ට්‍රම්ප් හිටපු සීඅයිඒ ප්‍රධානී බ්‍රෙනන්ගේ ආරක්ෂක අවසරය අවලංගු කරයි: පාලක පන්තියේ යුද්ධය තීව්‍ර වේ

Trump revokes security clearance for former CIA chief Brennan: Ruling class warfare intensifies

2018 අගෝස්තු 17

එක්සත් ජනපද රාජ්‍ය යන්ත්‍රනය තුල ගැටුම තීව්‍ර වෙද්දී, ධනපති පාලක ප්‍රභූවේ හා එහි රාජ්‍යයේ අතිශයින් ප්‍රතිගාමී කන්ඩායම් දෙකක් එකිනෙකාට එරෙහි ව පිහිටුවමින් සිදුවන බෙදීම්වල ස්වභාවය වඩ වඩා පැහැදිලි වෙමින් තිබේ.

හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ “වැරදි කල්ක්‍රියාව හා හැසිරීම” ද මාධ්‍ය හා ට්විටර් ගිනුමෙහි ඔහුගේ “උන්මාදනීය අදහස් දැක්වීම්” සහ “අන්තර්ජාලයේ හා රූපවාහිනියේ වියරු වැටුනු බුරාපැනීම්” ද උපුටා දක්වමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අගෝස්තු 15දා ඔහුගේ ආරක්ෂක අවසරය අවලංගු කිරීමට පියවර ගත්විට, මෙම යුද්ධය නව අදියරකට ලඟා විය.

බ්‍රෙනන්ට එරෙහි පියවර මිලිටරි-රහස් තොරතුරු යාන්ත්‍රනය තුලින් ද ඩිමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය වෙතින් ද පුලුල් විරුද්ධත්වයක් ඇවිලවී ය. හිටපු රහස් තොරතුරු හා ආරක්ෂක නිලධාරියෝ ප්‍රසිද්ධ විරෝධතා දක්වද්දී, බොහෝ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයෝ හා සමහර රිපබ්ලිකානුවෝ ට්‍රම්ප්ගේ ක්‍රියාව විවේචනය කල හ.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන මාධ්‍ය හොරනෑව වන නිව් යෝක් ටයිම්ස් පත්‍රය, ට්‍රම්ප්ගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීම පිනිස පත්‍රයේ කර්තෘ වාක්‍ය පිටු වහා ම බ්‍රෙනන්ට විවෘත කලේ ය. අගෝස්තු 16දා පලකල සටහනක් බ්‍රෙනන් මුලුමනින් ම කැපකලේ, එක්සත් ජනපද මැතිවරනයට රුසියානු මැදිහත්වීමේ මිථ්‍යාව ඉදිරියට දමමින් රුසියානු ප්‍රතික්ෂේප කිරීම් “කුනු කූඩයට දැමිය යුතු ඒවා” ලෙස ප්‍රතික්ෂේප කලේ, ට්‍රම්ප් වනාහි “අපගේ මූලික ගෝලීය හතුරා” සමග දැනුවත් ව හා හුරුබුහුටි ලෙස සන්ධනාගත ව සිටින්නෙක් හෙවත් ද්‍රෝහියෙක් ලෙස ඉදිරිපත් කිරීමට ය.

බ්‍රෙනන්ගේ ආරක්ෂක අවසරය අවලංගු කිරීම ගැන ධවල මන්දිරය පලමු වරට පසුගිය මාසයේ ඉඟි කලේ, එය නිවේදනය කරන ප්‍රකාශය මුලින් ජූලි 26 දාතම දැරුවේ ය; ඉන් අදහස් වන්නේ, එම පියවර තීරනය කරනු ලැබ තිබුනේ සති තුනකට පෙර වුවත් ට්‍රම්ප්ට තම පරිපාලනය තුල ම නැගෙන අර්බුදයෙන් මහජන අවධානය ඉවතට හැරවීමට එය උදව්කාරක වන්නේ ය යන්න හැඟෙන තෙක් එය ප්‍රසිද්ධ කරනු නො ලැබී ය.

නිවේදනය නිකුත් කරන ලද්දේ, ට්‍රම්ප්, මාන්ඩලික ප්‍රධානී ජෝන් කෙලී, උද්ඝෝෂන ආධාරකාරිනී කැත්‍රිනා පියර්සන් හා ලේලිය වන ලාරා ට්‍රම්ප් සමග පැවැත්වූ සාකච්ඡාවල පටිගත කල වාර්තා නිකුත් කර ඇති ට්‍රම්ප්ගේ හිටපු ආධාරකාරිනී ඔමරෝසා මැනිගෝල්ට්-නිව්මන් විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂනයේ වැඩෙන පීඩනය ට්‍රම්ප්ට දැනී යාම නිසා බව පෙනේ.

“දි ඇප්‍රෙන්ටිස්” -ආධුනිකයා- යන රියැලිටි වැඩසටහන ඉදිරිපත් කරන සමයේ අප්‍රිකානු-ඇමරිකානුවන්ට එරෙහි නරක ම වර්ගවාදී අපහාසයන් කරන ට්‍රම්ප්ගේ හඬ සහිත වෙනත් පුද්ගලයෙකු සතුව තිබෙන තැටිගත පටයකට ද තමන් ඇහුම් කන් දී තිබුනු බව ද මැනිගෝල්ට්-නිව්මන් ප්‍රකාශ කලා ය. වඩ වඩා ප්‍රහාරක වන ට්‍රම්ප්ගේ ට්විටර් පනිවුඩ මාලාවක් මගින් මෙම චෝදනාව තහවුරු වූ අතර, එම පනිවුඩවලින් එකක දී ට්‍රම්ප් සිය පැරනි ආධාරකරුවා ගැන “ඒ බල්ලා” යයි සඳහන් කලේ ය. ට්‍රම්ප් වාර්ගික අපහාසයන් කරන හඬපට මහජනයාට නිකුත් කරන ලදහොත් කුමක් කරන්නේ ද යන්න ගැන ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සාකච්ඡා කිරීම එක් හඬපටයක අඩංගු වේ.

සෑම පැත්තකින් ම අපවිත්‍රත්වයට හා අපරාධකාරීත්වයට පිරිහී ඇති ඇමරිකානු දේශපාලනයේ ස්වභාවය එබඳු ය.

එක් අතක සිටින්නේ පාලක පන්තියේ සංස්කෘතික හා සදාචාරමය පිරිහීමේ පුද්ගලාරෝපනය වන ට්‍රම්ප් ය. ඔහුගේ වචන මාලාවට ෆැසිස්ට් කේකේකේහි භාෂාව අඩංගු වීම හුදෙක් පුද්ගලයා සමග පමනක් නො ව, කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන විරුද්ධත්වය වෙත එල්ල කෙරුනු ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් වගාදිගා කිරීමට තතනන මූල්‍ය වංශාධිපතිත්වයේ කන්ඩායමක් වන ට්‍රම්ප් පෙනී සිටින සමාජ බලවේග වල පිලිවෙත සමග ද මුලුමනින් අනුකූල වේ.

වොෂින්ටනය තුල යුද්ධය අතරවාරයේ, මේ වන විට මාධ්‍ය විසින් මුලුමනින් ම නො තකා හරින දෙයක් වන, සංක්‍රමනික කම්කරුවන්ට වධ දීම ට්‍රම්ප් පරිපාලනය විසින් උත්සන්න කරමින් තිබෙන අතර, එයට රැඳවියන් සඳහා අද්‍යතන රැඳවුම් කඳවුරු පිහිටුවීම ද ඇතුලත් ය.

අනෙක් අතින් බ්‍රෙනන් ඉස්මතු ව සිටින්නේ පාලක පන්තිය තුල සිටින ට්‍රම්ප් ව විවේචනය කරන්නන්ගේ ප්‍රමුඛයා ලෙස යි. මධ්‍යම රහස් තොරතුරු ඒජන්සිය නමින් හැඳින්වෙන නිල ඝාතකයන්, මැරයන් හා වෘත්තීය පචකාරයන්ගේ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඔහු, ඔබාමා පරිපාලනයේ ඩ්‍රෝන් යුද වැඩසටහනේ හිටපු ප්‍රධානියා ය.

සීඅයිඒ සංවිධානය තුල දශක තුනක වෘත්තීය ජීවිතයක් සහිත බ්‍රෙනන්, වර්ජිනියාවේ ලැන්ග්ලේහි සීඅයිඒ මූලස්ථානයේ හෝ ඔබාමාගේ ධවල මන්දිරියේ පසුගිය වසර 20 ගත කිරීමට පෙර වැඩකල අනෙක් ස්ථාන අතරට සවුදි අරාබියේ මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස සිටි සමය ද අයත් ය.

2017 ජනවාරියේ සීඅයිඒ සංවිධානය හැර ගිය තැන් පටන්, එන්බීසී ප්‍රවෘත්ති සේවය සඳහා “විශ්ලේෂකයෙකු” හා අටුවාකරුවෙකු ලෙස කටයුතු කරමින් බ්‍රෙනන් තම රහස් තොරතුරු වෘත්තීයෙන් හම්බ කරගෙන ඇත. මාධ්‍යවල හා ඩිමොක්‍රටික් පක්ෂයේ පිටුබලය සහිත ව මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතයේ කන්ඩායම් විසින් ට්‍රම්ප් රුසියාව සම්බන්ධයෙන් මෘදු යයි ගෙනයන උද්ඝෝෂනයේ මූලික භූමිකාවක් ඔහු ඉටුකර තිබේ. මෙහි ඉලක්කය වන්නේ ට්‍රම්ප් පරිපාලනයෙහි විදෙස් පිලිවෙතේ මාරුවක් සඳහා බලකිරීම පමනක් නො ව, දේශීය විරුද්ධත්වය සාපරාධීකරනය කිරීමේ හා අන්තර්ජාලය වාරනය කිරීමේ රාමුවක් නිර්මානය කිරීමත් ය.

පසුගිය මාසයේ පැවති පස්වන ජාතික සම්මේලනයේ දී සම්මත කරන ලද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන යෝජනාව තුල සඳහන් කල පරිදි, ට්‍රම්ප් හා ඔහුගේ විරුද්ධවාදීන් යන දෙගොල්ලන් ම කම්කරු පන්තියේ හතුරන් ය.

පාලනයේ ප්‍රජාතන්ත්‍රීය රූපාකාර අත්හැරීම රාජ්‍ය යන්ත්‍රනය තුල විෂකුරු ගැටුම් සමග අත්වැල් බැඳගනී. දිනක් දිනක් පාසා ජනාධිපතිවරයා ඔහුගේ වාචික පරිභවයන් වමාරද්දී, ඩිමොක්‍රටිකයෝ රුසියානුවන් ඇමරිකාව තුල “බෙදීම් වගාකරමින් සිටී” යන නව මැකාතිවාදී පන්නයේ කල්පිතයන් ඉදිරිපත් කරති. ගෞරවනීයත්වය පසෙක තැබුවත්, යන්තමින් වත් ප්‍රගතිශීලී වන කිසිවක් ඩිමොක්‍රටික් පක්ෂය හා මාධ්‍ය කන්ඩායම් ට්‍රම්ප්ට එරෙහි ව ගොඩනගන විරුද්ධත්වය තුල නැත. ඔවුන් නියෝජනය කරන්නේ පාලක පන්තියේ තවත් ප්‍රතිගාමී කන්ඩායමකි. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධ වන්නේ, ඔහුගේ විදෙස් පිලිවෙත (විශේෂයෙන් ම රුසියාව සම්බන්ධ ව) ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දීර්ඝ-කාලීන මූලෝපායික අවශ්‍යතාවන්ට වලකපමින් තිබේ ය යන්න මත ය.

මැකාතිවාදී භාෂාවෙන් ලියන ලද නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ බ්‍රෙනන්ගේ තීරු ලිපිය, රුසියාව සමග ගෝලීය අරගලයක දී ප්‍රධානතම දුර්වල කම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන් ය යයි ඉදිරිපත් කිරීම අවධානයට ගත මනා ය. බ්‍රෙනන් මෙසේ ලීවේ ය: “විවිධ වර්ගයේ දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ, මාධ්‍ය ද්වාර, චින්තන තටාක හා බලපෑම් සහගත පුද්ගලයන් ව, ඕනෑකමින් වේවා එසේ නොමැති ව වේවා, පහසුවෙන් හැසිරවිය හැකි වීම හෝ රුසියානු රහස් තොරතුරු මෙහෙයුම්කරුවන් විසින් මුලුමනින් මුදලට ගත හැකි වන තතු යටතේ, බටහිර ප්‍රජාතන්ත්‍රයන්ගේ මැතිවරන දේශපාලනය සුවිශේෂී චිත්තාකර්ෂනීය ඉලක්කයක් ඉදිරිපත් කරයි. බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් මල් ඵල දරන හා ආඥාදායකත්වයන් එතරම් බිය වන එම නිදහස හා විමුක්තිකාමයන් ම රුසියානු රහස් තොරතුරු සේවාවන් විසින් ගසාකනු ලැබ තිබේ...”

රාජ්‍යය ඇතුලත මාලිගා කුමන්ත්‍රන ප්‍රයෝගයන් හා දේශපාලන යුද්ධයට පසෙකින් හා පිටස්තර ව, සංගත-හිතවාදී වෘත්තීය සමිතිවලින් ස්වාධීන වීමට පටන්ගෙන ඇති වැඩ වර්ජන මාලාවක රූපයෙන් හා කම්කරුවන්ගේ සියලු කොටස්වල විරුද්ධත්වය හා අතෘප්තිය වැඩීමේ රූපයෙන් මුලුමනින් ම වෙනස් සමාජ බලවේගයක් ඉස්මතු වෙමින් පවතී. මෑත දී කරන ලද මත විමසුම් තරුන ජනයා අතර ධනවාදයට සහයෝගය බිදවැටීම හා සමාජවාදයට ඇති පුලුල් සහයෝගය තහවුරු කර ඇත.

ඇසුරුම් බෙදාහරින යූපීඑස් සමාගම හා ටීම්ස්ටර් වෘත්තීය සමිතිය රාජ්‍යය ද සමග එක්ව එලඹෙන සති කිහිපයේ දී විරෝධය මර්දනය කර පාවාදීමේ කොන්ත්‍රාත්තුවක් ඡන්දයට දැමීමට දරන, ධනේශ්වර මාධ්‍ය විසින් මුලුමනින් ම නො තකා හරිනු ලබන්නා වූ, තිරයට පිටුපසින් කරන උමතු ක්‍රියාකාරීත්වයක් පවතී. පන්ති අරගලයේ ඕනෑම පුපුරා යාමකින් සමාජ පිපිරුමක් ඇති කල හැකි බවට පාලක පන්තිය බියපත් වේ.

මෙම විරුද්ධත්වය දැනුවත් දේශපාලන ප්‍රකාශනයක් ලබාගත යුතු ය. පාලක පන්තියේ කුමන කන්ඩායමක් බලයේ සිටියත්, මාවත වැටී තිබෙන්නේ වඩ වඩා ඒකාධිපති හා ආඥාදායක පාලන රූපාකාරයන් වෙත යි. හදිසි කර්තව්‍යය වන්නේ, පන්ති අරගලයේ හා සමාජ විරෝධයේ විවිධ රූපාකාරයන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය හා එය දරා සිටින ධනේශ්වර ලාබ පද්ධතිය පෙරලා දැමීම සඳහා වන විප්ලවවාදී ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ කිරීම පිනිස කම්කරු පන්තියේ සමාජවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම යි.

පැට්‍රික් මාටින්

Share this article: