ප්‍රන්සයේ විරෝධතා හා ගෝලීය පන්ති අරගලය

The demonstrations in France and the global class struggle

2018 දෙසැම්බර් 7

ප්‍රන්ස රාජ්‍යය වෙලාගන්නා දේශපාලන අර්බුදය තීව්‍ර වෙද්දී ජනාධිපති ධුරයට පත් වූ බැංකුකාර එම්මෑනුවෙල් මැක්රොන්ගේ ආන්ඩුව, මේ සති අන්තයේ පැවැත්වෙන “කහ බැනියම්” විරෝධතා හා අනෙකුත් විරෝධතා සමග ප්‍රධාන ගැටුමක් සූදානම් කරමින් සිටී.

2005න් පසු පලමු වතාවට පැරීසියේ වීදිවල සන්නද්ධ රථවල ආධාරය සමගින් දිගේලි කරන 8,000ක් ද ඇතුලු ව සෙනසුරාදා රටපුරා කැරලි මර්දන හා මිලිටරි පොලිස් භටයන් 89,000ක් යෙදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාං ශය සැලසුම් කරයි. මෙය සිදුවන්නේ පසුගිය සෙනසුරා විරෝධතාව පැවැත්වෙන විට පැරීසියේ වහලවල් මත ස්නයිපර් ප්‍රහාරකයන් ස්ථානගත කිරීමෙන් අනතුරු ව ය. පූර්ව විරෝධතාවල දී තුවාල කරන ලද හා අත්අඩංගුවට ගන්නා ලද ඒකාබද්ධ ප්‍රමානයට වැඩි ප්‍රමානයක් මෙවර සිදුකරන්නේ යයි තර්ජනය කරමින් පොලීසිය විරෝධතාකරුවන් ව බියවැද්දීමට උත්සාහ කරයි.

කාලය ලබාගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්, මූලික විරෝධතා පැනනැංවීමට හේතු වූ ඉන්ධන බද්ද කල්දැමීමටත් පසුව එය අහෝසි කිරීමටත් මැක්රොන් ආන්ඩුව ක්‍රියාකලේ ය. එහෙත් විවිධාකාර පන්ති ගැටලු විසින් අභිප්‍රේරනය කරන ලද ජනගහනයේ පුලුල් කොටස් ඇද ගනිමින් කෝපය නො නැවතී වැඩෙයි. වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිකිරීම, ධනවතුන් මත බදුගැසීම හා ධනය යලි බෙදාහැරීම සඳහා වූ ඉල්ලීම් පැතිරෙමින් තිබේ.

දෙසැම්බර් 6දා උසස් පාඨශාලා හා විශ්ව විද්‍යාල සිසුහු දහස් ගනනක් අධ්‍යාපන ප්‍රතිසංස්කරන හා පන්ති ගාස්තු වැඩිකිරීම්වලට විරුද්ධ විරෝධතාවන්ට සහභාගි වූ හ. පොලීසිය එයට ප්‍රතිචාර දැක්වූයේ 700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනිමිනි. අන්තර්ජාලය මත පුලුල් ව බෙදාහැරුනු එක් වීඩියෝ පටයක් සමහර සිසුන්ට දුසිම් ගනනින් බිත්තියකට හේත්තු කොට දනගැසීමට බලකරමින් පොලීසිය විසින් වටකිරීම පෙන්වී ය. මෙය හුදෙක් මේ සති අන්තයේ මුදාහැරෙන රාජ්‍ය මර්දනය පිලිබඳ පූර්විකාවක් පමනි.

යෝධ පොලිස්-රාජ්‍ය මර්දනයක් සූදානම් කරන ප්‍රන්ස ආන්ඩුව, විරෝධතාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදයට අන්තරායක් යයි මුග්ධ ලෙස හෙලාදකී. “දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලටත් ව්‍යාපාරික ප්‍රජාවටත් සන්සුන් වීම සඳහා කැඳවුම් කරන ලෙස” ඊයේ ඉල්ලා සිටි එලිසි ජනාධිපති මන්දිරය, “තවදුරටත් දේශපාලන විරුද්ධත්වයට ඉඩ නැත, එනමුත් අපගේ සමූහාන්ඩුව වටා ඒකාබද්ධතාව සඳහා කාලය” බව ප්‍රකාශ කලේ ය. විරෝධතාකරුවන් “ප්‍රන්ස ජනයාගේ හා අපේ ආයතනවල ආරක්ෂාවට” තර්ජනය කරන බව අගමැති එදුවාර්ද් ෆිලිප් කීවේ ය.

දෙවන ලෝක යුද සමයේ නාසීන් සමග ඒකාබද්ධ වූ ප්‍රන්ස ආඥාදායක ෆිලිප් පෙටේන් ව මෑත දී මැක්රොන් විසින් උත්කර්ෂයට නැංවීමෙන් පසු ඔහු තවදුරටත් සිටින්නේ කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ව දේශන පැවැත්විය හැකි තත්ත්වයක නො වේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනතුර පැමිනෙන්නේ බැංකුවල විධානයන්ට එරෙහි කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගලවලින් නො ව, කැරලි මර්දන පොලීසියේ හා යුද ටැංකිවලට පිටුපසින් සැඟවී සිටින මැක්රොන් වැනි පුද්ගලයන් විසින් නියෝජනය කරන ධනපති පාලක ප්‍රභූවෙනි.

විරෝධතා වර්ධනය වෙද්දී මූලික පන්ති ප්‍රශ්න ඉදිරියට පැමිනේ. සාංකාව සහිත ලිපියක් බ්‍රහස්පතින්දා පලකල නිව් යෝක් ටයිම්ස් පත්‍රය, ප්‍රන්සයේ විරෝධතා “දක්ෂිනාංශික පක්ෂයකට තබා කිසිදු දේශපාලන පක්ෂයකට යොමු වී නැත” යයි සඳහන් කලේ ය. ඒ වෙනුවට “නැගිටීම බොහෝ සෙයින් ඓන්ද්‍රීය, ස්වයං-සිද්ධ හා ස්වයං-නීර්නිත වේ. එය බොහෝ සෙයින් ආර්ථික පන්තිය පිලිබඳ ව වන්නකි. එය බිල්පත් ගෙවීමේ නොහැකියාව පිලිබඳ එකකි.”

වෘත්තීය සමිති ද ඇතුලු පවත්නා ආයතනයන්ට පිටතින් විරෝධතා ඉස්මතු වීම එයට එහි පුපුරනසුලු ලක්ෂනය ලබා දී ඇත. විරෝධතා කෙරෙහි කම්කරුවන් අතර පවතින පුලුල් සහයෝගයට ප්‍රතිචාර දක්වන වෘත්තීය සමිති, පසුගිය සතියේ සීමිත වර්ජන ක්‍රියා සඳහා කැඳවුම් කර ඇත. එහෙත් රාජ්‍යයට සමීපතම සබඳතා ඇති සමිතිවල ඉලක්කය වන්නේ, ව්‍යාපාරය සීමාකොට ගෙල හිරකරමින් එය තම පාලනය යටතට ගැනීම යි.

විරෝධතාවන් ධාවනය කරන සමාජ සමානතාව හා ධනය යලි බෙදාහැරීමේ ඉල්ලීම්වලට ඉඩදීමට මැක්රොන්ට අභිලාෂයක් නැත. ආන්ඩුවේ ක්‍රියාවන්ට නියෝග දෙන්නේ එය නියෝජනය කරන පන්ති අවශ්‍යතා සහ ගෝලීය වෙලඳපොලවල් හා මූල්‍ය ආයතනවල ඉල්ලීම් විසිනි.

ප්‍රන්සය තුල වර්ධනයන් ගෝලීය ක්‍රියාදාමයක ජාතික ප්‍රකාශනයකි. සෑම රටක ම පාලක පන්තිය, වැටුප් හා වැඩ කොන්දේසි මත ප්‍රහාරවල නව වටයක් පැටවීමට උත්සාහ දරමින් සිටී. එහෙත්, සමාජ අසමානතාවේ යෝධ මට්ටම් විසින් චලනය කරනු ලබන පන්ති අරගලයේ වර්ධනය ද ගෝලීය ක්‍රියාවලියක් ලෙස වර්ධනය වෙමින් තිබේ.

මැක්රොන්ට විරුද්ධ වන ප්‍රන්ස කම්කරුවන් හා තරුනයන් සහයෝගය පතා හැරිය යුත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට යි.

ගෙවීගිය වසර විලක්ෂනය කරනු ලැබ ඇත්තේ ලෝකය පුරා පන්ති ගැටුමේ අර්ථභාරී තීව්‍ර වීමක් විසිනි. සමාජ කප්පාදුවලට එරෙහි ඉරාන කම්කරුවන්ගේ විරෝධතා සමගින් ඇරඹුනු වසර තුල ඉන්පසු යුරෝපයේ වැඩ වර්ජන සහ වැටුප් වැඩිවීම් ඉල්ලා තුර්කියේ හා ජර්මනියේ ලෝහ කම්කරුවන්ගේ වර්ජන සිදු විය. වෘත්තීය සමිති නිලධරය නො තකා එක්සත් ජනපදයේ ගුරුවරු වර්ජනය කරන ලද අතර, ඉන්පසු බි්‍රතාන්‍යයේ, ටියුනීසියාවේ හා ප්‍රන්සයේ ගුරුවරු වර්ජනය කල හ.

මැක්රොන්ගේ පරාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලට විරුද්ධ සිසුන්ගේ විරෝධතා සමගින් ඔහු විසින් ජාතික දුම්රිය සේවය පුද්ගලීකරනය කිරීමට එරෙහි වර්ජන ප්‍රන්සය තුල පුපුරා ගියේ ය. යුරෝපය පුරා රටවල කම්කරුවන් රයන්එයාර් සමාගමට එරෙහි ව වර්ජනය කල අතර, ලෝකයේ ධනවත් ම මිනිසා වන ජෙෆ් බෙසෝස් හිමිකාරීත්වය දරන ඇමේසන් සංගතයේ බිඳවැටෙන වැඩ කොන්දේසිවලට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන ව කම්කරුවෝ වර්ජනය කල හ.

වසර අවසානයට ලඟා වන්නේ, කම්කරු පන්තියේ කෝපය ජාත්‍යන්තර ව වැඩීම මධ්‍යයේ ය. සියයට 100ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සමාජ මාධ්‍ය ජාල මත සංවිධානය කරන ලදුව පසුගිය මාසයේ පැවති ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ පුපුරනසුලු විරෝධතාවකින් පසුව, වෘත්තීය සමිතිවල විරෝධය නො තකා තේ වතු කම්කරුවන් වර්ජන ක්‍රියාමාර්ගයක් ගොඩනගමින් සිටිති. මෝටර් රථ කර්මාන්තය ගෝලීය ව ප්‍රතිව්‍යූහගත කිරීමේ කොටසක් ලෙස, වෘත්තීය සමිති හා සංගත කලමනාකාරීත්වය මහා පරිමාන දොට්ට දැමීම් හා කම්හල් වැසීම් සඳහා ඒකාබද්ධ ව කුමන්ත්‍රනය කරද්දී, එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් අතර කෝපය වැඬේ. මාධ්‍ය තුල බොහෝ සෙයින් වාර්තා නොකරතත් දකුනු කොරියාව, චිලී රාජ්‍යය හා අනෙකුත් රටවල් සොලවාලමින් ලක්ෂ ගනන් කම්කරුවෝ වැඩ වරති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) එහි 1988 ඉදිරිදර්ශන යෝජනාවතුල, පන්ති අරගලයේ වර්ධනය සඳහා ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය දරා සිටින ගම්‍යයන් අවධානයට ලක්කලේ ය: “දීර්ඝ කාලයක් පුරා මාක්ස්වාදයේ මූලික අදහසක් වූයේ පන්ති අරගලය එහි රූපයෙන් ජාතික වුවත් සාරය වසයෙන් ජාත්‍යන්තර අරගලයක් බව යි. එහෙත්, ධනවාදී වර්ධනයේ නව ලක්ෂන සමග සලකන කල, පන්ති අරගලය රූපයෙන් ද ජාත්‍යන්තර ස්වභාවයක් අත්පත් කරගත යුතු ය. කම්කරු පන්තියේ අතිශය මූලික අරගල පවා, එහි ක්‍රියාකාරකම් ජාත්‍යන්තර පරිමානයක සම්බන්ධීකරනයක අවශ්‍යතාව ඉදිරිපත් කරයි.”

වසර ආරම්භයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියා සිටියේ 2018 වර්ෂය සියල්ලට ඉහලින් පන්ති අරගලයේ වර්ධනයක් විසින් විලක්ෂනය කරනු ඇති බව යි. දැන් සිදුවන වර්ධනයන් මෙම පුරෝකථනය සනාථ කරයි. මෙය කම්කරු පන්තිය සඳහා තීරනාත්මක මූලෝපායික ප්‍රශ්න ඉස්මතු කරයි. කෝපය හා විරුද්ධත්වය පමනක් නො සෑහේ. කම්කරු පන්තියට සංවිධානයක් හා දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ.

තමන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමට ධනපති-හිතවාදී වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන නව සංවිධාන කම්කරුවන්ට අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෑම වැඩපලක ම, නිවහන් ප්‍රදේශවල හා පාසල්වල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ප්‍රන්ස කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි. දැන් දිගහැරෙන අරගල ඒකාබද්ධ කලයුතු මෙම කමිටු, ඒවා වාෂ්ප කිරීම හා විකුනා දැමීම වලකා මර්දනයෙන් කම්කරුවන් ව ආරක්ෂා කිරීම පිනිස ක්‍රියාකාරීත්වයන් සංවිධානය කලයුතු ය.

බොහෝ කොට ගම්බද හා ප්‍රාදේශීය නගරවල කම්කරුවන් වෙතින් “කහ බැනියම්කරුවන්ට” ප්‍රන්සයේ විශාලතම නගරවලට තදාසන්න ප්‍රදේශවල සංක්‍රමනික කම්කරුවන් ඇතුලු කම්කරුවන්ගේ පලල් ම කොටස් ඒකාබද්ධ කොට, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට දරන වර්ගවාදී ප්‍රයත්නයන්ට විරුද්ධ ව සටන් කිරීමට මෙම කමිටු මගින් හැකියාව ලබාදෙනු ඇත.

කම්කරු පන්තියේ ස්වාධීන සංවිධාන වර්ධනය කිරීම විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සමග අත්‍යන්තයෙන් බැඳී තිබේ. ප්‍රන්සයේ ද සෑම රටක ම ද කම්කරු පන්තිය මුහුන දෙන මූලික කර්තව්‍යය වන්නේ රාජ්‍ය බලය අල්ලාගෙන, සංගත හා මූල්‍ය ප්‍රභූව අස්වාමික කොට, ධනය යෝධ පරිමානයෙන් යලි බෙදාහැර ආර්ථික ජීවිතය සමාජවාදී ව ප්‍රතිසංවිධානය කිරීම යි.

සියල්ල අතරින් වඩාත් ම තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ප්‍රන්සයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැගීම යි. ධනවාදයට හා යුද්ධයට විරුද්ධ වෙමින්, කම්කරු පන්තියට රාජ්‍ය බලය මාරුකිරීමේ ප්‍රශ්නය ඉස්මතු කරමින් මහජන ව්‍යාපාරයට සවිඥානික සමාජවාදී ස්වභාවයක් අත්පත් කරගත හැක්කේ මේ ආකාරයෙන් පමනි.

ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගික පදනම මත ප්‍රන්සයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය පුරා අරගලය විස්තාරනය කිරීමට සටන් වදින එකම දේශපාලන පක්ෂය හජාජාක ප්‍රන්ස ශාඛාව වන සසප යි. ප්‍රන්සයේ ද ලෝකය පුරා ද කම්කරුවන්ට හා තරුනයන්ට හජාජාක අමතා එයට බැඳෙන ලෙස අපි ආයාචනා කරමු.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: