ලක්ෂයක් පමන වතු කම්කරුවෝ වැටුප් වැඩිවීම් ඉල්ලා යලිත් වැඩ වර්ජනයේ නිරත වෙති

Around 100,000 Sri Lankan plantation workers walk out again for pay rise

අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 නොවැම්බර් 30

ආසන්න වසයෙන් 100,000ක් පමන වතු කම්කරුවෝ තම දෛනික වැටුප සියයට සියයකින් වැඩි කරන ලෙස ඉල්ලා පසු ගිය සඳුදා එක් දින වැඩවර්ජනයක් දියත් කලහ. නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කලුතර හා කොලඹ ඇතුළු දිස්ත්‍රික්කවල වතු කම්කරුවෝ වර්ජනයට සහභාගී වූහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) වතු වෘත්තීය සමිතිය වැඩවර්ජනය කැඳවූ නමුත් කිසිදු පෙලපාලියක් සංවිධානය නො කලේ ය. මෙය නොතකා, විවිධ දිස්ත්‍රික්කවල කම්කරුවෝ පැය තුන හමාර දක්වා වන කාලයක් තුල පෙලපාලි හා රැස්වීම් පැවත් වූහ. වෙනත් කර්මාන්තවල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවෝ වැඩවර්ජනයට සහාය දුන් අතර, ප්‍රධාන වතු නගරවල කුඩා කඩසාප්පු හිමියෝ සහයෝගය ප්‍රකාශ කිරීමට තම වෙලඳසැල් වසා දැමූහ.

නොර්වුඩ්හි පැවති උද්ඝෝෂනයක්

ඔක්තෝබර් මාසයේ මුල සිට වතු කම්කරුවෝ තම වතුවල විරෝධතා දක්වමින් සිටියහ. කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීෆ්) හා කඳුරට මහජන පෙරමුන (යූපීඑෆ්) විසින් සහාය දෙනු ලබන කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (එන්යූඩබ්ලිව්) පෙලපාලි එකිනෙකින් හුදකලා කර ඇත.

සඳුදා වැඩවර්ජනය ද ඒ ආකාරයෙන් ම එක් දිනකට පමනක් සීමා කෙරුනේ, සිඩබ්ලිව්සී නායකයින් වතු කම්කරුවන්ට තම වතුවල සිටිය යුතු යැයි නියෝග කිරීම සමගිනි. එන්යූඩබ්ලිව් හා ඩීපීෆ් සඳුදා වැඩවර්ජනය අනුමැතිය දීම ප්‍රතික්ෂේප කල නමුත් ඒවායේ සාමාජිකයෝ වර්ජනයට එක් වූහ.

දේශපාලන පක්ෂ වසයෙන් ද ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිති, තම පාලනයෙන් පිටත ක්‍රමයෙන් වැඩී ආන්ඩුව සමග දේශපාලන ගැටුමකට මග පාදන, අනෙකුත් කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් අවුලුවනු ඇත යි බිය පත්ව මෙම වැටුප් අරගල වැලක්වීමට අධිෂ්ඨාන සහගත ය.

මෙම වසර මුල දී ඉහල වැටුප් හා යහපත් ජීවන තත්වයන් ඉල්ලා දුම්රිය, තැපල්, ජලසම්පාදන, විශ්වවිද්‍යාල හා අනෙකුත් කම්කරුවන් වැඩවර්ජන හා පෙලපාලි පැවත්වූ අවස්ථාවේ දී වෘත්තීය සමිති ඉෂ්ට කලේ මෙම භූමිකාවම ය.

ඔක්තෝබර් 26 දා ජනාධිපති සිරිසේන, ව්‍යස්ථා විරෝධී ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කල අවස්ථාවේ දී වතු වෘත්තීය සමිති කම්කරුවන්ගේ වැටුප් අරගල මැඩ පැවත්වීමට සහ දේශපාලන අර්බුදය සංකීර්න කිරීමෙන් වතු කම්කරුවන් වැලක්වීමට කටයුතු කලහ.

ඇමතිවරුන් වසයෙන් ද කටයුතු කරන වතු වෘත්තීය සමිති නායකයෝ, රාජපක්ෂ මෙන් ම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩු දෙකේ ම ඇමතිවරුන් හා උපදේශකයින් වසයෙන් කටයුතු කරන අතර ඔවුන් විසින් කම්කරුවන්ට ප්‍රහාර දියත් කිරීමේදී ඒවාට පක්ෂපාතීව සහය පල කර තිබේ.

පුස්සැල්ලාවේ පැවති රැස්වීමක් සඳහා කම්කරුවන් පෙලගැසී සිටි

සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් අළුතින් පත් කෙරුනු මහින්ද රාජපක්ෂ පාලනයේ ඇමතිවරයෙකු වන අතර නව අගමැති වතු කම්කරුවන්ට සියයට 100කින් වැටුප් වැඩි කිරීමට පොරොන්දුවී ඇතයි වහා ම ප්‍රකාශ කලේ ය. රාජපක්ෂගේ “පොරොන්දු” සැබවින් ම ව්‍යාජ ය. එය, පාර්ලිමේන්තු බහුතරයක් සාදා ගැනීමට ඔහු ගෙනියන උපාමාරුවල කොටසක් පමනි.

ඔවුන්ගේ පාර්ශ්වයෙන්, පිලිවෙලින් එන්යූඩබ්ලිව් හා ඩීපීඑෆ් නායකයින් වන පී.දිගම්බරම් හා මනෝ ගනේෂන් මීට පෙර වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමතීන් ලෙස සිටි අතර, නෙරපා හැරුනු අගමැති හා ඔහුගේ එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන් කන්ඩායමට සහාය පලකලහ.

මෙම සතියේ එක් දින වැඩවර්ජනයක් කැඳවීමට සීඩබ්ලිව්සීයට බල කෙරුනේ, තම කම්කරුවන්ගේ කෝපය සමනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස ය. ඔක්තෝබර් 3දා වතු කම්කරුවන්ගේ සාමූහික ගිවිසුම අවසන් වූවත්, රාජපක්ෂගේ වංචනික වැටුප් වැඩිකිරීමේ පොරොන්දු කිසිවක් ඉටු වී නැත.

සඳුදා වැඩවර්ජනයෙන් පසු සීඩබ්ලිවිසී නායක ආරුමුගම් තොන්ඩමන් මාධ්‍ය සාකච්ඡාවක් පැවත් වූයේ ය. වැඩවර්ජනය “විශිෂ්ට ජයක්” යැයි සඳහන් කරමින් තොන්ඩමන් කීවේ, එය “සමාගම්වලට පීඩනය යොදන අතර ආන්ඩුවට මහජනයාගේ ශක්තිය පෙන්වනු ඇත” යන්න යි.

රාජපක්ෂගේ “පොරොන්දු” මෙන් ම තොන්ඩමන්ගේ ප්‍රකාශ හිස් ඒවා ය. අතීතයේදී මෙන් ම, සීඩබ්ලිව්සීය හා අනෙකුත් වතු කම්කරු සමති සමාගම් සමග රහස් සාකච්ඡා පවත්වා කම්කරුවන් මත හාම්පුතුන්ගේ ඉල්ලීම් පැටවීමට උත්සාහ කරනු ඇත.

වතු සමාගම් නො නවත්වා කම්කරුවන්ගේ සියයට සියයක පඩි වැඩිවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, යන්තම් සියයට 20ක් වැඩි කිරීම හෝ නැතහොත් වර්තමාන දෛනික මූලික වැටුප වන රුපියල් 500ට රුපියල් 100ක් එකතු කිරීමට යෝජනා කරමිනි.

පසු ගිය සතියේ ලංකා වැවිලි සේවා සමූහයේ හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති රෝෂාන් රාජදුරේ මාධ්‍යයට පැවසුවේ, පහල යමින් තිබෙන තේ මිල ගනන් හා ඉහල යමින් තිබෙන නිෂ්පාදන වියදම් මධ්‍යයේ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රදානය කල නො හැකි බව යි.

“වෙලඳපොල තත්වයන් නිසා අපේ තේ වලින් සියයයට 35ක් පමන විකුනා ගන්න බෑ; මිල ගනන් පහල යනවා” යැයි ඔහු පැවසී ය.“අපේ තේ මිල අධිකයි. ඉන්දියාව වැනි රටවලින් ගුනාත්මක අතින් එක සමාන තේ වඩා පහල මිල ගනන්වලට වෙලඳපොලට එනවා.”

වැවිලි ප්‍රධානියාගේ මීට පෙර සියයට20 ක වැටුප් “ප්‍රදානය” පුනුරුච්ඡාරනය කල රාජදොරේ පැවසුවේ, නිෂ්පාදන ඵලදායිතාවට බැඳුනු අතිරේක දීමනා මගින් කම්කරුවන්ට වැඩිපුර රුපියල් 400ක් උපයා ගත හැකි බව යි.

සඳුදා වැඩවර්ජනය කරමින් සිටි කම්කරුවෝ වෘත්තීය සමිති හා ආන්ඩුව හෙලා දුටුවෝ ය. හැටන් නගරයට ආසන්න, දික් ඔය ඔටේරි වත්තේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවේ ය: “අපි ස්ට්‍රයික් එකට එකතු වුනේ කම්කරුවන්ගේ එක්සත්කම ආරක්ෂා කරන්න. හැබයි සීඩබ්ලිව්සී එක හරි අනෙක් යූනියන් හරි අපේ ඉල්ලීම්වලට සටන් කරයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ.”

“ඔක්තෝබර් 26දා අපි අපගේ පඩි වැඩි වීම ඉල්ලලා දික් ඔය ටවුමේ පෙලපාලි ගිය දා ම ජනාධිපති සිරිසේන රාජපක්ෂ අගමැති කෙරුවා. ඊට පස්සේ යූනියන් නායකයෝ අපිට කිව්වෙ අපේ වැටුප් ප්‍රශ්නේ අමතක කරන්න කියලා.”

දික්ඔය ආසන්නයේ කම්කරුවන්ගේ පිකට් වැටක්

මෙම සතියේ වැඩවර්ජනයට දිනකට පෙර ඉරිදා, රාජපක්ෂ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාව ආර්ථික ඇද වැටීමක් අද්දර සිටින බවත් එය වසර තුනකට පෙර ග්‍රීසියේ පැවති තත්වයට සමාන බවත් සඳහන් කලේ ය. තම ආන්ඩුව “තදින්ම” ආන්ඩුවේ වියදම් සීමා කරන බවට පොරොන්දු වූ ඔහු , “මෙරට යුද්ධය පැවති කාලයේ දී මෙන් ” මහජනයා තමාට සහයෝගය දිය යුතු යැයි ද පැවසී ය.

හිටපු මුදල් ඇමතිවරයෙකු මෙන් ම වික්‍රමසිංහගේ කන්ඩායමේ නායකයෙකු වන මංගල සමරවීර ද ලංකාව ආර්ථික ඇද වැටීමක් අද්දර සිටින බව ප්‍රකාශ කල අතර ග්‍රීසියේ තත්වය ද සඳහන් කලේ ය. දේශපාලන ස්ථාවරත්වය ඇති කල හැක්කේ වික්‍රමසිංහගේ කන්ඩායම බලයට පත් කිරීමෙන් පමනක් බව ඔහු පැවසී ය.

ග්‍රීසියේ මූල්‍ය අර්බුදය පිලිබඳ මෙම සඳහන් කිරීම් පැහදිලි කරන්නේ අවසානයේ දී කුමන දේශපාලන කන්ඩායම බලය ඩැහ ගත්තත්, මහා ව්‍යාපාරිකයන්ගේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝගය පරිදි, ග්‍රීක කම්කරුවන් මත පැටවුනු ඒවාට සමානව රැකියා, වැටුප් හා සමාජ අයිතීන් මත ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට ද ප්‍රහාරයන් එල්ල කරනු ඇති බව යි.

Share this article: