ශ්‍රී ලංකාව: ඇබොස්ලී තේ වතු කම්කරුවෝ දුෂ්කර ජීවන හා සේවා කොන්දේසිවලට එරෙහි ව කතා කරති

Sri Lanka: Abbotsleigh tea plantation workers speak out against harsh living and working conditions

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 දෙසැම්බර් 21

ඇබොස්ලී තේ වත්තේ කම්කරුවන් කන්ඩායමක් ඉහල වැටුප් හා යහපත් කොන්දේසි සඳහා සටන් වැදීමට සමාජවාදී සමානතා පක්ෂයේ සහයෝගය සහිත ව ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට තීන්දු කල හ. ඇබොස්ලී වත්ත පිහිටා ඇත්තේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයේ සිට කිලෝමීටර පහක් දුරිනි.

වතු වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාත්මක වන කමිටුව ගොඩනැගීමට ගත් තීන්දුව දශක ගනනක් තිස්සේ වතු සමාගම්වල ලාභ ආරක්ෂා කර ඇති සමිති පිලිබඳ කම්කරුවන්ගේ ම කටුක අත්දැකීම්වල ප්‍රතිඵලයකි.

තම වැටුප දෙගුනයක් කරන ලෙස ඉල්ලා 100,000කට අධික වතු කම්කරුවන් විසින් දියත් කල අඛන්ඩ වැඩ වර්ජනය, ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් දෙසැම්බර් 12දා ක්ෂනික ව අවසන් කලේ ය. වැඩ වර්ජනයේ නව වන දවසේ සමිතිය විසින් සිය සාමාජිකයන්ට පිටුපසින් ඇනීමට තීන්දු කලේ දෙසැම්බර් 18 දා සමිති හා හාම්පුතුන් සමග සාකච්ඡා කොට “ප්‍රශ්නය විසඳන” බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් හිස් පොරොන්දුවකට පසුව ය.

පැවැත්වීමට නියමිත ව තිබූ රැස්වීම පිලිබඳ ව හෝ එය පැවැත්වූවාදැයි යන්න ගැන විස්තර සම්පාදනය කොට නැත. ඒ අතර, තම සේවකයන් යහපත් “සමාජයීය ප්‍රතිලාභ” ලබන බව ප්‍රෝඩාකාරී ව කියා සිටිමින් වඩා හොඳ වැටුප් ඉල්ලා කම්කරුවන් කරන යුක්ති සහගත ඉල්ලීම වතු සමාගම් විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇත.

ඇබොස්ලී වත්තේ ලයින් කාමර

ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ද කර්මාන්තය පාලනය කරන යෝධ සංගත විසින් අනුකම්පා විරහිත ලෙස සූරාකනු ලබයි. ෂෙෆීල්ඞ් විශ්ව විද්‍යාලය මෑත දී පලකල අධ්‍යයනයකට අනුව “බලහත්කාරී ශ්‍රමය ද ඇතුලු ශ්‍රම සූරාකෑම ගෝලීය තේ හා කොකෝවා සැපයුම් ජාලවල පලල් ව පැතිර පවතී.” “අඩුවෙන් වැටුප් ගෙවමින් හා පානීය ජලය හා වැසිකිලි පහසුකම් වැනි, නීතිගතකොට ඇති, අත්‍යවශ්‍ය සේවා අඩුවෙන් සම්පාදනය කරමින්” හාම්පුතුන් සුවිශාල ලාභ උකහා ගන්නේ කෙසේදැයි අධ්‍යයනය විස්තර කලේ ය.

ඇබොස්ලී වත්තේ කම්කරුවෝ තමන් මුහුන දෙන ඉතා දුෂ්කර තත්ත්වයන් ගැන ලෝසවෙඅ සමග කතා කල හ. කම්කරුවන් 600ක් පමන සේවයේ යොදවා ඇති වත්තේ වැඩ හා ජීවන කොන්දේසි ශ්‍රී ලංකාව පුරා වතු කම්කරුවන් මුහුන දෙන කොන්දේසි පිලිබඳ සාදෘශ්‍යමය උදාහරනයකි.

ආසන්නතම නගරය වන හැටන් වෙත පැමිනීම සඳහා ඇබොස්ලී කම්කරුවන් පුද්ගලික බස්රථ භාවිතා කල යුතු අතර, එක් අතකට ගමන් කිරීමට ඔවුන් තම දෛනික මූලික වැටුප වන රුපියල් 500න් හයෙන් පංගුවකට ආසන්න රුපියල් 80ක් වැය කල යුතු ය. බස්රථ ගමන් කරන්නේ පටු, අන්තරායකාරී හා නිසි පරිදි නඩත්තු නො කරන පාරවල්වල ය. බස් සේවා පටන් ගැනීමට පෙර උදෑසන හැටන් වෙත ලඟාවිය යුතු කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට පයින් ඇවිද ඒමට සිදු වේ.

ඇබොස්ලී වත්ත කරා මාර්ගය

වත්තේ ජීවත් වන බොහෝ පවුල්වලට සනීපාරක්ෂක පහසුකම් නැත. ප්‍රසිද්ධ නලයකින් ජලය ලබාගැනීමට තමන් මසකට සාමාන්‍යයෙන් රුපියල් 100ක් වැය කල යුතු බව කම්කරුවෝ පැවසූ හ. වත්තේ නිවාස නැති පවුල් 45කට පමන තම ඥාතීන් සමග ජීවත් වීමට බලකෙරී තිබේ. ප්‍රදේශයේ පවතින ඉහල විරැකියාව හේතුවෙන් වතු තරුනයන් දහස් ගනනක් කොලඹට හා අනෙකුත් ප්‍රධාන නගරවලට සංක්‍රමනය වී ඇත.

වතු කම්කරුවන් සාමාන්‍යයෙන් උදෑසන හා දිවා ආහාර සඳහා ගන්නේ රොටී හා පොල් සම්බෝල ය. මාලු හෝ මස් සමග බත් හා වෑංජන රාත්‍රීයට අනුභව කරන්නේ පඩි දිනයේ පමනි.

සීඩබ්ලිව්සී ඇබොස්ලී ශාඛාවට නායකත්වය දෙන 36 හැවිරිදි කේ. යෝගරංජනී වයස 11 සිට වත්තේ වැඩ කරයි. වත්තේ කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි ගැන කතා කරමින් ඇය කීවේ: “සර්පයන්, දෙබරුන් හා දිවියන්ගෙන් පවා එන අන්තරායන්ට අපි මුහුන දෙනවා. ලේ උරා බොන කූඩැල්ලන් හැමතැන ම, ඒත් සර්පයන් දෂ්ට කර කම්කරුවෙක් මැරුනොත් කලමනාකාරීත්වය කිසිම වන්දියක් වත් දෙන්නෙ නැහැ. මේ සියල්ල මෙසේ තිබියදී දවසකට රුපියල් 500 සොච්චම් පඩිය ගන්න අපි තේ කොල කිලෝ 17ක් කඩන්න ඕන, ඒ ටාගට් එකට වැඩි වන හැම කිලෝ එකට ම අපිට ගෙවන්නේ රුපියල් 25ක් විතරයි.”

තම ආදායම වැඩි කරගැනීම සඳහා ඇය රාත්‍රීයට වත්තේ තේ කර්මාන්තශාලාවේත් දවාලට වත්තේත් වැඩ කරයි. එහෙත් රාත්‍රී වැඩවලට විශේෂ දීමනා ගෙවන්නේ නැත. ඇයගේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට වැය වන මුදල විශාල බරක් බව ඇය විස්තර කලා ය.

“හැම විෂයයකට ම රුපියල් 1,500 ගානෙ ගෙවන්න ඕන, වෙලාවට පන්තියට යන්න ටැක්සියට රුපියල් 400ක් දෙන්න ඕන. ඒ හින්ද ඒගොල්ලන් ව බොහෝ විෂයයන් සඳහා පුද්ගලික පන්ති යැවීමට යන මුදල අපිට දරාගන්න බැහැ. ඉස්කෝලෙට අලුතෙන් ලමයෙක් දානකොට රුපියල් 6,000ක ආධාරයක් දෙන්න ඕන. මාසෙකට කෑම සඳහා අපි අඩුම ගානෙ රුපියල් 15,000ක් වත් වැය කරනවා” යයි ඇය කීවා ය. ප්‍රදේශයේ කඩවලට නය බේරීම සඳහා ඇයගේ පවුල මසකට රුපියල් 10,000ක් ගෙවයි.

යෝගරංජනී (දකුනේ)

ඇයගේ පියා මියයාමෙන් පසුව සහෝදරියන් තිදෙනාට උදවු කිරීම සඳහා අධ්‍යාපනය නතර කොට වත්තේ වැඩට යාමට ඇයට සිදු විය. “දුප්පත් කම නිසා මගේ අම්මාට ආහාර වේල් නොගෙන ඉන්න වුනා, ඒ තත්ත්වය තාමත් වතුවල තියෙනවා. මේ තත්ත්වය අවසන් විය යුතු යි” යයි ඇය කීවා ය.

“මම විවාහ වුනාට පස්සෙ මගේ බබාත් එක්ක අවුරුදු තුනක් නැදෑයෙක්ගෙ ගෙදර ඉන්න වුනා. වැස්ස කාලෙදි කාමරය හරහා වතුර ගලා යාම නිසා දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුන දෙන්න වුන හින්ද රුපියල් 100,000ක් ගෙවල ලයින් කාමරයක් ගත්ත. ඒකෙන් අපේ ආර්ථික බර තවත් වැඩි වුනා.”

අනෙක් බොහෝ කම්කරුවන්ට මෙන් යෝගරංජනීගේ ස්වාමි පුරුෂයාට රැකියාවක් සොයා කොලඹ යාමට සිදු වූයේ වත්තේ වැඩ ප්‍රමානවත් නො වීම නිසා ය. තුන් මසකින් පසු ඔහු ආපසු පැමිනි විට ඔහු ව රැකියාවෙන් ඉවත් කල වත්තේ කලමනාකාරීත්වය නැවත තාවකාලික කම්කරුවෙකු ලෙස සේවයට ගත්තේ ය. වතු සමාගම් සාමාන්‍යයෙන් මෙසේ කරන්නේ මාසික දීමනා හා විශ්‍රාම ප්‍රතිලාභ කම්කරුවන්ට ගෙවීම නතර කිරීමට යි.

ආර්. පුෂ්පරානි හා ඇයගේ පුතුන් නිවස තුල

ආර්. පුෂ්පරානි හා ඇයගේ පවුල මැටි ගසා සාදාගත් කුඩා තාවකාලික නිවසක ජීවත් වේ. ඔවුන්ට එක් ඇඳක් පමනක් තිබෙන අතර කාමරයේ කුඩා කොටසක් ඉවුම් පිහුම් සඳහා පාවිච්චි කෙරේ. මැතිවරන සමයේ දී සෑමවිට ම නිවාස තනා දෙන බවට වෘත්තීය සමිති පොරොන්දු වුනත් එම පොරොන්දු කිසි කලක ඉටු නො කරන බව ඇය කීවා ය.

“අපේ පඩිය කන්න වත් මදිකොට ගෙයක් හදාගන්නේ කොහොම ද? දිනපතා කෑම සඳහා අපිට රුපියල් 1,200ක් ඕන, ඒත් ගිය මාසෙ අඩුකිරීම්වලින් පස්සෙ මට ලැබුනෙ රුපියල් 3,900ක් විතරයි. මගේ මහත්තයගෙ මාසික වැටුප රුපියල් 4,140 යි. සමහර වෙලාවට අපි එලවලු වෙනුවට වත්තෙ සලාද කොල කාල පිරිමහ ගන්නවා” යයි ඇය කීවා ය.

වත්තේ ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ප්‍රෝඩාවක් බව සිවපාකියම් කීවා ය: “මේ ආදායම් බෙදාගැනීමේ ක්‍රමය යටතෙ 2017 නොවැම්බරයෙ කලමනාකාරීත්වය අපිට තේ පඳුරු 250ක් දුන්න. තේ කොල කිලෝ එකක් රුපියල් 100කට විකුන්නොත් ආදායමෙන් සියයට හැත්තෑවක් අපිට දෙන්න ඒගොල්ලො පොරොන්දු වුනා. එක මාසෙකට විතරක් මිල රුපියල් 89ක් වුනා, ඊට පස්සෙ සමාගම කෘමිනාශක හා පොහොරවල වියදම අඩුකරගෙන කිලෝව රුපියල් 30ට අඩුකලා. ඒගොල්ලො තේ වත්ත පිරිසිදු කලොත් හරි කප්පාදු කලොත් හරි ශ්‍රම පිරිවැය ගෙවන්න වෙන්නෙ අපිට. අවුරුද්දකට පස්සෙ අපි ඉඩම ආපහු සමාගමට දුන්න.”

ඇබොස්ලී වත්තේ ක්‍රියාකාරී කමිටුවට නායකත්වය දෙන සුන්දරලිංගම්, වෘත්තීය සමිති කම්කරුවන් බෙදන බව ලෝසවෙඅ වෙත කීවේ ය: “ඒගොල්ලො මාසික ගාස්තු ලෙස රුපියල් 150ක් අයකර ගන්නවා. ඒත් සමිති නායකයො අපි මුහුන දෙන කිසිදු දුෂ්කරතාවකදි අපේ උදවුවට එන්නෙ නැහැ.” ප්‍රමානවත් වැටුප් වැඩිවීමක් හා කම්කරුවන්ගේ අයිතීන් වර්ධනය කරගැනීම සඳහා ඇබොස්ලී ක්‍රියාකාරී කමිටුව කම්කරුවන් ඒකාබද්ධ කරන බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

Share this article: