සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීම පිලිබඳ වොෂින්ටනයේ විවේචනය මධ්‍යයේ ආරක්ෂක ලේකම් මැටිස් ඉල්ලා අස්වෙයි

Defense Secretary Mattis resigns amid Washington backlash over Syria troop withdrawal

2018 දෙසැම්බර් 21

ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපද හමුදා පාර්ශවීය වසයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි පලවූ වාර්තාවන්ගෙන් ඉක්බිති ව, සිරියාවෙන් සියලු එක්සත් ජනපද භටයන් ඉවත් කරගන්නා බවට ඔහු විසින් නිවේදනය කිරීම පරිපාලනය තුලත්, එය හා මිලිටරිය අතර සබඳතාවන් කෙරෙහිත් ප්‍රධාන අර්බුදයක් නිර්මානය කර තිබේ.

දෙසැම්බර් 20දා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ඉල්ලා අස්වීම මෙම තියුනු වන බෙදීම් එලිමහනට ගෙනාවේ ය. “ඔබගේ අදහස් සමග වඩා හොඳින් පෙලගැසෙන අදහස් ඇති ආරක්ෂක ලේකම්වරයෙක් පත්කර ගැනීමට ඔබට අයිතිය තිබෙන නිසා ... මට හැඟී යන්නේ මගේ තනතුරෙන් ඉල්ලා අස්වීමට මට අයිතියක් ඇති බව යි” යනුවෙන් ට්‍රම්ප්ට ලියූ ලිපිය තුල මැටිස් ලීවේ ය.

“අපගේ මූලෝපායික අවශ්‍යතාවන් සමඟ වඩ වඩා ආතති සහගත වන මූලෝපායික අවශ්‍යතාවන් සහිත රටවල්” එනම්, චීනය හා රුසියාව “පිලිබඳ අපගේ ප්‍රවිෂ්ටයේ දී අධිෂ්ටානවත් වීමේ හා අපැහැදිලි නො වීමේ” අවශ්‍යතාව ප්‍රකාශ කල මැටිස්ගේ ලිපිය, ට්‍රම්ප්ගේ පිලිවෙත් පිලිබඳ නො සැඟවූ විවේචන ප්‍රකාශයට පත්කලේ ය.

මිලිටරි සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ ආරක්ෂක ලේකම් ධූරයට පත්වීම හේතුවෙන් කොංග්‍රසයෙන් නිදහස් කිරීමේ ලියවිල්ලක් අවශ්‍ය කල හිටපු නාවික බලකා ජෙනරාල්වරයාගේ ඉල්ලා අස්වීම සිදුවූයේ, ඔහු විරුද්ධ වූ දෙයක් වන සිරියාවෙන් භටයන් ඉවත් කරගැනීම ට්‍රම්ප් විසින් නිවේදනය කිරීමෙන් දිනකට පසුව ය.

දෙසැම්බර් 20දා රාත්‍රීයේ කැපිටල් හිල්හි පැවති මාධ්‍ය හමුවක දී, හිටපු ජෙනරාල්වරයාගේ ඉල්ලා අස්වීමෙන් තමන් “සැලීමට” පත්වූ බව කොංග්‍රස් ඩිමොක්‍රටික නායිකා නැන්සි පෙලෝසි විස්තර කලා ය. සෙනට් ඩිමොක්‍රටික නායක චක් ෂූමර් සමග පෙනී සිටි පෙලෝසි, මැටිස් ව “දේශප්‍රේමී ඇමරිකානුවෙක්” හා “ස්ථාවරත්වයේ හඬක්” යයි උත්කර්ෂයට නැංවූයේ “අපගේ භටයන් ලේකම් මැටිස් දෙස නායකයෙකු මෙන් බලන අතර දැන් ඔහු ඉවත් ව යනවා” යයි වැඩිදුරටත් කියමිනි.

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකයා වූ ජෙනරාල් එච්. ආර්. මැක්මාස්ටර් හා වෙන් වී යන මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝන් කෙලීගේ ඉවත් වීම් සමගින් මැටිස්ගේ ඉල්ලා අස්වීම ෂූමර් විසින් සම්බන්ධ කලේ, ඒවා පරිපාලනය තුල පැවති “ස්ථාවරත්වයේ” බලයන් අහිමි වීමක් ලෙස විස්තර කරමිනි.

මෙය යමෙක් අපේක්ෂා කරන “ස්ථාවරත්වයක්” නම්, ඔහුට මිලිටරි ආඥාදායකත්වයකට වඩා හොඳ දෙයක් සොයාගත නො හැක.

ඩිමොක්‍රටික කොංග්‍රස් නායකත්වයේ ප්‍රතික්‍රියාව සම්පින්ඩනය කරන්නේ වොෂින්ටනය හා එක්සත් ජනපද පාලක සංස්ථාපිතය ඇතුලත බෙදීම්වල ස්වභාවය යි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා විසින් ධාවනය කරවනු ලබන ඩිමොක්‍රටිකයන්ගේ ට්‍රම්ප්ට එරෙහි විරුද්ධත්වය සමග, එක්සත් ජනපද ජනගහනයේ අතිමහත් බහුතර කම්කරු පන්තිය මුහුන දෙන කොන්දේසි සමග මෙලොව සම්බන්ධයක් නැත.

සිරියාවෙන් භටයන් ඉවත් කරගන්නා බව ට්‍රම්ප් විසින් නිවේදනය කිරීම, ඔහුගේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික නායකත්වයන් මෙන් ම ප්‍රධාන මාධ්‍යයන්ගෙන් හා රාජ්‍යයට සම්බන්ධ වොෂින්ටන චින්තන තටාකයන් අතරින් අත්‍යසාමාන්‍ය විවේචනයක් පැනනැංවී ය.

පිලිවෙලින් සෙනට් විදේශ කටයුතු හා සන්නද්ධ සේවා කමිටුවල තානාන්තර දරන සාමාජිකයන් වන බොබ් මෙනන්ඩස් හා ජැක් රීඞ් යන ඩිමොක්‍රටික සෙනට් සභිකයෝ, දෙසැම්බර් 20දා කැපිටල් හිල්හි පැවති මාධ්‍ය හමුවක දී ට්‍රම්ප්ගේ ඉවත් කරගැනීමේ තීරනය විවේචනය කරන නායක රිපබ්ලිකානුවා වන සෙනට් සභික ලින්ඞ්සේ ග්‍රැහැම් සමග එක්වූයේ, “තීරනය ආපසු හරවන” ලෙසත් සිරියාවෙන් භටයන් ඉවත් කිරීම “බිම් මට්ටමේ කොන්දේසි” සලකා බලා සිදුකිරීමටත් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින සෙනට් යෝජනාවක් සම්මත කිරීමට ද්වි-පාර්ශවික ධාවනයක් නිවේදනය කරමිනි.

මෙම තීන්දුව රුසියාව, ඉරානය හා සිරියානු ආන්ඩුවලට යටත් වීමක් ලෙස හෙලාදැකීමට හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් වැනි හිටපු ජෙනරාල්වරුන් හා රහස් ඔත්තු ප්‍රධානීන් ඉදිරියට ගෙනඑමින්, ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ද්වාර භටයන් ඉවත් කරගැනීමේ තීරනය සම්බන්ධයෙන් බොහෝ සෙයින් විවේචනාත්මක වී ඇත.

උන්මාදනීය යුදකාමියකු හා ජාත්‍යන්තර දාමරිකයෙකු වන ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉරානය සමග ගැටුම සඳහා සිරියාව තුල එක්සත් ජනපද භටයන්ගේ භූමිකාව විස්තාරනය කිරීමට කර ඇති සපථ කිරීම උපුටා දක්වමින්, ඔහුගේ අධිකාරයට යදින කතුවැකියක් දෙසැම්බර් 20දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලකලේ ය.

“බෝල්ටන් මහතා සහ ඔහුගේ ජාතික ආරක්ෂක කන්ඩායමේ අනෙකුත් අය යටපත්” කර තිබීම ගැන කතුවැකිය ට්‍රම්ප් විවේචනය කලේ ය. ඔහුගේ තීරනය, “මැද පෙරදිග කෙරෙහි ඇමරිකාවේ කැපවීම, ගෝලීය නායකයෙක් වීමට එයට පවතින අභිලාෂය හා ප්‍රධාන අනදෙන නිලධාරියා ලෙස ට්‍රම්ප් මහතාගේ භූමිකාව කෙරෙහි නව අවිනිශ්චිතතාවක් වගා කර ඇත. තමන්ගේ නායකයා අනුගමනය කිරීමටත් නීත්‍යානුකූල නියෝග ක්‍රියාවේ යෙදවීමටත් සොල්දාදුවන්ට වගකීමක් ඇත. එහෙත් සාර්ථකත්වය රැඳී තිබෙන්නේ තමන් කරන්නේ කුමක් ද හා යන්නේ කොහිදැයි නායකයා දන්නා බවට පවතින විශ්වාසය මත” යයි වරෙක ඇමරිකානු ලිබරල්වාදයේ වාර්තාගත පුවත්පත තර්ක කලේ ය.

“චිත්ත ධෛර්යයට” හානි කිරීම ගැනත් “ඇමරිකානු සොල්දාදුවන්ගේ අනදෙන්නන් දැනට ම අත්හැර දමා ඇති අරමුනු වෙනුවෙන් ඔවුන් ඝාතනය වීමේ හෝ තුවාලවලට ලක්වීමේ” අනතුරට හෙලීම ගැනත් ට්‍රම්ප්ට චෝදනා කිරීම දක්වා එය දුරදිග ගියේ ය.

මහජන අවධානය රුසියානු-විරෝධී උද්ඝෝෂනයෙන් ඉවතට හැරවීමට ට්‍රම්ප් මෙම නිවේදනය කල බව යෝජනා කරමින් “ජාතිය ආරක්ෂා කරන බවටත් නිල ඇඳුම් ලාගෙන සේවය කරන මිනිසුන් හා ගැහැනුන්ට ගරුකරන බවටත් දිවුරුම් දී ඇති ප්‍රධාන අනදෙන නිලධාරියා පිලිබඳ නරක ම තර්කනය එය විය හැකි” යයි ටයිම්ස් නිගමනය කලේ ය.

මුලර් විමර්ශනයට සහ පැරනි ආධාරකරුවන් හා සමීපතමයන් වරදකාරී කොට සිරගත කිරීමට සම්බන්ධ ව වැඩෙන ට්‍රම්ප්ගේ ධවල මන්දිරය දේශපාලනික හා නෛතික වටලෑමේ කොන්දේසි යටතේ, සිරියානු නිවේදනයේ කාල නීර්නිත භටයන් ඉවත් කරගැනීමක් එක්සත් ජනපද ජනයා විසින් යහපත් දෙයක් ලෙස දැකගනු ඇතැයි යන ට්‍රම්ප්ගේ ගනන් බැලීම මත පදනම් වීමට හොඳට ම ඉඩකඩ ඇත.

තම තීරනය ග්‍රැහැම් විසින් ගිනියම් ලෙස හෙලාදැකීමට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක ලීවේ: “සොල්දාදුවන්ගේ ජීවිත හා ඩොලර් බිලියන ගනන් ඉතිරි කිරීමට ලින්ඞ්සේ ග්‍රැහැම් විරුද්ධ වේ යයි විශ්වාස කිරීම අසීරු ය. සිරියාව, රුසියාව, ඉරානය හා අනෙකුත් ප්‍රාදේශීයයන් වෙනුවෙන් අයිඑස්අයිඑස්වරු රඳවාගෙන මරා දමමින් අපේ හතුරා වන සිරියාව වෙනුවෙන් අප සටන් වැදිය යුත්තේ මන් ද? දැන් වේලාව අපේ රට ගැන සිතමින් අපේ තරුනයන් ව ඔවුන් අයත් වන රටට පෙරලා ගෙන ඒමට යි!”

ට්‍රම්ප්ගේ අභිප්‍රායයන් කොතරම් නරුම වුවත් මැද පෙරදිග කලාපයේ නිම නො වන එක්සත් ජනපද යුද්ධ කෙරෙහි යෝධ මහජන විරෝධයක් පවතින බවට ප්‍රශ්නයක් නැත.

එක්සත් ජනපද හා ජාත්‍යන්තර නීතිය යන දෙක ම යටතේ නීති-විරෝධී වන එක්සත් ජනපද මැදිහත්වීම දිගටම පවත්වාගෙන යාම යුක්තිසහගත කරමින් ජනතාවට කරුනු පැහැදිලි කිරීමට වත් ආපසු කැඳවීමේ නිවේදනය හෙලාදකින්නන් උත්සාහ දරන්නේ නැත. ඔවුන්ගේ සමස්ත ආයාචනය යොමු වී පවත්නේ ඇමරිකානු පාලක සංස්ථාපිතයටත්, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ සුවිශාල මිලිටරි හා ඔත්තු සේවා යාන්ත්‍රනයටත් ය.

සීඅයිඒ හා පෙන්ටගනය වෙනුවෙන් හඬනගන විශ්වාසවන්ත හඬක් ඇති, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ විදේශ කටයුතු තීරුලිපි රචක ඬේවිඞ් ඉග්නේෂියස්ගේ අදහස් දැක්වීමේ කතුවැකියක් තුල මිලිටරියට කරන ඒ හා සමාන ආයාචනයක් විය. ට්‍රම්ප් විසින් භටයන් ඉවත් කරගැනීම “කවුරුන් තෝරාගනු ලැබුවත් මැද පෙරදිග තුල ඇමරිකානු අවශ්‍යතාවන්ට අන්තරාදායක ඉරානය, රුසියාව, තුර්කිය, ඉස්ලාමීය මූලධර්මවාදීන්, සිරියානු තන්ත්‍රය වැනි නපුරු නලුවන් කිහිපදෙනෙකුගෙන් එක් අයකු විසින් පිරවිය හැකි රික්තයක් නිර්මානය කරනු ඇත” යයි ඉග්නේෂියස් අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපද මිලිටරිය සිටීම “ඊසානදිග සිරියාව ස්ථාවර කොට තිබුනි. එය ඉරානියානු විස්තාරනය වලකාලී ය. එය රුසියානු ආධිපත්‍යය අවහිර කලේ ය. එය සිරියාවේ අවසාන දේශපාලන විසඳුමක් සඳහා එක්සත් ජනපදයට යම් කේවල් කිරීමේ ලීවරයක් ලබාදුන්නේ ය” යනුවෙන් ඔහු තර්ක කරයි.

තන්ත්‍ර මාරුවක් සඳහා වසර හතකට වැඩි කලක් තිස්සේ එක්සත් ජනපදය කරගෙන යන යුද්ධයක් මගින් විනාශභාග කල රටක් යලි ගොඩනැගීමට අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීමේ දී තීරනාත්මක වන තෙල් හා ස්වාභාවික වායු බිම් ඇතුලු ව සිරියානු භූමියෙන් තුනෙන් පංගුවක් අල්ලා තබාගැනීම සඳහා එක්සත් ජනපද මිලිටරිය විසින් විශේෂ හමුදා භටයන් හා කුර්දි සටන්කාමී කුලීකාර හමුදා යොදාගැනීම මත මෙම “කේවල් කිරීමේ ලීවරය” රඳා පවතී.

මේ වසර මුල සිරියාවේ එක්සත් ජනපද කඳවුරු වෙත කල සංචාරයක් ගැන සඳහන් කරමින් ඉග්නේෂියස් මෙසේ ලියයි: “අතිසංවේදී තානයකින් තොර ව සිරියාව තුල ඇමරිකානු භටයන්ගේ නිපුනත්වය විස්තර කිරීම අසීරු ය. අවම ඇමරිකානු පිරිවැයක් සහිත ව සතුරාට උපරිම හානියක් කරමින් ඇමරිකානු බලය පැතිරවීමේ මාවතක් ඔවුන් විසින් සොයාගත් බව කීම ප්‍රමානවත් ය.”

එක්සත් ජනපද බෝම්බ හා ෂෙල් ප්‍රහාරවලින් බොහෝ සෙයින් බිමට සමතලා කල රක්කා නගරයේ අලුදූවිලි තුල “උපරිම හානිය” දැකගත හැකි ය. එයාර්වෝර්ස් නමැති නිරීක්ෂන කන්ඩායමට අනුව, එක්සත් ජනපදය විසින් බෝම්බ දැමීම හේතුවෙන් සිරියානුවන් 30,000ක් පමන ඝාතනය වී තවත් දසදහස් ගනනක් අංග විකල බවට පත්කර ඇත.

මෙම සංහාරය සාධාරනීකරනය කර ඇත්තේ, ආසන්න වසයෙන් දස ලක්ෂයක් ජීවිත බිලිගෙන සමස්ත සමාජයක් විනාශ කල එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමනයෙහි නිෂ්පාදනයක් වන අයිඑස්අයිඑස්ට (ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය) එරෙහි යුද්ධයක නාමයෙනි. පසුකාලීනව වොෂින්ටනය සටන් කරන්නේ යයි කියන එම ඉස්ලාමීය සටන්කාමීන් වොෂින්ටනය විසින්ම සන්නද්ධ කොට සහයෝගය දුන් අතර ලිබියාවේ හා සිරියාවේ තන්ත්‍ර මාරු යුද්ධයේ දී අයිඑස්අයිඑස් සංවිධානය වැඩිදුර පෝෂනය කරන ලදී.

වොෂින්ටනය තුල තිත්ත විවාදය ධාවනය කරනු ලබන්නේ, සිය ප්‍රධාන ප්‍රතිමල්ලවයන් වන චීනයට හා රුසියාවට එරෙහි ව අර්බුද-ග්‍රස්ත ඇමරිකානු ධනේශ්වර පර්යායේ අවශ්‍යතා ඉදිරියට ගැනීමට ගෝලීය යුද්ධයක් සඳහා සූදානම් වීමට අධිෂ්ටානවත් ව සිටින හා මැද පෙරදිග හා අනෙකුත් තැන්වල මෙම ඉලක්ක ලුහුබැඳ යන්නේ කෙසේ ද යන උපායන් මත බෙදී සිටින, එක හා සමාන ව කෑදර හා ලේ පිපාසිත වන පාලක පන්තියේ ප්‍රතිමල්ලව කන්ඩායම් විසිනි.

බොහෝ කොට ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂයේ (එන්පීඒ) සිට එක්සත් ජනපදයේ අයිඑස්ඕ හා ජර්මනියේ වාම පක්ෂය දක්වා වන විවිධාකාර ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාව හේතුවෙන් එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් නැති තතු තුල මෙම ගැටුම දිගහැරේ. අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සමග බැඳී තිබෙන සමාජ අවශ්‍යතා සහිත මධ්‍යම පන්තික ස්ථරවල වරප්‍රසාද පිලිබිඹු කරන මේ සියල්ලන්, සීඅයිඒ පිටුබලය ලබන ඉස්ලාමීය සටන්කාමීන් ප්‍රජාතන්ත්‍රවාදී “විප්ලවයක” කප්පිත්තන් යන ව්‍යාජ කියාපෑම මත පදනම් වෙමින් හා “මානව හිමිකම්” අධිරාජ්‍යවාදයේ අපකීර්තිමත් ධජය වනමින් සිරියාව තුල එක්සත් ජනපදයේ හා එහි සහචරයන්ගේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් යුක්ති යුක්ත කිරීමට උත්සාහ දරා ඇත.

ට්‍රම්ප් පරිපාලනයෙහි ගැඹුරු වන අර්බුදය හා ඩිමොක්‍රටික් පක්ෂය මිලිටරියට කරන ආයාචනා තුල යෝධ අන්තරායන් ගැබ් වී පවතී. ඒ අතර ම මහජන යුද-විරෝධී මනෝගතිය වැඩෙමින් තිබෙන අතර, තීව්‍ර වන පන්ති අරගලය සහ කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට එරෙහි ව වැඩෙන විරෝධය සමග ඒකාබද්ධ ව එම මනෝගතිය අනිවාර්යයෙන් ම ක්‍රියාකාරී රූපයන් ගනු ඇත.

සිරියාවේ එක්සත් ජනපද භටයන් අරබයා වොෂින්ටනය තුල දිගහැරෙන දේශපාලනික යුද්ධය, මානව ශිෂ්ටාචාරය විනාශ කිරීමට තර්ජනය කරන එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයේ පුපුරා හැලීම සමග බැඳී තිබේ. එය වැලැක්විය හැක්කේ ධනවාදය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී ව බලමුලුගැන්වීමෙන් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: