ඊස්රායලය යුරෝපයේ නව-ෆැසිස්ට්වාදීන් ව සාදරයෙන් පිලිගනී

Israel rolls out the welcome mat for Europe’s neo-fascists

2018 දෙසැම්බර් 14

ඉතාලියේ අභ්‍යන්තර කටයුතු ඇමති මැටියෝ සැල්විනී මේ සතියේ ඊස්රායලයට කල දෙදින සංචාරය, සියොන්වාදී රාජ්‍යය සහ යුරෝපයේ හා ඉන් ඔබ්බේ නැගී එන අන්ත-දක්ෂිනාංශික හා නව-ෆැසිස්ට්වාදී බලයන් අතර වඩ වඩා විවෘත වන සන්ධානය ප්‍රදර්ශනය කරන නවතම අවස්ථාව පමනි.

සංක්‍රමන-විරෝධී ලීගා පක්ෂයේ නායකයා වන සැල්විනී, “පලමුව ඉතාලියානුවන්” යන සටන්පාඨය මත පදනම් වන න්‍යාය පත්‍රයක් සකසමින් හා ඉතාලියේ ලේඛනගත නො වන සංක්‍රමනිකයන්ගෙන් “අවශ්‍ය නම් බලය යොදා” ඉතාලිය “පිරිසිදු කිරීමට” සපථ වෙමින් ක්‍රියාත්මක වන දක්ෂිනාංශික සභාග ආන්ඩුවේ ප්‍රමුඛ පුද්ගලයා බවට පත්ව ඇත.

ආඥාදායක බෙනිටෝ මුසෝලිනි විසින් බලාත්මක කරන ලද වාර්ගික නීති යොදාගෙන අයිතීන් අහිමි කලා වූත්, අවුෂ්විට්ස් වධ කඳවුරුවල දී ඝාතනය වූ බොහෝදෙනා ද ඇතුලු ව ආසන්න වසයෙන් 10,000ක් වන මරුමුවට පත් ඉතාලියානු යුදෙව්වන් ව පිටුවහල් කලා වූත්, ක්‍රමානුකූල ඉතාලි යුදෙව් මර්දනයට වගකිව යුතු ඉතාලියානු ෆැසිස්ට්වාදය සැල්විනී විසින් ක්‍රියාවෙන් හා වචනයෙන් පුනරුත්ථාපය කොට තිබේ.

ඉල් දුසේගේ කියමන් උපුටා දක්වමින් හා ඉතාලියානු ෆැසිස්ට්වාදයේ ධනාත්මක ජයග්‍රහනයන් යයි කියන දේවල් අවධාරනය කරමින්, සැල්විනී හිතාමතා ම මුසෝලිනිගේ උරුමයට ආයාචනා කොට ඇත. ආඥාදායකයාගේ පින්තූර හා ඔහුගේ තන්ත්‍රයේ අනෙකුත් සංකේත අතැති ෆැසිස්ට් සටන්කාමීන් ඔහුගේ දේශපාලන රැස්වීම්වලට නිරන්තරයෙන් සහභාගි වේ.

පසුගිය ජූලි මාසයේ මුසෝලිනිගේ උපන් දිනය යෙදුනු අවස්ථාවේ, මුසෝලිනීගේ ප්‍රසිද්ධ සටන්පාඨය වන “මොල්ති නෙමිසි, මොල්තෝ ඔනෝරේ” හෙවත් “බොහෝ සතුරන්, වැඩි ගෞරව” යන්න යන්තමින් වෙනස් කරමින් සැල්විනී සිය ට්විටර් ගිනුමේ ලියා තැබුවේ “තැන්ති නෙමිසි, තැන්තෝ ඔනෝරේ” හෙවත් “වඩා වැඩි සතුරන්, වඩා වැඩි ගෞරව” යනුවෙනි.

ඔහු ක්‍රියාවට දමා ඇති සංක්‍රමන-විරෝධී හා මුස්ලිම්-විරෝධී පිලිවෙත්වලට 1930 ගනන් හා 1940 ගනන්වල යුදෙව්වන් දඩයම් කිරීම සමග හොල්මන් කරන සමාන්තරයන් තිබේ. දශක අටකට පෙරාතුව නාසි දඩයම් කිරීමෙන් ගැලවීමට පලා ආ යුදෙව්වන් සහිත නැව් ආපසු හරවා යැවුවාක් මෙන්, ඔහුගේ සංක්‍රමන-විරෝධී කඩාපැනීම් ලමුන් හා ගැබිනි කාන්තාවන් ඇතුලු සරනාගතයන් සහිත බෝට්ටු, ඉතාලිය විසින් ආපසු හරවා යැවීම දැකගෙන ඇත. ඉතාලියේ සියලු රෝමා ජනයා ලේඛනගත කොට, සියලු “ඉතාලියානු නො වන” රෝමාවරුන්ගෙන් රට “පිරිපහදු” කරන ලෙස හා ඔවුන්ගේ “නීති-විරෝධී ගෙවල්” විනාශ කරන ලෙස ද ඔහු රාජ්‍යයට ආයාචනා කර ඇත. මුසෝලිනි යටතේ යුදෙව්වන්ට එරෙහි ව බලාත්මක කල වාර්ගික නීතිවලට මෙහි ඇති බියකරු සමානත්වය පෙන්වමින් ඉතාලියේ යුදෙව් කන්ඩායම් මෙම යෝජනාවට විරෝධය පල කල හ.

“ඊස්රායලයේ ශ්‍රේෂ්ඨ මිතුරෙක්” ලෙස නෙතන්යාහු විසින් සාදරයෙන් පිලිගෙන, සාම්ප්‍රදායික ඡායාරූප ගැනීම සඳහා ඊස්රායලයේ නිල හොලෝකෝස්ට් අනුස්මරන ස්ථානය වන යාද් වශේම් වෙත දෙසැම්බර් 12දා කැඳවාගෙන ගියේ මේ මිනිසා ය.

ඊස්රායලයේ හා ඉතාලියේ යුදෙව් ජනයා අතර මෙම සංචාරය කෙරෙහි විරෝධයක් හා කෝපයක් ඇත. ජෙරුසලමට කල සැඳෑ සංචාරයක දී, වීදිවල විරෝධතාකරුවන් සැල්විනීට හූ කියමින් විරෝධය පලකල අතර, “ෆැසිස්ට්වාදියා, අපට ඔබ මෙහි ඒම අවශ්‍ය නැහැ” යනුවෙන් ඔවුහු හඬනැගූ හ.

“ඉතාලියේ හා යුරෝපයේ වාර්ගික-ජාතිකවාදී අන්ත-දක්ෂිනාංශයට අයත් ව්‍යාපාර හා පක්ෂ විසින් 1930 ගනන් හා 1940 ගනන්වල සිදුකල යුදෙව්-විරෝධී ක්‍රියා ද එම ක්‍රියා අමතක කිරීම හා ගනන් නොගෙන සිටීම ද” හෙලාදැකීම පිනිස සැල්විනීගේ සංචාරය යොදාගන්නා ලෙස බල කරමින් ඉතාලියානු යුදෙව් සංවිධාන ඔහුට ලිපියක් ලිවූ හ. එහෙත් ඔහු එවැනි දෙයක් නො කලේ ය.

ෆැසිස්ට්වාදයෙන් හා යුදෙව්-විරෝධයෙන් ගැලවෙන ආරක්ෂාකාරී ස්ථානයක් සම්පාදනය කරනු ඇතැයි යන කියාපෑම මත ස්ථාපනය කිරීම සුජාතකරනය කල ඊස්රායලය, දැන් ෆැසිස්ට්වාදීන් හා යුදෙව්-විරෝධීන් ව සාදරයෙන් පිලිගැනීම හා ඔවුන් සමග සන්ධානගත වීම ඊස්රායලය තුල ද ජාත්‍යන්තර ව ද පලල් යුදෙව් කන්ඩායම් අතර ආන්තික කැලඹිල්ලේ හා ජුගුප්සාවේ මූලාශ්‍රයක් වේ.

ඊස්රායලයට දෙන සහයෝගය හරහා තම යුදෙව්-විරෝධයෙන් නිර්දෝෂී වන දක්ෂිනාංශික චරිත තමන් ව ම පිරිසිදු කරගැනීම පිනිස යන ස්ථානයක් වන “සෝදන යන්ත්‍රයක්” ලෙස නෙතන්යාහු ආන්ඩුවේ සමහර ඊස්රායල විවේචකයන් විස්තර කර ඇති යාද් වශේම් වෙත සංචාරය කල “ශ්‍රේෂ්ට මිතුරන්ගේ” දීර්ඝ ලැයිස්තුවේ නවතම තැනැත්තා සැල්විනී ය.

හාරෙට්ස් නමැති ඊස්රායල දිනපතා පුවත්පතට අන්ෂෙල් ෆෙෆර් මෙසේ ලිවී ය: “දේශපාලනික මට්ටමේ දී ඔවුන් පැමිනෙන්නේ කුමකටදැයි පැහැදිලි ය. ෆැසිස්ට්වාදී හා නව-නාසිවාදී මූලයන් සමග තම පක්ෂවල අතීත සම්බන්ධය හේතුවෙන් ඓතිහාසික ව අපකීර්තියට පත් දේශපාලනඥයන්ට බටහිර තාප්පයට හා යාද් වශේම් හොලෝකෝස්ට් අනුස්මරන ස්ථානයට සංචාරය කිරීම මගින් ඊස්රායලයේ යුදෙව් චාරිත්‍ර පූර්නයේ (කෂ්රුට්) මුද්‍රාව ලබාගත හැකි ය.”

මෙම වන්දනාකරුවන් අතරට, යුදෙව්වන් 565,000ක් පමන මරා දැමීමට නාසීන් සමග හවුල් වූ දෙවන ලෝක යුද සමයේ හංගේරියානු ආඥාදායක අද්මිරාල් මික්ලෝස් හෝති “සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රිකයෙක්” ලෙස විස්තර කර ඇති හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් ද අයත්වේ. සංක්‍රමන ආධාර කන්ඩායම්වලට දෙන අරමුදල් යුරෝපීය ජාතීන්ගෙන් ඔවුන්ගේ ක්‍රිස්තියානි හා වාර්ගික උරුමය හොරකම් කිරීමට කරන කුමන්ත්‍රනයක් ලෙස ඉදිරිපත් කරමින්, එක්සත් ජනපදයේ පදනම් වන හංගේරියාවේ උපන් බිලියනපති ජොර්ජ් සොරෝස් ව විවෘත යුදෙව්-විරෝධී තානයන් සමගින් වෙහෙස නො තකා හෙලාදැකීම සැල්විනී මෙන් ඔර්බන් විසින් ද කර ඇත.

යාද් වශේම් “සෝදන යන්ත්‍රය” නරඹා ඇති තවත් “මිතුරෙක්” වන්නේ, හිටපු නාසි එස්එස් නිලධාරීන් දෙදෙනෙක් විසින් ආරම්භ කල අන්ත-දක්ෂිනාංශික කන්ඩායමක්වන නිදහස් පක්ෂය සමග සභාග ගත ආන්ඩුවේ ඔස්ටි්‍රයානු චාන්ස්ලර් සෙබස්තියන් කුර්ට්ස් ය. යුදෙව් ජනගහනයන් සමූල ඝාතනය කිරීම අනුස්මරන අඩවියේ ස්මරනය කරනු ලබන ඔස්ට්‍රියානු නගරවල ම නිදහස් පක්ෂයේ සාමාජිකයන් විසින් සිදුකරන යුදෙව්-විරෝධී ක්‍රියා දැකගෙන ඇති බව සංචාරක මගපෙන්වන්නෙක් ඔර්බන්ට පෙන්වා දුන් විට, ඔස්ට්‍රියානු ආන්ඩුව නෙතන්යාහු ආන්ඩුවට නිල පැමිනිල්ලක් ඉදිරිපත් කල අතර, ඊට ප්‍රතිචාර ලෙස සමාව භජනය කරන නිවේදනයක් නිකුත් කිරීමට කෞතුකාගාරයට බල කෙරිනි.

එවැනි සබඳතා යුරෝපයට පමනක් සීමා වී නැත. හිට්ලර් ව ප්‍රසිද්ධියේ උත්කර්ෂයට නංවමින්, “අපරාධකරුවන්” මිලියන තුනක් මරාදමා ඔහු ව අනුගමනය කිරීමට ප්‍රතිඥා දුන් ෆිලිපීනයේ ආඥාදායක පාලක රොඞ්රිගෝ දුතර්තේ ද යාද් වශේම් බලා ගමන් ගත්තේ ය. ඊස්රායලයට ඔහු කල වන්දනාවට බොහෝ සෙයින් හේතු වූයේ එම සංහාරය කිරීම සඳහා ආයුධ මිල දී ගැනීමේ අවශ්‍යතාව යි.

ෆැසිස්ට්වාදී හිටපු හමුදා කපිතාන් ජායර් බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන උත්සවයට සහභාගි වීමේ තම සැලසුම නෙතන්යාහු විසින් නිවේදනය කර ඇත. රටෙහි පැරනි ආඥාදායකත්වය උත්කර්ෂයට නංවමින් වධබන්ධනවල යහගුනය වර්නනා කර ඇති බොල්සොනාරෝ, බ්‍රසීලයේ තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයාම මගින් ඩොනල්ඞ් ට්‍රම්ප් ව අනුකරනය කරන බව තම මැතිවරන උද්ඝෝෂනයේ දී කියා තිබුනි.

නීති-විරෝධී වාඩිලාගැනීමේ හා ජනපදකරන පිලිවෙත හා පලස්තීනුවන් සඳහා යම් අයිතීන් සුරක්ෂිත කරන්නේ ය යන බොරුව හේතුවෙන් ඊස්රායලය නිල වසයෙන් දිගට ම විවේචනය කර ඇති “පැරනි යුරෝපයට” එරෙහි ව මෙම අන්ත-දක්ෂිනාංශික තන්ත්‍රයන් මත බලපෑම් කල හැකි බව බුඩාපෙස්ට් වෙත පසුගිය වසරේ කල සංචාරයක දී ප්‍රකාශ කරමින්, නෙතන්යාහු මෙලෙස අන්ත-දක්ෂිනාංශය වැලඳගැනීම යථා-දේශපාලනයේ දිදුලන අභ්‍යාසයක් ලෙස වාත්තු කර ඇත.

එවැනි ප්‍රතිගාමී මූලෝපායක් ඇති තරම් හානිකර විය හැක. එහෙත් ඊස්රායල රාජ්‍යය හා අන්ත-දක්ෂිනාංශය අතර සන්ධානය හුදෙක් තත්කාර්යවාදී විදෙස් පිලිවෙත් අභ්‍යාසයක් පමනක් නො වේ. ඊස්රායලයේ වර්තමාන දේශපාලන හා සමාජ පිලිවෙත්වලින් මෙන් ම සියොන්වාදයේ ඓතිහාසික මූලයන් යන දෙකෙන් ම පැනනගින ස්වාභාවික දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන බැඳීමක් තිබේ.

ඔවුන්ගේ පැත්තෙන් ගත්කල අන්ත-දක්ෂිනාංශය හා නව-ෆැසිස්ට්වාදීන් සියොන්වාදී රාජ්‍යය වෙත ආකර්ශනය වන්නේ, එහි වාර්ගික පිලිවෙත් හා පලස්තීන ජනයා ව වර්නභේදවාදී පන්නයේ පීඩනයකට ලක්කිරීම මගින් වර්ගය මත කේන්ද්‍රගත වන සමාජයක් ගොඩනැගීමට එයට පවතින අධිෂ්ඨානය හේතුවෙනි. රාජ්‍යයේ නෛතික පදනම ලෙස යුදෙව් අධිපතිභාවය නිධන්ගත කරන ඊනියා “ජාතික-රාජ්‍ය නීතිය” පසුගිය ජූලි මාසයේ සම්මත කිරීම, අන්ත-දක්ෂිනාංශිකයන් විසින් තමන්ගේ ම විදෙස්-විරෝධී හා වාර්ගික නීති සමග අනුගමනය කිරීමට කැමති දෙයකි.

යුරෝපයේ හා අනෙකුත් තැන්වල නව-ෆැසිස්ට්වාදයේ වර්ධනයට තුඩුදෙන එම සමාජ හා ආර්ථික ප්‍රතිඝතිතාවන් ම ඊස්රායලය තුලත් එවැනි ම ප්‍රතිඵල නිර්මානය කරයි. මැද පෙරදිග තුල අනවරත මිලිටරි ක්‍රියාකාරකම්වල නිරත හමුදා රාජ්‍යය වන ඊස්රායලය, එක්සත් ජනපදය හැරුනු විට ඊනියා සංවර්ධිත රටවල් අතර ඉහල ම දරිද්‍රතා රේට්ටුව හා ආන්තික සමාජ අසමානතාව වාර්තා කරමින් සමාජ ආතතීන් මගින් වෙලාගනු ලබයි. මෙම කොන්දේසි, මෑත දී දරිද්‍ර වැටුප් හා ඛාදනය වෙමින් පවතින වැඩ කොන්දේසිවලට එරෙහි ව සමාජ සේවකයන් විසින් ජාතික පරිමාන ව කල වර්ජනය ඇතුලු කම්කරු පන්තියේ වැඩෙන විරෝධතා හා වැඩ වර්ජන ජනනය කර ඇත.

සියොන්වාදය වනාහි ආන්තික ජාතිකවාදයේ එක් ප්‍රභේදයකි. දෙවන ලෝක යුද්ධයට හා හොලෝකෝස්ටයට පෙරාතුව සාපේක්ෂ ව හුදකලා ව්‍යාපාරයක් වූ එය, 19වන ශතවර්ෂයේ නැගෙනහිර යුරෝපය තුල පැවති ජාතිකවාදයේ සුවිශේෂී ප්‍රකාශනයක් ලෙස ඉස්මතු වූයේ, විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවට වර්ගය, ආගම හා භාෂාමය බහිෂ්කාරකවාදයේ ආධිපත්‍යයෙහි සංකල්ප මත පදනම් වෙමිනි. ෆැසිස්ට්වාදයේ නැගීමට යටින් පැවතියේ ද එම දෘෂ්ටිවාදාත්මක සංකල්පයන් ම ය.

සියොන්වාදී ව්‍යාපාරයේ ප්‍රධාන ආරම්භකයා වූ තියොඩෝර් හර්ස්ල්, “යුදෙව්-විරෝධී දෘෂ්ටීන් සහිත ජනයා ඔවුන්ගේ ම රටවලින් යුදෙව්වන් පලවාහැරීමට ආශා කල නිසා ඔවුන් ඔහුගේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට උදවු වනු ඇතැයි විශ්වාස කල” බව සඳහන් කරමින් දෙසැම්බර් 13දා හාරෙට්ස් පත්‍රයේ පලකල තීරුලිපියක් සියොන්වාදය හා ෆැසිස්ට්වාදය අතර පෙනෙන්නාක් මෙන් තිබෙන විරෝධාභාසී බැඳීමට අවධානය යොමුකලේ ය.

සියොන්වාදී රාජ්‍යය යුරෝපයේ හා අනෙකුත් තැන්වල යුදෙව්-විරෝධීන් හා නව-ෆැසිස්ට්වාදීන් වැලඳ ගනිද්දී, බටහිර ඉවුරේ හා ගාසා තීරයේ ඊස්රායල වාඩිලාගැනීම විසින් දෛනික ව සිදුකරන අපරාධ විවේචනය කිරීමට නිර්භීත වන වාමාංශයේ ඕනෑම අයෙකු යුදෙව්-විරෝධියෙක් ලෙස හංවඩු ගැසීමේ ආක්‍රමනශීලී ලෝක පරිමාන උද්ඝෝෂනයක් එම රාජ්‍යය විසින් අනුගමනය කර ඇත. ඊස්රායලයේ අන්ත-දක්ෂිනාංශික හා නව-ෆැසිස්ට්වාදී “ඊස්රායලයේ මිතුරන්ට” විරුද්ධ වන ඕනෑම පුද්ගලයෙකුට එවැනි නිග්‍රහ කිරීමක් ව්‍යවහාර කල යුතු බව අනුමාන කල හැක.

සැල්විනීගේ සංචාරයට යන්තම් දින ගනනකට පෙර, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ ලිපියක් පලකල ඇමරිකානු යුදෙව් කමිටුවේ ඩැනියෙල් ෂ්වෝමෙන්තෝල් “බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ඇතුලු අන්ත-වාමවාදියෝ සාම්ප්‍රදායික යුදෙව්-විරෝධී රූපකයන් ඇහිඳ ගනිමින්, ‘යුදෙව්වන්’ යන්න ‘සියොන්වාදීන්’ යන්නෙන් විස්ථාපනය කරමින් යුදෙව්-විරෝධය ප්‍රතික්ෂේප කරති” යි ප්‍රකාශ කලේ ය. එවැනි මඩගැසීම්, යුරෝපය පුරා ද විශේෂයෙන් ම බ්‍රිතාන්‍යය තුල ද ව්‍යාජ යුදෙව්-විරෝධී චෝදනා සමගින් වාමාංශික දේශපාලන දෘෂ්ටීන් අපකීර්තියට පත්කිරීමට ගෙනයන උන්මාදනීය උද්ඝෝෂනයේ කොටසකි. මෙම චෝදනාවන්හි නින්දිත හා අර්ථශූන්‍ය ස්වභාවය හෙලිදරවු කරන සැල්විනීගේ සංචාරය, නව-ෆැසිස්ට්වාදය හා යුදෙව්-විරෝධය ඔජවැඩවීම පිලිබඳ ව වගකිව යුත්තේ ඊස්රායල රාජ්‍යය මිස එහි වාමාංශික විවේචකයන් නො වන බව පෙන්වා දෙයි.

ඊස්රායල ආන්ඩුව සහ අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී බලයන් අතර ගෝලීය පරිමාන සන්ධානය, සමස්ත සියොන්වාදී ව්‍යාපෘතියේ බංකොලොත්භාවය හා ප්‍රතිගාමී ආවෘත-අන්තය පිලිබඳ වඩාත් ම පැහැදිලි පීඩනමානය යි.

ඊස්රායලයේ ද කලාපය පුරා ද යුදෙව් හා අරාබි කම්කරු මහජනයාට ඉදිරි මාවත රැඳී තිබෙන්නේ සියොන්වාදී රාජ්‍යය ද කලාපයේ විවිධාකාර ධනේශ්වර අරාබි තන්ත්‍රයන් ද පෙරලා දමා, ඒවා මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයකින් විස්ථාපනය කිරීමේ ඒකාබද්ධ අරගලය තුල යි. මෙම ඉදිරිදර්ශනය සඳහා ඊස්රායලයේ ද මැද පෙරදිග පුරා ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීම හරහා නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: