ආන්ඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි නව වටයක රාජ්‍ය මර්දනයක් සූදානම් කරයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2018 අගෝස්තු 27

උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ “නවකවදය” පිටුදැකීමේ මුවාවෙන් මෑතදී සිදුකර ඇති ප්‍රකාශ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හා ශිෂ්‍ය සංවිධානවල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමට ආන්ඩුවේ අලුත් සූදානමක් පෙන්නුම් කරයි.

වේයන්ගොඩ නයිවල උසස් තාක්ෂන පීඨයේ නවකවදයට හසුවූවා යයි කියන පලමු වසරේ ශිෂ්‍යයෙක් ද සහභාගීකරවා ගෙන අගෝස්තු 17 මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ රාජපක්ෂ “මේ රටේ ලොකුම පාතාලය තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල” යයි සඳහන් කරමින් “මේ අය තරම් ත්‍රස්තවාදීන් ඉතින් තවත් ඉන්නවාදැ?” යි නරුම ලෙස ප්‍රශ්න කලේය.

උක්ත මාධ්‍ය සාකච්ඡාවේ දී “නවකවදය” සිදු කිරීම සම්බන්ධ වගකීම ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිට පැටවූ රාජපක්ෂ, “අපේ රටේ හොර තක්කඩින්ට කියන තවත් නමක් තමයි “පෙරටුගාමීන් කියන්නේ” යයි එම පක්ෂය (පෙසපය) හෙලා දැක්කේ ය.

1998 දී සිටි උසස් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරන විසින් “නවකවද පනත” ගෙන ඒම අගයමින් කථා කරන රාජපක්ෂ පවසන්නේ “මේ තාක් දුරට අක්‍රීයව පැවතුන පනත නිසියාකාරව ක්‍රියාත්මක කරන්නටත් දැඩි දඬුවම් ලබා දෙන්නටත් විශේෂයෙන්ම අවුරුදු 10 දක්වා උපරිම දඬුවම් ලබා දෙන්නටත් අවශ්‍ය කටයුතු කෙරෙනු ඇති” බවයි. ඊනියා නවක වද පනත සම්මත කර ගැනුනේ අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීමට එරෙහි සිසු අරගල මැඩීමට හා සරසවි තුල දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමට ය.

මාධ්‍ය සාකච්ජාවේ දී රාජපක්ෂ නවකවදය හේතුවෙන් මේ දක්වා මියගිය හා විශ්වවිද්‍යාල හැරගිය සංඛ්‍යාව අතිශයෝක්තියට නැගුවේ සරසවි සිසුන්ට එරෙහි දඩයම සඳහා මහජන මතයක් අවුස්සා ගැනීමට ය. සරසවි සිසුන්ට එරෙහි අඛන්ඩව ප්‍රචාරයක යෙදෙන රාජපක්ෂ ජූලි මස අග පැවති තවත් මාධ්‍ය සාකච්ඡාවකදී විරෝධතාවයේ යෙදෙන ශිෂ්‍යයන් “රස්තියාදුකාරයන් ”හා “පාතාලකාරයන්” ලෙස හෙලා දකිමින් ඔවුන් සමග සාකච්ඡා නැති බව ප්‍රකාශ කලේ ය.

නවකවදය හේතුවෙන් ශිෂ්‍යයන්ට සිදුවන හානිය ගැන කිඹුල් කඳුලු හෙලන රාජපක්ෂ හා ආන්ඩුව, පසුගිය අඟහරුවාදා අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනට එල්ල කල අධිබලැති ජල, කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාර හේතුවෙන් ශිෂ්‍යයන් අට දෙනෙකුට තුවාල සිදු විය. මෙය සිසු විරෝධතාවලට එල්ල කරන පොලිස් මර්දනයේ අලුත්ම සිද්ධියයි.

රාජපක්ෂගේ රුදුරු ප්‍රකාශ හුදෙක් පෙසපට හෝ එහි පාලනය යටතේ ක්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබමය) සීමා වූවක් නොවේ. ආන්ඩුවේ සැබෑ එල්ලය අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධවත් තම අධ්‍යාපන අයිතීන් දිනා ගැනීම සඳහාත් අඛන්ඩව උද්ඝෝෂනයක යෙදෙන සිසුන් රාජ්‍ය මර්දනයකින් දඬුගැසීමයි.

අගෝස්තු 16 දා රුහුනු විශ්වවිද්‍යාලයේ උත්සවයක් අමතමින් රාජපක්ෂ කියා සිටියේ ලංකාවේ විශ්ව විද්‍යාල ඉතිහාසයේ ඉහල මට්ටමක පැවති නමුත් දැන් රටේ අධ්‍යාපන පද්ධතිය හා තරුනයන් වැනසීමට “දුෂ්ඨ දේශපාලන බලවේග” ක්‍රියාත්මක වී ඒ තත්වය නැති කොට ඇති බවයි.

විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ගරාවැටීම සහ සිසුන්ට ඒවායේ අධ්‍යාපනය ලැබීමට නොහැකි තත්වයක් නිර්මානය කොට ඇත්තේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසිනි. ඒවා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත සමස්ත අධ්‍යාපන පද්ධතිය ම කප්පාදු කරන වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරුනි. පසුගිය දශක දෙකක කාලය තුල අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) වෙන් කොට ඇති සාමාන්‍යය සියයට 2 ටත් අඩු සොච්චමකි.

සමාජ දරිද්‍රතාවෙන් පෙලී සිටින සිසුන් මොනතරම් දුෂ්කර තත්වයන් තුල ට ඇද හෙලා ඇත්ද යත් ඔවුන් වැඩිදෙනා නය බරින් මිරිකී සිටින අතර වහල් ශ්‍රම කොන්දේසි යටතේ සිසුන් බොහොමයක් රැකියාවල යෙදී මුදල් උපයා ගැනීමක යෙදී සිටින්නේ අධ්‍යාපනය සඳහා කාලය වෙන් කරගැනීමට ඉමහත් වෙහෙසක් දරමිනි.

ධනපති මාධ්‍ය ආන්ඩුවේ මුර්ග මර්දනයක් උසිගැන්වීමට ඉදිරිපත්වී සිටියි. “පෙරටුගාමය සහ වදකාමය“ යන හිසින් දිවයින පත්‍රය අගෝස්තු 23 හා 24 පල කල කොටස් දෙකකින් යුත් කතුවැකිය කැපකොට ඇත්තේ ඒ සඳහා ය. නවකවදය තුරන් කිරීමට ආන්ඩුව හමුදා ගෙන ආවාත් ඊට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බව සඳහන් කරන එම කතුවැකිය, “රාජපක්ෂ අරඹා ඇති සටනට“ විරුද්ධවන “කාලකන්නින්ගේ පාද කපා දැමිය යුතු” යයි තිරිසන් ප්‍රකාශයක් කර ඇත.

දිග ඇද්දී යන සිසු අරගල සමපාතවී ඇත්තේ කම්කරුවන්ගේ අරගල පුලුල්ව පැතිරී යන තත්වය සමගයි. පසුගිය මාස ගනනාව පමනක් ගත්තත් වැටුප් වැඩිකිරීම්, යහපත් සේවා හා සමාජ කොන්දේසි ඉල්ලමින් සහ පුද්ගලීකරනයට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්, දුම්රිය, රෝහල්, තැපැල්, විදුලිබල, ජල සම්පාදන, පාසල් යන සෑම අංශයකම කම්කරුවෝ වර්ජන ක්‍රියාමාර්ගවලට එලඹුනාහ.

ගෝලීය අර්බුදයෙන් ඔද්දල්වූ ආර්ථික ප්‍රශ්නවල ගිලී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අත්ගෙඩියක් ලෙස කප්පාදු වැඩපිලිවෙල දැඩි කිරීම සඳහා කම්කරුවන් හා සිසුන් ගේ අරගලවලට එරෙහිව පහර දෙන්නට අලුත් මට්ටමකින් සුදානම් වේ.

ලංකාවේ පන්ති අරගලයේ වර්ධනය ගෝලීය පන්ති අරගල උද්ගමනයේ කොටසකි. අධිරාජ්‍යවාදී රටවල පටන් පාලක පන්තීන් ක්‍රියාවට බැස ඇත්තේ ධනේශ්වර ක්‍රමය රැක ගැනීම සඳහා ප්‍රතිවිප්ලවාදී සැලසුම් සකස් කිරීමට ය. කම්කරුපන්තියට ඇති විකල්පය ලාභ පොදි ගසා ගැනීමට මහ ධනපතියන් පවත්වා ගෙනයන බැංකු, විශාල කොම්පැනි හා වතු තමන් අතට අත්පත්කරගෙන සමාජවාදී ආකාරයට ප්‍රති සංවිධානය කිරීම සඳහා සමාජවාදී විප්ලවය සුදානමි කිරීමයි.

දෙසතියකට පෙර, දුම්රිය වර්ජනයට එරෙහිව කඩා පනිමින් මුදල් ඇමති මංගල සමරවීර මෙසේ කීවේය: “මෙහෙම පඩි වැඩි කරන්න ගියොත් හැමෝම වැඩ වර්ජනය කරයි. වර්ජන කරනවට බයෙන් පඩි වැඩි කරන්න බැහැ”.

පාලක පන්තියේ කොටස් කම්කරුවන්ට පොලාපැන පහරදීමක් යෝජනා කරති. ධනපති හොරනෑවක් වන දිවයින හි අගෝස්තු 24 දා දේශපාලන විශේෂාංගයකට ලියන ජනිත සෙනෙවිරත්න නැමැත්තෙක් ”සිංගප්පුරුවේ මෙන් වර්ජකයන්ට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයැ” යි කියා ඇත: “ඒ සඳහා රජය නොබියව තීරන ගත යුතු ය. රටක් ලෙස ගන්නා එවැනි තීරනවලට කිසියම් වෘත්තික කන්ඩායමක් විරුද්ධ වන්නේ නම් හෝ වැඩ වර්ජනය කරන්නේ නම් ඒ සඳහා දැඩි තීරන රජය මගින් ගත යුතුව තිබේ. වැඩ වර්ජකයන්ට එරෙහිව එවැනි අවස්ථාවල දැඩි තීරන ගත යුතු ය. එවැනි අවස්ථාවල ඔවුන්ට මතකයේ පවතින දඬුවමක් ලබා දිය යුතුය.” දිවයින යෝජනා කරන්නේ කම්කරු පන්තිය තලා දැමීම ගැන ය.

ශිෂ්‍යන්ට හා ශිෂ්‍ය සංවිධානවලට එරෙහිව ආන්ඩුව හා පාලක පන්තිය රාජ්‍ය මර්දනයකට ගෙන යන ප්‍රචාරය මෙම පලල් සුදානමේ ම කොටසකි.

මෙම සුදානම බැරෑරුම්ව ගෙන කම්කරුවන් සහ සිසුන් ඊට එරෙහිව දේශපාලනිකව බලමුලු ගැන්විය යුතු නමුත් අවිශිබමය හා පෙසප එය වහංගු කරමින් සිය උද්ඝෝෂනය විජේදාස රාජපක්ෂට එරෙහි හඬතැලීමක් බවට පත් කර තිබේ.

රාජපක්ෂගේ ප්‍රකාශවලට පිලිතුරුදීම සඳහා පෙසප කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාව ආන්ඩුවේ ප්‍රහාර ඉදිරියේ එම පක්ෂයේ දේශපාලන බඩගෑම හෙලිදරව් කල තවත් අවස්ථාවක් විය. එහි නායකයෙක් වන පුබුදු ජයගොඩ නවකවදය සම්බන්ධව පෙසපහි වගකීම ප්‍රතික්ෂේප කරමින් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ නයිවල තාක්ෂන පීඨය සහ තවත් සරසවිවල එය ප්‍රශ්නයක් වී ඇත්නම් ඒ ඊට සම්බන්ධ “වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීමට නීතිමය වශයෙන් කටයුතු කරන්න පොලිසියට භාර දෙන” ලෙසයි. පෙසපට සිදු වී ඇති අපහාසය සම්බන්ධව රාජපක්ෂට එරෙහිව එන්තරවාසියක් යවන බවට බිරුසන් දුන් ජයගොඩ “අධිකරනයේ දී බලාගමු” යයි රාජපක්ෂට හිස් අභියෝගක් කලේ ය.

ජයගොඩගේ ප්‍රකාශය ශිෂ්‍යයන්ට එරෙහිව පොලිස් මර්දනයක් කඩාපාත් කිරීමට ආන්ඩුව ගෙන යන ප්‍රචාරයට ම උල්පන්දම් දීමක් මෙන්ම ශිෂ්‍යයන් දේශපාලනිකව නිරායුද කිරීමකි.

“ශිෂ්‍ය දේශපාලනය, ශිෂ්‍ය අරගල” ගැන අවිශිබම හා පෙසප පුච්චානම් කතා පිටුපසින් ඇත්තේ ද මෙම ක්‍රියා කලාපයයි. පෙසප හා අවිශිබමයේ විරෝධතා හා “අරගල” යොමු වී ඇත්තේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනා ගත හැකි ය යන මාරක මිත්‍යාව වගාදිගා කිරීමටයි. තම විරෝධතා සඳහා ශිෂ්‍යයන් ගොනු කිරීම සඳහා “නවකවදය” වැනි ප්‍රතිගාමී ක්‍රමවේදයන් මත අවිශිබමය වාරු වී ඇත.

අගෝස්තු 21 දා පැවති විරෝධතාවයේ දී පොලීසිය සිසුන්ගේ ඔලු පැලීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ අවිශිබම නායකයෝ, විජේදාස රාජපක්ෂ, විශ්වවිද්‍යාල පරිපාලනයට හා පොලීසිය උපහාසසයට ලක්කොට ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැගූ කතා පැවැත්වූහ. අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර විරෝධතාවය තහනම් කරමින් එවා තිබු අධිකරන නියෝගය පිලිබඳව සඳහන් කරමින් “අපි කියනවා ඤශිෂ්‍යයන්% 625 අමුඅමුවේ ඝාතනය කරද්දිත් හොල්ලන්න බැරි වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරය ඔය අධිකරන නියෝගවලින් එක දශමයක් හෙල්ලෙන්නේ නෑ” යයි ප්‍රකාශ කලේ ය.

මෙම පුච්චානම් පිටුපසින් අවිශිබම හා පෙසප, සිසුන් අතර ධනපති ආන්ඩුවට අත්‍යාවශ්‍ය භුමිකාවක යෙදී සිටියි. එනම්, සිසුන් අඛන්ඩ විරෝධතා වංකගිරියක හිරකර පීලිපැන්වීමයි. සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී ධනපති පන්තිපාලනය පෙරලා දමා කම්කරුවන්ගේ හා දුගීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සමාජවාදය සඳහා අරගලයට යොමු කිරීමට එරෙහිව, අවිශිබමය හා පෙසප ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනා ගත හැකිය යන වඳ විරෝධතා උගුලක් සිසුන්ට අටවා ඇත. ඊට එරහිව සමාජවාදය සඳහා අරගලයට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ගොඩනැගිය යුතුය.

කතුවරයා මේ ලිපිය නිර්දේශ කරයි: අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසු උද්ඝෝෂනවලට වලට විරුද්ධව රාජ්‍ය මර්දනය තීව්‍ර කරයි

Share this article: