මඩකලපුවේ පොලිස් භටයන් දෙ දෙනා ගේ ඝාතනය දෙමල විරෝධය ඇවිලවීමට ගසා කනු ලැබේ

නවීන් දේවගේ විසිනි, 2018 දෙසැම්බර් 06

මෑත දිනෙක මඩකලපුවේ දී පොලිස් භටයන් දෙදෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කිරීම වටා දෙමල විරෝධී වර්ගවාදී උද්ඝෝෂනයක් ධනේශ්වර සංස්ථාපිතයේ අනුග්‍රහයෙන් ගොඩ නැගෙමින් පවතී.

පසුගිය නොවැම්බර් 30 වන දා වවුනතීවු පොලිස් ස්ථාන⁣යේ සිට කිලෝමීටර් එකහමාරක් පමන දුරින්, කලපු ප්‍රදේශයට පිවිසෙන පාලමක් ආසන්නයේ පිහිටි පොලිස් මුර පොලක දී අලුයම් කාලයේ දී මෙම පොලිස් භටයන් දෙදෙනා ඝාතනය කෙරී ඇත. පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවට අනුව එක් අයකු ගේ හිසට වෙඩි පහර දෙකක් තබා ඇති අතර අනෙකාගේ හිසට වෙඩි තබා ශරීරයේ තැන් කිහිපයක කැපුම් තුවාල ද සිදු කර ඇත. උදෑසන සේවා මුරය මාරු වීමට පැමිනි තවත් පොලිස් භටයන් දෙදෙනෙකු මොවුන් දෙ දෙනා ගේ මල සිරුරු ප්‍රථමයෙන් දැක ඇත.

එදින ම සවස් කාලයේ දී පොලිස්පති ද ඇතුලත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධරයන් කන්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගිය හ. ඝාතනය කෙරුනු භටයන් දෙදෙනා සැරයන් තනතුරුවල පිහිටුවනු ලැබ ඔවුන් ගේ අවමංගල්‍ය කටයුතු ඉහල මාධ්‍ය ආවරනයක් යටතේ සිදු කෙරුනේ රට පුරා “ත්‍රස්තවාදී” භීතිකාවක් මවා පාමිනි; පොලිසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනා “විරුවන්” ලෙස පින්තාරු කරමිනි.

මෙම ඝාතනයන් නොවැම්බර් 26 වන දා එම ප්‍රදේශයේ පාන්ඩිඅඩි සුසාන භූමියේ පැවති “මහවිරු සමරුව” සංවිධානය කිරීමට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙය අවස්ථාවක් කර ගෙන ඇත. එම සැමරුමට සිදු කල සැරසිලි පොලිසිය විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කරනු ලබද්දී එයට ප්‍රතිරෝධය පෑ අය ඉලක්ක කර ගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදු වෙයි.

මේ ඝාතනයන් මහවිරු සැරසිලි කඩා ඉවත් කිරීමට පලිගැනීමක් වශයෙන් සිදු කල දෙයක් බවට තමන් සැක කරන බවට පොලිසිය පවසයි. ශ්‍රී ලංකා පොලිසිය ව්‍යාජ කතා ගෙතීමටත් සැක කරුවන් රුදුරු වධ බන්ධනයන්ට ලක්කොට ඒවාට සරිලන ප්‍රකාශයන් ලබා ගැනීමටත් කුප්‍රකට ය. පසුගිය වසරේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීම් වලින් මියගිය අවස්ථාවේ සත්‍යය වසන් කිරීම සඳහා ගෙතූ බොරු කිහිප විටක් ම සංශෝධනය කිරීමට පොලීසියට සිදු විය. අවසානයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මාධ්‍යවේදියකු එම ශිෂ්‍යයන් ගේ මරන පරීකෂන වාර්තා ලබා ගත් විට ඔවුන් මත් පැන් ගෙන සිටියේ යැයි පැවසූ මුසාවද හෙලිදරවු විය.

මඩකලපුව සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් 02 වන දා කිලිනොච්චියේ දී එක් අයෙකු ද දෙසැම්බර් 03 වන දා මඩකලපුව කන්නකුඩා හි දී තවත් අයෙකු ද සැක පිට අත්අඩංගුවට ගැනිනි. මේ වන විට හිටපු කොටි සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කිරීම්වලට භාජන කෙරෙයි. මේ සියල්ලන් ම සැක කරනු ලැබීමට හේතුව ලෙස දක්වන්නේ මහ විරු සැමරුම සංවිධානය කිරීමත් හිටපු කොටි සාමාජිකයන් වීමත් ය.

සිද්ධියත් සමග ම පොලිසිය මඩකලපුව ප්‍රදේශයේ පොලිස් මෙහෙයුම් උග්‍ර කර ඇත. මේ අතරවාරයේ ආයුධ තොග සොයා ගැනීම් ගැන ද වාර්තා වෙයි. නොවැම්බර් 30 වැනි දා උදේ හොරොව්පොතාන හබරගමුව යාන් ඔය පාලම යටින් ස්වයංක්‍රීය ගිනි අවි ගබඩා කර තිබූ යකඩ පෙට්ටියක් සොයාගත් බව ද මුලතිව් හි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සුදන්දිපුරම් රක්ෂිත වනාන්තරයෙන් ආයුධ තොගයක් ගොඩ ගත් බව ද වාර්තා විය.

මේ සිදු වීම් දිග හැරී ගියේ ඔක්තෝබර් 26 වැනි දින රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා මහින්ද රාජපක්ෂ එම තනතුරේ පිහිටුවාලීමෙන් අනතුරු ධනේශ්වර පාලනයේ හටගත් දැවැන්ත අර්බුදය මධ්‍යයේ ය. පාලක පන්තියේ ම කන්ඩායම් අතර කුලල් කා ගැනීම්වලටත් වඩා පාලක පන්තියේ අර්බුදය ගැඹුරු කරන්නේ තියුනු වෙන පන්ති අරගල රැල්ල යි.

ධනේශ්වර සංස්ථාපිතයේ සෑම කොටසක් ම තම පන්ති පාලනයේ අර්බුදය දින දින උග්‍ර වත් ම එම පාලනය පවත්වා ගෙන යන පාර්ලිමේන්තු ක්‍රමවේදය කෙරෙහි මහජන කලකිරීම වේගයෙන් වර්ධනයවීම ගැන දැඩි කනස්සල්ලට පත් ව ඇත.

දේශපාලන අර්බුදය පිලිබඳ සමාජවාදී සමානතා පක්ෂය (සසප) නොවැම්බර් 16 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ඉදිරි දර්ශන ප්‍රකාශය, “වඩ වඩා කටුක වන කන්ඩායමික ගැටුම අවසානයේ කුමන කන්ඩායමක් හෝ ඉදිරියට පැමින පිහිටුවනු ලබන ආන්ඩුව, රුදුරු ලෙස කප්පාදු පැටවීමට, නැතහොත් ධනේශ්වර ප්‍රභූවේ කොල්ලකාරී අවශ්‍යතා බලයෙන් පැටවීමට කැපවූ වඩ වඩා ආධිපත්‍යධාරී එකක් වනු ඇත” යනුවෙන් අනතුරු ඇඟවුම් කලේ ය.

දැන් මේ සිදු වීම ක්‍රමානුකූල ව ගසාකමින් පවතින්නේ “ආධිපත්‍යධාරී” ආන්ඩුවක් සඳහා අවශ්‍ය වාතාවරනය සකසා ගැනීමටත් මහජන විඥානය අපගමනය කිරීමටත් ය.

පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නලින් බන්ඩාර සිද්ධිය ගැන අදහස් දක්වමින් “මේ රට තුල ගොඩ නැගෙන සංහිඳියාව නැති කරන්න කරුනා අම්මාන් වැනි ත්‍රස්තවාදියෙක් යොදා ගෙන මහින්ද රාජපක්ෂ කල්ලිය වැඩ කටයුතු කරනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා” යැයි පවසා සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තර්ජනය කරමින් කරුනා අම්මාන් පල කලා යයි කියන ට්විටර් පනිවිඩයක් උපුටමිනි.

“මහවිරු සැමරුම්” ආශ්‍රිතව ගෙන ගිය වර්ගවාදී ප්‍රචාරයන් මේ සිදු වීමත් සමග ම නව ඉහලකට ගෙන ඇත. මහින්ද රාජපක්ෂට සහය පල කෙරෙමින් පැවැත් වෙන රැස්වීම්වල, දේශනවල ප්‍රධාන තේමාවක් බවට පත් වී ඇත්තේ “කොටි ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවමින් සිටින” බවකි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවතින සාමකාමී තත්ත්වය වෙනස් වුව හොත් පෙර දී කලාක් මෙන් නැවත වාරයක් පොලිස් හමුදා මාර්ග බාධක ඉදි කොට මහ මග යන එන්නවුන් රඳවා ගෙන ප්‍රශ්න කිරීම්වලට භාජන කිරීමට සිදු වනු ඇති බවට දෙමල ජනතාවට අනතුරු ඇගවීමක් කලේ ය.

සිවිල් යුදසමයේ දී පන්ති අරගල මතට රාජ්‍ය මර්දනය මුදා හැරියේ “රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන්”, සහ ඒවා “ත්‍රස්තවාදයට අනුබල දෙන්නේ” යැයි හෝ එයට සෘජුව ම සම්බන්ධ යැයි පවසමිනි.

දෙමල විරෝධී වර්ගවාදය ඇවිලවීම ලංකාවේ ධනපති පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා ආරම්භයේ සිට යොදාගත් ප්‍රධාන උපාය මාර්ගයකි. විශේෂයෙන්ම, පන්ති අරගල වර්ධනය වන කාල පරිච්ඡේදයන් හි කම්කරු පන්තියේ ශක්තිය බිඳ හෙලීම සඳහා මෙම වර්ගවාදී උද්ඝෝෂන වඩාත් තීව්‍ර කරනු ලබයි.

මේ විසකැවීම්වල ඉලක්කය අන් කිසිවක් නොව, පවත්නා මර්දන නීති බලාත්මක කොට සහ නව මර්දන නීති හඳුන්වා දී, පොලිස් සහ මිලිටරි බලකායන් පාරට බස්සා ගනිමින්, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු-පීඩිත මහජනතාවන් රුදුරු ලෙස මර්දනය කිරීමයි.

Share this article: