කොටස් වෙලඳපොල නැඟීමේ පන්ති ගතිකයෝ

The class dynamics of the stock market bull run

2018 අගෝස්තු 24

ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව කඩාවැටීමේ දසවන සංවත්සරය එලඹෙමින් තිබියදී, මේ සතියේ ඇමරිකානු කොටස් වෙලඳපොල එහි දීර්ගතම ඉහල නැඟීම වාර්තා කරයි. එය අර්ථ දැක්වෙන්නේ, වෙලඳපොලේ සියයට 20ක කඩා වැටීමක් අත් නොදැක දිගටම ඉහල නැඟීමක් (bull run) ලෙසය.

එහි පහතම ලක්ෂයට පැමිනි 2009 මාර්තු 9දාට පසුව එස්ඇන්ඞ්පී 500 දර්ශකය සියයට 323න් ද නැස්ඩැක් තාක්ෂනික දර්ශකය සියයට 611න් ද ඩව් ජොන්ස් සියයට 300 ද ඉහල නැඟී ඇත. 2009 පටන් එස්ඇන්ඞ්පී දර්ශකයේ නැඟීම නියෝජනය කරන්නේ, වැඩි පංඟුව සමාජයේ ඉහල තට්ටුව අතට ගලා ගිය, ඩොලර් ටි්‍රලියන 18ක පමන මූල්‍ය වත්කම් ඉහල නැඟීමයි.

මෙම වර්ධනය ඇමරිකානු ධනවාදයේ ශක්තිය ප්‍රකාශ කරනවාට වඩා, 19වන සියවසේ ප්‍රකාට සංසිද්ධියකට සමානකම් දක්වයි. එනම් ක්ෂය රෝගියෙකුගේ මුහුනෙහි දක්නට ඇති රෝස පැහැය මෙනි. 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව බිංඳුවට වැටුනු ඇමරිකානු මූල්‍ය වෙලඳපොලේ නාටකාකාර නැඟීම, මූල්‍ය පරපුටුකමේ රූපාකාරයෙන් පලවන වසංගතයක් මිස, සෞඛ්‍ය සම්පන්න කමේ දෘෂ්‍යමාන ප්‍රකාශනයක් නොවේ.

2008 අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ආන්ඩුව හා මූල්‍ය බලධාරීන් ගත් පියවර, උත්පාතයේ ආර්ථික මූලයන්ව පවතී. මූල්‍ය සමපේක්ෂනයේ විවිධ අංශවල ඇතිවූ සපුරාම සාපරාධී කටයුතුවලින් නිර්මානය වූ,1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව හටගත් වඩාම බරපතල අර්බුදය හමුවේ, එම මූල්‍ය ආයතන වලට ඇපදී බේරාගැනීම පිනිස ඔබාමා ආන්ඩුව, ඩොලර් බිලියන සිය ගනනින් මුදල් යෙදවීය.

අන් සෑම පද්ධතිමය අර්බුදයකදී මෙන්ම 2008 කඩාවැටීම ද පන්ති ප්‍රතිචාරයක් ඇවිලවීය. තමන්ගේම ධනය හා බලය රැකගෙන ප්‍රසාරනය කිරීම පිනිස පාලක පන්තිය හා රාජ්‍යය අදිටන් කර ගත්තේ, කම්කරු පන්තිය අර්බුදයට ගෙවන තැනට පත්කරමිනි. අර්බුදය යොදාගෙන තම තිරිසන් සිහින සැබෑකර ගෙන ධනය තරකර ගැනීම සඳහා පාලක පන්තිය, ගනු ලැබූ සියලු පියවරයන් යටින් පැවති ගාමකය එයයි.

මිලියන ගනනක් පවුල් වලට සිය නිවාස අහිමි වෙද්දී හා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමිව, අවසානයේ ඔවුන් රැකියාවක් සොයාගනිද්දී පහත් වැටුප් ලබන රැකියා ලබාගැනීමට බල කෙරෙද්දී, මූල්‍ය පැලැන්තිය දැවැන්ත වාසි පොදිගසා ගත්හ.

ආරම්භයේ ඩොලර් බිලියන සිය ගනන් බැංකු හා මූල්‍ය ආයතනවල සේප්පු තුලට පොම්ප කිරීමෙන් පසුව “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” - සිය ශේෂ පත්‍රය බිලියන 800 සිට ටි්‍රලියන 4 දක්වා පිම්බෙනු අත්දකිමින් මහ බැංකුව මූල්‍ය වත්කම් මිලට ගැනීම - පිලිබඳ වැඩසටහන තුලින් මූල්‍ය පද්ධතිය තුලට ඩොලර් ටි්‍රලියන ගනනක් ගලා ගියේය. එසේම පොලී අනුපාතිකය ඉතිහාසගත පහත් අගයකට ගෙනාවේය.

පසුගිය මාසයේ, පක්ෂයේ පස්වන ජාතික සමුලුවේ ආරම්භක වාර්තාව ඉදිරිපත් කරමින් සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් පැවසූ පරිදි කොටස්වෙලඳපොල උත්පාතය, ”රාජ්‍යයේ පූර්න සහාය ඇතිව කොටස් හුවමාරුව, ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරය වෙත දැවැන්තව හා පෙර නොවූ විරූ ලෙසින් ධනය මාරු කිරීමේ මාධ්‍යය ලෙස සේවය කරන පරිදි, දේශපාලන - ආර්ථිකයේ ආයතනගත වීමකි.” එය වනාහි ඇමරිකානු ධනවාදයේ ආර්ථික හා ගෝලීය තත්වයෙහි පරිහානියේ ප්‍රකාශන වේ.

මෙය මූල්‍ය දර්ශකයන්හි අධිකාරය දරන ලද ප්‍රමුඛ සමාගම්වල සංයුතියෙහි වෙනස්වීම තුලින් දැකිය හැකිය. මූල්‍ය අර්බුදය හටගැනීමට පෙරාතුව වඩාත්ම වටිනාකමකින් යුත් සමාගම් වුනේ, එක්සන් මොබිල්, ජෙනරල් ඉලෙක්ට්‍රික්, මයික්‍රොසොෆ්ට් හා ඒටීඇන්ඞ්ටීය. දැන් වඩාත්ම වටිනාකමකින් යුත් සමාගම් වන්නේ තාක්ෂනික යෝධයන් වන ඇපල්, ඇමසොන්, ඇල්ෆබෙට් (ගූගල්) හා ෆෙස්බුක්ය. අතීතයේ යෝධ සමාගම් වූ අයිබීඑම් හා ජෙනරල් මෝටර්ස් වැනි ප්‍රමුඛ කාර්මික සංගත බොහෝ පිටුපසට තල්ලුවී ඇත.

තාක්ෂනික යෝධයන්ගේ වඩාත්ම ලාභදායක කටයුතු වලින් එකක් වන, පාරිභෝගිකයින්ගේ සමාජ කටයුතු හා වියදම් පුරුදු එක්රැස්කර, එම තොරතුරු අලෙවිකල හැකි භාන්ඩ බවට පත් කිරීමේ නව ක්‍රමෝපායන් යොදාගැනීම, ඇමරිකානු ධනවාදයේ සංකේතාත්මක පරිවර්තනයකි. රාජ්‍යයේ මර්දනකාරී යාන්ත්‍රනය සමඟ හවුල්ව, යුද අවි නිපදවීම ද අන්තර්ජාලයේ දේශපාලන අදහස් දැක්වීම වාරනය කිරීමට ඔත්තු ආයතන වලට උදව් කිරීම ද ඇතුලු වෙනත් මාවත් ද ඔවුහු දැකගනිති.

කොටස් වෙලඳපොල උත්පාතයට යටින් දිවෙන, මූල්‍ය පරපුටුකමේ වර්ධනයට හේතු වන තවත් ප්‍රධාන සුචියක් නම්, සිය කොටස් අගය පුම්බා ගැනීම පිනිස ප්‍රධාන සමාගම් විසින් වඩ වඩාත් කොටස් යලි මිලට ගැනීමේ ක්‍රියාවලියයි. මෙම කටයුතු වලට, ට්‍රම්ප් ආන්ඩුව විසින් ප්‍රධාන සමාගම්වල බදු කපාහැරීම තුලින් තල්ලුව ලැබී ඇත. ඇමරිකාවේ පැතිරයන දේශපාලන අර්බුදයට ප්‍රතිචාර වශයෙන් 23දා ට්‍රම්ප්, ෆොක්ස් නිව්ස් සමඟ පැවති හමුවකදී වෙලඳපොල උත්පාතය සඳහා තම දායක්ත්වය ගැන කෙලින්ම සඳහන් කලේය.

“මා ඔබට කියන්නම්, මා දෝෂාභියෝගයකට ලක්කලහොත්, මා හිතන්නේ වෙලඳපොල කඩා වැටෙනු ඇතැයි” යනුවෙන් ඔහු පැවසීය. “ඔබ විශ්වාස නොකරනු ඇති” පරිදි මෙහි ප්‍රතිපලය වනු ඇත්තේ, තත්වය අනෙක් අතට පෙරලීමෙන්, සියල්ලන්ම “බෙහෙවින් දුප්පත්” වීමය.

පක්ෂ දෙකම මතුරන නිල මන්ත්‍රය වන්නේ, ව්‍යාපාරවල බදු කපාහැරීමෙන් ආයෝජන දිරිමත් වන බවත්, එමඟින් රැකියා බහුල වී වැටුප් වැඩිවන බවත්ය. එනම් ඊනියා “පහතට ගලා යාමේ” ක්‍රියාවලිය නිසා.

එහෙත් සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධයයි. “පහතට ගලායාම” වෙනුවට බදු පියවර මඟින් නිර්මානය කර ඇත්තේ, සමාජයේ ඉහලම මූල්‍ය හා ව්‍යාපාරික කතිපයාධිකාරයේ ධනය වැඩිකරමින් ඉහලට ගලා යාමකි. මේ වසරේ කොටස් යලි මිලට ගැනීම, එස්ඇන්ඞ්පී සමාගම් ඉපැයුම්වල වර්ධනයේ සැලකිය යුතු වැදගත් සංඟඨකයක් වේ. එය දෙසැම්බර් වන විට ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇති බවට ගනන් බලා ඇත.

එහෙත් රාජ්‍ය අනුග්‍රහය සහිත මූල්‍ය පරපුටුකම කොටස් වෙලඳපොල පිම්බීමේ එකම සාධකය නොවේ. තවත් තීරනාත්මක කාරනයක් නම්, පන්ති අරගලය මැඬීමෙහිලා වෘත්තීය සමිති පර්යාය ඉටුකරන ක්‍රියාකලාපයයි. මූල්‍ය පරපුටුකමේ නැඟීමට සමානුපාතිකව, අඩුම වශයෙන් 1980 ගනන් මුලදීවත් වර්ධනය වූ මෙම ක්‍රියාවලිය, 2008 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිත්තේ වේගවත් විය.

බැංකු හා මූල්‍ය සමාගම්වල පිම්බීමට අනුකූලව ඔබාමා ආන්ඩුව, වෘත්තීය සමිති නිලධරයේ උදව් ඇතිව ජෙනරල් මෝටර්ස් හා ක්‍රයිස්ලර් සමාගම්වල “ප්‍රතිව්‍යුහකරනයක්” සංවිධානය කලේය. කුප්‍රකට දෙවිදිහක වැටුප් ක්‍රමය වැනි පියවර හඳුන්වාදීම තුලින් එය, ප්‍රධාන වැටුප් කප්පාදු හා සමාජ සහන කැපීම ඇරඹූ අතර, දැන් එය ඇමරිකානු කර්මාන්තය පුරා පැතිර ගොස් ඇත. අනෙක් අතට මේ පියවර ඇමසොන් හා අනෙකුත් ප්‍රමුඛ සංගත විසින් උපයෝගී කරගනු ලබන සුපිරි සූරාකෑමේ නව ක්‍රම වර්ධනය සඳහා කොන්දේසි සකස් කලේය.

මෙහි ප්‍රතිපල වශයෙන් කොටස් වෙලඳපොල නව මුදුනකට නඟිද්දී, වැටුප් හා සේවා කොන්දේසි අතොරක් නැතිව පහත වැටෙන ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. මෑතකදී පලවූ සමාජ දත්ත දෙකක් මේ ක්‍රියාවලියේ බලපෑම ගෙනහැර දක්වයි. වැඩෙන සමාජ අසමානතාවයේ ප්‍රතිපල වශයෙන් 2016දී, ඇමරිකාව තුල ආයු අපේක්ෂාව දෙවසරක කාලයක් තිස්සේ පහත වැටී ඇත. දශක ගනනකට පසුව පලමු වරට මෙවැන්නක් සිදුව ඇත. මත්ද්‍රව්‍ය වැඩිපුර ගැනීමේ සංඛ්‍යා 2008 පටන් සියයට 80න් වැඩිවී පසුගිය වසරේ එය 72000 දක්වා නැඟුනි.

කොටස් වෙලඳපොල උත්පාතය වානාහි, සිය ධනය වැඩිකර ගැනීමේ ව්‍යායාමය කිසිදු ආකාරයකින් නතර නොකිරීමට අදිටන් කරගෙන සිටින, පාලක පන්තියේ වඩ වඩාත් ගැඹුරුවන ප්‍රහාරයේ ප්‍රතිපලයයි. ඊට අනුකූල අයුරින් කම්කරු පන්තිය සිය ස්වාධීන පන්ති ප්‍රති ප්‍රහාරය වර්ධනය කල යුතුය.

පරපුටු හා විනාශකාරී ලාභ පද්ධතිය තුල ප්‍රතිසංස්කරන සඳහා මොනම පදනමක්වත් ඇත්තේ නැත. එය පෙරලා දමා, මිලියන සංඛ්‍යාත ශ්‍රමිකයින් විසින් නිර්මානය කරන ධනය මානව වර්ගයාගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා යොදාගන්නා, ඉහල මට්ටමේ සමාජ-ආර්ථික ක්‍රමයක් ගොඩනඟමින් විස්ථාපනය කල යුතුය. ඇමරිකාව තුල මතුවෙමින් එන පන්ති අරගලය මේ ක්‍රියාවලියේ ආරම්භයයි. එහි තවදුර වර්ධනය රඳා පවත්නේ අන් සියල්ලටත් වඩා, සමාජවාදී ඉදිරිදර්ශනයකින් හා ක්‍රියාමාර්ගයකින් එය දේශපාලනිකව සන්නද්ධ කරනතාක් දුරට හා මෙම අරගලයට නායකත්වය සැපයීම සඳහා අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ගොඩනඟනතාක් දුරටය.

නික් බීම්ස්

Share this article: