි තරමට පිලිස්සී තිබූ බවත් තුවාල උන්ඩ කැබලිවලින් පිරී තිබූ බවත් ඔහු වැඩිදුරටත් කීවේ ය.

“ඔවුන්ගේ සිරුරුවල සමහර කොටස් බස් රථයේ මීටර 100ක් දුරට විසිරී තිබුනා” තවත් සාක්ෂිකරුවෙක් වාර්තා කලේ ය.

එක්සත් ජනපද යුද්ධයන් හා ඒවායේ “අතිරේක හානි” අලෙවි කරන හා සාධාරනීකරනය කරන කප්පිත්තෙක් වන එක්සත් ජනපද සංගත මාධ්‍ය, අහිංසක ලමුන්ට එරෙහි මෙම කෲර අපරාධය නොවැලැක්විය හැකි ලෙස බොහෝකොට ම නොතකා හරිනු ඇත. එක්සත් ජනපද ආන්ඩුව හා එහි ප්‍රාදේශීය සහචරයන්ගේ පැත්තෙන් ගත් කල, ඔවුන් ගුවන් ප්‍රහාරය ආරක්ෂා කරමින් හා එහි වගකීම ගොදුරු වූවන් මත ම පටවමින් සිටී.

තමන්ගේ සමූහ ඝාතක ක්‍රියාව, යේමනයේ හවුති කැරලිකරුවන් විසින් සවුදි අරාබියේ දකුනු ප්‍රදේශයේ ජිසාන් නගරයට එල්ල කරන ලද මිසයිලයකට ප්‍රතිප්‍රහාර දීමක් ලෙස සාධාරනීකරනය කරමින් සවුදි රාජාන්ඩුව හා එහි කුලීකාර හමුදාව ප්‍රකාශයක් නිකුත් කල හ. අතරමග දී නවතන ලද එම මිසයිලයේ සුන්බුන්වලින් යේමනය තුල පුද්ගලයෙක් මරා දැමුනි.

2015 දී සවුදිවරු හා ඔවුන්ගේ සහචරයෝ යේමනයට එරෙහි යුද්ධය ඇරඹූ තැන් පටන් පාසල්, රෝහල්, මිනිසුන් වෙසෙන නිවහන් ප්‍රදේශ සමගින් විදුලි බලාගාර සහ ජල හා අපවහන පද්ධති ද අනෙකුත් තීරනාත්මක යටිතල පහසුකම්වලට ද ඔවුන් බෝම්බ හෙලූ අතර එම කාලය තුල ජීවිත අහිමි වුනු යේමන වැසියන් 16,000 දෙනාගෙන් බොහෝ දෙනෙක් මිලිටරි ප්‍රචන්ඩත්වය හේතුවෙන් මිය ගියහ. එම වසර තුන තුල ම යේමනයෙන් දියත් කරන ලද එක් මිසයිලයක් වත් සවුදි අරාබියට දැනෙන තරමේ හානියක් කර නැත.

ඔහු බොරුකාරයෙක් බව හෙලිදරවු කරන සාක්ෂි ඇති තරම් තිබුන ද සවුදි මිලිටරි ප්‍රකාශක කර්නල් ටර්ක් අල්-මල්කි අගෝස්තු 9දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සාදා මත ප්‍රහාරය “ජාත්‍යන්තර මානව නීතියට අනුව දියත් කල... යුක්තියුක්ත මිලිටරි මෙහෙයුමක්” බව යි.

ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙපක්ෂය ම යටතේ එක් පරිපාලනයක සිට අනෙක දක්වා ධවල මන්දිරය යුද අපරාධකරුවන් විසින් අරක් ගන්නා තතු තුල, වොෂින්ටනයට හා එහි සහකරුවන්ට “ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය” බල නොපාන්නේ ය යන්න දන්නා නිසා නිසැකව ම ඔහුට ධෛර්යය දැනෙනු ඇත.

සාදා සංහාරයට පෙර දින එක්සත් ජනපදයේ ප්‍රධාන මධ්‍යම අනදෙන නිලධාරී යුද හමුදා ජෙනරාල් ජෝසෆ් වොටෙල්, එක්සත් ජනපදයේ සහයෝගය ලබන සවුදි අරාබියේ හා අනෙකුත් සහචරයන්ගේ හමුදා “ඔවුන්ගේ මෙහෙයුම් යේමනය තුල සිදු වී ඇති බියකරු මානවහිතවාදී තත්ත්වය උග්‍ර නො කරන ආකාරයෙන් සිදු කරමින් සිටින” බවට පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවක දී වාර්තාකරුවන්ට තහවුරු කලේ ය.

තමන් රවටමින් සිටින්නේ කාවද යන්න ජෙනරාල්වරයා හිතන්නේ ද? සවුදි බෝම්බ හෙලීම් හා එක්සත් ජනපද පිටුබලය සහිත නාවික බාධනය, දැනට මත් භයානක ලෙස දිලිඳු රටෙහි මිලියන ගනන් ජනයා සාගින්න අද්දරට ගෙනවුත් ඇත. පසුගිය වසරේ පමනක් යේමන ලමුන් 50,000ක් කුසගින්න හේතුවෙන් මියගිය හ. යේමනයේ යටිතල පහසුකම් මෙන් සෞඛ්‍යාරක්ෂන පහසුකම් මත ඇති කර තිබෙන සාමාන්‍ය විනාශය, මිලියන ගනන් දෙනා වෙලාගත් කොලරා වංසගතයක් ඇති කර තිබෙන්නේ ජීවිත 2,300කට වැඩි ගනනක් බිලිගනිමිනි.

“හොදෙයිදා නගරය තුල ස්ථාන ගතකර තිබෙන බාධකයන් හා අනෙකුත් දේවල් නිසා මානුෂීය ආධාර, ජනයාට අතිශයින් අවශ්‍ය කරන මානුෂීය ආධාර ගෙනයාමට නො හැකි වීම” ගැන හවුතිවරුන්ට වරද පැටවීම දක්වා වොටෙල් ඉදිරියට ගියේ ය.

“බාධකයන්” සමන්විත වන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා විසින් සවුදි ගුවන් බලය හා හදිසි ප්‍රහාරකයන් ලෙස අල් කයිඩාවේ භටයන් උපයෝගී කරගෙන හොදෙයිදා වරාය නගරයට එල්ල කරන කෲර ප්‍රහාරයට එරෙහි හවුතිවරුන්ගේ හා ජනයාගේ ප්‍රතිරෝධයෙනි. අයිසීආර්සී පවසන පරිදි, අගෝස්තු 2දා රෝහලක් හා මාලු වෙලඳ සංකීර්නයක් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරවල දී අවම වසයෙන් සිවිල් වැසියන් 55ක් ඝාතනය වී 170කට තුවාල සිදු විය.

යේමනයේ වඩාත් ම ජනාකීර්න නගරය වන හොදෙයිදා මත එක්සත් ජනපද පිටුබලය ලබන ප්‍රහාර වැඩි දියුනු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 250,000ක් තරම් ජනයා මිය යාහැකි බවත්, යේමන ජනයා වෙත ලබා දෙන ආහාර හා ඖෂධ ගලායාම මිලිටරි මෙහෙයුම් හේතුවෙන් බාධනය වුවහොත් එම සංඛ්‍යාව මිලියන ගනන් තෙක් නැගිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.

ජනාධිපති අබ්ද් රබූ මන්සූර් හාදිගේ රූකඩ තන්ත්‍රය යලි බලයේ පිහිටුවීමට සවුදි අරාබිය දරන ප්‍රයත්නයට එරෙහි හවුතිවරුන්ගේ හා බහුතර යේමන ජනයාගේ ප්‍රතිරෝධය මෙහෙයවනු ලබමින් සිටින්නේ, ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ කුද්ස් බලකායේ නායක මේජර් ජෙනරාල් කසීම් සොලෙයිමානි විසින් බවට, පෙන්ටගනයේ පැවති එම මාධ්‍ය හමුවේ දී ම වොටෙල් අදහස් පලකලේ ය.

යේමනය තුල සොලෙයිමානි සිටීම දැක ඇද්දැයි වාර්තාකරුවෙක් අභියෝගාත්මක ව විමසූ විට, “එහෙම ම නෙවෙයි, මේ දේවල් අධීක්ෂනය කරන ප්‍රධානියා කුද්ස් හමුදා කියලා මම අදහස් කරන්නේ...මේකට ඔහු වගකීම දරනවා” යයි වොටෙල් ප්‍රතිචාර දැක්වී ය.

ඇමරිකානු ජෙනරාල්වරයා “අදහස් කරන්නේ” අමු පචයක් වන අතර, ඔහු ඒ බව දනී. යේමනය තුල ඉරානියානුවන් සිටීම ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති අතර, ටෙහ්රානයෙන් හවුතිවරුන්ට කිසිදු වැදගත් මිලිටරි සහයෝගයක් ද නො ලැබේ. තමන්ගේ තියුනු පාලනය යටතේ පවත්නා රූකඩ තන්ත්‍රයක් නො වන කිසිවක් විසින් යේමනය පාලනය කරනු ලැබීම, වොෂින්ටනය හා සවුදි අරාබිය විසින් දැකගන්නේ කලාපය තුල ඔවුන්ගේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙස යි.

ජෙනරාල්වරයාගේ බොරු, යේමනය තුල සත්‍ය වසයෙන් සිදුවෙමින් පවත්නේ කුමක්ද යන්නට වැඩියෙන් එරට තුල වොෂින්ටනයේ අපරාධකාරී මැදිහත් වීමේ අභිලාෂයන් ගැන බොහෝ දේ පවසයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යේමනය සංහාරයට ලක්කරමින් කුසගින්නට ඇදහෙලන්නේ, නව හා වඩා අනතුරුදායක වන ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් වීමේ කොටසක් ලෙස ය.

යුද්ධයට සමාන වන ඉරාන-විරෝධී සම්බාධක වොෂින්ටනය විසින් පැනවීම මෙන් ම, සිරියාව තුල ඉරාන හමුදාවන්ට ඊස්රායලය විසින් යලි යලිත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම වොෂින්ටනය විසින් දිරිමත් කිරීම විසින් සමීප කරවනු ලබන එවැනි ව්‍යසනකාරී ගැටුමක ක්ෂනික හැකියාව, එක්සත් ජනපදයේ ද මැද පෙරදිග ද ජාත්‍යන්තර ව ද කම්කරුවන් විසින් හඳුනාගනු ලැබිය යුතු ය.

කලාපීය මෙන් ගෝලීය පවා වන යුද්ධයේ තර්ජනය විසින් ඉදිරියට දමන වඩාත් ම ක්ෂනික දේශපාලන කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තිය මත පදනම් වන හා ධනේශ්වර පද්ධතියට එරෙහි ව යොමු වන මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: