ශ්‍රී ලංකා ජනාධිපති ආන්ඩුව පවත්වාගෙන යාමට විධායක බලතල යොදා ගනී

Sri Lankan president uses executive powers to run government

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 දෙසැම්බර් 7

දෙසැම්බර් 3දා ලබාදුන් අභියාචනාධිකරන තීන්දුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා ඇත්තේ, රාජ්‍ය බලය ඔහු අතේ ම ගොනු කරගනිමින් හා ආන්ඩුව සෘජු ව කලමනාකරනය කිරීමට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමග වැඩකරමිනි.

උසාවි අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ, ඔක්තෝබර් 26දා සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීම හා පාර්ලිමේන්තුව නොවැම්බර් 14දා දක්වා කල්තැබීමට එරෙහි ව ඉදිරිපත් කල පෙත්සමකට ප්‍රතිචාර වසයෙනි. පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමත් වූ විට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.

එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුන (එජාපෙ), විපාර්ශවික දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුලු මන්ත්‍රීන් 122 දෙනෙක් විසින් අභියාචනය ඉදිරිපත් කරන ලදී. වහා ම උසාවි නියෝගය ප්‍රතික්ෂේප කල රාජපක්ෂ, එම නියෝගය අවලංගු කරන ලෙස දෙසැම්බර් 4දා ශේෂ්ඨාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කලේ ය.

එහෙත් දෙසැම්බර් 4 දා සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම නීති-විරෝධී යයි තර්ක කරමින් එජාපෙ, ටීඑන්ඒ හා ජවිපෙ සහ අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරනයේ දී විභාග කිරීම ආරම්භ කෙරුනි. දෙසැම්බර් 8 දා නියෝගයක් දීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ඉහල ම අධිකරනය, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සහයෝගය දෙන පෙත්සම් 5 ක් ද සලකා බලමින් සිටී. තරඟ වැදී සිටින සිරිසේන-රාජපක්ෂ හා වික්‍රමසිංහ කන්ඩායම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය රාජ්‍ය බලය සඳහා තමන් දරන ප්‍රයත්නයට පිටුබලය දෙනු ඇතැයි අපේක්ෂා කරති.

සිරිසේනගේ මාධ්‍ය ඒකකය, සඳුදා ලබාදුන් අතුරු නියෝගය කෙරෙහි තුනීව සඟවන ලද විරුද්ධත්වයක් තුල, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඔවුන්ගේ රාජකාරි දිගට ම කරගෙන යන ලෙස උපදෙස් දෙන ප්‍රකාශයක් නිකුත් කලේ ය. “රටේ පොදු ජන සේවයට හා ජාතික ආරක්ෂාවට කැපවෙමින් රාජකාරි හා වගකීම් ඉටුකරන ලෙස සියලු රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් හා පොලීසියට ජනාධිපතිවරයා විසින් අවශ්‍ය නියෝගයන් දැනට මත් ලබා දී ඇතැ”යි එය ප්‍රකාශ කලේ ය.

සිරිසේනගේ ආඥාදායක ක්‍රියා ශ්‍රී ලංකාව තුල ඒකාධිපති පාලන රූපයන් සූදානම් කරන බවට වන අනතුරුදායක සංඥාවකි.

රාජපක්ෂට පාර්ලිමේන්තු බහුතරයක් දිනාගැනීම සඳහා කරන ගනන් නැති දේශපාලන උපාමාරුවලින් එකක දී, රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර ගනනාවක් රඳවාගෙන සිටින දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට සිරිසේන නරුම ලෙස පසුගිය සතියේ ටීඑන්ඒ වෙත පොරොන්දු වූයේ ය. එහෙත් “වර්තමාන (දේශපාලන) වියවුල විසඳෙන තෙක්” දේශපාලන සිරකරුවන් පිලිබඳ කිසිදු තීන්දුවක් නො ගන්නා බව කියමින් දෙසැම්බර් 3 දා සිරිසේන ඔහුගේ “පොරොන්දුව” කුනුකූඩයට දැමී ය.

2014-15 සමයේ රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට සිරිසේන හා වික්‍රමසිංහ ගෙනගිය උද්ඝෝෂනයේ දී දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු වූ හ. මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් ගෙනගිය උද්ඝෝෂනයට ප්‍රතිචාර වසයෙන් ඔවුහු එම පොරොන්දු වහා ම අත්හැර දැමූ හ.

දෙසැම්බර් 4දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සමුලුවක් අමතමින්, වර්තමාන දේශපාලන අස්ථාවරත්වය සතියක් තුල අවසන් කරන බවට සිරිසේන වාචාල ලෙස ප්‍රකාශ කලේ ය. එය කරන්නේ කෙසේදැයි ඔහු විස්තර කලේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් පැටවීම හා ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පිලිබඳ වගකීමෙන් අත් සෝදාගැනීමට ග්‍රාම්‍ය ප්‍රයත්නයක් දරමින්, වික්‍රමසිංහ “රට හා රටේ ආර්ථිකය” විනාශ කල බවත් තමන් ඔහු ව යලිත් අගමැති ධූරයට පත් නො කරන බවත් සිරිසේන ප්‍රකාශ කලේ ය.

සිරිසේනගේ කියාපෑම් එක දිගට ම හෙලා දකින වික්‍රමසිංහ, “හිට්ලර් හා අනෙකුත් ආඥාදායකයන්” මෙන් ක්‍රියාකිරීම හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන ඔහුට චෝදනා කර ඇත. එහෙත්, සිරිසේන හා ශ්‍රීලනිපය මෙන් වික්‍රමසිංහ හා එජාපය ද දෙමල සුලුතරයට එරෙහි ව දශක තුනකට ආසන්න කාලයක් ඇදුනු වාර්ගික යුද්ධය ඇවිලවීම ඇතුලු ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය කිරීම හා වැඩකරන ජනයාට එරෙහි මර්දනීය ප්‍රහාර දියත් කිරීම පිලිබඳ ව කුප්‍රකට ය.

එක්සත් ජනපදය හා අනෙකුත් ජාත්‍යන්තර බලයන් වර්තමාන දේශපාලන වියවුලට ප්‍රතිචාර දක්වා ඇත්තේ පාලක ප්‍රභූව මත පීඩනය දැඩි කරමිනි. ඊයේ ෘ්සකහඓගකන වෙත ප්‍රකාශයක් කල ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් “ශ්‍රී ලංකාව හා එහි නායකයන් විසින් දේශපාලන අර්බුදය විනිවිද පෙනෙන හා ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට විසඳා ගත යුතු” යයි පවසමින්, වර්තමාන කන්ඩායමික යුද්ධය “අපගේ සමහර ද්වි-පාර්ශික අවස්ථාවන් මත” බලපාමින් තිබේ යයි අනතුරු ඇඟවූවා ය.

රාජපක්ෂ යලි බලයට එනවාට හතුරු එක්සත් ජනපදයට, කොලඹ අභ්‍යන්තර ගැටුමේ දී “මනාප පාර්ශවයක්” නැති බව ටෙප්ලිට්ස් අවධාරනය කලා ය. ඇයගේ කියාපෑම් ව්‍යාජ ය. සිරිසේන බලයට ආවේ, චීනයට වඩා සමීප යයි වොෂින්ටනය විසින් සැලකූ රාජපක්ෂ ව ඉවත් කිරීමට එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා ය.

එහෙත් රාජපක්ෂගේ දේශපාලන නියෝජිතයෝ ඔහු දැන් වෙනස් වී ඇතැයි තර්ක කරමින් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් සමග සාකච්ඡා අරඹා ඇත.

එක්සත් ජනපද, යුරෝපා සංගම් හා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයන් දෙසැම්බර් 5 දා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ දී වික්‍රමසිංහ මුනගැසුනු බව ඬේලි මිරර් පත්‍රය ඊයේ වාර්තා කලේ ය. නම් සඳහන් නො කල එජාප මූලාශ්‍රයක් උපුටා දක්වමින් පුවත්පත කීවේ සිරිසේනට “යම් මොහොතක දී නිවැරදි දේ කිරීමට සිදුවනු ඇති බවත් එවැනි ප්‍රතිඵලයක් ගැන තමන්ට විශ්වාස බවත්” රාජ්‍යතාන්ත්‍රිිකයන් පෙරදුටු බව යි.

“වත්මන් තත්ත්වය නොවිසඳී පැවතියහොත් එමගින් රටට බොහෝ ආර්ථික හා සමාජ විපාක ගෙනදෙනු ඇතැ”යි ශ්‍රී ලංකාවේ යුරෝපා වානිජ මන්ඩලය, ඇමරිකානු වානිජ මන්ඩලය හා ශ්‍රී ලංකාවේ ජර්මානු කාර්මික හා වානිජ මන්ඩලය මේ සතියේ අනතුරු ඇඟවූ හ.

ෆිච්, එස්ඇන්ඞ්පී හා මූඩිස් යන ප්‍රධාන තක්සේරු ආයතන තුන ශ්‍රී ලංකාව ප්‍රමානන මට්ටමෙන් පහත හෙලා ඇත. ෆිච් හා එස්ඇන්ඞ්පී ප්‍රකාශයක් මෙසේ සඳහන් කලේ ය: “දේශීය බැඳුම්කර වෙලඳපොලෙන් විශාල ඉවතට ගලායාම් හා අවප්‍රමානය වන හුවමාරු අනුපාත විසින් පෙන්නුම් කරන පරිදි ආයෝජක විශ්වාසයට වලකැපී ඇත.”

වර්තමාන දේශපාලන අර්බුදය “2019 හා 2022 අතර යෝධ නය ගෙවීමේ කාර්ය සටහනක් මධ්‍යයේ, දැඩිවන ගෝලීය මූල්‍ය කොන්දේසි විසින් දැනටමත් අභියෝගයට ලක්කෙරී ඇති රටෙහි බාහිර මූල්‍ය අවදානම් තත්ත්වයන් වැඩිදියුනු කෙරෙතැ” යි ප්‍රකාශය තවදුරටත් කීවේ ය.

ෆිච් ආයතනයට අනුව ඩොලර් බිලියන 7.4 ක පමනක් වූ සංචිතයක් තිබෙන ශ්‍රී ලංකාවට 2019 හා 2022 අතර නය හා පොලිය වසයෙන් ඩොලර් බිලියන20.9ක් ගෙවීමට තිබේ. පසුගිය මාසය අවසන් වන විට මේ වසර තුල රුපියල සියයට 17කින් අවප්‍රමානය වී තිබුනි.

වර්තමානයේ කවර වෙනස්කම් තිබුන ද කොලඹ රාජ්‍ය බලය අල්ලා ගන්නා ඕනෑම කන්ඩායමක්, ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකය, ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් නියෝග කරන කප්පාදු වැඩසටහන ක්‍රියාවට දැමීම පිනිස පොලිස් රාජ්‍ය පියවර ගැනීමට පසුබට නො වනු ඇත.

මෑත දී කොලඹ පැවති රැස්වීමක දී මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙසේ අදහස් දැක්වී ය: “සමස්ත දේශපාලන ක්ෂේත්‍රය හරහා මහා ආර්ථික රාමුවට කැපවීමක් පවතී. අපගේ නය හා ආර්ථික ඌනතාවයේ ගතිකයන් උපාමාරු දැමීමට ඉඩකඩක් නොතබා ඇති බැවින් අප එය අනුමත කල යුතුයි.”

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූවේ සියලු කන්ඩායම් ආඥාදායක පාලන රූපයන් වෙතට හැරීම, කම්කරු පන්තියට හා ගම්බද ජනයාට රුදුරු අන්තරායකි. තරඟවැදී සිටින ධනේශ්වර කන්ඩායම් හා ඔවුන්ගේ දේශපාලන සගයන්ගේ “ප්‍රජාතන්ත්‍රවාදී” මවාපෑම් ප්‍රෝඩාවකි. දේශපාලනික ව පසුපසට වී බලා නො සිටිය හැකි කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයා, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන ස්වාධීන ක්‍රියාමාර්ගයක් සමගින් මැදිහත් විය යුතු ය.

Share this article: