ආන්ඩුව පොරොන්දු වූ වැටුප් ඉල්ලීම් නොදීමට විරුද්ධව දුම්රිය සේවකයන් වර්ජනය කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 අගෝස්තු 9

වැටුප් විෂමතාවයන් ඉවත් කර අදාල වැටුප් තලයන්හි පිහිටුවීමට යෝජිත අමාත්‍ය මන්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරුද්ධව දුම්රිය සේවකයෝ බදාදා සිට වර්ජනයක නිරතව සිටිති. රියදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහ මෙහෙයුම් අධීක්ෂන නිලධාරීන් ඇතුලු 4,000 පමන සේවකයෝ ඊට සම්බන්ධ වී සිටිති. වර්ජනය නිසා දුම්රිය සේවය මුලුමනින් ම පාහේ ඇනහිට ඇත. වර්ජනය කැඳවුම් කර ඇත්තේ දුම්රිය සමිති සන්ධානය විසිනි.

දුම්රිය සේවකයන් අරගලය ආරම්භ කිරීමත් සමග එදින සවස 6.00 ට වැටුප් ඉල්ලීම් සම්බන්ධව දුම්රිය සමිති සමග යොදාගෙන තිබුන සාකච්ඡාව මුදල් ඇමති මංගල සමරවීර වහාම අවලංගු කලේ ය. ඉක්බිතිව බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු වර්ජනය “තරයේ” හෙලා දුටුවේය. එය වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන් සමග කිසිම සම්මුතියක් නැති බවට ආන්ඩුව පැත්තෙන් කෙරුන තර්ජනයකි.

වර්ජනය බිඳීමේ පියවරයන් ලෙස විශ්‍රාමික දුම්රිය රියදුරන් සේවයට කැඳවා ඇති අතර ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලය සහ ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ බස් සේවයක් ආරම්භ කර ඇත.

ආන්ඩුවේ සහ පුද්ගලික ධනපති මාධ්‍ය වර්ජනය නිසා “මහ ජනතාවට සිදුවන අපහසුව” ගැන කිඹුල් කඳුලු හෙලමින් දුම්රිය සේවකයන්ගේ අරගලයට එරෙහිව මහ ජනයා කුපිත කිරීමේ ප්‍රතිගාමී උත්සාහයක යෙදී සිටිති.

දුම්රිය සමිති සමග ජුලි 30 වෙනිදා පැවති සාකච්ඡාවක දී විශේෂ ව්‍යාපෘති ඇමති සරත් අමනුගම සහ අමාත්‍ය මන්ඩල සම ප්‍රකාශක රාජිත සේනාරත්න වැටුප් ගැටලුව විසඳීමට අදාල යෝජනා පසුදින අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කිරීමට පොරොන්දු වී ඇත. ඒ අනුව ජුලි 30 සහ 31 දෙදින සුදානම් කර තිබු වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ නායකයෝ එකඟ වුහ.

එහෙත්, අදාල යෝජනා සහිත පත්‍රිකාව ජුලි 31 අමාත්‍ය මන්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුන විට මුදල් ඇමති සමරවීර එයට දැඩිව විරුද්ධ විය.

“වැඩ වර්ජන කරන පලියට පඩි වැඩි කරන්න බැහැ. මේක මහ කොන්ද පන නැති ආන්ඩුවක්. මෙහෙම පඩි වැඩි කරන්න ගියොත් හැමෝම වැඩ වර්ජනය කරයි. වර්ජන කරනවට බයෙන් පඩි වැඩි කරන්න බැහැ.” යයි ඔහු එහිදී ප්‍රකාශ කර දුම්රිය සේවකයන්ගේ ඉල්ලීමට පයින් ගසා ඇත.

වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳ ගැටලු නොවිසඳිම නිසා දුම්රිය සේවකයන් අතර පවතින නොසන්සුන්කම හේතු කොට ගෙන පසුගිය වසරේ සිට වර්ජන සහ විරෝධතා උද්ඝෝෂන ගනනාවක් කැඳවීමට දුම්රිය සමිති සන්ධානයට බල කෙරුනි. එහෙත් ඒ හැම විටම සමිති නායකත්වය කලේ ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කොට එම අරගල පාවාදීමය.

වැටුප් විෂමතා ගැටලු පිලිබඳ පත්‍රිකාවක් අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කරන බවට අමුනුගම දුන් පොරොන්දුව පිලිගෙන දෙසැම්බර් මාසයේ දින හයක් පැවති වර්ජනය වෘත්තීය නායකයන් විසින් නතර කරනු ලැබීය. එය ප්‍රෝඩාවක් බව එලිදරව් වීමට වැඩි කලක් ගියේ නැත. පසුව අදාල පත්‍රිකාවට අනුමැතිය ලබුන බව මේ වසරේ මැයි මාසයේ අමාත්‍ය මන්ඩල සම ප්‍රකාශක සේනාරත්න විසින් තහවුරු කල බව ආන්ඩුවේ දිනමිණ පත්‍රය මැයි 9 වෙනිදා වාර්තා කර තිබුනි. එම පචය පිලිගෙන මැයි 8-9 වර්ජනය ද සමිති නායකයන් කල් දැමීය.

වැටුප් ගැටලු විසඳීමට ඇමති මන්ඩලය එකඟ නමුත් මුදල් ඇමති විරුද්ධ බව කියමින් දැන් සමිති නායකයෝ ආන්ඩුව කෙරෙහි එල්ල වී ඇති දුම්රිය සේවකයන්ගේ විරුද්ධත්වය වෙනත් අතකට අවමන්ගත කිරීමේ උත්සාහයක යෙදී සිටිති.

මුදල් ඇමතිගේ ගර්ජනාව මැද වර්ජනයට එරෙහිව මර්දනය තීව්‍ර කෙරෙද්දී ගැටලු විසඳීමට මැදිහත් වෙන ලෙස සමිති නායකයන් යලිත් නිවට ලෙස ජනාධිපති ට ආයාචනා කර ඇත. දෙසැම්බර් මාසයේ දුම්රිය සේවක වර්ජනයට අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා එය මර්දනය කිරීමට මූලික පියවර ගත්තේ ජනාධිපති ය.

ජනාධිපති, අගමැති හෝ ධනපති ආන්ඩුවේ කිසිවෙක් දුම්රිය සේවකයන්ගේ හෝ කම්කරු පන්තියේ කවර කොටසකවත් දුක්ගැනවිලි වලට ඇහුම්කන් දී ඒවා විසඳීමට සූදානම් නැත. දුම්රිය සේවකයන්ගේ වැටුප් ඉල්ලී වලට එරෙහිව ජුලි 30 වෙනිදා මුදල් ඇමතිගේ බුරා පැනීම හුදෙක් ඔහුගේ පුද්ගලික දුෂ්ටත්වය සම්බන්ධ කාරනාවක් නොව, එය ධනපති පාලක පන්තිය කම්කරු පන්තියේ සමාජ අයිතීන් පිලිබඳව දක්වන නරුම විරුද්ධත්වයේ ප්‍රකාශනයකි.

සේනාරත්න සහ අමුනුගම දුම්රිය සේවකයන් කෙරෙහි පෙන්වන හිතවත්කම ප්‍රෝඩාවකි. දුම්රිය කම්කරුවන්ගේ පුලුල් අරගලයක් පුපුරායාමත් එය විසින් ආන්ඩුවේ ප්‍රහාර හා බොරු පොරොන්දු කෙරෙහි කුපිත වී සිටින අවශේස කම්කරුවන්ද ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව ගැන භීතියට පත්ව සිටින ධනපති පාලක පන්තිය කම්කරුවන් නොමග යැවීම සඳහා විවිධාකාර උප්පරවැට්ටි යොදති.

ජුනි මාසයේ දින 16 ක් පැවති තැපැල් සේවකයන්ගේ අරගලය නතර කලේ ජුලි 7 වෙනිදා වන විට ඔවුන්ගේ ගැටලු වලට විසදුමක් දෙන බවට රාජ්‍ය වැටුප් හා සංඛා කොමිසම “ලිඛිත” පොරොන්දුවක් දීමෙනි. දැන් මාසයක් ගෙවී ඇත. එහෙත් විසඳුම් නැත.

ආන්ඩුව ක්‍රියාවට දමන්නේ කම්කරුවන්ට දෙන පොරොන්දු නොව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කර ඇති කප්පාදු පිලිවෙත් ය. රාජ්‍ය වියදම් කප්පාදු කර අයවැය පරතරය අඩුකරන ලෙස ජාමුඅ විසින් නියෝග කර ඇත. නය අර්බුදයක කරවටක් ගිලෙමින් බරපතල මුල්‍ය ගැටලුවලට මුහුන දී සිටින ධනපති ආන්ඩුවට එම නියෝග ක්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් නැත.

රාජ්‍ය ආයතන පුද්ගලීකරනයේ කොටසක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ස්වාධීන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීමට ආන්ඩුව තීන්දු කර ඇත. ඒ සඳහා නිර්දේශයන් ඉදිරිපත් කෙරුනේ අමුනුගමගේ නායකත්වයෙන් ක්‍රියාත්මකවන අමාත්‍ය මන්ඩල අනු කමිටුව විසිනි. වෘත්තීය සමිති ඊට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම මග හැර ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ශේනිවාදී ඉල්ලීම් මත දුම්රිය සේවකයන් අතර භේද නිර්මානය කිරීමය. රියදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකයන් මෙහෙයුම් අධීක්ෂන නිලධාරීන් ආදී වශයෙන් ඉහල ශ්‍රේනින් වෙනමත්, තාක්ෂන ශිල්පීන් ඇතුලු පහල ශ්‍රේනින් වෙනමත් මෙම සමිති විසින් බෙදනු ලැබඇත. සියයකට අධික වෘත්තීය සමිති දුම්රිය දෙපාර්තමේන්තුව තුල තිබීම ම මෙම භේදකරනය පිලිබඳ ජුගුප්සා ජනක උදාහරනයකි.

ශේනිවාදී භේදකිරීම් මගින් එලෙස දුර්මුඛ කරනුයේ පහල වැටෙන ජීවනතත්වයන්ට හා රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව සටන් කිරීමට දුම්රිය සේවකයන් තුල පවතින පොදු උවමනාවය. එමගින් සමිති නිලධරය ආන්ඩුවේ ප්‍රහාරවලට මුක්කුව සැපයීමේ ශ්‍රමවිභජනයක යෙදී සිටි.

දුම්රිය සේවකයන් අතර පමනක් නොව සමස්ත කම්කරු පන්තිය තුල ම සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව අරගල පැන නගිමින් ඇත. මෑත පැන නැගුන විශ්විද්‍යාල අනධ්‍යයන, ජලසම්පාදන, තැපැල් සේවකයන් හා ගුරුවරුන් ගේ අරගල මගින් ප්‍රකාශයට පත් වුයේ කම්කරු පන්තිය තුල පවතින එම කැකෑරෙන නොසන්සුන්කමය. ආන්ඩුවේ කොන්ද පන නැතිකම සමරවීර කරන චෝදනාවේ අර්ථය කම්කරුවන්ගේ අරගල ක්ෂමාවිරහිත තලා දැමිය යුතු බවය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මෙම අරගල ධනපති පාලක පන්තීගේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව ලෝක පරිමානව වැඩෙන පන්ති අරගලවල අත්‍යන්ත කොටසකි. ඇමරිකාවේ ගුරුවරු, ජර්මනියේ කාර්මික හා ප්‍රන්සයේ දුම්රිය කම්කරුවන්, බ්‍රසීලයේ, චීනයේ සහ ආරජන්ටිනාවේ ට්‍රක් රථ රියදුරන් හා නවසීලන්තයේ හෙද සහ සෞඛ්‍ය සේවකයන් ගේ පසුගිය සතිවල පැන නැගුන අරගල එවන් අරගල වලින් කිහිපයකි.

එහෙත් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම වෘත්තීය සමිති ක්‍රියාකරන්නේ ධනපති පාලක පන්තීන්ගේ හා හාම්පුතුන්ගේ උපකරන ලෙසය. ඒවා තවදුරටත් කම්කරු පන්තියේ කවර හෝ අයිතියක් ආරකෂා නොකරති.

එහෙයින් වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් නිදහස් නොවී දුම්රිය හෝ කම්කරු පන්තියේ කවර කොටසකටවත් තම අයිතීන් සඳහා දැනුවත් හා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල නොහැකිය.

දුම්රිය කම්කරුවන් ධනපති ගැති වෘත්තීය සමිතිවලින් බිදී තමන්ගේම ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම ගොඩ නගා ගත යුතුය. සමිති විසින් නිර්මානය කර ඇති ශ්‍රේනිවාදී භේදයන් උදව් කරන්නේ ධනපති ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමටය. වෘත්තීය සමිති විසින් මෙම භේද කාරිත්වයන් කපාගෙන තම අයිතීන් සඳහා සටන තමන් අතට ගත යුතුය.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන් ද වතු කම්කරුවන් ද අතර එකමුතුව තහවුරු කරමින් ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට විරුද්ධව සමස්ත කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට එම ක්‍රියා කමිටු හරහා පියවර ගත යුතුය. එම අරගලය වටා ධනපති ආන්ඩුවෙන් බැටකන හා ඊට එරෙහිව පෙරලිකාරී වන ගම්බද දුගී ගොවීන්, රැකියා විරහිත තරුනයන් හා ශිෂ්‍යන් ඇතුලු පීඩිත ජනකන්ඩායම් රැලිකර ගත යුතු ය.

පුද්ගලීකරනය නතර කර දුම්රිය ඇතුලු ව්‍යවසායන් පවත්වාගෙන යා හැක්කේත්, වැඩකරන ජනතාවගේ අයිතීන් තහවුරු කල හැක්කේත් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලන අහෝසිකර සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ පමනි.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස දුම්රිය සේවකයන් ඇතුලු කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: