පාලක පන්තියේ කුලල් කා ගැනීම් මධ්‍යයේ ශී‍්‍ර ලංකා රුපියලේ අගය වාර්තා ගත ලෙස පහල බසියි

දිල්රුවන් විතානගේ විසිනි, 2018 දෙසැම්බර් 4

පවතින දේශපාලන අර්බුදය තුල පාලක පන්තියේ කාකොටා ගැනීම් උග‍්‍ර වෙද්දී ශී‍්‍ර ලංකා රුපියලේ අගය වාර්තා ගත ලෙස පහල වැටෙමින් පවතී. ශී‍්‍ර ලංකා මහ බැංකු දත්තවලට අනුව මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 13%කින්ද, යූරෝවට සාපේක්ෂව 8.8% කින්ද බි‍්‍රතාන්‍ය ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9% කින්ද අවප‍්‍රමානය වී ඇත. 2018 මැයි මාසයේදී 150 සීමාවේ පැවති ඩොලරයක අගය පසුගිය මාස කිහිපය තුල තියුනු කඩාවැටීමක් සනිටුහන් කරමින් නොවැම්බර් 22 දිනට පැවති විකුනුම් මිල රුපියල් 179 ක් ලෙස සටහන් විය.

රුපියල අවප‍්‍රමානය වීම ඇරඹුනේ අපේ‍්‍රල් මාසයේ මහබැංකුව රුපියලේ අගය පාලනය කිරීමට මැදිහත් වීමෙන් ඉවත්වී සම්පූර්නයෙන්ම විදේශ විනිමය සඳහා ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ අගය තීරනය වීමට ඉඩ හැරීමත් සමගය. ඊට පෙරාතුව රුපියලේ අගය යම් ස්ථාවර මට්ටමක පවත්වාගනු ලැබුවේ මහබැංකුව සතු විදේශ සංචිත මුදාහරිමින් විදේශ විනිමය වෙලඳපොලේ හිඟයක් ඇතොත් එය මගහැරවීමට මැදිහත්වීම මගිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව නය ආපසු ගෙවීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 8 ක විදේශ සංචිතයක් පවත්වාගෙන යායුතු බැවින් රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට විදේශ සංචිත නිකුත්කිරීම තවදුරටත් කල නොහැකියැයි හිටපු මුදල් ඇමති මංගල සමරවීර සැප්තැම්බර් මාසයේදී ප‍්‍රකාශ කලේය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා නොවැම්බර් 19 දින ඩේලිමිරර් පුවත්පතට සඳහන් කලේ ලබන වසරේ ජනවාරි මාසය වන විට ඩොලර් මිලියන 1000 ක් වටිනා බැඳුම්කර ගෙවා නිම කිරීමට නියමිත බවය.

ඒ අනුව නය වාරික ගෙවීම සඳහා අති විශාල විදේශ මුදල් කන්දරාවක් අවශ්‍ය බැවින් තවදුරටත් රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට විදේශ සංචිත යොදාගැනීම කල නොහැක්කකි.

රාජ්‍ය නය පෙර නොවූ ආකාරයට වර්ධනයවීම සම්බන්ධයෙන් පැවති සෑම ආන්ඩුවක්ම වගකිවයුතුවේ. සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කරමින් වසර 30 ක් තිස්සේ ගෙනගිය වර්ගවාදී යුද්ධය සඳහා මෙන්ම ඉන්පසු කාල පරිච්ඡේදය තුල ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සඳහා අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය, කොලඹ වරාය නගරය ඇතුලු ආයෝජන ව්‍යාපෘති සඳහා දැවැන්ත පරිමානව නය ලබා ගත්තේය.

ජූලි මාසයේදී නිකුත් වූ 2017 වසර සඳහා මහ බැංකු වාර්තාවට අනුව ගෙවිය යුතු මුලු නය ප‍්‍රමානය දල දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 77 ක් තරම් ඉහල අගයක් විය. මහ බැංකුව සැප්තැම්බර් මාසයේ නිකුත් කල මාසික බුලටීනයට අනුව 2015 වසර අවසානයේදී රුපියල් බිලියන 8,500 ක් ව පැවති ගෙවිය යුතු මුලු නය ප‍්‍රමානය 2017 වසර අවසාන වන විට රුපියල් බිලියන 10,300 ක් දක්වා සියයට 21 කින් ඉහල ගොස් ඇත. මෙම වසරේ අගෝස්තු අවසාන වන විට එය රුපියල් බිලියන 11,500 ක් දක්වා තවත් සියයට 11 කින් ඉහල ගොස් ඇත. සැප්තැම්බර් මස මුලසිට රුපියල අවප‍්‍රමානය වීම වඩවඩාත් වේගවත් වූයේ ඇමරිකාවේ පොලී අනුපාත ඉහල නැංවීමත් සමග ආයෝජන විශාල ප‍්‍රමානයක් ඇමරිකානු මුල්‍ය හා ප‍්‍රාග්ධන වෙලඳපොලවල් වෙත ඇදී යාමයි. මහබැංකුව වාර්තා කරන අන්දමට සැප්තැම්බර් 12 සිට 19 දක්වා සතියක කාලය තුල පමනක් රුපියල් බිලියන 8.8 ක් වටිනා ආයෝජන ඉවතට ඇදී ගොස් ඇත.

රුපියල කඩාවැටීම වනාහි 2008 මුල්‍ය අර්බුදයෙන් ආරම්භ වී වඩවඩාත් ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය ලංකාව තුල තියුනු ලෙස ප‍්‍රකාශයට පත් වීමකි. රුපියලේ අවප‍්‍රමානය ආරම්භ වූු සැප්තැම්බර් මාසයේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් රුපියල අවප‍්‍රමානයට හේතු ලෙස පහත කරුනු දැක්වීය:

1. එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහලයාම හේතුවෙන් “නැගීඑන වෙලඳපොල” ආර්ථිකයන්ගෙන් විශාල ලෙස එක්සත් ජනපදයට ප‍්‍රාග්ධනය ගලායාම

2. එක්සත් ජනපදය හා චීනය අතර තීව‍්‍ර වන වෙලඳ යුද්ධය

3. ඉරානය මත සම්බාධක හා මැද පෙරදිග ආතතීන් වල ප‍්‍රතිඵලයක් ලෙස ආයෝජකයින් එක්සත් ජනපද ඩොලරය වැනි ආරක්ෂා සහගත මුදල් කරා මාරුවීම

තවද සැප්තැම්බර් මස මුල් සතියේ “නොමූරා ෆයිනෑන්ෂල් හෝල්ඩින්ස්” නම් ජපානය මත පාදක වූ මුල්‍ය සමාගම නිකුත් කල විශ්ලේෂනයකට අනුව ශී‍්‍ර ලංකාව ද ඇතුලූ “නැගී එන වෙලඳපොල ආර්ථිකයන්” 7 ක් විදේශ විනිමය අනුපාත අර්බුදයකට මුහුන පා සිටියි. එම වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව, දකුනු අපි‍්‍රකාව, ආර්ජන්ටිනාව, පකිස්තානය, ඊජිප්තුව, තුර්කිය සහ යුක්රේනය මේ වන විටත් විදේශ විනිමය අර්බුදයකට මුහුන පා සිටින අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප‍්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලවල් කි‍්‍රයාත්මක කරමින් සිටියි.

ඉහත සමාගම “ඩෙමොක්ලස්” නමින් හැඳින්වෙන පූර්ව අනතුරු ඇඟවීමේ මොඩලයක් මගින් “නැගී එන වෙලෙඳ පොල ආර්ථික” නමින් හැඳින්වෙන රටවල් 30 ක් සඳහා මාස 12 ක කාලය තුල විනිමය අනුපාත අර්බුදයකට ලක්වීමට ඇති හැකියාව නිර්නය කරයි. ඒ සඳහා කිසියම් රටක නය ප‍්‍රමානය, පොලී අනුපාතය, විදේශ සංචිත ප‍්‍රමානය සහ ආනයන ආවරනය (Import Cover) යන සංරචක යොදාගෙන 0 සිට 200 දක්වා විහිදෙන දර්ශකාංකයක් නිර්මානය කරයි. එම දර්ශකයෙහි අගය 100 ඉක්මවීම ඉදිරි මාස 12 තුල විදේශ විනිමය අර්බුදයකට මුහුනපෑමේ හැකියාව පෙන්නුම් කෙරෙන අතර 150 ඉක්මවීම ඕනෑම මොහොතක අර්බුදය පුපුරායෑමේ හැකියාව පෙන්නුම් කරයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ එම දර්ශකයෙහි අගය 175 ක් තරම් ඉහල අගයක් ගෙන ඇත. ලංකාව අවදානම් මට්ටමක පසු වන බව තහවුරු කිරීමට ප‍්‍රධාන හේතු ලෙස සමාගම සඳහන් කරන්නේ ආර්ථිකයට දැරිය නොහැකි තරම් කෙටි කාලීන නය කන්දරාවක් ගොඩගැසී තිබීම සහ ආනයන ආවරනය මාස 5 ක් තරම් අඩු අගයකට ඇද වැටීමයි. එනම් දැනට පවත්නා විදේශ සංචිත ප‍්‍රමානය මාස 5 ක ආනයන වියදම ගෙවීම සඳහා පමනක් ප‍්‍රමානවත් වේ.

දේශීය මුදල් ඒකකය කඩා වැටීමේ අර්බුදයට ලක්ව ඇති අනෙකුත් රටවල් වන ආර්ජන්ටිනාවේ දර්ශක අගය 143 ක් ද, දකුනු අපි‍්‍රකාවේ 140 ක් ද, පකිස්තානයේ 138 ක් ද වේ. තුර්කිය ද මේ වන විට ලීරා මුදල් ඒකකයේ ශීඝ‍්‍ර කඩා වැටීමක් අත්දකිමින් සිටින අතර තුර්කිය සඳහා දර්ශකයේ අගය 104 කි.

මෙම දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර අර්බුදයේ වාසුලිය තුලට ලෝකයේ රටවල් ගසාගෙන ගොස් ඇති ආකාරයත් ශී‍්‍ර ලංකාව ඇතුලූ රටවල් ගනනාවක දේශීය මුදල් ඒකකයේ බිඳ වැටීම ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයෙන්ම ගලා එන්නක් බවයි.

ලංකාව තුල ගැඹුරුවන දේශපාලන අර්බුදය මෙන්ම එක්සත් ජනපදය සහ චීනය අතර වර්ධනයවන භූ-දේශපාලනික ආතතීන් රුපියල කඩාවැටීම තීව‍්‍ර කරයි. මහින්ද රාජපක්ෂගේ නව ආන්ඩුව චීනය වෙත යලි හැරෙතැයි උත්සුකයෙන් එක්සත් ජනපදය ප‍්‍රමුඛ බලයන් ශී‍්‍ර ලංකාවට යොදන රාජ්‍ය තාන්ති‍්‍රක බලපෑම් උග‍්‍ර කරමින් පවතින අතර ජාත්‍යන්තර මුල්‍ය අර මුදල ශී‍්‍ර ලංකාවට ලබාදීමට නියමිත නය වාරික අත්හිටුවන බව නොවැම්බර් 19 දා නිවේදනය කලේය. මෙම බලයන් ශී‍්‍ර ලංකාවට ආර්ථික සම්බාධක පනවන බවටද අනතුරු අඟවා ඇත.

නොවැම්බර් 20 වන දින මූඩි ආයතනය විසින් ශී‍්‍ර ලංකාවේ විදේශ මුදල් නිකුත් කිරීම හා දිගුකාලීන සුරැකුම් නොලත් නය ශ්‍රේනිගත කිරීම් පහත හෙලීම ද සිදුවන්නේ මෙම බලපෑම්වල කොටසක් ලෙසය.

කෙසේ නමුත්, රුපියල අවප‍්‍රමානය වීමේ බර දැරීමට සිදුවනුයේ කම්කරු පීඩිත මහජනතාවටය. ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුලූ පාරිභෝගික භාන්ඩ වල මිල ගනන් ඉහල යමින් ජීවන වියදම තවදුරටත් ඉහල යනු ඇත.

2015 වසර මුල සිට 2018 අගෝස්තු මාසය දක්වා කොලඹ පාරිභෝගික මිල දර්ශකය 107 සිට 125 දක්වා ඉහල යාමක් පෙන්නුම් කරමින් අදාල කාල පරිච්ෙඡ්දය තුල භාන්ඩ හා සේවා වල සාමාන්‍ය මිල මට්ටම ආසන්න වශයෙන් සියයට 18 කින් ඉහල ගොස් ඇත.

පාලක පන්තියේ කිසිදු කොටසකට මෙම අර්බුදය විසඳීමට ශක්‍ය වැඩ පිලිවෙලක් නොමැත. අගමැති ධුරයට පත් කිරීමට සති දෙකකට පමන පෙර රාජපක්ෂ සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “රුපියලේ අවප‍්‍රමානය නතර කිරීමට විසඳුම කුමක්ද” යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයට රාජපක්ෂ නිරුත්තර වූ අතර, පිටුපසින් සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් කනට කොඳුරා යමක් ප‍්‍රකාශ කිරීමෙන් පසු රුපියල කඩා වැටීමට “අද රටේ තිබෙන තත්ත්වය” බලපා ඇතැයි මුග්ධ ලෙස ප‍්‍රකාශ කලේ ය. “අපි බලයට පත් වුනාම විසඳන ආකාරය බලාගත හැකියි” යනුවෙන් ඔහු උදම් ඇනීය.

විසඳන ආකාරය ගැන කිසිදු සඳහනක් නොකල ද රාජපක්ෂගේ ප‍්‍රකාශයෙ හි සැබෑ අර්ථය නම් අර්බුදයේ බර මහජනතාව මත පැටවීමටත් අවශ්‍යවුව හොත් ඔහුට සුපුරුදු පරිදි පොලිස් මිලිටරි ප‍්‍රහාර දිගේලි කිරීමට සූදානම් බවත්ය.

දේශීය මුදල් ඒකකයන් ගේ කඩා වැටීමද, ජීවන වියදම ඉහල යාම ඇතුලු කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් කඩා වැටීම ද ධනේශ්වර අර්බුදයේ ලෝක පරිමාන ප‍්‍රකාශනයකි. ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව පෙරලා දමා සමස්ත ආර්ථික ජීවිතයේ පාලනය කම්කරු පන්තිය අතට ගෙන, ජාත්‍යන්තර සමාජවාදය යටතේ ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම හැර අන් කිසිදු ශක්‍ය විසඳුමක් නොමැත.

Share this article: