එක්සත් ජනපද-ගැති සොලිහ් මාලදිවයිනේ ජනාධිපති ලෙස දිව්රුම් දෙයි

The Maldives: Pro-US President Solih sworn in

රොහාන්ත ද සිල්වා විසිනි , 2018 දෙසැම්බර් 05

54 වියැති ඊබ්‍රහම් සොලිහ්, ගිය මාසයේ මාලේ අගනුවර පිහිටි ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේ පැවති විශේෂ පාර්ලිමේන්තු සම්මේලනයකදී මාලදිවයිනේ 7 වන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

සැප්තැම්බර් මස පැවැත්වූ ජනාධිපතිවරනයේදී එක්සත් ජනපදය සහ ඉන්දියාවේ පිටුබලය ලත් දීර්ඝ තන්ත්‍ර මාරු මෙහෙයුමකින්, සොලිහ්, හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන් විස්ථාපනය කලේ ය. වොෂින්ටනය සහ එහි මූලෝපායික සහචරයකු වන නවදිල්ලිය, යාමීන්ගේ ආන්ඩුව චීනය සමඟ පැවති සමීප ආර්ථික සහ මිලිටරි සහයෝගීතාවට සතුරුව සිටියේ ය.

පසුගිය වසර පහ පුරාවටම, පාර්ලිමේන්තුවේ විපක්ෂයට සහය දෙමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මාලදිවයිනට කරන බලපෑම් උග්‍ර කල අතර, මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යාමීන්ට චෝදනා එල්ල කරමින්, ජනාධිපතිවරනය “සාධාරනව” හා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් නොපැවැත්වුවහොත් ජාත්‍යන්තර සම්බාධක පනවන බවට තර්ජනය එල්ල කරමින් සිටියේ ය.

සොලිහ්ගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ජ්‍යෙෂ්ඨතම විදෙස් නායකයා වූයේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ය. ගිය වසරේ කලාපීය සංචාරයක නිරත වූ ඔහු, මාලදිවයින් සංචාරය අවලංගු කිරීම යාමීන්ට එරෙහි පැහැදිලි තරවටු කිරීමක් විය.

දිවුරුම් දීමේ උලෙලට සහභාගී වී සිටි 12,000ක් පමනජනකායක් අමතමින් සොලිහ් වාචාල ලෙස කියා සිටියේ දූෂනය සහ සොරකම් නතර කරන බවත්, සාධාරනත්වය සහ සමානතාව ඇති කරන බව සහ යාමීන් යටතේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කරන බවත් ය.

සොලිහ්ගේ පොරොන්දු අමු බේගල් වන අතර ඒවායේ අරමුන වන්නේ, ඔහුගේ පරිපාලනය යටතේ මාලදිවයින චීනයට එරෙහි යුධ ව්‍යායාමයේදී වොෂින්ටනය සමග පෙල ගැසෙන බවත් ඉන්දියාව දෙසට හැරෙන බවත් ආවරනය කිරීමය.

හිටපු ජනපති යමීන්ට සහ චීනයට බුරා පනිමින්, “සම්පූර්නයෙන්ම දේශපාලන වාසි තකා සිදු කල නොසැලකිලිමත් මෙගා-සංවර්ධන ව්‍යාපෘති” හේතුවෙන් මාලදිවයින “අස්ථිර මූල්‍ය තත්ත්වයකට” පත්ව ඇතැයි සොලිහ් චෝදනා කලේ ය.

එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින උදාහරන ලෙස දක්වමින් කලාපයේ බලය සඳහා “රාජ්‍යතාන්ත්‍රික නය උගුලක්” යොදා ගැනීම ගැන චීනයට දෝෂාරෝපනය කරයි. මාලදිවයින, විශාල වශයෙන් චීන ආයෝජන සහ බෙයිජිනයෙන් ලබාදුන් ඩොලර් මිලියන 737 ක නයක් ද ඇතුලුව සහනදායී නය මත රඳා පැවතුනි.

පසුගිය රජයට මහා යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා ලැබුනු බව හිටපු විපක්ෂ දේශපාලනඥයින් ප්‍රකාශ කරයි. සොලිහ්ගේ රජය, නොයෙකුත් බටහිර රටවල් වලට සහ ජාත්‍යන්තර සංවිධාන වලින් ආර්ථික වශයෙන් ආධාර ඉල්ලා ඇත.

වසර 5ක් වූ යාමීන්ගේ පාලන කාලය තුල දී එක්සත් ජනපදය සහ ඉන්දියාවේ පිටුබලය ලත් දේශපාලන විරුද්ධත්වය මර්ධනය කරන ලදි. හිටපු ජනාධිපතිවරයෙකු සහ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එම්ඩීපී) නායකයා වන මොහොමඩ් නෂීඩ්, යාමීන් බලයෙන් නෙරපා හැරීමට එලිපිටම කැඳවුම් කල අතර, තන්ත්‍ර මාරු මෙහෙයුමට සෘජුවම සම්බන්ධ වූවේ ය.

යාමීන්, උද්ඝෝෂන තහනම් කරමින් ද විපක්ෂයේ නායකයන් සියල්ල පාහේ සිරගත කරමින් හෝ නිවාස අඩස්සියට පත් කරමින් ද හිටපු ඉන්දියානු හිතවාදී විනිසුරුවෙකු වූ අබ්දුල්ලා සයීඩ් ද ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් සිරගත කරමින් සහ දිගු කාලයක් පාර්ලිමේන්තුව කල් තබමින් දේශපාලන විරෝධයට ප්‍රතිචාර දැක්වීය.

විපක්ෂයේ සිටියදී මෙම මර්ධනකාරි ක්‍රියා විවේචනය කල සොලිහ්, පසුගිය රජයේ ආධාර කරුවන්ට එරෙහිව කඩා පැනීමට සූදානම් බව පැහැදිලිව අඟවා ඇත. නව රජය, “ අසාධාරන ලෙස සැලකීමට සහ තාඩන පීඩන වලට ලක් වූ උදවිය” වෙනුවෙන් සාධාරනය ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් අභිරහස් ලෙස සිදුවූ “මරන සහ අතුරුදන් වීම්” විමර්ශන කරන බවත් ඔහු කීවේ ය.

එක්සත් ජනපදය සහ ඉන්දියාව චෝදනා කරන්නේ, යුරේසියානු භූමිය සහ අප්‍රිකාව ගොඩබිම් සහ මුහුදු මාර්ග හරහා සම්බන්ධ කරමින් සිදු කරන තීරය සහ මාවත (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) යනුවෙන් හැඳින්වෙන යෝධ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ තීරනාත්මක කොටසක් ලෙස, මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි මාලදිවයින යොදාගැනීමට, චීනය සැලසුම් කොට ඇති බවයි.

ඉන්දියාවට නිරිත දෙසට වන්නට පිහිටා ඇති මාලදිවයින, මැදපෙරදිග සහ අප්‍රිකාවේ සිට ගිනිකොන දිග ආසියාවත් නැගෙනහිර ආසියාවත් සම්බන්ධ කෙරෙන ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග ආසන්නයේ පිහිටා ඇත. ඉන්දියානු සාගරයේ ප්‍රධානතම ඇමරිකානු හමුදා මූලස්ථානය වන ඩියේගෝ ගාෂියා පිහිටා ඇත්තේ, මාලේ සිට කිලෝමීටර් 1200ක් පමණ දකුනට වන්නට ය.

හිටපු ජනාධිපති නෂීඩ්, සොලිහ්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස සේවය කරන අතර, චීන විරෝධී මනෝගතීන් ඇවිස්සීමට උත්සාහ දරමින් සිටියි. මාලදිවයියේ චීන තානාපති සියැංග් ලීෂිංග් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක්, එනම් රටේ එක් පුරවැසියෙකුට ඩොලර් 8000ක් තරම් මුදලක් බලයට පත් වූ විගස සොලීගේ රජයට ලබාදුන් බව ඔහු කියාපායි. බෙයිජිනය මෙම චෝදනාව වහා ප්‍රතික්ෂේප කලේ, එය “විශාල ලෙස අතිශයෝක්ති ගන්වා” ඇති බව ප්‍රකාශ කරමිනි.

සොලිහ්ගේ පොරොන්දු කුමක් වුවද, ඔහුගේ රජය එක්සත් ජනපදය සහ ඉන්දියාව දෙසට සිය විදේශ පිළිවෙත මාරු කරනු ඇති අතර, බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග පරිදි වෙලඳපොළ ගැති ප්‍රතිපත්ති සහ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමනු ඇත. පෙර ඇඟවූ පරිදිම, සොලිහ් දැන් ප්රකාශ කරන්නේ මාලදිවයින බලාපොරොත්තු වූවාට වඩා නරක අතට හැරී ඇති බවය. නම් සඳහන් නොකල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය මාසයේදී ප්‍රකාශ කලේ, රට, නය ආපසු ගෙවීම පැහැර හැරීමට ඉඩ ඇති බව යි.

ඉන්දියාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ පියවරක් ලෙස, ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උලෙලේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට සොලිහ් පියවර ගත්තේය.“සමීප සහයෝගීතාව සහ මිත්‍රත්වය අලුත් කිරීම පිබඳව විස්වාසය පලකල” ප්‍රකාශය, “ඉන්දියානු සාගරයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කමත්, කලාපයේ ස්ථාවරත්වය සඳහා දෙරටේ අපේක්ෂා සහ අභිලාෂයන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවත්” අවධාරනය කලේ ය.

2012 වසරේදී එවක මාලදිවයින් ආන්ඩුව, ඉන්දියාවේ ජීඑම්ආර් සමූහ ව්‍යාපාරය සමඟ ඇතිකරගෙන තිබූ, ඒබ්‍රහම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ මිලියන 271ක ගිවිසුමක් අවලංගු කරන ලදි. දිල්ලිය සහ මාලදිවයින අතර ආරක්ෂක ගිවිසුමක් පැවතිය ද 2016 අප්‍රෙල්වල මාසයේ “ආරක්ෂක සහයෝගීතාව සඳහා ක්‍රියාමාර්ගික සැලැස්ම” යටතේ මාලදිවයින එහි කක්ෂයට ගෙන ඒම සඳහා ඉන්දියාව උනන්දුවක් නොදැක්වීය.

කෙසේ වෙතත්, ගිය මාසය අවසානයේදී ඉන්දියානු වෙරලාරක්ෂක හමුදාව මෙන්ම ලංකාවේ හමුදාවන්, මාලදිවයින සමඟ ආරක්ෂක තර්ජන සම්බන්ධ යුධ අභ්‍යවල නිරත විය. ඉන්දියානු වෙරළාරක්ෂක ප්‍රධානියා වන රජේන්ද්‍ර සිං, සාමර් නම් නවීන ICGS සාගර නිරීක්ෂන යාත්‍රාවන් සහ ආර්යමන් නමැති අධිවේගී ICGS නිරීක්ෂන යාත්‍රාවන් සහිතව මාලේ අගනුවර සංචාරයක නිරත වීමට කටයුතු යොදා ඇත.

සොලිහ්ට සහ ඔහුගේ පරිපාලනයට වොෂින්ටනයේ අනුමැතිය ලැබී ඇති බව, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස්ගේ පරිකථනයන් මගින් පැහැදිලි විය. සොලිහ්ගේ දිවුරුම් දීමේ උලෙලට සහභාගීවූ ටෙප්ලිට්ස්, එය “මාලදිවයිනේ ඓතිහාසික අවස්ථාවක්” ලෙස හැඳින්වූවා ය.

“මාලදිවයින සමඟ එහි මිත්‍රත්වය අලුත් කර ගනිමින්, අන්‍යෝන්‍ය අවශ්‍යතාවන් පිලිබඳ මාතෘකාවන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නිදහස, විවෘත භාවය, ආරක්ෂාව, ආර්ථික වුවමනාවන් හා, විශේෂයෙන්ම, රාජ්‍ය මූල්‍ය කලමනාකරනය වැනි මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකාව සූදානම් බව” ටෙප්ලිට්ස් පැවසීයැයි, මාලදිවයිනේ රාජ්ජේ රූපවාහිනී ජාලය වාර්තා කලේ ය.

ටෙප්ලිට්ස්ගේ ප්‍රකාශ මගින් පිළිබිඹු කෙරෙන්නේ, චීනයට එරෙහිව ඉන්දියන් සාගර කලාපය තුළ මිලිටරි බලය වර්ධනය කිරීම සාධාරනීකරනය කිරීමට වොෂින්ටනය යොදාගන්නා සම්මත න්‍යාය පත්‍රය යි. සොලිහ් බලයට ගෙන ආ තන්ත්‍ර මාරු මෙහෙයුම, ආසියාවේත් ජාත්‍යන්තරවත් ප්‍රධාන බලයන් අතර භූ දේශපාලනික ආතතීන් ගැඹුරු කෙරෙනු ඇත.

Share this article: