එක්සත් ජනපද-යුරෝපා සංගමය වෙලඳ ගිවිසුමේ විභේදන මතුවේ

Rifts emerge in US-EU trade deal

නික් බීම්ස් විසිනි, 2018 ජූලි 31

අන්තර් අත්ලාන්තික වෙලඳ යුද්ධයේ සටන් විරාමයක් නැත්නම් සාමයක් ලෙස හුවා දක්වන ලද එක්සත් ජනපද- යුරෝ සංගමය වෙලඳ ගිවිසුම ඇතිකරගැනීමෙන් සතියකට ආසන්න කාලයක් ගතවීමටත් මත්තෙන් එය බිඳෙන්නට පටන්ගෙන ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුරෝපීය කොමිසමේ සභාපති ජීන් ක්ලව්ඩේ ජුන්කර් අතර ජූලි 25දා පැවති රැස්වීමේදී එකඟවූ කරුනු මත හරියටම බෙදීම් ඇතිව තිබේ. කෘෂිකර්මය මත කේන්ද්‍රගතවූ අර්ථකතනයේ වෙනස්කම්, ගිවිසුම ඇති කරගත් දිනට පසු දා ම මතුව ආවේ ය. ඒ ට්‍රම්ප් ඇමරිකානු ගොවීන් අමතා: “ගොවීන් වන ඔබ සඳහා අපි යුරෝපය විවෘත කර ඇත්තෙමු” යයි පැවසීමත් සමග ය.

ගිවිසුම යටතේ යුසං, යුරෝපීය මෝටර් රථ හා අමතර කොටස් වලට සියයට 25ක තීරු බදු පැනවීමේ තර්ජනය නතර කිරීමටත්, වානේ හා ඇලුමිනියම් සඳහා පනවා ඇති තීරු බදු පිලිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටත් හිලව් වශයෙන්, ඇමරිකාවේ සෝයා බෝංචි හා ද්‍රවීය ස්වාභාවික ගෑස් ආනයනය වැඩිකිරීමට එකඟ විය. එහෙත් පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ ඇතිකරගෙන තිබෙන සංකීර්න පියවරයන්ගෙන් ආරක්ෂා කෙරෙන, යුරෝපීය කෘෂිකාර්මික වෙලඳපොල තවත් විවෘත කිරීමට කිසිදු එකඟත්වයක් ඇතිකරගෙන නොතිබුනි.

රැස්වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ ජුන්කර් මාධ්‍ය හමුවේ පැවසුවේ ඇමරිකාව, “කෘෂිකාර්මික නිෂ්පාදනයේ මුලු ක්ෂේත්‍රයම ඊට ඇතුලත් විය යුතු බව අවධාරනය කලා. අපි එය ප්‍රතික්ෂේප කලෙමු, මක්නිසා ද යත්, ඒ පිලිබඳව මට බලයක් ලැබී නැති බැවින් හා යුරෝපය තුල එය ඉතා සංවේදී කාරනයක් වන බැවිනි.”

ගිවිසුම සෝයා බෝංචි වලින් එහා ගොස් ඇති බව හා ඒවායේ ඇඟවුම් පිලිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ වලින් පසුව ජුන්කර්, “කෘෂිකර්මය එහි කොටසක් නොවන” බව සඳහන් කෙරෙන ප්‍රකාශයක් ප්‍රකාශිකාවක් මඟින් නිකුත් කලේය. “ඔබ ඒකාබද්ධ ප්‍රකාශයක් අපේක්ෂා කරන්නේ නම්, ඒ ආකාරයෙන් කෘෂිකර්මය ගැන සඳහන් නොකල යුතුය. ගොවීන් හා සෝයා බෝංචි සාකච්ඡාවල කොටසක් ලෙස සඳහන් වුනේ නම් අප ඒ ගැන සැලකිලිමත් විය යුතුය.” ඇය පැවසුවාය. “කෘෂිකර්මය ගැන නම් මම හිතන්නේ අපි ඒ ගැන වඩා නිශ්චිත විය යතු බවයි. කෘෂිකර්මය සාකච්ඡාවල ක්ෂේත්‍රයෙන් බැහැරය. අප කෘෂි නිෂ්පාදන ගැන සාකච්ඡා කරන්නේ නැත.”

මේ ප්‍රකාශ ඇමරිකාව පැත්තෙන් ප්‍රහාරය වඩා තීව්‍ර කරනවා පමනි.

ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝව් ඉරිදා සීබීඑස් “ෆෙස් ද නේෂන්” වැඩසටහනේදී පැවසුවේ, ඇමරිකාව, ගොවිපල හා බලශක්ති නිෂ්පාදන ගැන යුසං සමඟ එකඟත්වයකට එලඹීම පිනිස සාකච්ඡා ආරම්භ කල යුතු බවයි. “අපි සියලු වෙනස් ක්ෂේත්‍ර විභාග කර බලන ක්‍රියාවලියක් සකස් කරන්නෙමු.” එහි තේරුම කෘෂිකර්මය ද ඇතුලු පුලුල් සාකච්ඡා පැවැත්විය යුතු බවයි.

තමන් කෘෂිකර්මය සාකච්ඡා වලින් ඉවත් කිරීම පිලිබඳ තර්ක “පිලිනොගන්නා” බව කුඩ්ලෝව් පැවසීය. “කෘෂිකර්මය ඒවායේ කොටසක් නොවන්නේ නම් සෝයා බෝංචි හා හරක් මස් වලට කුමක් සිදුවන්නේ ද? දෙදෙනා විසින්ම අත්සන් තබන ලද අවසන් ලේඛනයේදී අපි ගොවීන් හා කම්කරුවන් වෙනුවෙන් වෙලඳපොලවල් විවෘත කිරීම ගැන කථා කලෙමු.”

ගිවිසුමට ඇතුලත් එකම නිෂ්පාදනය සෝයා බෝංචිය. හරක් මස් පිලිබඳව සාකච්ඡා පසුගිය බදාදා රැස්වීමට පෙරාතුව වෙනම කථා කරන්නේය.

කුඩ්ලෝව්ගේ ප්‍රකාශ ට්‍රම්ප් ආන්ඩුවේ ඕනෑකම මත සිදුවූ බව පැහැදිලිය. භාන්ඬාගාර ලේකම් ස්ටීවන් මුන්චින් ද අවධාරනය කලේ කෘෂිකර්මය සාකච්ඡාවන්හි කොටසක් වූ බවය. 30දා ෆොක්ස් නිව්ස් සමඟ පැවති හමුවකදී ඔහු මෙසේ පැවසීය: “මම එහි සිටියෙමි. අපි, අපේ ගොවීන් සඳහා වැඩි අවස්ථාවන් සලසා ගැනීමටත් බාධක බිඳ හෙලීමටත් විශේෂ සාකච්ඡාවක්, කෘෂිකර්මය පිලිබඳව පැවැත්වූයෙමු.”

එහෙත් ජුන්කර්ගේ හා ඇන්ඩ්‍රීවාගේ ප්‍රකාශ වලින් පැහැදිලිවන පරිදි, කෘෂිකර්මය ගැන කථා කල ද යුසං විශේෂිතවම සෝයා බෝංචි වලින් එහා යන කුමන හෝ ගිවිසුමක් ප්‍රතික්ෂේප කර ඇත.

අනෙක් පාර්ශවය ප්‍රතික්ෂේප කර ඇති දේ ගැන විමසූ කල මුන්චින් පැවසුවේ: “අපි විශේෂයෙන්ම සෝයා බෝංචි ගැන කථා කලෙමු, එසේම අපි අනෙකුත් වෙලඳාම් ගැන ද කථා කලෙමු. පැහැදිලි කාරනය නම් අපගේ ගොවීන් හා කෘෂිකර්මය සඳහා යුරෝපීයන් වැඩි අවස්ථා සැලසිය යුතු බවය. සමස්ත එකඟතාවේ අපේ අරමුනෙහි කොටසක් එය වන බව ඕනෑවටත් වඩා පැහැදිලිය.”

කෘෂිකර්මය පිලිබඳ පුලුල් එකඟත්වයක කුමන හෝ බලාපොරොත්තුවක් ප්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්ක්‍රෝන්ගේ ප්‍රකාශ වලින් ද බිඳ වැටුනි. මැඩ්‍රිඩ්හිදී දින කිහිපයකට පෙර ස්පාඤ්ඤ අගමැති හමුවීමෙන් පසුව ඔහු පැවසුවේ, ට්‍රම්ප් හා ජුන්කර් අතර සාකච්ඡා “ප්‍රයෝජනවත්” වුවත්, තමන් ඇමරිකාව හා යුසං අතර “පුලුල් නව වෙලඳ ගිවිසුමකට” කැමැත්තක් නොදක්වන බවයි.

වානේ හා ඇලුමිනියම් සම්බන්ධව තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නයත්, මෝටර් රථ වෙලඳාමට එල්ල කෙරෙන නිරන්තර තර්ජනයත් ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, වෙලඳ සාකච්ඡා “පැවත්විය හැක්කේ තුලනාත්මක හා සංවාදශීලී පදනමක් මත පමනක් බවත්, කුමන හෝ තර්ජනයකට යටත් නොවන” බවත්ය. “ඇමරිකාව වානේ හා ඇලුමිනියම් මත නීති විරෝධී බදු පනවා ඇත. මා එය සලකන්නේ තවත් ගැටුම් වලට ඇඟවුමක් ලෙසය. එමඟින් ගැටුම් තවදුරටත් වර්ධනය වීම වලක්වන බවට පැහැදිලි ඇඟවීම් අපි බලාපොරොත්තු වන්නෙමු.” කෘෂිකර්මය මුලුමනින්ම ගිවිසුමේ කොටසක් විය නොහැකි බව ඔහු අවධාරනය කලේය.

ඇමරිකානු කෘෂි නිෂ්පාදන යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූල නැතැයි ඔහු, ඒවා යුරෝපීය වෙලඳපොලෙන් බැහැර කිරීම ඇඟවුම් කලේය. “නිදසුනක් ලෙස, පරිසරය, සෞඛ්‍ය හෝ ආහාර පිලිබඳ ක්ෂේත්‍ර වලදී කිසිදු යුරෝපීය ප්‍රමිතියක් බාල නොකල යුතු බව මගේ විශ්වාසයයි.” මැක්‍රොන් පැවසීය.

ස්පාඤ්ඤ අගමැති ද කෘෂිකර්මය පිලිබඳ මැක්‍රොන්ගේ අදහස් වලට එකඟ විය. “අපට වෙලඳ යුද්ධයක් අවශ්‍ය නොවේ, එහෙත් තමා යුසං පොදු කෘෂි ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට අදිටන් කරගෙන සිටින බව” ඔහු පැවසීය. ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී ජී20 සමුලුවෙන් පිටතදී කථා කරමින් ජර්මන් කෂිකාර්මික ඇමති ජුලියා ක්ලොඑක්නර්, “යුරෝපය සෝයා බෝංචි විශාල තොග මිලට ගැනීමට” යන බවට ට්‍රම්ප් කරන අවධාරනය ගැන සැක පහල කලාය. වොෂින්ටනය බලාපොරොත්තු වන තරම් විශාල ප්‍රමානයක් යුසං මිලට ගන්නා බවට සහතිකයක් නැතැයි ඇය පැවසුවාය.

සීබීඑස් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී කුඩ්ලොව් ඇමරිකා- යුරෝපීය ගිවිසුමේ තවත් පැත්තක් ගෙනහැර දැක්වීය. එනම්, චීනයට එරෙහි ඇමරිකාවේ වෙලඳ යුද්ධයේදී යුරෝපය තම පැත්තට හරවා ගැනීමේ උත්සාහයයි. බුද්ධිමය දේපොල සොරකම, තාක්ෂනය මාරු කිරීම හා රාජ්‍ය සහනාධාර යන චීනයට එරෙහි යොදාගැනීමට උත්සාහ කරන සියලු පියවර ආවරනය වන පරිදි ලෝක වෙලඳ සංවිධානයේ රෙගුලාසි වෙනස් කිරීමට ඇමරිකාව දරන ව්‍යායාමයේදී යුසං සහභාගිත්වය ඒ ගිවිසුම යටතේ සිදුවනු ඇත.

කුඩ්ලොව් මෙසේ පවසයි: “යුසං කථාව” වේගයෙන් පෙරට ගමන් කරයි. “මා හිතන්නේ...එය චීනය ඉතා දුෂ්කර තැනකට ඇද දමන බවයි.”

පසුගිය සතියේ සාකච්ඡා වලින් පසුව කුඩ්ලොව් ෆොක්ස් ව්‍යපාරික ජාලයට මෙසේ පැවසීය: “ලෝක වෙලඳ ක්‍රමය බිඳ දමා ඇති චීනයට එරෙහිව ඇමරිකාව හා යුසං සන්ධානගතව සටන් කරනු ඇත. සභාපති ජුන්කර් එය ඉතා පැහැදිලිව සඳහන් කලා...චීනය සම්බන්ධ ප්‍රශ්නයේදී ඔහු අපට, ජනාධිපති ට්‍රම්ප්ට, සහාය වීමට අපේක්ෂා කරන බව පැවසුවා.”

ඒ අතරම ට්‍රම්ප් ආන්ඩුව, මෝටර් රථ මත තීරුබදු පැනවීම පිලිබඳ කාරනයේදී යුසං හිසට තුවක්කුව එල්ල කිරීමට ද අදහස් කරයි. ඒවා අත්හිටුවා නැත, ඇමරිකානු වෙලඳ දෙපාර්තමේන්තුව එම බදු “ජාතික ආරක්ෂාව” මුල්කරගෙන පනවනවා ද යන්න තීරනය කරන පරීක්ෂන පැවැත්වීගෙන යද්දී ඒවා කල්දමා ඇතුවා පමනි.

සාකච්ඡා පැවැත්වෙන අතරතුර, කල් දැමීම එලෙසම පවත්වාගෙන යාමට ට්‍රම්ප් හා ජුන්කර් එකඟවී ඇත. එහෙත් කෘෂිකර්මය මත පැනැඟී තිබෙන වෙනස්කම් ඇඟවුම් කරන්නේ, සාකච්ඡා කඩාවැටී ඇති නිසා තර්ජනයට ලක්කෙරී තිබෙන තීරුබදු පැනවෙනු ඇතැයි යන වාතාවරනය සැකසීමට ඇමරිකාවට ඉඩ සැලසෙන බවයි.

Share this article: