දේශගුනික විපර්යාස, ධනවාදය හා සමාජවාදය
නව දේශගුනික වෙනස්කම් වාර්තාව: “දැනටමත් දැනෙන” ගෝලීය උනුසුම්වීමේ බලපෑම

Climate change, capitalism and socialism
New climate change report: Impact of global warming “already being felt”

2018 නොවැම්බර් 26

කොංග්‍රස් මන්ඩලය විසින් පිලිගනු ලදු ව, හතරවැනි ජාතික පාරිසරික ඇගයුම නමින්, සිකුරාදා ප්‍රසිද්ධ කෙරුනු එක්සත් ජනපද ආන්ඩුවේ වාර්තාවක්, පාරිසරික වෙනස්කම් හා පෘතුවියේ උනුසුම් වෙමින් තිබෙන දේශගුනය විසින් ඇති කෙරෙන වර්තමාන ගැටලුවලට නව අවධානයක් පොලඹවා ඇත. එය පැහැදිලි කරන්නේ දේශගුනික වෙනස්කම්වල බලපෑම “මේ වන විටත් දැනෙන” අතර “දිරාපත් වන හා පරිහානියට යමින් තිබෙන පොදුකාර්ය පහසුකම්, පීඩනයට ලක් වු පාරිසරික පද්ධති, හා ආර්ථික අසමානතාව විසින් සශ්‍රීකත්වයට එල්ල කෙරී පවතින අභියෝග තීව්‍ර කරමින්, අනාගත පාරිසරික වෙනස්කම් තව දුරටත් ජීවිතයේ බොහෝ ක්ෂේත්‍ර අවුල් කරතැ යි අපේක්ෂා කෙරෙන” බව යි.

එක්සත් ජනපද ගෝලීය වෙනස්කම් අධ්‍යයන වැඩසහනින් නිකුත් වන වාර්තාව සකස් කෙරුනේ ෆෙඩරල් ඒජන්සි 132ක් හා පාරිසරික පර්යේෂන පිලිබඳ විශේෂඥ විද්‍යාඥයින් 300ට වැඩි පිරිසක් විසිනි. එහි පලමුවැනි වෙලුම සකාච්ඡා කරන්නේ දේශගුනික වෙනස්කම් පිලිබඳ විද්‍යාව හා ගෝලීය උෂ්නත්වය කාර්මිකකරනයට පූර්වයෙන් පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.1ක් බව පෙන්වන දත්ත පිලිබඳව යි. “මානව ක්‍රියාකාරකම්, විශේෂයෙන් ම හරිතාගාර ගෑස් විමෝචනය විසින්” ඇති කරනු ලබන වර්තමාන ගෝලීය උෂ්නත්ව ප්‍රවනතා පෙන්වන දශක ගනනාවක විද්‍යාත්මක පර්යේෂන එය යලි තහවුරු කරයි.

එකී ඇගයුම හරිතාගාර වායු විමෝචනයේ මූලාශ්‍රය සකච්ඡා නො කරන අතර, “මානව ක්‍රියාකාරකම්” කාන්ඩයට සෑම මිනිසෙකු ම එක සමානව ඇතුලත් නො කරන බව පෙන්වා දිය යුතු ය. 2017 කාබන් මේජර්ස් නම් වාර්තාව පෙන්වූයේ 1988 - 2015 දක්වා නිකුත් කෙරුනු සියලුම හරිතාගාර වායුවෙන් සියයට 70ක් නිකුත් වූයේ හුදෙක් සමාගම් සියයකින් බව යි. මේ සියල්ල පාලනය කරනු ලබන්නේ ප්‍රධාන රටවල ධනේශ්වර පන්තිවල බහුමිලියනපතියන් හා බිලියනපතියන් විසිනි.

දෙවැනි වෙලුම විස්තර කරන්නේ මේ වන විටත් පවතින හා එක්සත් ජනපදයේ එකිනෙකට වෙනස් කලාප වල අනාගතයේ ඇති විය හැකි ගෝලීය උනුසුම් වීමේ බලපෑම යි. ඔක්තෝබරයේ දී පුද්ගලයන් දුසිම් ගනනාවක් මරා දැමූ මයිකල් කුනාටුව හා කැලිෆෝර්නියාවේ සිය ගනනක් මරා දමා ඇත යි සිතිය හැකි ලැව්ගින්න වැනි, සීමාන්තික කාලගුනික සිදුවීම් සාමාන්‍ය දේ වනු ඇත. නගර 49ක් ගැන රැස්කරන ලද දත්ත පුරෝකතනය කරන්නේ සෑම වසරකම සීමාන්තික ලෙස උනුසුම් හා සීත දිනවල ඇති කෙරෙන දුසිම් ගනනක මරන සංඛ්‍යාව 2090දී 9,300ට ලඟා වෙමින් පිපිරෙන සුලු ලෙස වැඩි වෙනු ඇති බව යි. ඩෙංගු, සිකා, චිකුන්ගුන්යා හා කහ උන වැනි රෝග වඩ වඩා පොදු වනු ඇත. වඩා ඉහල උෂ්නත්වයන් මදුරුවන්ට හා වෙනත් පරපුටු ජීවීන්ට වඩා යහපත් කොන්දේසි සැපයීම සමග, 2050 වන විට වෙස්ට් නයිල් නම් ආසාධන වැඩි වෙතැ යි අපේක්ෂා කෙරේ.

වඩා ඉහල උෂ්නතවයන්ට සාගත ඇති කිරීමේ විභවය ද පවතී. උෂ්නත්වය වැඩි වීමත් සමග මිඞ්වෙස්ට් වැනි ප්‍රදේශ ඉරිඟු සියයට 75ක් ද සෝයා බෝංචි සියයට 25ක් ද අඩුවෙන් නිපදවනු ඇත. ප්‍රේරී, ස්ටෙප් හා සැවනා තන බිම් ඇතුලත් වන මහා තැනිතලාවේ වඩා දීර්ගකාලීන නියඟ, එක්සත් ජනපදය සඳහා මෙන්ම ජාත්‍යන්තරව ප්‍රධාන ආහාර වන කලාපයේ තිරිඟු, බාර්ලී, අර්තාපල් හා අනෙකුත් ධාන්‍ය නිමවුම පහත හෙලනු ඇත යි අපේක්ෂා කෙරේ. රට පුරා අලුත් ජල මූලාශ්‍ර, විශේෂයෙන් ම ගිම්හානය අතරතුර වඩ වඩා දුලබ වනු ඇත.

දේශගුනික වෙනස්කම්වල තවත් ප්‍රතිවිපාකයක් වන්නේ අභ්‍යන්තර සංක්‍රමන වැඩි වීම යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2008 සිට සීමාන්තික කාලගුනය හෝ නියඟයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වසයෙන් ආසන්න ලෙස පුද්ලයෝ මිලියන 210ක් බලාත්කාරයෙන් අවතැන් කෙරී සිටිති. මෙම දේශගුනික සරනාගතයින්ගේ බොහෝ දෙනා දකුනු ආසියාව, ගිනිකොන දිග ආසියාව හා මැද පෙරදිගින් එන අතර, තව දුරටත් නිවාස නැති කැලිෆෝර්නියාවේ පැරඩයිස් නගරයේ පුරවැසියෝ 26,000ක් මෙම කාන්ඩයට අයත්වන එක්සත් ජනපදය තුල දශදහස් ගනන අතර වෙති. ගෝලීය උනුසුම තීව්‍ර වීමත් සමග මෙම සංඛ්‍යාව වැඩි වීම පමනක් සිදු වනු ඇත.

මෙවැනි තතු සමාජමය වසයෙන් පුපුරන සුලු ය. ඇගයීම සඳහන් කරන පරිදි, දේශගුනික වෙනසේ බලපෑම සමානුපාතිකව බෙදා නො හැරේ. “වඩා පහල ආදායම් ලබන හා කොන් කෙරුනු අනෙකුත් ප්‍රජාවන් ඇතුලු ව, දැනටමත් අවදානමට ලක්වෙන සීමාන්තික කාලගුනය හා දේශගුනයට සම්බන්ධ සිදුවීම්වලට සූදානම් වීමේ දී එය සමග පොර බැදීමේ හැකියාව නැති පුද්ගලයෝ වඩා වැඩි බලපෑමකට මුහුන දෙනු ඇති යි අපේක්ෂා කෙරෙති.” වෙනත් වචනවලින් කිය තොත්, ලැව්ගිනි, ගංවතුර, වසන්ගත හා දුර්භික්ෂ අඩුවෙන් ම දැරිය හැකි අය වඩාත් ම විඳවන අය වනු ඇති බව යි.

එහි පාර්ශ්වය පැත්තෙන් ගත් විට, වාර්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරියේ ප්‍රතිචාරය එක්සත් ජනපද ධනපති පන්තියේ වඩා අඥාන හා මුරන්ඩු කන්ඩායම්වල ප්‍රතිචාරය යි. “ගෝලීය උනුසම්වීමට මොනවා වුනත්, කුරිරු හා ව්‍යාප්ත සීත සුලං පහර සියලු වාර්තා බිඳ දමනු ඇත” යි වාර්තාවට දින දෙකකට පෙර ට්‍රම්ප් තෙමේ ම ට්වීටර් පනිවුඩයක් යවා ඇත්තේ, දේශීය කාලගුන රටාව හා ගෝලීය දේශගුනික පැද්දීම අතර වෙනස පෙන්වන විද්‍යාවේ විශාල කන්ඩායම නො සලකා හරිමිනි. වාර්තාව නිකුත් කෙරුනු දවස, එනම් ප්‍රවෘත්ති ආවරනය අඩු, සති අන්තයේ දෙවියන්ට ස්තුති කිරීමේ නිවාඩු දින සිකුරාදා, ධවල මන්දිර ප්‍රකාශකයෙතකු වාර්තාව හෙලාදැකීමට උත්සාහ කලේ, ඇගයුම “විශාල වසයෙන් වඩාත් ම සීමාන්තික සිදුවීම් පෙලක්” මත පදනම් වූ බවත්, ඒ නිසා යතාර්ථය පිලබිඹු නො කරන බවත් ප්‍රකාශ කරමිනි.

ඔවුන්ගේ “වාම” මවාපෑම් මොනවා වුවත්, පාරිසරික ප්‍රශ්න ගැන ඩෙමොක්‍රටිකයන් රිපබ්ලිකානුවන්ට වඩා වෙනස් ප්‍රගතිශීලී විකල්පයක් සපයතැ යි අදහස් නො කෙරේ. “අපගේ පද්ධතිය තිරසාර බලශක්තිවලට මාරු කිරීම” විසඳුම වන අතර, එසේ කිරීම මගින් එක්සත් ජනපදය “පෘතුවිය බේරා ගැනීමට ලෝකය මෙහෙයවනු ඇතිවාක්” මෙන් ම “හොඳ වැටුප් ගෙවන රැකියා මිලියන ගනනාවක් ඇති කරනු ඇත” යි බර්නී සෑන්ඩර්ස් පවසයි. ඇලෙක්සැන්ඩි්‍රයා-කොර්ටෙස් “හරිත නව ගිවිසුමක් ගැන විශේෂ තේරීම් කාරක සභාවක්” නිර්මානය කිරීමට නැන්සි පෙලෝසි හා අනෙකුත් ප්‍රමුඛ ඩිමොක්‍රටිකයන්ට නොකඩවා බලපෑම් කර යි.

දේශපාලන සංස්ථාපිතය තුල ට්‍රම්ප්ගේ සියලු විරුද්ධවාදීන්ගේ සඳහන් කිරීම් තුල නැත්තේ දේශගුනික වෙනස්කම්වල පද්ධතිමය මූලාශ්‍රය, වන ධනවාදයයි.

ගෝලීය උනුසුම් වීම කාර්මික සංවර්ධනයේ ම නෛසර්ගික නිපයුමක් නො වේ, එය ප්‍රතිගාමී මැල්තුස්වාදීන් හා ඇතම් දැඩි පරිසරවාදීන් විසින් ආදිකල්පික තත්වයන්ට ආපසු හැරිය යුතුයැයි ඉදිරිපත් කෙරෙන මිත්‍යාවකි. ගෝලීය උනුසුම් වීමට හේතු වන්නේ සෑම කල්හි ම වඩා කුඩා වන්නා වූ ද ඉතා කෑදර වන්නා වූද කල්ලියකගේ ලාභ උත්සුකයන් විසින් මෙහෙය වනු ලබන කාර්මික සංවර්ධනය යි. මෙම කල්ලියට මානව ජනගහනයේ හෝ සමස්තයක් වසයෙන් පරිසර පද්ධතියේ සුවය හා ශුභසාධනය වෙනුවෙන් උත්සුකයක් නොමැත.

කාර්මික විප්ලවයේ තැන් පටන්, දියුනු නිෂ්පාදන තාක්ෂනය ලෝකයේ සෑම රටකට ම පැතිරී ඇත. සියලු ම රටවල් හරිතාගාර ගෑස් නිෂ්පාදනයට මෙන් ම වනාන්තර විනාශයට දායක වෙති. මේවා දේශගුනික වෙනස්කම්වල ප්‍රධාන ධාවකයෝ වෙති. මෙහි ප්‍රතිඵලයක් වසයෙන්, ලෝකය පුරා වැඩිවෙන උෂ්නත්වය නතර කිරීමේ ඕනෑ ම උත්සාහයක් සාර්ථක වීමට නම්, එය අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර විය යුතු ය. සෑන්ඩර්ස්, ඔකේසියෝ කොර්ටෙස් හා ඔවුන්ගේ සහචරයන්ගේ ප්‍රකාශ නො තකා, එක්සත් ජනපද දේශසීමාවන් තුල හරිතාගාර ගෑස් විමෝචනය අඩු කිරීම ලෝකය පුරා ඉහල යන උෂ්නත්වයට නැවතුමක් ඇති නො කරනු ඇත.

මෙය සෑම රටකට ම අදාල ය. ලෝකය පුරා ධනේශ්වර ආන්ඩුවල ක්‍රියා සාධන වාර්තාව ( සෑම ජාත්‍යන්තර ගිවිසුමක් හා දේශගුනික සමුලුව ඇතුලුව) පෙන්වන්නේ දේශගුනික වෙනස්කම් විසින් ඇති කෙරෙන සැමදා වැඩෙන අර්බුදය විසඳීමට ඒවා එකක් වත් අසමත් බව යි. ආර්ථික ව්‍යසනයන් මෙන් ම ලෝක යුද්ධය කරා ගමන් කරන මිලිටරි ගැටුම් නිර්මානය කර ඇති ජාතික රාජ්‍ය හා තරඟකාරී සංගත අතර පවතින බෙදීම් දේශගුනික වෙනස්කම් වලට එරෙහි සටනට අවශ්‍ය සම්පත් සම්බන්ධීකරනය කිරීමෙන් ධනේශ්වර ආන්ඩු වලක්ව යි.

වඩා අතිමූලික ලෙස, දේශගුනික වෙනස්කම් ගෝලීය විසඳුමක් අවශ්‍ය කරන ගෝලීය ප්‍රශ්නයකි. කිසිම ජාතික රාජ්‍යයක්, සමාජවාදී පාලනයක් යටතේ වන එකක් පවා, සාගර, ග්‍රහ ලෝකයේ සමස්ත භූස්කන්ධය හා පෘතුවියේ වායුගෝලය සම්බන්ධවන්නා වූ දැවන්ත ක්‍රියාදාමයන් මත තමන්ගේ ම බලගතු බලපෑමක් ඇති කිරීමට අසමත් වනු ඇත. වාතයේ හා ජලයේ අනු ජාතික සීමාවන් කල්පනාවට නො ගන්නා අතර, ජාතික ආන්ඩුවල හුදකලා ක්‍රියාකාරකම්, රල පහර නැවැත්වීමට කැනූට් රජු දුන් නියෝගයන්ට වඩා දේශගුනික වෙනස්කම් මත බලපෑමක් ඇති නො කරනු ඇත. (කැනූට් රජු තම කිරුල වෙරලේ තබා රල පහරට නතර වන ලෙසත් තම දෙපා හා ලෝගුව නො තෙමන ලෙසත් නියෝග කල බව කියවේ. - පරිවර්තක)

ගෝලීය උනුසුම් වීම හා පාරිසරික වෙනස්කම්වල අනතුරු සඳහා සටන් කිරීම සඳහා යතාර්ථවාදී මූලෝපායක් වර්ධනය කිරීමේ දී, මෙම සලකා බැලීම් ජාත්‍යන්තර කම්කරු පන්තියට ආරම්භය සැපයිය යුතුය.

නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික හිමිකාරිත්වය හා ලෝකය වෙන් වූ, එකිනෙකාට එරෙහිව සන්නද්ධ වන ප්‍රතිවිරුද්ධ ජාතික රාජ්‍යවලට බෙදීම පිලිබඳ අතාර්කිකත්වය පවත්වා ගෙන යාමට සමාජ උත්සුකයක් නොමැති එකම පන්තිය කම්කරු පන්තිය යි.

ධනවාදය විසින් ඇති කරනු ලබන අනෙකුත් ව්‍යසනයන්, එනම් දරිද්‍රතාව හා වැඩිවන සමාජ අසමානතාව, ෆැසිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත ප්‍රහාරය, හා වැඩෙන්නා වූ අධිරාජ්‍යවාදී යුද තර්ජනය සමග මෙන් ම දේශගුනික ප්‍රශ්නය ද පන්ති ප්‍රශ්නයක් වන අතර, එය විසඳීම සඳහා සෑම රටකම කම්කරු පන්තියේ දැනුවත් දේශපාලනික බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරේ. දිග හැරෙමින් පවතින පාරිසරික විනාශයන් සීමා කිරීමට හා ආපසු හැරවීමට අවශ්‍ය විද්‍යාත්මක, තාක්ෂනික හා නිර්මානාත්මක හැකියාවන්ට මනුෂ්‍යත්වයට සම්පූර්න පf්‍රව්ශයක් අත්පත් කර ගත හැක්කේ, විද්‍යාත්මක ව සැලැසුම් කෙරෙන හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරෙන, ගෝලීය පරිමාන නිෂ්පාදනය සංවිධානය කිරීම ශඛ්‍ය කරන, ලෝක සමාජවාදී විප්ලවයක් හරහා පමනි.

බ්‍රයන් ඩයින්

Share this article: