මැක්‍රෝන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

Mobilize the working class against Macron!

2018 දෙසැම්බර් 5

කප්පාදු හා අසමානතාවට එරෙහි සති කීපයක දැවන්ත “කහ බැනියම්” විරෝධතාවන්ට පසු, ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රන්ස ආන්ඩුව ඊයේ, කම්කරුවන් ඉලක්ක කරමින් සැලැසුම් කෙරුනු තම බදු වැඩි කිරීම තාවකාලිකව අත්හිටවන බව නිවේදනය කල අතර “බදු අය කිරීම හා රජයේ වියදම් ගැන විවාදයක්” පැවත්වීමට පොරොන්දු විය.

මැක්‍රෝන් හා අගමැති එඩුවාර්ඩෝ පිලිප් විසින් ආන්ඩුව මහජනයාගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින් සිටී යැයි පවසනු ලැබීම වැදගැම්මකට නැත. ප්‍රන්ස හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රග්ධනයේ උත්සුකයන් අනුව ප්‍රන්ස සමාජය ප්‍රතිසංවිධානය කිරීමට අධිෂ්ඨානශීලී මැක්‍රෝන්, කම්කරු පන්තිය සමග ගැටුමකට සූදානම් ව සිටී.

එසේ වුවත්, ඔහුගේ ආන්ඩුවේ උපක්‍රමික පසුබැසීම නීර්නය කරනු ලබන්නේ මිලිටරි හා පොලිස් ගනන් බැලීම් මගිනි. එය පසුපසට තල්ලු කර ඇත්තේ ආන්ඩුව පිලිගත් වෘත්තීය සමිති මාවත්වලට පිටතින්, මූල්‍ය කතිපයාධිකාරිය හා ධනේශ්වර සූරාකෑමට එරෙහි විදාරනය වන්නා වූ කම්කරු පන්තියේ කෝපය වේගයෙන් පිටාරගැලීම මගිනි. විරෝධතාකරුවන් සියගනනක් සමූහ ලෙස අත්අඩංගුවට ගැනීම, කඳුලු ගැස් ප්‍රහාර හා පහරදීම් විරෝධතාව නවතා දැමීමට සමත් වී නැත.

මැක්‍රෝන් අන්ඩුව කාලය ගනිමින්, යලි කාන්ඩ ගැසීමට උත්සාහ කරමින් හා සූදානම් වෙමින් සිටින්නේ, අවශ්‍ය වුවහොත්, හිදිසි නීති තත්වය හා අනෙකුත් පොලිස් රාජ්‍ය පියවර හරහා කම්කරුවන්ගේ සමාජ අයිතීන් මත ඊලඟ ප්‍රහාර මාලාව බලාත්මක කිරීමට ය.

දීර්ග ඓතිහාසික අත්දැකීම් පෙන්වා දෙන්නේ පාලක ප්‍රභූවේ ආරම්භක ව්‍යාකූලත්වය කම්කරු පන්තියේ ජය තහවුරු නො කරන බව යි. පසු ගිය සෙනසුරාදා විරෝධතාකරුවන් අධීක්ෂනය කිරීමට හා ඉලක්ක කිරීමට එලිසී මන්දිරයේ වහල මත පොලීසිය විසින් රැඳ වූ, සැඟ වී සිට වෙඩි තබන්නන් සොයා ගැනීම හා පසු ගිය මාසයේ මැක්‍රෝන් නාසීන්ට සහාය දුන් ඒකාධිපති පිලිප් පෙටේන් යුද වීරයෙකු ලෙස පිලිගැනීම තුල බොහෝ අනතුරු ඇඟවීම් ඇත. කම්කරු පන්තියේ වැඩෙන කෝපයෙන් බිය ගන්නා ධනේශ්වරය අනුකම්පා විරහිත පියවර සූදානම් කරමින් සිටී.

මැක්‍රෝන් නව වටයක ප්‍රහාරයන් සූදානම් කරන්නාක් මෙන් ම කම්කරුවන් තමන්ගේ ම සූදානම ඇති කර ගත යුතු ය. මේ වන විටත්, ගිලන් රථ රියදුරන් හා තෙල් පිරිපහදු කම්කරුවන් මෙන් ම ශිෂ්‍ය තරුනයින් ද ඇතුලු සංවිධානගත කම්කරු පන්තියේ වැඩිවන කන්ඩායම් පෙලපාලිවලට එක් වෙමින් සිටිති.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ප්‍රන්සය තුල මෙන් ම ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ හැකිතාක් පුලුල් කන්ඩායම්වලට අරගලය ව්‍යාප්ත කිරීම යි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ, සමාජවාදී සමානතා පක්ෂය (ප්‍රන්ස ශාඛාව) කම්කරු පන්තිය තුල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඉල්ලා සිටී.

තම සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරු පන්තිය විසින් ගන්නා ලද සෑම උත්සාහයක් ම දශක ගනනාවක් තිස්සේ පාවා දී ඇති වෘත්තීය සමිතිවලින් මෙම කමිටු ස්වාධීන විය යුතු ය. සංගත හා ආන්ඩු ගැති වෘත්තීය සමිතිවලින් සංවිධානාත්මක ව හා දේශපාලනික වසයෙන් ස්වාධීන, අරගලයේ නව සංවිධාන ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි වැඩවර්ජන හා විරෝධතා ආරක්ෂා කිරීම සම්බන්ධීකරනයට කම්කරුවන්ට ඇති එකම මාවත යි.

එකී ක්‍රියාකාරී කමිටු මෙම අරගල හුදකලා කර විසුරුවා හැරීමේ නිල උත්සාහයන් වැලක් වීමට කම්කරු පන්තිය හා ශිෂ්‍යයින්ගේ විවිධ කන්ඩායම් එකට එක් කරනු ඇති අතර, මැක්‍රෝන්ට එරෙහි ව්‍යාපාරයේ බලගතු කර්තව්‍යයන් සකච්ඡා කරනවා ඇත. ජංගම/තාවකාලි උසාවි මගින් අසාධාරන ලෙස හිරගෙවල්වලට දක්කන විරෝධතාකරුවන් නිදහස් කර ගැනීම, විරෝධතාකරුවන් හා කම්කරු පන්තික ප්‍රදේශ පොලිස් කෘරත්වයෙන් ආරක්ෂා කර ගැනීම, හා මැක්‍රෝන්ගේ කප්පාදු න්‍යායපත්‍රය හා මිලිටරි සේවයට අපාසු යාමට එරෙහි වැඩවර්ජන මේවාට අයත් වෙයි.

“කහ බැනියම්” විරෝධතාව බෙල්ජියම, බල්ගේරියා හා නෙදර්ලන්තයට පැතිරෙත් ම, එවැනි කමිටු ප්‍රන්සයේ කම්කරුවන් හා ශිෂ්‍යයින්ට තම කිට්ටු මිතුරන්ගේ, එනම් යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගිත්වය සොයා යාම හා සංවිධානය කිරීමට මග පාදනු ඇත. සෑම අවස්ථාවක දී ම කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම ඉහල දමමින්, ප්‍රන්සයේ වර්ධනයන් ධාවනය කෙරෙන්නේ සාරභූතව ම ජාතික නො ව ජාත්‍යන්ර කොන්දේසි මගිනි.

සමාජවාදී පක්ෂය (පීඑස්) හා එහි අනුබද්ධ මාධ්‍ය, වෘත්තීය සමිති නිලධරය හා ඔවුන්ගේ ධනේශ්වර දේශපාලන සහචරයෝ විරෝධතා වෘත්තීය සමිති සීමාවන් තුල හිර කර, ඒ මගින් ඒවා ධනේශ්වර පාලක ප්‍රභූවේ උත්සුකයන්ට යටත් කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

මැක්‍රෝන්ගේ ජනාධිපතිකමේ “තීරනාත්මක පරිවර්තිත මොහොතක” අනතුරක් ඇතැ යි ලියන ල මොන්ඬේ පත්‍රයේ කතුවැකියක්, “මේ ආකාරයේ සමාජ ගැටුම් පාලනය කිරීමට නැතුවම බැරි” වෘත්තීය සමිති දුර්වල කරනවා යැයි කියා සිටිමින් ඔහු විවේචනයට ලක් කර යි. ප්‍රන්ස ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සම්මේලනය (සීඑෆ්ඩීටී) “සංවාදයක් ඇරඹීම” හා බදු පවත්වා ගෙන යාම වෙනුවෙන් පිලිප්ට තුති ගී ගැයුවේ, බදු “අත්‍යාවශ්‍ය පාරිසරික සංක්‍රාන්තියක්” ලෙස ප්‍රශංසා කරමිනි.

වම ලෙස මවා පාන නිල පක්ෂ මැක්‍රෝන් ආන්ඩුව බිම හෙලීමට වන කම්කරු පන්තියේ අරගලය ප්‍රතික්ෂේප කිරීම සඳහා එක් වී සිටිති. ජීන්-ලුක් මේලන්කන් “නව මැතිවරනයක්” ඉල්ලා සිටින්නේ, පැහදිලිව ම මැක්‍රෝන් යටතේ අගමැති ලෙස සේවය කිරීමේ තම යෝජනාව සාක්ෂාත් කර ගැනීම බලාපොරොත්තුවෙනි.

පැබ්ලෝවාදී නව ධනපති විරෝධී පක්ෂයේ රෙව්ලූෂන් පර්මනෙන්ටේ නම් වෙබ් අඩවිය “කහ බැනියම්” හා ස්ටැලින්වාදී සීජීටී වෘත්තීය සමිතියේ “එකට හමු වීමක්” ඉල්ලා සිටී. සීජීටී ප්‍රධානී පිලිප් මාර්ටිනස් විරෝධතාකරුවන්ට සහාය දීම ප්‍රතික්ෂේප කලේ, ඔවුන් නව-ෆැසිස්ට්වාදීන් යැයි නො කියා කියමිනි.

සසපට පිටත, මැක්‍රෝන්ට එරෙහි අරගලයේ පුලුල් කිරීමක් සඳහා වමෙන් සටන් කරමින් සිටිනවා යැයි කියන එක දු දේශපාලන ප්‍රවනතාවක් හෝ නොමත. ඊට වෙනස් ව, වෘත්තීය සමිති නැවතත් නියමිත තැන තැබීමට උත්සාහ ගනිමින් ඔවුන් වැඩ කරමින් සිටින්නේ ආන්ඩුවට වඩාත් මනාප කොන්දේසි මත බේරුම් කිරීමක් ඇති කිරීමට ය.

අරගලය පහතට අදින එවැනි සියලු උත්සාහයන් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. ඊට වෙනස් ව, සටන ව්‍යාප්ත කල යුත්තේ ප්‍රන්සය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියට කල හැකි පුලුල් ම ආයාචනය මගින්, හා එමෙන් ම ප්‍රන්සය හා යුරෝපය පුරා සෑම වැඩපොලකට, පාසලකට හා විශ්ව විද්‍යාලයකට ම අරගලය ගෙන යාම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගමිනි.

මැක්‍රෝන්ට එරෙහිව පන්ති අරගලය ගෙන යා හැකි සංවිධාන වර්ධනය කිරීම විප්ලවවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත දේශපාලන නායකත්වයක් වර්ධනය කිරීමට සම්බන්ධ කල යුතුය. අනිවාර්යයෙන් ම, ප්‍රන්සය තුල හා ජාත්‍යන්තර ව වර්ධනය වෙමින් තිබෙන සටන එක් පුද්ගලයෙකුට හෝ එක් ආන්ඩුවකට එරෙහි සටනක් නොව, සමස්ත ධනේශ්වර පද්ධතියට ම එරෙහි සටනකි.

මෙම ඉදිරිදර්ශනය ගැන වැඩපොලවල, පාසල් හා විශ්වවිද්‍යාලවල මෙන් ම සමාජ මාධ්‍ය තුල ඉතාමත් පුලුල් සාකච්ඡාවක් සසප ඉල්ලා සිටී. මෙයට සහභාගී වීමට කැමති අය සසප සමග සම්බන්ධකම් ඇති කර ගන්නා ලෙස හා එක්වන ලෙස එය ඉල්ලා සිටී.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: