ශ්‍රී ලංකාව: ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවට ආසන්න වෙත්ම කට්ටිවාදී ඝට්ටන නොවිසඳිය හැකි ලෙස උග්‍ර වෙයි

Sri Lanka: Factional deadlock remains in lead up to Supreme Court ruling

පානි විජේසිරිවර්ධන , 2018 දෙසැම්බර් 3

වත්මන් ව්‍යාවස්ථාමය අර්බුදය සම්බන්ධයෙන්දෙසැම්බර් 7 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත නඩුවට පෙරාතුව, පසුගිය සතිය පුරාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ දෙමල ජාතික සන්ධානය (දෙජාසං) සමඟ ගිවිසුමක් ගසා ගැනීමට මංමුලාසහගත වෑයමක යෙදෙමින් එකදිගට උපාමාරු දැමීමේ නිතරව සිටියේ ය.

ඔක්තෝබර් 26දා, සිරිසේන දේශපාලන කුමන්ත්‍රනයකින් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කලේ ය. එහෙත් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගත නොහැකි බව සැලවුනු වහාම සිරිසේන, නොවැම්බර් 9 වන දින ව්‍යවස්ථාවට පටහැනි අයුරින්, නියමිත ධූර කාලයට මාස 20කට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවා, 2019 ජනවාරි මාසයේ නව මැතිවරනයක් පැවැත්වෙන බව නිවේදනය කලේ ය.

ශ්‍රේෂ්ඨාධිකරනය, වික්‍රමසිංහගේ කන්ඩායම ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය දෙසැම්බර් 7 දා තෙක් තාවකාලිකව අත්හිටුවීම සඳහා මැදිහත් විය.

දෙජාසං සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහයෝගයෙන් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුන (එජාපෙ) රාජපක්ෂට විරුද්ධව ගෙන ආ පාර්ලිමේන්තු “විස්වාසභංග” යෝජනා දෙක, ජනාධිපති සිරිසේන විසින් දැනටමත් ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම සතියේදී දෙජාසං මන්තවරුන් 14 දෙනෙක් එක්සත් ජාතික පෙරමුන නායකත්වය දෙන රජයකට පමනක් සිය සහාය පල කරන බව සඳහන් ලියවිල්ලක් අත්සන්කොට ජනාධිපතිවරයාට භාරදී ඇත. පසුගිය සිකුරාදා රාත්‍රියේ, දෙජාසං සහ එජාපෙ නායකත්වය සමග සිරිසේන වෙනමම රැස්වීමක් පැවැත්වූ අතර, වෙනත් අගමැති වරයෙකු පත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා විය. එහෙත් පර්ලිමේන්තුවේ බහුතරය මධ්‍යයේ වුව ද වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමට සිරිසේන තරයේ විරුද්ධ වීමත් සමග එජාපෙ නායකත්වය හා පැවත්වූ සාකච්ඡා ගැටුමකින් කෙලවර විනි. ඊයේ දිනයේදී තවත් සාකච්ඡාවක් පැවත්වීමට කටයුතු යොදා තිබුනත්, අවසන් මොහොතේදී එය අද දක්වා කල් තබන ලදි.

ඇත්ත වශයෙන්ම, පසුගිය මාසයේදී පාර්ලිමේන්තු බහුතරයේ සහය ලබන අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් පසුගිය මාසයේ අගභාගයේදී සභාගත කර තිබෙන බවත්, එය, බදාදා ජවිපෙ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වත්මනේදී, වොෂිංටනයේ පිටුබලය ලබන වික්‍රමසිංහ කන්ඩායම, එහි උද්ඝෝෂනය තීව්‍ර කරමින් “මහජන බලය” නම් ව්‍යාවපාරය සඳහා පෙලපාලි සංවිධානය කිරමින් සිටියි. ගනුදෙනුවක් සඳහා සිරිසේන කැඳවුම් කලේ, අභිනවයෙන් පත්කල රාජපක්ෂ ආන්ඩුවේ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීමකින් පසුව ය. පාර්ලිමේන්තුවේදී ඔහු කතානායක කරූ ජයසූරියගෙන්, සිරිසේන හමුවී “නොවිසඳී පවතින ව්‍යාවස්ථා අර්බුදය” සමථයකට ගෙන ඒම සඳහා ප්‍රතිමල්ලව කන්ඩායම් අතර “එකඟත්වයක්” ඇති කරගත යුතු යැයි ඉල්ලා සිටියේය.

විජේදාස රාජපක්ෂගේ කතාව පෙන්නුම් කලේ, පාලක ප්‍රභූවේ උග්‍ර කට්ටිවාදී කුලල් කා ගැනීම් මගින් වැඩ කරන ජනතාවගේ විරසකය වර්ධනය වීම පිලිබඳව ඔවුන් තුල ඇති භීතිය යි. “ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට අපට ශක්‍යතාව ඇත්දැයි ජනතාව අපෙන් විමසනු ඇත” ඔහු කීවේ ය. “ ඔබගේ ප්‍රශ්න ඔබට විසඳාගත නොහැකි නම්, ඔබ අපගේ ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි ජනතාව අපගෙන් ප්‍රශ්න කරනු ඇත” යනුවෙන් ඔහු පැවසීය. තරුනයින් කියන දේ ගැන අප ඇහුන්කන් දෙනවානම්, “ඔවුන් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන දිනය වැඩ ඈතක නොවේ”යැයි ඔහු අනතුරු ඇඟවීය.

සිරිසේනට එජාපෙ සමඟ ගනුදෙනුවක් ඇති කර ගැනීම සඳහා රාජපක්ෂ අගමැති ධූරයෙන් පහ කිරීමට සිදුවනු ඇත. එහෙත් රාජපක්ෂ තමා එම ධූරයෙන් “ඉල්ලා අස් වීමට” සූදානම් නොමැති බව පැහැදිලිවම ඇඟවුම් කර ඇත. රාජපක්ෂට සහය දෙන මන්ත්‍රීවරුන් මේ මොහොතේදී පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටියි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් තීරනය කිරීම සඳහා පිහිටුවා ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, වික්‍රමසිංහගේ කන්ඩායම විසින් පාලනය කරන අතර, එය, ගිය සතියේ අගමැති කාර්යාලය, කැබිනට් අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ කාර්ය මන්ඩල සඳහා මුදල් ප්‍රතිපාදන කපා හරින යෝජනාවක් සම්මත කර ගත්තේය. එජාපය, රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍යවරුන් මහජන මුදල් භාවිතා කිරීම නීති විරෝධී යැයි දිගින් දිගටම කියා සිටි අතර, රාජ්‍ය නිලධාරීන්ට අමාත්‍යවරුන්ගේ උපදෙස් පිලිනොපදින ලෙස උපදෙස් දුන්නේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කන්ඩායම අගමැතිවරයා හෝ කැබිනට් ඇමතිවරුන් සඳහා අරමුදල් කප්පාදු කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නැතැයි කියා සිටියි. පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් රාජපක්ෂ, මහජනතාවට “පරමාධිපත්‍යය” ඇතැයි නැවත නැවතත් ශපථ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරනයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේය.

පසුගියදා කොලඹ උසාවියක් මගින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (සීඩීඑස්) අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න, දිවයිනේ දිග්ගැස්සුනු වර්ගවාදී යුද කාලපරිච්ඡේදයේදී සිදුකරන ලද යුද අපරාධවලට සම්බන්ධව වෝදනා විභාගකිරීමට රක්ෂිත බන්ධනාගාරගත කිරීම, රාජපක්ෂට හා සිරිසේනට එරෙහි පහරක් සේ පේන්නට තිබේ. විජේගුනරත්න, රාජපක්ෂ හා සිරිසේන යන දෙදෙනාට සමීපථමයෙකු වන අතර, ශ්‍රේෂ්ඨාධිකරනය ඔවුන්ට අවාසි සහගත ලෙස නඩු තීන්දු ලබා දෙනු ලැබුවහොත් මිලිටරිය මත වාරුවීමට ඇති හැකියාව ගැන ගනන් බැලුවා විය හැක. උසාවිය තීන්දු කරනු ලැබුවේ විජේගුනරත්න අත් අඩංගුවට පත් වීම වැලැක්වීමට සිරිසේන හැකි උපරිමයෙන් උත්සාහ දරමින් සිටියදී ය.

ශ්‍රී ලංකා රුපියල කඩා වැටීම සහ ඉහල යන විදේශ නය සම්බන්ධයෙන්, සිරිසේන සහ කොලඹ පාදක වූ ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මන්ඩලය අද ජනධිපති සිරිසේන හමුවීමට නියමිත ය. මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ව්‍යාපාපාරික පෙලඹවීම් (ලොබි) කන්ඩය, “අර්බුදය පිලිබඳව ඔවුන්ගේ උත්සුකතාව හා අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කිරීමටත් එයට හදිසි, ව්‍යාවස්ථාමය විසඳුමක් ඉල්ලා සිටීමටත්” මෙම හමුව යොදාගනු ඇත.

එක්සත් ජනපදය, ඔවුන්ගේ භූ දේශපාලනික වුවමනාවන් සහ විශේෂයෙන්, චීනයට එරෙහි යුද සැලසුම් වල කොටසක් ලෙස වික්‍රමසිංහට සහය දක්වයි. ශ්‍රී ලංකාවේ සහශ්‍ර සංවර්ධන සහ ආයෝජන වැඩසටහනට සම්බන්ධ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අත්හිටුවා ඇතයි, නම් සඳහන් නොකල ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව, ප්‍රෙස් ට්‍රස් ඔප් ඉන්දියා පුවත්සේවය ඊයේ වාර්තා කලේ ය. සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීම, මෙම තීරනයට හේතුව ලෙස දක්වා ඇත.

එක්සත් ජනපදයේ උත්සුකය වන්නේ, සිරිසේනගේ ආඥාදායක පියවර සම්බන්ධයෙන් නොව, වික්‍රමසිංහ නෙරපා හැරීමෙන් කොලඹ ආන්ඩුව සමඟ ගොඩ නගාගෙන තිබූ සමීප මිලිටරි සබඳතා බිඳ වැටීමට ඇති හැකියාව සම්බන්ධව යි. 2015 ජනවාරි මාසයේදී චීනය සමඟ වඩාත් සමීප සම්බන්ධතා ගොඩ නගා ගෙන තිබුනේ යැයි සැලකූ රාජපක්ෂ බලයෙන් නෙරපනු ලැබුවේ වොෂින්ටනය පිටුබලය දුන් තන්ත්‍ර මාරු මෙහෙයුමකිනි.

රාජපක්ෂ එක්සත් ජනපදය සහ ඔවුන්ගේ සහචරයන්ගේ උවමනා සන්තර්පනය කිරීමට උත්සාහ දරමින් සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා ඩේලි මිරර් පුවත් පතට රාජපක්ෂ ප්‍රකාශ කලේ, “අපට බටහිර ලෝකයට එරෙහි එදිරිවාදිකම් නැත... අප සම්බන්ධව ඔවුන්ගේ මතය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා” බව ය. එසේ වුවද එදිනම ඔහුගේ ආන්ඩුව චීන සමාගමක් සමඟ කොලඹ වරාය සංවර්ධනය කිරීමේ ඩොලර් මිලියන 50ක ගිවිසුමකට අත්සන් කලේ ය.

වර්තමාන දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයට මූලික හේතූන් වන්නේ, කොලඹ පාලක පන්තිය බෙයිජිනය දෙසට නැඹුරු වීම කෙරෙහි වොෂින්ටනය දක්වන විරුද්ධත්වය සහ ජාතික හා ගෝලීය මහා ව්‍යාපාරිකයේ ඉල්ලීම් පරිදි කම්කරු පන්තියේ ජීවන හා සමාජ කොන්දේසිවලට තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව මහජනයා තුලින් නැගෙන විරෝධය තලා දැමීමට පාලක පන්තියේ සියලු කොටස්තුල පවත්නා අධිෂ්ඨානය යි.

සිරිසේනගේ උපමාරු සහ මෙම සතියේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව කවරක්වුවත්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය හා මහජනයා මුහුන දෙන දේශපාලන අන්තරාය අතිමහත්ය. පාලක පන්තියට එහි අර්බුදය “විසඳාගැනීමට” ත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙත වඩාත් ම්ලේච්ඡ ප්‍රහාර දියත් කිරීමටත් ඉඩ දී පසෙකට වී සිටීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට හැකියාවක් ඇත්තේ නැත.

කම්කරු පන්තිය කම්හල්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ පන්ති අවශ්‍යතා උදෙසා සටන් වැදීමට, ග්‍රාමීය දුප්පත් ජනයා හා තරුනයින් බලමුලු ගන්වාගනිමින්, නිවහන් ප්‍රදේශ සහ වතු වල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය. ඉල්ලා සිටිනු ලබන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ දේශපාලන අරගලයකි.

Share this article: