මහා බල ඝට්ටනය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ඉක්මවද්දී වොෂින්ටනය ISIS සමග එක් වෙයි

Washington allies with ISIS as great power conflict trumps “war on terror”

2018 අගෝස්තු 7

මේ වර්ෂය මුලදී නිකුත් කරන ලද “ජාතික ආරක්ෂක මූලෝපාය” ලියවිල්ල, ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” කෙරෙහි එජ මිලිටරිය විසින් යොදා තිබූ දශක දෙකකට ආසන්න කාලයක් පැවති අවධානය අවසානයකට පැමින ඇතැයි කෙලින්ම ප්‍රකාශ කලේය. ඒ වෙනුවට “මහා බලයන්”ගේ මුහුනට මුහුනලා ගැටීමකට, එනම් න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සහ චීනය සමග යුද්ධයක් සඳහා, සූදානම් වීම පදනම් කරගත් නව මූලෝපායික හැරී ගැනීමක්, හඳුන්වා දෙමින් තිබේ.

දශකයක් ඇතුලත පෙන්ටගනය විසින් නිකුත් කරන ලද ඒ ආකාරයේ පලමුවන ආරක්ෂක මූලෝපාය එය වූ අතර එමගින් තුන්වන ලෝක යුද්ධයක් සඳහා වන සූදානම සම්බන්ධයෙන් වොෂින්ටනයට වන කඩිමුඩිය ප්‍රකාශයට පත් කරයි.

මෙම පිලිවෙතෙහි මාරුවේ සුවිශේෂවම ගොරහැඩි සහ අපරාධකාරී විපාකයක්, එජ හමුදාවන් ක්‍රියාකාරී යුද මෙහෙයුම් වල නියැලී සිටින ප්‍රධාන රඟමඩල තුනක් තුල වැඩි වැඩියෙන් විද්‍යාමාන වෙමින් තිබේ. යේමනයෙන්, සිරියාවෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ලැබෙන වාර්තාවන් මගින්, එජ සහ එහි දේශීය නියෝජිතයන් වොෂින්ටනයේ පලල් මූලෝපායික අවශ්‍යතාවන් හඹා යාමේදී, අයිඑස්අයිඑස් සහ අල්කයිඩා හී කොටස් සමග සහයෝගයෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ සේවය ලබා ගනිමින් සිටින බවට ප්‍රබල සාධක සපයයි.

ලිහිල් ජාත්‍යන්තර අල් කයිඩා ජාලයට සම්බන්ධ “වඩාත්ම භයානක” සංවිධානය ලෙස එජ ආන්ඩුව විසින් නම් කල, අරාබි අර්ධද්වීපයේ අල් කයිඩා :AQAP) හී සටන් කරුවන්, අරාබි ලෝකය තුල වොෂින්ටනයේ සමීපතම මිතුරන් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් යේමනය තුල සිය ගනනින් නැතහොත් දහස් ගනනින්, බඳවාගෙන තිබෙන්නේ, දිලිඳු යේමනයට එරෙහිව එජ පිටුබලය ලත් මෙම පර්සියානු ගල්ෆ් රාජාන්ඩු විසින් 2015 සිට, සමූල ඝාතනයකට ආසන්න සේ, ගෙන ගොස් ඇති යුද්ධයේ සටන් කිරීම සඳහා පාබල සෙබලුන් ලෙසය.

ඇසෝසියේටඞ් ප්‍රෙස් විසින් සඳුදා (6 දා) පල කරන ලද විමර්ශනාත්මක වාර්තාවකට අනුව සෞදිය ප්‍රමුඛ සන්ධානය, “ඇතැමුන්ට නගර අත් හැරීමට ගෙවමින් සහ තවත් අයට ආයුධ, උපකරන සහ කොල්ලකන ලද මුදල් මිටි සමග පසු බැස යෑමට ඉඩ ලබා දෙමින් අල් කයිඩා සටන් කරුවන් සමග රහසිගත ගිවිසුම් වලට එලඹ ඇත... තවත් සිය ගනනක් සන්ධානයට සම්බන්ධ වීම සඳහා බඳවා ගැනුනි.”

“එජ ය සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් බවත්, ඩ්‍රෝන් ප්‍රහාර වලින් වැලකී සිටි බවත් ගිවිසුමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ප්‍රකාශ කල බව” එය තව දුරටත් සඳහන් කලේය.

“යේමනය තුල එජ ය සිදු කරන දේවලින් වැඩි කොටසක් AQAP යට උදව් කරන බව එජ මිලිටරියේ කොටස් පැහැදිලිවම දැනුවත් අතර ඒ පිලිබඳ විශාල සාංකාවක් ඇතැයි” සීඅයිඒ ය හා සම්බන්ධ වොෂින්ටන් චින්තන පර්ෂදයක් වන ජේම්ස්ටවුන් පදනමේ ජේෂ්ඨ විශ්ලේෂකයෙකු වන මයිකල් හෝර්ටන් පැවසීය.

“කෙසේ වෙතත් එජ ය ඉරාන ව්‍යාප්තවාදය ලෙස දකින දෙයට එරෙහිව, එක්සත් අරාබි එමිරේට්ස් (UAE) සහ සෞදි අරාබි රාජධානියට සහය දැක්වීම, AQAP වලට එරෙහිව සටන් කිරීමට පමනක් නොව යේමනය ස්ථාවර කිරීම ටත් වඩා ප්‍රමුඛතාවයක් ගනී”යැයි හෝර්ටන් තවදුරටත් පැවසීය.

මෙය තත්වය ගසා බසා දමන ඌන ප්‍රකාශයකි. මිලියන ගනනක් යේමන වැසියන් සාගතයේ අද්දරට ඇද දමා ඇති යුද්ධයකට වොෂින්ටනය විසින් අත්‍යවශ්‍යක මිලිටරි සහයක්, සපයමින් සිටී. තමන්ගේ සහ තම මිතුරු, ප්‍රතිගාමී අරාබි රෙජිමයන්ගේ මූලෝපායික තත්වය, එජ කලාපීය ආධිපත්‍යට එරෙහිව ඇතැයි දකිනා ඉරාන ආනුභාවය පිලිබඳ තර්ජනයට ප්‍රතිවිරුද්ධව සවිමත් කරගැනීම සදහා රටේ ජනගහනයෙන් විශාල ප්‍රමානයක් අතු ගා දැමීමට එය සූදානම්ය.

ට්‍රම්ප් පරිපාලනයේ එකඟත්වය ඇති යේමනයේ රතු මුහුදේ පිහිටි වරායක් වන හොදෙයිදා වටලෑම නිසා මෑත දින වලදී යුද්ධය වැඩි වර්ධනය වී ඇත. මෙම මෙහෙයුමෙන් මිලියන කාලක් පමන මිනිසුන්ගේ ජීවිත අහිමි වේයැයිද, එමෙන්ම රටේ ජනගහනයෙන් සියයට 70ක් පමනකගේ ආහාර, ඉන්ධන සහ බෙහෙත් සපයන දිවි යොතක් වන් එකම මාර්ගය වූ මෙම වරාය එමගින් වසා දැමුවහොත් රට පුරා තවත් මිලියන ගනනක් සාගතයෙන් මිය යනු ඇතැයිද, එක්සත් ජාතීන් (UN ) අනතුරු අඟවා ඇත.

මෙම අති විශාල සහ ලේ වැකි යුධ අපරාධයේදී, යේමන වැසියන් ඝාතනය කිරීම සඳහා අල් කයිඩා සටන් කරුවන් බඳවා ගැනීම, එජ පිලිවෙත සමග මුලුමනින්ම ගැලපෙයි.

මේ අතරවාරයේ සිරියාව සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා (2 දා) ප්‍රකාශයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් වන ව්‍යාපාරය (ISIS) වඩවඩාත් සිය සේනාවන්, සිරියානු-ඉරාක දේශ සීමා අසල එජ මිලිටරිය හමුදා කඳවුරක් පවත්වාගෙන යන අල්-තනාෆ් වටා ඇති ප්‍රදේශයේ සංකේන්ද්‍රනය කරමින් සිටින බවත්, එය වටා සැතපුම් 34ක තහනම් කලාපයක් ඒක පාර්ශවිකව ප්‍රකාශයට පත් කොට ඇති බවත්ය. එජ සෙබලුන් එහි ජනාධිපති බෂර් අල්-අසාද් ගේ ආන්ඩුවට එරෙහි ඊනියා “කැරලිකරුවන්” පුහුනු කර ඇති අතර, පෙනී යන ආකාරයට ISIS සඳහා ආරක්ෂක ආවරනයක් සපයමින් සිටී.

ඉරාකයේ සහ සිරියාවේ ISIS “සමූල ඝාතනය” කිරීමේ ව්‍යාජය යටතේ දියත් කෙරුනු, සිරියාව තුල නීතිවිරෝධී එජ මිලිටරි මැදිහත්වීම, වටලන ලද නගර වලින් පලා යාමට, එජ ය සහ එහි කලාපීය ඒජන්තයින් ISIS සටන් කරුවන්ට ඉඩ පහසුකම් සපයනු යලි යලිත් අත් දැක ඇත. වඩාත්ම කුප්‍රකට සිදුවීම සිදුවූ රක්කා වල, ISIS සටන්කරුවන් 4000ක් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද , ඔවුන්ගේ, අවි ආයුධ, උන්ඩ සහ පුපුරන ද්‍රව්‍ය රැගත් වාහන පෙලක් නැගෙනහිර සිරියානු කාන්තාරයට ගියේය.

ඉලක්කය වූයේ මෙම සටන්කරුවන් ආන්ඩුවේ සෙබළුන්ට එරෙහිව පිහිටුවීම සහ යුද්ධයෙන් විනාශ වූ රට නැවත ප්‍රතිසංස්කරනය කිරීම සඳහා තීරනාත්මක වන සිරියාවේ තෙල් සහ ගෑස් ඇති කලාප වල පාලනය ඩමස්කස් වලට අහිමි කිරීමේ එජ මෙහෙයුමට සහය ලබා ගැනීමයි. සිරියාව තුල එජ ඉලක්ක, ඉරානයට එරහිව පමනක් නොව රුසියාවටද එරෙහි යුද්ධයක් සඳහා පුලුල් සූදානම් වීම් සමග බැඳී පවතී.

අවසාන වශයෙන්, එජ වසර 17 කට ආසන්න කාලයක් තිස්සේ යුද්ධයක් සිදුකරගෙන ගොස් ඇති ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් සඳුදා (5දා) “ISIS සටන්කරුවන් ඇෆ්ගන් ආන්ඩුවේ සිරකරුවන්ද නැතිනම් ගෞරවාන්විත ආගන්තුකයන්ද?” යන මැයෙන් ලිපියක් පලකලේය.

උතුරු ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් අතින් අන්ත පරාජයකට ලක් වීම මගහැරීම සඳහා, ISIS ජ්‍යෙෂ්ඨ අනදෙන නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ගේ සටන්කරුවන් 250 ක් සමග, එජ පිටුබලය ලත් ඇෆ්ගන් ජාතික හමුදාවට යටත් වූ ආකාරය ලිපිය විසින් වාර්තා කරයි.

“කෙසේවෙතත් ඔවුන් සිරකරුවන් නම්, ඒ බැව් පැවසීම අපහසු විය”, ආන්ඩුව, ප්‍රාදේශීය අගනගරය වන ශේබෙර්ග්හාන් හී තානායමක ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයුවේය. ප්‍රාදේශීය ආන්ඩුකාරයාට අනුව ආරක්ෂකයන් එය වටා ස්ථානගත කර තිබුනේ කැරලිකරුවන් ඇතුලත තබා ගැනීමට නොවේ ඔවුන්ගේ හතුරන් විය හැකි කොටස් පිටතින් තබා ගැනීමටය. සටන්කරුවන් නිරායුධ කර තිබුනත් ඔවුන්ගේ ජංගම දුරකථන සහ අනෙකුත් පෞද්ගලික බඩු බාහිරාදිය ලඟ තබා ගැනීමට ඉඩ දී තිබුනි.” ටයිම්ස් වාර්තා කලේය.

“ඉස්ලාමීය රාජ්‍යයේ යටත් වීමේ සැක සහිත ස්වභාවය තලේබාන් සංවිධානයට ප්‍රචාරක වාසියක් ලබා දී ඇතැ”යි ටයිම්ස් තව දුරටත් ප්‍රකාශ කලේය.

පුවත්පත මෙම “ප්‍රචාරනයේ” ස්වභාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සපයන්නේ නැත. නමුත් “පාරවල් හරහා කෙරෙන අනතුරුදායක විය හැකි ගමන් මගහරිමින් ඇෆ්ගන් හමුදා හෙලිකොප්ටර් මගින්, ISIS සටන්කරුවන් යුදපිටියෙන් ප්‍රවාහනය කෙරුනු බව” එය වාර්තා කරයි

මෙම වාර්තාවෙන් ලබා ගත හැකි පැහැදිලි නිගමනය වන්නේ,ISIS ය තලේබාන් සංවිධානයට ප්‍රහාර එල්ල කරමින් සහ අර්බුදය සම්බන්ධයෙන් කලාපය තුල එජ භූ දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය නොකරන කුමන හෝ කතිකාමය එකඟතාවකට පැමිනීම වැලැක්වීම ඉලක්ක කරගත් ව්‍යසනයන් සිදු කරමින් ඇෆ්ගනිස්තානය තුල එජ වත්කමක් ලෙස ක්‍රියා කර ඇති බවය.

මහාද්වීප තුනක් හරහා සිදු කෙරෙන එජ මිලිටරි මැදිහත්වීම් වල ප්‍රමුඛ ඉලක්කය යැයි කියනු ලබනISIS හා පෙන්ටගනය අතර මෙම අඩු වැඩි වශයෙන් විවෘත සන්ධානය, සියලු “ව්‍යාජ පුවත්” කතාන්දර වල විශිෂ්ඨතම එක වන “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” සම්බන්ධ පුම්බන ලද වගාලංකාර තිබියදීම, කිසිදා මුලුමනින්ම අතහැර නොදමන ලද පැරනි පිලිවෙතක් නැවත යොදා ගැනීමක් විනා , නව පිලිවෙතක් නොවේ.

මෙම නිමක් නැති යුද්ධයේ මුල්ම පරම සතුරාව වන අල්-කයිඩා යනු, 1980 ගනන් වල ඇෆ්ගනිස්තානයේ සෝවියට් පිටු බලය ලත් ආන්ඩුවට එරෙහි ඉස්ලාමික මුජහිදීන් සදහා CI Aහි සහ එක්සත් ජනපද සහයේ ඍජු නිෂ්පාදනයකි. එතැන් පටන් මෙම කොටස් වලට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනුවෙන් ද්විත්ව භාවිතයක් පැවත ඇත. එනම් එක් අවස්තාවකදී තන්ත්‍ර මාරු කිරීම් සඳහා කෙරෙන යුද්ධයන් හිදී ඒජන්ත බලයන් ලෙස ක්‍රියා කිරීම සහ තවත් අවස්තාවකදී ත්‍රස්තයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් එජ මැදිහත්වීම් සදහා ව්‍යාජ හේතුවක් ලෙසය.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමැති වහන්තරාව යටතේ එජ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් ආන්ඩු එකකට පසු එකක් ලෙස, මිලියන ගනනින් වින්දිතයන් වන යුද්ධ සිදු කර ඇතිවා පමනක් නොව, රට තුල සිදු කෙරෙන ඔත්තු බැලීම් වල සිට අන්තර්ජාල වාරනය දක්වා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට අනවරත ප්‍රහාරයක් සිදු කර ඇත.

පෙන්ටගනය සහISIS ය අතර මතුවෙමින් පවතින ජාත්‍යාන්තර සන්ධානය, එජ අධිරාජ්‍යවාදයේ ආර්ථික ප්‍රමුඛත්වය අහිමිවීම හිලව් කර ගැනීම සඳහාත්, එහි දිරාපත් වන ගෝලීය ආධිපත්‍ය ආරක්ෂා කරගැනීම සදහාත්, යුද්ධයන් සිදුකරගෙන යාම සහ මෑත කාලීන ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම අන්ත අසමානතාවය විසින් විලක්ෂිත සමාජ ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා රටතුල මර්දනය දිගහැරීම යන පිලිවෙත් පාදක වන සැබෑ උත්සුකයන් හෙලිදරව් කිරීම සඳහා සේවය කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: